උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය මෙම දෙසැම්බර් අගින් අවසන් වීමට නියමිතය.
ඒ අනුව තවත් නොබෝ දිනකින් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්විය යුතුය. අලුත් තේරීම් කමිටුව පත්වනුයේ පන්දුවාර 20 ලෝක කුසලානට මාස 2ක් තරම් සමීපයේය. එබැවින් අලුතින් පත්වන තේරීම් කමිටුවකට ලෝක කුසලාන වෙනුවෙන් කළ හැකි දැවැන්ත බලපෑමක් නැත.
එබැවින් මීළඟ ලෝක කුසලානේදී අපට නෙළාගැනීමට සිදුවන්නේ ඉකුත් වසර දෙකක කාලයක් පුරා මේ වන විට පවතින, උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුව විසින් වපුරණ ලද අස්වැන්නය. එම අස්වැන්නේ වගකීම සහමුලින්ම තේරීම් කමිටුව මත පටවනු වෙනුවට එහි කොටසක් පුහුණුකරුවන් විසින්ද භාරගතයුතු නොවේදැයි තර්කයක් නැගිය හැකිය.
ඔව්, ඒ තර්කයට පදනමක් ඇත. නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන දක්ෂයන් අතරින් ජාත්‍යන්තරය සමග උරිනුර ගැටීමේ හැකියාව සහිත සැබෑ දක්ෂයන් පිරිස තෝරාගනුයේද, ඒ ඒ තරග අංශයෙන් හොඳම ප්‍රතිඵල ලැබෙන ලෙසින් ක්‍රීඩකයන් අදාළ සංචිතවලට කැඳවීම හෙවත් අප ක්‍රීඩක සම්පත් කළමනාකරණය කරනුයේද, දුර දැක්මක් සහිතව, ජාතික කණ්ඩායම දක්ෂයන්ගෙන් හිස් නොවන ලෙසින් ක්‍රීඩකයන් පෙළගැස්වීම සඳහා වන ප්‍රතිපත්තිමය දැක්ම සකසනුයේද තේරීම් කමිටුවයි.
තේරීම් කමිටුව විසින් සැබෑ සුදුස්සන් තෝරා නොදුනහොත් මොනතරම් දක්ෂ පුහුණුකරුවකුට වුව ජාත්‍යන්තර ජයග්‍රහණ සොයාදීම උගහටය. නමුත් වත්මන් තේරීම් කමිටුවට, වර්තමානයේ හොඳම ක්‍රීඩක කණ්ඩායම සොයාගැනීමට මෙන්ම අනාගතය දකින හැකියාව හෝ ප්‍රතිපත්තිමය දැක්මක් සහිතව කටයුතු කිරීමට හැකියාව තිබුණේද යන්න අපට නම් පැනයකි.
මේ තේරීම් කමිටුව සම්බන්ධයෙන් මැදහත් දැක්ම ප්‍රකාශ කිරීමට මත්තෙන් මොවුන්ගේ කාලයේදී තරග ප්‍රතිඵල කෙසේදැයි විමසා බලමු.
ටෙස්ට් තරග අංශයෙන් මොවුන්ගේ කාලයේදී මෙරට පැවැති තරග 7ක් අතුරින් 4ක් ශ්‍රී ලංකාව ජයගන්නේය. එතෙර ක්‍රීඩා කළ ටෙස්ට් තරග 5න් 1ක් පමණක් දිනද්දී ඉතිරි හතරම පරදින්නේය. එක්දින තරග 31ක් අතුරින් මෙරට පැවැති තරග 20න් 15ක්ම ජයගන්නේය. නමුත් ඒ අතර කාලයේදී එතෙර පැවැති එක්දින තරග 11න් අප ජයගන්නේ 4ක් පමණි. පන්දුවාර 20 අංශයේදී මෙරට පවත්වන්නට යෙදුණු තරග 18ක් අතුරින් 8ක් ජයගනිද්දී ඉතිරි 9ක්ම පැරදී ඇත. මෙකී කාලය තුළ අප විසින් පරාජයට පත්කරනු ලද්දේ නම් ඒ පන්දුවාර 20 අංශයේ ඉහළින්ම සිටින රටවල්වලට වඩා පහළින්ම සිටින කණ්ඩායම්ය. එලෙස පැවසීම එකී ජයග්‍රහණ හෑල්ලු කිරීමක් නොව, යථාර්ථය අවබෝධ කරගැනීමට පහසුව සැලසීමකි.
වත්මන් තේරීම් කමිටුව යටතේ අප කණ්ඩායම ශ්‍රී ලංකාවේදී යම් ප්‍රතිඵලයක් දක්වා ඇති නමුත්, මේ කරදිය වලල්ලෙන් ඔබ්බට ගිය විට දක්වා ඇති දක්ෂතා ඉතාම අවමය. මෙතෙර ලැබූ ජයග්‍රහණ ගැනද ඇති ප්‍රසිද්ධ කියමන වන්නේ ‘කුඹුරු’ තනා තරග දිනාගත් බවකි. එනම් අප දඟ පන්දු යවන්නන්ට අතිශයින් වාසිදායක වන තණතිලි සකසා ඒ මතින් ජයග්‍රහණ සොයාගත් බවකි. එමගින් මෙකී ජයග්‍රහණවල දිස්නය අවපැහැ ගැන්වෙන්නේය. නමුත් පන්දුවාර 20 අංශයේදී එතෙර මෙතෙර භේදයකින් තොරව අප සාර්ථක වූ තැන්වලට වඩා අසාර්ථක වූ තැන් රැසකි. විශේෂ අවධානයක් යොමුවිය යුතු තැනද මෙයමය. මන්ද අත ළඟම ඇති ලෝක කුසලානය යෙදී ඇත්තේ පන්දුවාර 20 ආරයෙන් නිසාය. එම ලෝක කුසලානේ ශ්‍රී ලංකාවටද සම සමත්කාරකත්වය ලැබී තිබීම යොදාගනිමින් අපට මෙහි ‘කුඹුරු’ හැදීමට, ලෝක කුසලාන තරගාවලියේ අයිතිය හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයි.සී.සීය වෙතින් අවස්ථාවක් ලබා දේ යැයි සිතීම උගහටය. බොහෝ විට ඔවුන් විසින් ලබාදෙන මැදහත් ප්‍රමිතියකට යටත්ව අපට තණතිලි සැකසීමට සිදුවනු ඇත. ඒ අනුව අප සත්කාරකත්වයේදී මෙතෙක් සිදුකළ ‘මයි කාර් - මයි පැට්‍රල්’ න්‍යාය ක්‍රියාවට නැංවීමට නොහැකිවුවහොත් එහිදී අපට සිදුවනුයේ අපේම බිම මත ‘කුඹුරු නැතිව හාන්න’ ය.
එහිදී තවදුරටත් බිය දැනෙනුයේ ලෝක කුසලානක් මුවවිට අපට ස්ථාවර පිතිකරුවන් හෝ පන්දු යවන්නන් කී දෙනෙක් සිටිනවා දැයි සිතෙන විටය. මේ වන විට කණ්ඩායමේ විශ්වාසය රැඳවියහැකි පිතිකරුවකු ලෙසින් සිටිනුයේ පැතුම් නිශ්ශංක පමණි. ඔහුද පාකිස්තානය සමගින් පැවැති අවසන් පන්දුවාර 20 තරගාවලියේදී සාර්ථක වූයේ නැත. වනිදු හැරුණු විට දඟ පන්දුවේද විශ්වසනීය චරිතයක් නැත. වේග පන්දුවේ ඉරණම එයටද වඩා දරුණුය. මෙවැනි තත්ත්වයකට පත්වනුයේ මෙයින් වසර 3කට එපිට පන්දුවාර 20 අංශයෙන් ලොව ඉහළින්ම රැඳුණු කණ්ඩායම් වූ ඉන්දියාව සහ පාකිස්තානයද පරාජය කරමින් ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ අනුව මෙම තේරීම කමිටුව බලාත්මක කාලයේදී අපගේ පන්දුවාර 20 තරග අංශය ශීඝ්‍ර පල්ලම් බැසීමක් පෙනෙයි.
ඒ පල්ලම් බැසීම හමුවේ ඔවුන් විසින් කළ අත්හදාබැලීම්ද අතිශයින් අසාර්ථක වී ඇති අයුරක් දිස්වේ. මේ වසර දෙකක කාලයේදී ඔවුන් විසින් සොයාගෙන ජාතික කණ්ඩායමට කැඳවූ එකදු ක්‍රීඩකයෙක් හෝ සිටීද? කුමන ලෙසකින් හෝ ජයග්‍රහණ සොයාගැනීම අරමුණු කරමින් කවුරුන් හෝ ජාතික කණ්ඩායමට කැඳවීමට ඔවුන් උත්සහ දැරීම අඳුරේ අතපතගෑමක් මිස ඉන් එහා සාධනීය දෙයක් ලෙසින් අපට නම් නොපෙනේ. එයට ආසන්නම උදාරණය වනුයේ ඉකුත් පාකිස්තාන සංචාරයේ තුන්කොන් පන්දුවාර 20 තරගාවලිය සඳහා, ඩුබායි හී පැවැත්වුණු නැගීඑන ආසියානු කුසලාන කණ්ඩායමේ සිටි විජයකාන්ත් වියස්කාන්ත් කැඳවීමය. එනිසා අවසානයේ තුන්කොන් තරගාවලියට සිදුවූ විශේෂ සෙතක් නොමැතිවා සේම, නැගීඑන ආසියානු කුසලානේ අවසන් මහා තරග අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමි වීමට එය හේතුවෙක් විය. අවසානයේ, ටෙස්ට් සහ එක්දින තරග අංශයේ පිතිකරුවකු ලෙසින් සැලකෙන පවන් රත්නායකද පන්දුවාර 20 කණ්ඩායමට කැඳවීය. ලෝක කුසලානට මත්තෙන් අතේ ඇඟිලි ගණනට තරම්වත් පන්දුවාර 20 ජාත්‍යන්තර තරග යෙදී නැත. එසේ තිබියදී පවන් රත්නායක වැනි එකී තරග අංශයට ආධුනික ක්‍රීඩකයකු එම කණ්ඩායමට කැඳවන්නේ කුමන දැක්මක් සහිතවද?
මෙම තේරීම් කමිටුව එද්දී මනා ටෙස්ට් ක්‍රීඩකයකු ලෙසින් හැදී වැඩෙමින් සිටි කමිදු මෙන්ඩිස් සියලු තරග අංශයන්ට කැඳවා මේ වන විට ඔහුව සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට රැගෙන ගොස් ඇත. ජනිත් ලියනගේ හට හිමිවූ ඉරණමද එයින් වෙනස් නොවේ. ඉතා පැහැදිලි අනාගතයක් හිමි මනා තුන්ඉරියව් ක්‍රීඩයකු ලෙසින් පෙරට ආ දුනිත් වෙල්ලාලගේට අද සිදුව ඇත්තේ කුමක්ද? මේ අතර ඔවුන් දිගින් දිගටම කුසල් ජනිත් පෙරේරාට අවස්ථාව ලබාදුන්නේ කුමක් අරබයාද යන්න පැහැදිලි නැත. මේ ආකාරයෙන් පන්දුවාර 20 සියලු ආදේශනයන් අසාර්ථක බව පෙන්වා, මේ වන විට ‘කාලය ඉක්මගොස් ඇති’ හෙවත් ‘එක්ස්පයර් වී ඇති’ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෝක කුසලාන සංචිතයට කැඳවුවහොත් පුදුම විය යුතු නැත. මන්ද එවැනි සිදුවීම් මේ තේරීම් කමිටුව යටතේ මින් පෙරද සිදුව ඇති බැවිනි.
ආපසු හැරී බැලීමේදී පෙනී යන කරුණ නම් මෙයට පෙරාතුව සිටි තේරුම් කමිටුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති වත්මන් තේරීම් කමිටුව විසින් දියාරු කර දැමීම මේ පරිහානියට හේතුව බවය. පෙර පැවැති තේරීම් කමිටුවේ තරුණ ජවයට අවස්ථාව ලබාදීමේ ප්‍රතිපත්තිය, මෙන්ම ශාරීරික යෝග්‍යතාව අනිවාර්යවීමේ ප්‍රතිපත්තිය ආදිය වත්මන් තේරීම් කමිටුවට වලංගු නොවීය. හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගේ ගජමිතුරු සංසදයකට ක්‍රිකට් තේරීම් සම්බන්ධයෙන් වූ මේ සංවේදී අංශය භාර වූ අතර එය එදාවේල ජයග්‍රහණ සොයන තැනකින් ඔබ්බට ගොස් නූතන ක්‍රිකට් විලාසයන්ට අනුගතවන ආකාරයක් නම් පෙනෙන්නට නොතිබිණි. නමුත් වත්මන් ආණ්ඩුව යටතේද ඒ ගජමිතුරු සංසදයේ ක්‍රිකට් සාදයට ඉඩ දුන්නා මිස, ඒ සාදයේදී ඔවුන් රසකර වළඳන්නේ දේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෞරුෂය බව ඔවුන්ද දුටුවේ නැත.
තේරීම් කමිටුවට ‘කොන්දක්’ නැති විට එයින් අයුතු ප්‍රයෝජන ලබන්නේ ක්‍රීඩකයන්ගේ පුද්ගලික කළමනාකරුවන්ය. තමන්ව සිය පුද්ගලික කළමනාකරු ලෙසින් තෝරාගන්නා ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායමේ අවස්ථාව සොයාදිය හැකි බවට වහසිබස් දෙඩිය හැකි තරමට මේ පුද්ගලික කළමනාකරුවන් ඉදිමෙන්නේ ‘ලාචෝරු’ තේරීම් කමිටු ඇතිවිටය.
තේරීම් කමිටුවේ ‘කොන්ද’ කෙළින් ඇති විට රටට මනා ක්‍රීඩක සම්පත් පහළවන්නේය. එයට හොඳම උදාහරණය පැතුම් නිශ්ශංකය. එදා පැතුම්ව ජාතික කණ්ඩායමට ගෙන එද්දී එවක පුහුණුකරු මිකී ආතර් ඔහුව ප්‍රතික්ෂේප කළේය. එහෙත් මින් ඉහත වූ ක්‍රිකට් තේරීම් කමිටුව තම බලය පාවිච්චි කරමින් පැතුම්ව ජාතික කණ්ඩායමට නම් කළේ, ඔහු අසාර්ථක වුවහොත් එහි වගකීම තම කමිටුව විසින් ගන්නා බව පවසමිනි. ඒ ‘බලය පාවිච්චි කිරීමේ’ ප්‍රතිඵල අද අපි අත්විඳිමින් සිටිමු. හරි තැන සෘජුව සිට තීන්දු තීරණ ගත යුතුය. මුල් අවස්ථාවේදී පහර කෑවද, එම තීන්දු තීරණවල ප්‍රතිඵල ලැබෙන මොහොත දක්වා ඒ පහර දරාගැනීමේ හැකියාව හරි තේරීම් කමිටුවකට තිබිය යුතුය. මත්තෙහි බිහිවිය යුත්තේ එවැනි තේරීම් කමිටුවකි. මෙම සටහන ආරම්භයේදී දැක්වූ පරිද්දෙන් එැළැඹෙන ලෝක කුසලානේදී ‘ප්‍රාතිහාර්ය පෑමට’ ඒ පත්වන කමිටුවට නොහැකි වනු ඇත. නමුත් අවම වශයෙන් සමාජ මාධ්‍ය රැල්ල ගසන දෙස බලා ක්‍රීඩකයන් තේරීමට හෝ කපාදැමීමට තරම් නිවට නොවන තේරීම් කමිටුවක් පත්වන්නේ නම් එය වුව ප්‍රමාණවත්ය.
#Aruna

