සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැන් උණුසුම්ම කතාබහ බවට පත්ව ඇත්තේ මීට සති දෙකකට පෙර භාවිතය අත්හිටුවූ
ඔන්ඩට්‍රෙස්රෝන් (Ondansetron) එන්නතයි. අයිඩීඑච් රෝහලේ රෝගී මරණයක් සහ පේරාදෙණිය රෝහලේ ඇති වූ සංකූලතා සමඟ මේ ඖෂධය ගැන ඇති වූයේ බරපතළ සැකයකි.
නමුත් ඒ සැකය දුරු කිරීමට හෝ තහවුරු කිරීමට අදාළ පරීක්ෂණ වාර්තා තවමත් "අගුළු දමා" තිබීම පිටුපස කිසියම් අභිරහසක් ඇතැයි දැන් ක්ෂේත්‍රය පුරා රාවයක් යයි.
කුමුදේශ්ගේ "බෝම්බය" සහ නිහඬ සෞඛ්‍ය බලධාරීන්
පසුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කළ හෙළිදරව්වෙන් දේශපාලන කරළියද තරමක් කැළඹුණි. පරීක්ෂණ සඳහා සාම්පල යොමුකර සති දෙකක් ගතවී ඇතත්, එහි වාර්තා මහජනයාට හෙළි නොකරන්නේ ඇයි? කුමුදේශ් පවසන පරිදි මේ පිටුපස "අදෘශ්‍යමාන හස්තයක්" ක්‍රියාත්මක වේ.
"වාර්තාව එනකල් පරක්කු වෙනවා නෙවෙයි, වාර්තාව එළියට දාන්න නොදී කවුරුහරි ඒක උඩ වාඩි වෙලා ඉන්නවා"
යන්න දැන් රෝහල් කොරිඩෝවල නිතර ඇසෙන කතාවකි.
NMRA අභ්‍යන්තරයෙන් ලැබෙන "ලීක්" එක
කෙසේ වුවත්, NMRA (ජාතික ඖෂධ නියාමන අධිකාරිය) අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අප වෙත ලැබෙන තොරතුරු අනුව, අදාළ එන්නත්වල බැක්ටීරියා අඩංගු නොවන බවට දේශීය පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පැවසේ. එම නිල වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
නමුත් මෙහි ඇති කුතුහලය දනවන කරුණ නම්, අදාළ ඉන්දියානු නිෂ්පාදන සමාගම මේ වන විටත් ජාත්‍යන්තර පරීක්ෂණයක් (International Test) ඉල්ලා සිටීමයි. දේශීය වාර්තාව තමන්ට වාසිදායක වුවත් නැතත්, ජාත්‍යන්තර මට්ටමින් තම "නම" බේරා ගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටින බව පෙනේ.
මේක "දේශපාලන කල් මැරීමක්ද?"
ගොසිප් තීරුවට වාර්තා වන අන්දමට, මේ වාර්තා ප්‍රමාදය හුදු තාක්ෂණික ප්‍රමාදයකට වඩා දේශපාලනික කල් මැරීමකි. ඖෂධ මාෆියාව සහ බලධාරීන් අතර ඇති ගනුදෙනු මේ හරහා වසං කිරීමට උත්සාහ කරන්නේද යන ප්‍රශ්නය සෞඛ්‍ය වෘත්තිකයන් හමුවේ ඇත.
මොකද, ඔන්ඩට්‍රෙස්රෝන් යනු සාමාන්‍ය බෙහෙතක් නොවේ:
- පිළිකා රෝගීන්ගේ රසායනික ප්‍රතිකාර (Chemo) වලදී ඇතිවන දැඩි අපහසුතා පාලනයට.
- ශල්‍යකර්මවලින් පසු රෝගීන්ට ඇතිවන වමනය සහ ඔක්කාරය වැළැක්වීමට.
මෙවැනි අතිශය සංවේදී රෝගීන් පිරිසක් භාවිතා කරන ඖෂධයක් සම්බන්ධයෙන් "බාල" හෝ "ප්‍රමිතියෙන් තොර" යන ලේබලය වැදීම රජයට මෙන්ම අදාළ සමාගමට ද දරාගත නොහැකි පාඩුවකි.
පරීක්ෂණ වාර්තා අවසන් නම් ඒවා තවදුරටත් ලඟ තබාගෙන සිටීම "අපරාධයක්" බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පොදු මතයයි. දේශීය පරීක්ෂණ වාර්තාවෙන් ඖෂධය "නිදොස්" වුවහොත් එය ප්‍රශ්නයක් නොවේ. නමුත් යම් හෙයකින් එහි දෝෂයක් තිබියදී එය වසං කිරීමට උත්සාහ කරන්නේ නම්, එය රෝගීන් මරණයට තල්ලු කිරීමකි.
මේ සෙල්ලම කාගේ උවමනාවටද? පිළිතුර දන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රහස් කාමරවල සිටින "ලොක්කන්" පමණි.

