මේ මස හය වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධ මූලික සංඛ්‍යා දත්ත මොනවාද?
මැයි මස හය වැනිදා මැතිවරණය පැවැත්වෙන්නේ පළාත් පාලන ආයතන තුන්සිය තිස්නවයක් සඳහා. ඒ ඇල්පිටිය සහ කල්මුණේ හැර අනිකුත් පළාත් පාලන ආයතන සියල්ල සඳහා.
මේ සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය නිකුත් කළේ මාර්තු මාසයේ තුන් වැනිදා. ඒ පළාත් පාලන ආයතන තුන්සිය තිස්හයකට. ඉතිරි පළාත් පාලන ආයතන තුන සඳහා නාමයෝජනා භාරදීමේ නිවේදනය නිකුත් කළේ දහ වැනි දින. ඒ අනුව, තුන් වැනිදා නිවේදන නිකුත් කළ පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාර ගැනීම මාර්තු දාහත සිට විසි වැනිදා මධ්‍යාහ්න දොළහා දක්වා සිදු කළා. දහ වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව ඒ පළාත් පාලන ආයතන තුන සඳහා නාමයෝජනා භාරගැනීම මාර්තු මස විසිහතර සිට විසිහත් වැනිදා මධ්‍යහ්න දොළහා දක්වා. ඒ අනුව මේ සියලු පළාත් පාලන ආයතන තුන්සියතිස්නවය සඳහාම නාම යෝජනා දෙදහස් නවසියවිසිදෙකක් වගේ ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ඒ අතරින් නාමයෝජනා හාරසියවිසිතුනක් ප්‍රතික්ෂේප වුණා. මෙසේ ප්‍රතික්ෂේප වුණු නාමයෝජනා සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට නඩු දෙසීයකට අධික ප්‍රමාණයක් ගොනු වුණා. ඒ සම්බන්ධව ලබාදුන් තීරණයට අනුව මේ හය වැනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම්.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායකයන් කීදෙනෙක් සුදුසුකම් ලබලා තියෙනවාද?
මෙවර ඡන්දය විමසන්නේ මහ නගර සභා විසි අටකටත්, නගර සභා තිස්හයකටත්, ප්‍රාදේශීය සභා දෙසීයහැත්තෑපහකටත්නේ. මේ සඳහා ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ පනස්හයදහස් තුන්සියහතළිස්පහක් විතර සුදුසුකම් ලබලා තියෙනවා. ඒ අයගේ ඡන්ද විමසීමට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස්හත්සියපනස්නවයක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පන්දහස්හත්සියඅසූතුනක් තියෙනවා.
මේ අනුව නාමයෝජනා භාර දුන්නු දේශපාලනික පක්ෂ හතළිස්නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙසීයහතළිස්හතරකුත් මේ මැතිවරණයට තරග කරනවා. ඒ අනුව සභිකයන් අටදහස් පන්සීයට අධික ප්‍රමාණයක් තේරී පත්වීමට නියමිතයි. මේ වන විටත් හයලක්ෂ හතළිස්තුන්දහස් හාරසියඅනූපහක් වන තැපැල් ඡන්දදායකයන් සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු කරලා තියෙන්නේ. ඒ වගේම ඒ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතුත් පසුගියදා අවසන් කළා.
මෙවර මැතිවරණයේ විශේෂත්වය මනාප ක්‍රමය හැර සමානුපාතික ක්‍රමයකට ඡන්දය පැවැත්වීම. මේ ගැන සරලව පැහැදිලි කරනවා නම්?
ඇත්තටම මේ ක්‍රමය මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක්. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි යම් පළාත් පාලන ආයතනයක සභික සංඛ්‍යාවෙන් සීයට හැටක්ම පත්වෙන්නේ කොට්ඨාස ජයග්‍රහණය කරලා.
හැම පළාත් ආයතනයකම භූමිය සීමා නීර්ණය කරලා පැහැදිලිව කොටස් කරලායි තියෙන්නේ. කොට්ඨාසයක් කියන්නේ ඒ විදිහට සීමා නීර්ණය කරලා බෙදලා තියෙන භූමියට. ඒ අනුව හැම පළාත් පාලන ආයතනයකම සීයට හැටක් තියෙන්නේ කොට්ඨාස. ඉතිරි සියයට හතළිහ තෝරගන්නේ අතිරේක ලැයිස්තුවෙන්. සරල උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි සභාවක සභිකයන් විස්සක් ඉන්නවා නම් ඒකෙන් සීයට හැටක් හෙවත් දොළොස් දෙනෙක්ම තේරී පත්වෙන්නේ කොට්ඨාස ජයග්‍රහණය කරලා. ඉතිරි අට දෙනා තමයි සමානුපාතික ලැයිස්තුවෙන් එන්නේ.
කොට්ඨාසවලින් ඡන්දයෙන් එන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ ඒ කොට්ඨාසයට තරග කරන පක්ෂවලින් වැඩිම ඡන්ද ගන්න පක්ෂයට අනුව. ඒ අනුව කොට්ඨාසයේ වැඩිම ඡන්ද ගන්න පක්ෂයේ අපේක්ෂකයා තමයි තේරී පත්වෙන්නේ. බහු ආසන කිහිපයක විතරක් එක කොට්ඨාසයකින් එක සභිකයකුට වැඩිය තේරී පත්වෙන්න පුළුවන්. නමුත් එහෙම බහු ආසන ගොඩාක් නෑ.
ලැයිස්තුවෙන් තෝරන සීයට හැට තෝරන්නේ පක්ෂයේ අභිමතය අනුවද නැතිනම් ඒ සඳහා විශේෂ ක්‍රමයක් තියෙනවාද?
ඒක පක්ෂයේ කාර්යයක්. කලිනුත් කිව්වා වගේ මේ ඡන්ද ක්‍රමය මිශ්‍ර සමානුපාතික ක්‍රමයක්. තරග කරනු ලබන පක්ෂ අතරින් එක ඡන්දයකින් වැඩි ඡන්ද ගන්නා පක්ෂයේ අපේක්ෂකයා සහ දේශපාලන පක්ෂය ඒ කොට්ඨාසයේ ජයග්‍රාහකයා වෙනවා.
මේක සමානුපාතික වෙන්නේ, මුළු පළාත් පාලන බල ප්‍රදේශය තුළම කොට්ඨාසවලින් එක් එක් දේශපාලන පක්ෂය හරි, ස්වාධීන කණ්ඩායම හරි ලබාගන්න ඡන්ද අනුව ඔවුන්ට නියමිත වෙනවා සභික සංඛ්‍යාවක්. ඒ සභික ධුර සංඛ්‍යාව ඇතුළේ කොට්ඨාස ජයග්‍රහණය කළ අයත් ඉන්නවා. ඒ ඒ පක්ෂයට හිමි සභික ධුර සංඛ්‍යාව පුරවන්න ජයග්‍රහණය කරලා තියෙන කොට්ඨාස ප්‍රමාණය මදි නම් ඉතිරි ටික ලැයිස්තුවෙන් පුරවන්න වෙනවා.
මේ ක්‍රමය තේරුම්ගන්න තවත් සරල උදාහරණයක් ගනිමු. යම් කිසි පළාත් පාලන බල ප්‍රදේශයක සභික සංඛ්‍යාව විස්ස නම් ඒකෙන් සීයට හැටක් හෙවත් දොළහක් කොට්ඨාස තියෙන්න ඕන. ඒ අනුව සභිකයන් දොළොස් දෙනෙක් ඒ කොට්ඨාස ජයග්‍රහණය කරලා එනවා.
එසේම යම් සභාවක ඒ ඒ දේශපාලන පක්ෂ අරන් තියෙන මුළු ඡන්ද මත ඒ සභාවේ ඒ ඒ පක්ෂයට හිමි ආසන ගාණක් තියෙනවා. ඒ අනුව යම් පක්ෂයක් ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණයට අනුව ලැබෙන්න ඕන මන්ත්‍රි ධුර සංඛ්‍යාවට වඩා අඩුවෙන් නම් ඒ අය කොට්ඨාස ජයග්‍රහණය කරලා තියෙන්නේ ඒ පක්ෂයට ලැබිය යුතු ඉතිරි ආසන අතිරේක ලැයිස්තුවෙන් ලබාගන්නවා.
ඒ වගේම යම් පක්ෂයක් ලබා ගන්නා මුළු ඡන්ද සංඛ්‍යාවට අනුව ලැබිය යුතු සභික ධුර සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ඒ අය කොට්ඨාස ජයග්‍රහණය කරලා තියෙනවා කියලා හිතමු. එහෙම වුණා කියලා කොට්ඨාස ජයග්‍රහණය කළ අය ඉවත් කරන්නෙ නෑ. ඒ පක්ෂයෙන් කොට්ඨාස ජයග්‍රහණය කළ මුළු සංඛ්‍යාවම සභාවට ගන්නවා.
කොට්ඨාසවලින් ඔබ්බට ගොස් තෝරාගන්නා සභිකයන් ගැන තවදුරටත් සරලව පැහැදිලි කරනවා නම්?
අපි හිතමු යම් පළාත් පාලන ආයතනයක මුළු සභික සංඛ්‍යාව විස්සයි කියලා. ඒ වගේම එම සමස්ත පළාත් පාලන ආයතනයේ වැටී ඇති වලංගු ඡන්ද සංඛ්‍යාව සීයයි කියලා උපකල්පනය කරමු. ඒ අනුව කරන්නේ මේ වලංගු ඡන්ද සංඛ්‍යාව බෙදනවා එහි ඇති සභික සංඛ්‍යාවෙන්. මේ උදාහරණයට අනුව වලංගු ඡන්ද සීය සභික සංඛ්‍යාව වන විස්සෙන් බෙදපුවාම ලැබෙන උත්තරේ පහයි. ඒ අනුව යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු සභාවේම ලබා ඇති ඡන්ද ගාණ පහයි නම් ඒ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඒ සභාවේ සභික ධුරයක් හිමි වෙනවා. යම් පක්ෂයකට ඡන්ද දහයක් තියෙනවා නම් ඒ අයට සභාවේ සභික ධුර දෙකක් හිමි වෙනවා. මේ විදිහට එක සභිකයෙක් තෝරාගැනීමට අවශ්‍ය කරන ඡන්ද සංඛ්‍යාව ඒ ඒ පක්ෂ ලබාගෙන ඇති වාර ගණන අනුව ඒ පක්ෂයට අයිති සභිකයන් ගාණ තීරණය වෙනවා.
ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව සභාවේ සභික ධුර සංඛ්‍යාවෙන් බෙදූ කල එන ඡන්ද ප්‍රමාණය ගත්තු ඕනෑම පක්ෂයකට එක් සභික ධුරයක් හිමි වෙනවා. අපි කලින් කියූ උදාහරණයට අනුව ඡන්ද පහක් ගත්තු ඕනෑම පක්ෂයකට එක් ආසනයක් හිමි වෙනවා.
මේ උදාරහණයම අරන් මෙහෙම බලමු. මේ පළාත් පාලන ආයතනයේ ලබා ගෙන ඇති ඡන්ද අනුව A කියන දේශපාලන පක්ෂය වලංගු ඡන්ද සීයෙන් ඡන්ද 45ක් ගත්තා කියලා හිතමු. ඒ වගේම B පක්ෂය ඡන්ද 25කුත්, C කියන පක්ෂය 20කුත්, D පක්ෂය වලංගු ඡන්ද සීයෙන් ඡන්ද 10ක් ගන්නවා කියලා හිතමු. ඒ අනුව A පක්ෂයට සභිකයන් 9ක් හිමි වෙන්න ඕන. B පක්ෂයට සභිකයන් 5ක් හිමි වෙන්න ඕන. C පක්ෂයට සභිකයන් 4ක් සහ D පක්ෂයට සභිකයන් 2ක් හිමි වෙන්න ඕන. ඒ අනුව මුළු සභිකයන් සංඛ්‍යාව විස්සයි.
නමුත් අපි හිතමු මේ පළාත් පාලන ආයතනයේ තියෙන කොට්ඨාස 12ම ජයග්‍රහණය කරලා තියෙන්නේ ඡන්ද 45ක් ගත්තු A කියන පක්ෂය කියලා. එම පක්ෂයට ඡන්ද සංඛ්‍යාව අනුව හිමි විය යුතු සභික ධුර සංඛ්‍යාව 9ක් වුවත් කොට්ඨාස 12ම ජයග්‍රහණය කළ නිසා ඒ අයට 9ක් නෙමෙයි සභික ධුර 12ක්ම හිමි වෙනවා. සාමාන්‍යයෙන් සභාවේ තිබිය යුතු සංඛ්‍යාව සභික ධුර විස්සක් වුවත් මේ වගේ තත්ත්වයත් තුළ සභාවේ සභික සංඛ්‍යාව 23ක් ලෙස තෝරා පත්කරගන්න වෙනවා. මොකද ඡන්ද දායකයා වැඩි කැමැත්තෙන් තම කොට්ඨාසයට තෝරාගත් සභිකයා අපි කාටවත් අයින් කරන්න බෑ. මේ මැතිවරණයට මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය කිව්වාට මේකේ ගණනය කිරීම් වෙන්නෙ සම්පූර්ණයෙන්ම සමානුපාතික ක්‍රමයකට කියලා කියන්න පුළුවන්.
ඒ වගේම මෙතැනදී සලකා බලන්න අවශ්‍ය අනික් වැදගත්ම කාරණය කාන්තා නියෝජනය. මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම්?
මේ ක්‍රමයට අනුව යම් කිසි පළාත් පාලන ආයතනයක මුළු සභික සංඛ්‍යාවෙන් සියයට විසිපහක් කාන්තාවන් විය යුතුයි. දේශපාලන පක්ෂ නාමයෝජනා ලබා දෙද්දීම සැපිරිය යුතු කොන්දේසියක් තමයි කොට්ඨාසය සඳහා සියයට දහයක් කාන්තාවන් තරග කරන්න අවශ්‍යයි කියන එක.
උදාහරණයක් හැටියට ගන්නවා නම්, කොළඹ මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 110යි. ඒ අනුව ඒකෙන් සියයට විසිපහක් යනු 27.5කි. දශම පහ නොසලකා හැරි පසු සභිකයන් 27ක් කාන්තාවන් තේරෙන්න අවශ්‍යයි කොළඹ මහ නගර සභාවට. අපි කලින් උදාහරණයට ගත්තු සභිකයන් විස්සක් සිටින පළාත් පාලන ආයතනයේ නම් කාන්තාවන් 5දෙනෙක් සභිකයන් ලෙස තේරෙන්න ඕන. එතැනදී මුලින්ම සැලකිල්ලට ගන්නේ ඡන්ද කොට්ඨාසවල ජයග්‍රාහිකාවන් ලෙස කාන්තාවන් කීයක් ඉන්නවාද කියන එක. උදාහරණයක් විදිහට කොළඹ මහ නගරසභාවට කොට්ඨාසවලින් 10ක් තේරී පත්වී හිටියා කියලා හිතුවොත් ඉතිරි 17 දෙනා ගන්න වෙන්නෙ පක්ෂවල ලැයිස්තුවලින්. ඒ අය ගන්නේ කොයි කොයි පක්ෂවල ලැයිස්තුවලින්ද කියලා තීරණය කරන්න වෙන්නේ තේරීම් භාර නිලධාරිවරයාට. ඊට පස්සේ අපි ඒ සඳහා අදාළ පක්ෂ ලේකම්වරයන්ට දැන්වීමක් කරනවා.
මේ කාරණා අනුව පැහැදිලි වෙන්නේ මේ මැතිවරණය මැතිවරණ කොමිසමට තරමක් අභියෝගකාරී එකක් කියලාද. ප්‍රතිඵල නිකුත් කිරීම ආදිය නොමපාව කරන්න පුළුවන්ද?
ක්‍රමයේ වෙනස්කම්වලට අමතරව, ලංකා මැතිවරණ ඉතිහාසය ගත්තාම මේක තමයි වැඩිම ආයතන සංඛ්‍යාවකට එකවර ඡන්දය පවත්වන මැතිවරණය. ඒක නිසා මේ තුළ අභියෝගයකුත්, වෙහෙසකුත් නෑ කියන්න බෑ. එහෙම වුණත් මැතිවරණය ගැන ඔබ විමසූ විදිහේ ගැටලු මතු වෙන්න ඉඩක් තියෙනවා කියලා හිතන්නෙ නෑ.
අනික් කාරණය තමයි මැයි හය වැනිදා පවත්වන පළාත් පාලන මැතිවරණයෙන් පසු අදාළ පළාත් පාලන ආයතන ජුනි 02 දිනට පෙර පිහිටු වන්නත් අවශ්‍යයි.
@ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
mawbima සාකච්ඡාවක්