ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්
ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු බදු සහන අහෝසි කරන ලෙස එමගින් දන්වා ඇත. මේ ආකාරයට බදු සහන පිරිනැමීමෙන් රජය අපේක්ෂා කරන වාර්ෂික මූල්‍ය ඉලක්ක සපුරාගත නොහැකි බැවින් බදු සහන අහෝසි කළ යුතු බව මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශයේ සඳහන්ය.
ඒ අනුව මෙතෙක් ආයෝජකයන්ට ලබා දෙන ලද තීරු බදු සහ රේගු බදු සහන ඉවත් කිරීමට සිදුවනු ඇත.
කෙසේ වුවද ලංකාවට මීළඟට පැමිණිය හැකි ප්‍රශ්නය වනුයේ ආයෝජකයින් සමග වු එකඟතාවන් කඩ කළහොත් කුමක් සිදුවේද යන්නය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව යළිත් ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබන සතියේදී යවන්නට නියමිතව ඇත.
මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. නමුත් මැතිවරණ පොරොන්දු හා ඊළඟට පැවති මැතිවරණයන් නිසා පොරොන්දු වූ මුදලින් අඩකින් විදුලි ගාස්තු පහත හෙළීමට රජය පියවර ගත්තේ ය.
කෙසේ වුවත් සිදුව ඇත්තේ එම පැවති මුදලටද වඩා වැඩි අගයකින් යළිත් විදුලි ගාස්තු වැඩි වීමය.
එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.
මේ අතර පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන අරමුදල් ද 2028 වනවිට නතර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡාවක්ද පවත්වා ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න කියා ඇත.