54 වැනි අප්‍රේල් විරු සමරුව ඊයේ (05) අනුරාධපුරයේදී පැවැත්වුනු අතර
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී සමරු දේශනය පැවැත්වූ ටිල්වින් සිල්වා සහෝදරයා 1971 පරපුරේ සගයෙක් සතුරා අවලාද නගද්දී ඊට පිළිතුරු ලෙස ලියූ කවියක් ඉදිරිපත් කළේය.
ගමන යන මග තිබේ හෙළිවී - අදිරදේ මර ගී ගයද්දී
සටන මොට කොට නවත්තන්නට - ඇතැම් අය මග අවුර වද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන් - සහස් දන කැළ පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් - සොයුර අපි යමු පෙරට ඇද්දී
“ අද අපි එකතු වෙලා ඉන්නේ, මීට අවුරුදු 54කට කලින් අද වගේ දවසක, අපේ පංතියට තිබෙන දේශපාලනය කිරීමේ අයිතිය, සංවිධානය වීමට තිබෙන අයිතිය, අලුත් සමාජයක් සඳහා සිහින දැකීමට තිබෙන අයිතිය වෙනුවෙන් කළ දේශපාලනයට බාධා එල්ල වෙනකොට ඊට එරෙහිව සටන් කර දිවි පිදූ පරම්පරාවක සහෝදර සහෝදරියන් අනුස්මරණය කරන්නයි. 1971 අරගලයෙන් පසු සෑම අවුරුද්දකම අපි සිරගතවී සිටියත්, වනගත වී සිටියත් කොතනක සිටියත් අප්‍රේල් 05දා මියගිය සහෝදර සහෝදරියන් සිහිපත් කළා. අපි පොරොන්දු වුණා, සපථ කර ගත්තා ඔවුන්ගේ අරමුණු අපේ ජීවිත කාලය තුළ, ඔවුන් දිවිපිදූ දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය දක්වා ගෙනියන බවට.
ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණය කර තිබෙනවා. ඒ නිසා අද විශේෂ දවසක්. ජයග්‍රහණය ශක්තිමත් කරගෙන, රටේ ජනතාවට වඩා හොඳ රටක්, “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” හදන්න, 1971 සහෝදර සහෝදරියන්ගෙන් ශක්තිය ධෛර්යය ගන්න අපි ලැහැස්තියි. අපි මේ රට දිනුවා වගේම මේ රට හදන්නත් අපි ලැහැස්තියි කියන සහතිකය අපි දෙනවා. පරාජයට පත්වුණු සතුරන් කෝපයෙන්, දුකෙන් හඬා වැලපෙනවා; අපේ ජයග්‍රහණය බිඳ වැටෙන දවස ගැන සිහින දකිනවා. අපි නිකම් ආණ්ඩුවක් හැදුවා නොවෙයි. මේ රට වෙනස් කිරීම අරමුණු කර ගත්ත, මහා දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක නායකත්වයෙන් විශාලම මහජන ව්‍යාපාරයක් හදලා රට වෙනස් කිරීමේ ගමනක් පටන්ගෙන තිබෙනවා. අලුත් සමාජයක් නිර්මාණය කිරීම අනිවාර්යයක්. ඒ සමාජය නිර්මාණය කරන තුරු අපේ ගමන අත්හරින්නේත්, ආපසු හැරෙන්නේත් නැහැ.
අපි බාරගත්තේ සාමාන්‍ය රටක් නොවෙයි. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු ජනතාවට තුන්වේල කන්න නොතිබුණ, බිංදුවට වට්ටපු රටක්. රට වට්ටපු බලවේගය ඒක අමතක කරලා තිබෙනවා. පාසලේ රැස්වීමෙදි දරුවන් කලන්තෙ දාල වැටුණු රටක්. තෙල් ටිකක් ගන්න පෝලිමේ රස්තියාදු ගහපු, පෝලිමේ මිනිස්සු මැරී වැටුණු කාලයක් පසුකර ඇවිත් තිබෙන්නේ. කන්න නැතිව දරුවන්ට වේල් ගණනක් කරවිල තම්බල දුන්නු දුෂ්කර කාලයක් පසුකර ඇවිත් තිබෙනවා. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා, සතුරටන් වට්ටපු මේ රට ගොඩනගන්න. පරාජයන්, බිඳ වැටීම්, පාවාදීම් සියලු අභියෝගවලට නොසැලී මුහුණ දීලා, මේ ව්‍යාපාරය මහජන ව්‍යාපාරයක් බවට පත්කරලා මේ ජයග්‍රහණය ගේන්න අපි සමත් වුණා නම්, අපේ සහෝදරවරුන්ගේ ශක්තියෙන් ධෛර්ය අරගෙන වට්ටපු රට ගොඩනඟලා ලෝකයේ ඉහළින්ම තිබෙන රටක් බවට පත්කරන බවට සහතිකය අපි දෙනවා.
1970ට කලින් අපි පිළිබඳ විශ්වාසයක් පොදු ජනතාවට තිබුණේ නැහැ. වසර 54කට පස්සේ ඒ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති පොදු ජනතාවගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් පිළිගෙන අපිත් එක්ක ඉදිරියට යන්න අත්වැල් බැඳගෙන තිබෙනවා. සතුරන් කුමන කතා කිව්වත් මේ ගමන ජයග්‍රහණය දක්වා ඉස්සරහට යනවා. 1971 අරගලය, නිදහසෙන් පසුව ඇති වුණු ඉතා වැදගත් සංසිද්ධියක්.
ශ්‍රී ලංකාවේ පැවති පාලනයට, අසාධාරණයට, අයුක්තියට එරෙහිව තරුණ පරපුරේ අවිගත් නැගිටීම තමයි 1971 අරගලය කියන්නේ. ඒ සටනට උරදීපු තරුණ පරපුර අවි ගත්තේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණේ 1965 මැයි 14 වැනිදා. එළඹෙන මැයි 14දිනට අවුරුදු 60ක් වෙනවා. අවුරුදු 60 වෙනකොට අපි සමත් වෙලා තිබෙනවා, ජනතාවගේ සහයෝගයෙන් මැතිවරණ දෙකකින් බලයට එන්න. ඒ බලය ඉදිරි මැයි 06වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් තවදුරටත් තහවුරු කරන බව අපට විශ්වාසය තිබෙනවා. 1965 රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු වාමාංශික අදහස් තිබුණු තරුණ තරුණියන් එකතු වෙලා අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ වෙන විටත් වමේ දේශපාලන පක්ෂ තිබුණා. 1935 ආරම්භ කළ, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ලංකාවේ පරණම දේශපාලන පක්ෂ. ඒ පක්ෂ ‘වමේ වැඩේ’ කළේ නැහැ. 1947 එක්සත් ජාතික පක්ෂය, 1952 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුණා. ඒ පක්ෂ අපේ පංතියේ පක්ෂ නොවෙයි. අපේ රටේ වැඩකරණ ගොවි ජනතාව, පීඩිත ජනතාව අනෙක් පක්ෂවල අතකොලු බවට පත්වෙලා තිබුණා. 1965 අපේ පක්ෂය ආරම්භ කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායමේ අයට බලාපොරොත්තුවක් තිබුණා පීඩාවට පත් වුණු ජනතාව ස්වාධීනව පංතියක් ලෙස සංවිධානය කරන්න. අපේ විමුක්තිය සඳහා අපේ පංතිය සංවිධානය කළ යුතුයි. ඔවුන්ට දේශපාලනය කියා දෙමින් එකතු කළ යුතුයි කියන අදහසක් තිබුණා. ඒ අනුව ජනතාවට දේශපාලනය කියා දෙමින් සංවිධානය කිරීමට පටන් ගත්තා. අපේ ව්‍යවස්ථාවේත්, ප්‍රජාතන්ත්‍රවාදී රටවලත් අදහස් පළ කිරීම, සංවිධානය වීම මූලික මිනිස් අයිතියක්. අපේ පංතිය පක්ෂයක් ලෙස වෙනම සංවිධානය වෙන කොටම සතුරන් කලබල වෙලා අපේ අයිතිය උදුරා ගන්න උත්සාහ කළා. අපට අවශ්‍ය වූයේ ජනතාවට දේශපාලන අවබෝධය ලබාදෙමින් ජනතාවගේ සහයෝගයෙන් බලයට ඇවිත් රට වෙනස් කිරීම. ඉතා දුෂ්කරතා මැද්දේ ඉස්සරහට යන විටම මේක මර්දනය කරන්න පටන් ගත්තා. 1969 කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්තරයේ “සමගි පෙරමුණට පහර ගැසීමට තරුණන් බාගන්නා සී.අයි.ඒ. කෙමනක්” යනුවෙන් ප්‍රවෘති පළ කළා. සතුරා එදා කලබල වුණා. අදත් සතුරා කලබල වෙලා තිබෙනවා.
ඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල්.
එදා අපිව මර්දනය කරන්න ආරක්ෂක අංශ ශක්තිමත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු හේතුවක් නැතිව, 1970 රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා. අවසානයේ චෝදනා කිසිවක් නැති නිසා නිදහස ලබා, ජනතාව එක්ක දේශපාලය කරන්න පටන් ගත්තා. කොළඹ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ “සී.අයි.ඒ. කාරයෝ” නමින් දේශනයක් තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණේ මංගල රැළිය තිබ්බේ 1970 අගෝස්තු මාසෙ 10 වැනිදා, හයිඩ් පිටියේදී. අගෝස්තු මාසෙ 12දා එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආතර් කුමාර්රාජ් රත්නවේල් පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කළා, “චේ ගුවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එක් හතුරා වන්නේය. එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතුය” කියලා. එසේ කියමින් මර්දනය කරන්න පටන් ගත්තා. පෝස්ටර් ගහන අය අල්ලන් යනවා, ප්‍රචාරක වැඩ කරන්න දෙන්නේ නැහැ. අවසාන රැස්වීම 1971 පෙබරවාරි 22දා. තවදුරටත් දේශපාලනය කරන්න බැරි තත්වයක් උදාවෙනවා. මේ මර්දනය නවත්වන්න අපි උත්සාහ ගත්තා. අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ද එස්. කුලරත්න මහතා මගින් හා ප්‍රින්ස් ගුණසේකර මහතා හරහා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා. “රටට ආදරය කරන තරුණ කණ්ඩායමක්, ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරලා මේ ගමනට එකතු කරගන්න” කියා ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කළා. පාලකයන් ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. ප්‍රශ්නය බරපතළ වෙන අවස්ථාවේ පක්ෂය තීන්දු කළා මර්දනය බරපතළ නම්, ආත්මාරක්ෂාවට අවි සොයන්න ඕන කියලා. “දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් සිට මිය යාම උතුම්” කියලා අපි විශ්වාස කළා. නන්දන වීරසිංහ කවියා “මරණය සුන්දරයි, සත්‍යය වෙත නැමුණු” යනුවෙන් ලිව්වා. ඇත්ත මිනිස්සු එහෙම තමයි.
1971 මාර්තු 06දා ධර්මසේකර කණ්ඩායම ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉස්සරහා බෝම්බයක් පත්තු කරලා පොලිස් නිලධාරියෙක් ඝාතනව කරනවා. ආණ්ඩුව ඒක පාවිච්චි කරලා රටේ හදිසි නීතිය පනවලා ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට අවස්ථාවක් කර ගත්තා. 13 වැනිදා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කිහිපදෙනක් අම්පාරෙදි අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග මත යාපනයේ රඳවනවා. 16වැනිදා හදිසි නීතිය යටතේ අලුත් නීතියක් ගේනවා, “මළමිනී මරණ පරීක්ෂණයකින් තොරව වැළලීමේ නීතිය”. මෙවැනි නීතියක් ගේන්නේ එක රැයකින් මේ ව්‍යාපාරය විනාස කරන්න.
1971 අරගලයට පදනම වැටෙන්නේ මේ ආකාරයෙන්. 1971 සිදුවුණේ කැරැල්ලක් නොවෙයි. මර්දනයට එරෙහිව ඇති වූ සන්නද්ධ ප්‍රතිචාරයක්. එය ක්‍රියාවක් නොවෙයි, ප්‍රතික්‍රියාවක්. කිසියම් වරදක්, වරදක් වෙන්නේ ඒ මොහොතේ තිබෙන නීතියට පමණයි. 1972දි අතීතයට බලපාන ලෙස නීති හැදුවා. ඒක බරපතළ වරදක්. අපරාධ යුක්ති කොමිෂන් සභාව යනුවෙන් කොමිෂමක් හැදුවා. මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීම, මහ රැජිනගේ ආණ්ඩුව බියවැද්දීම හා අවි එකතුකිරීම යන චෝදනා තමයි තිබුණේ. 1948 අපට නිදහස ලැබුණා කිව්වත් අපට නිදහස ලැබුණේ නැහැ. අපේ රටේ නායිකාව වුණේ එංගලන්තයේ මහ රැජිණ. රෝහණ සහෝදරයා සාක්ෂියේදි කිව්වා. ආණ්ඩුව පැත්තෙන් මර්දනයක් ආවා, 1970 අගෝස්තු මාසයේ 12 වැනිදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කුමාර් රත්නවේල් කොමිෂම හමුවට ගෙන එන ලෙසට. අපි අහන්න ඕනෑ අරවගේ ප්‍රකාශයක් කළේ ඇයි කියලා. ඒ වන විට ඔහුව ප්‍රංශයේ තානාපති කර යවා තිබුණා. 1971 අරගලය කියන්නේ පුද්ගලයෙකුගේ හිතුවක්කාරකමක් හෝ ඕපපාතික එකක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කරපු, ජනතාව සංවිධානය කරපු, අලුත් සමාජයක් ප්‍රාර්ථනා කළ, තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දක්වපු ප්‍රතිචාරයක්.
මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් සටන් වැදුණේ තමන් වෙනුවෙන් නොවීම. අපි ජීවත් වෙන සමාජයේ ආකාරය වී තිබුණේ ප්‍රතිලාභ නැති නම් කිසිවක් නොකර සිටීම. තමන්ගේ එකම වස්තුව වන ජීවිතය පොදු ජනයාගේ යහපත වෙනුවෙන් පුදකරන්න පුළුවන් කියන පරපුර, අපේ රටේ පළමුවන පරපුර තමයි 1971 පරපුර. එහෙම පක්ෂයක මිනිස්සු අපි. ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා තමයි රෝහණ සහෝදරයා කිව්වේ “අප මරා දැමුවද, අප නඟන හඬ සදා නොමියෙනු ඇත.” කියලා. ඒ වගේම “මිනිස්සු සිරගත කරන්න පුළුවන්, නමුත් අදහස් සිරගත කරන්න බැහැ” කියලා රෝහණ සහෝදරයා කිව්වා. අපේ සහෝදරවරු මිය යන මොහොතෙත් “ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා” කියමින් තමයි මිය ගියේ. අනුරාධපුර, නොච්චියාගම රත්නායක සහෝදරයා, බද්දේගම කමල බන්දු සහෝදරයා එවගේ ශ්‍රේෂ්ඨ විදිහට දිවි පිදූ අය. පවිත්‍ර අරමුණක් නැත්නම් එහෙම සටන් කරන්න යන්නේ නැහැ. අපි දිවි පිදුවත් මේ සටන ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය ඔවුන් තුළ තිබුණා. ඒ විශ්වාසය ආවේ 1971 අරගලයෙන්. මේ සටන ජයග්‍රහණය කළ හැකියි යන විශ්වාසයේ, සුබවාදී අදහස සිරගෙවල්වල බිත්තියේ
“පිපි මල් පරව විසිරී ඇත දෙරණ මත - විහිදූ සුවඳ ඉදිරියටත් මියෙණු නැත
ඔපවත් කරන්නට ඒ සුවඳ අපරිමිත - නිම් නැති තරම් පිබිදෙන්නට කැකුළු ඇත”
මේ විදිහට කවියෙන් ලිව්වා.
මේ ව්‍යාපාරය අපේ රටේ පාලනය බලය හොබවන ව්‍යාපාරය බවට පත්කරන්න පුළුවන් වුණේ මේ විශ්වාසය නිසයි. ලංකාවේ පළවැනි වෘත්තිය විප්ලවවාදියා වුණේ රෝහණ විජේවීර සහෝදරයා. අපි ඉතා දුෂ්කරතා මැද්දේ මේ ගමන ආවේ. අපේ ක්‍රියාකාරී සහෝදරවරු සැතපුම් ගණන් පයින් ගියා. වේල් ගණන් බඩගින්නේ හිටියා. එක ඇඳුම ඇඳගෙන හිටියා. සල්ලි සොයා ගන්න තිස්සමහාරාම බස් නැවතුම් පොළේ රෝහණ විජේවීර සහෝදරයා මුට්ට කරගැහුවා. මෙවැනි පක්ෂයක් ලෝකයේ නැහැ. 1971 පරපුර, දරා ගැනීම සඳහා විශ්වාසය අපට දුන්නා. අපි ජනතාවත් එක්ක අරමුණක් වෙනුවෙන් සටන් කරන්න, රට වෙනුවෙන් කැපකිරීමේ ආදර්ශය අපට දුන්නා.
එදා ජයග්‍රහණය වෙනුවෙන් කැපකිරීම් කළා වගේම මේ රට ගොඩනැගීම සඳහාත් අපි කැපකිරීම් කරන්න ඕනෑ. කලින්ට වඩා කැප කිරීමක්, දරා ගැනීමක්, විශ්වාසයක්, සටන්කාමිත්වයක් අද අපෙන් ඉල්ලා සිටිනවා. 1971 දිවි පිදූ සහෝදර සහෝදරියන්ගෙන් ඒ ආදර්ශ අපට ගන්න පුළුවන්. රුසියානු කියමනක් තිබෙනවා “හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් කරන්න කාටත් පුළුවන්ය. එහෙත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දිය හැක්කේ ධෛර්ය සම්පන්න මිනිසුන්ට පමණි” කියලා. අපට නරකම රටක් වෙනුවට, බිඳවට්ටපු රටක් වෙනුවට හොඳ රටක් හදන්න සිදුවෙලා තිබෙනවා. මෙය කළ හැකි ධෛර්ය සම්පන්න, විශ්වාසය තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය මේ ව්‍යාරයයි. අපව පරදවන්න බැහැ. බොක්ෂිං ශූර, මොහොමඩ් අලි කිව්වා “බොක්ෂිං ක්‍රීඩාවේදී පරදින්නේ වැටුණම නොවෙයි, වැටිලා නැගිටීම ප්‍රතික්ෂේප කළ විටදී” කියා. අපි ඔප්පු කර තිබෙනවා වැටුණත් නැගිටීමට හැකි ශක්තියක් අපට තිබෙනවා කියලා.
අද ලෝකය වෙනස් වෙලා. තාක්ෂණය, විද්‍යාව, ජන මාධ්‍ය දියුණු වෙලා. තොරතුරු හුවමාරුව වේගවත් වෙලා. උපකරණ පරිහරණය කරන, දැනුම පරිහරණය කරන තරුණ පරපුරක් බිහිවෙලා. අපි හමුවේ තිබෙන වගකීම තමයි මේ රට ගොඩනඟන එක. බල ව්‍යුහයේ බිම් මට්ටමේ ආයතන තමයි පළාත් පාලන ආයතන. ඒ පළාත් පාලන ආයතන කලින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ගණනකින් අපි ජයග්‍රහණය කරන්න ඕනෑ. ඒ අධිෂ්ඨානයෙන් අපි වැඩ කරන්න ඕනෑ. සමාජයක් වෙනස් කරන්න ජනතා බලය අවශ්‍යයි. ජන වරම අවශ්‍යයි. එකතු කළ හැකි සියලු දෙනා මේ ව්‍යාපාරයට එකතු කර ගෙන මේ ව්‍යාපාරය පුළුල් කර ගන්න ඕනෑ.
අපට බාධා ගොඩක් තිබෙනවා. අලුත් බලවේග ආවාම, පැරණි බලවේග කිසියම් කාලයක් යන තෙක් ප්‍රතිවිරෝධයන් දක්වනවා. ඒක සංවර්ධනයේ ස්වභාවය. දේශපාලනයේත්, කලාවේත්, ආගම්වලත්, විද්‍යාවේත් ඒක පවතිනවා. ඉතාලියේ විද්‍යාඥ බෲනෝ හා ගැලීලියෝ ගැලිලි ලෝකය ගෝලාකාර බව සොයා ගන්නවා. ලෝකය ගෝලාකාර බව සත්‍යයක්. නමුත් අසත්‍ය පිළිගත් අය, සත්‍යයට එරෙහිව වැඩ කළා. අවසානයේ ආගමික ආයතන මැදිහත් වෙලා සත්‍ය සොයාගත් බෲනෝව පුච්චා මරා දැම්මා. ගැලීලියෝ ගැලිලි සිරගත කළා. ඒත් බාධා මැද්දේ සත්‍යය ඉස්සරහට ආවා. ආගම පැත්තෙන් බැලුවත් එහෙම සිදුවෙලා තිබෙනවා.
සිදුහත් කුමාරයා අලුත් දහමක් සොයා ගත්තා. පැරණි බමුණු දහමට ඒකෙන් පහර වැදුණා. බුදුහාමුදුරුවන් මරන්න කුමන්ත්‍රණ කළා. අපහාස කළා. එසේ නමුත් බුදු දහම ඉස්සරහට ආවා. ක්‍රිස්තියානි ආගමටත් එහෙම වුණා. අලුතින් බිහිවෙන දේට, ටික කාලයක් ප්‍රතිවිරෝධයක් දක්වනවා. අපි අලුත් ආණ්ඩුවක් හැදුවා හොඳ සමාජයක් හදන්න. පැරණි අය අහිමිවී ගිය ස්වර්ගය නැවත දිනා ගන්න දැන් සටන් කරන්න පටන් අරගෙන තිබෙනවා. අපි ලබා ගත් ජයග්‍රහණය ඒ අයගේ අවලාදවලට නවත්වන්න බැහැ කියන එක අපි ඔප්පු කර පෙන්නමු. ඒ ගොල්ලන්ගේ අවලාදවලට අපේ ගමන නවත්වන්න බැහැ. අපේ අරමුණු ජයග්‍රහණය කරන තුරු පසු බසින්නේ නැහැ කියන සහතිකය අපි දෙමු. ඒ සඳහා 1971 අරගලයේ ධෛර්යය, අපි ගනිමු.
අපි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කළා, අනීතික ලෙස සොයා ගත් වත්කම් රජයට පවරා ගන්න අලුතින් පනතක් සම්මත වෙනවා. දැන් වාහන පර්මිට් නැහැ. පරණ සොරකම් අල්ලන්න පටන්ගෙන තිබෙනවා. වැරදි කරලා ගැලවෙන්න බැරි ආණ්ඩුවක් තිබෙනවා. ඔවුන්ගේ වරප්‍රසාද අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් කලබල වෙලා තිබෙනවා. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අද මුළු ලෝකයම පිළිගන්නවා ලංකාවේ වංචා, දූෂණ නැති පාලනයක් තිබෙනවා කියලා. පගා නොගන්න මන්ත්‍රීවරු ඉන්න අදූෂිත පාලනයක් තිබෙනවා. අපේ රටේ දේශපාලනඥයෝ ජනතාව දුක් විඳිද්දී ජනතා බදු මුදල්වලින් වරප්‍රසාද බුක්ති වින්දා. ඇමතිවරුන්ට, නිවාස දෙන එක නැවැත්වුවා. ඒවායේ ලයිට් බිල්, වතුර බිල් ගෙව්වේ මහජන සල්ලිවලින්. ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගොඩක් කප්පාදු කරගෙන ඒවා ජනතාවට ලබා දුන්නා. කලින් හිටියේ එහෙම අයද. ජනාධිපති නිල නිවස, විශ්‍රාම ඇමති වැටුප, නිල නිවාස ගත්තා, සොරකමත් කර ගත්තා. අපි ඒ කිසිවක් ගත්තේ නැහැ. සරල, සැබෑ ස්වේච්ඡා මහජන සේවකයෙක් නිර්මාණය කර තිබෙනවා. වංචා දූෂණ නැති පාලනයක් නිර්මාණය කළා. අපි ආදර්ශ දී තිබෙනවා. නීතිය සියල්ලන්ටම සමානයි. පිළිවෙළක් ඇතිව, අරමුණක් සහිතව මේ සමාජය වෙනස් කිරීමේ ගමනක් පටන්ගෙන තිබෙනවා. ප්‍රතිඵල ගෙනත් තිබෙනවා. ඒ වගේම ජනතාවට සහන ලබාදී තිබෙනවා. මේ රට ගොඩනැගීමට අවශ්‍ය පදනම දමා තිබෙනවා. ජනතාවට සහන දීමට පටන්ගෙන තිබෙනවා. අපි වෙනස්කම් ගොඩක් කළා. මන්ත්‍රීවරු, ඇමතිවරු පාරෙ යද්දි ඉස්සර වගේ දූවිලි අවුස්සාගෙන, ආරක්ෂා මැද්දේ යන්නේ නැහැ. අපි එහෙම අය හදලා තිබෙනවා. එහෙම කැපකිරීමේ දේශපාලනය කළ හැකියාව තිබෙන්නේ අපේ ව්‍යාපාරයට විතරයි.
අපි “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” හදන්න ඕනෑ. ඒ සඳහා ධෛර්යය අවශ්‍යයි. දැනුම අවශ්‍යයි. විශ්වාසය අවශ්‍යයි. ඒ සඳහා ශක්තිය ගත හැක්කේ 1971 අරගලයෙන්. දිවි පිදූ අය වෙනුවෙන් කළ හැකි ලොකුම දේ තමයි ඒ අයගේ අරමුණු, බලාපොරොත්තු ඉටුකිරීම. අපි සියලු දෙනාම එකට එකතුවෙලා සහෝදරත්වයෙන්, විශ්වාසයෙන්, සංවිධානාත්මකව බැඳිලා මේ සියලු අභියෝග පරාජයට පත්කරමින් රට ගොඩනඟන්න ඕනෑ. ඒ ගොඩනැගීමේදී තමන්ට, අපට කිසිවක් බලාපොරොත්තුව නොවෙයි, මේ පක්ෂය හදන්න කැප කළා වගේම මේ රට හදන්නත් ඒ කැප කිරීම කරන්න ඕනෑ. ඒ ආදර්ශය 1971න් ගන්න අපි ලැහැස්තියි. කලින් වගේම කැපකිරීම් කරලා අපි හොඳ රටක් වෙනුවෙන්, 1971 සහෝදරවරු මිය යන මොහොතේ හඬගා කිව්ව ප්‍රාර්ථනාව අපේ දෑත්වලින් ඉටුකරනවා. ඒ වෙනුවෙන් හැම කැපකිරීමක් කරන්න අපි ලැහැස්තියි. පරිත්‍යාගයට අපි ලැහැස්තියි. අපි පසුබසින්නේ නැහැ. ආපසු හැරෙන්නේ නැහැ. මේ ජයග්‍රහණය අපි ඉස්සරහට අරගෙන යනවා කියන අධිෂ්ඨානයෙන් අපි වැඩ කරන්න ඕනෑ. ජනතාවට අතරට යන්න, කතා කරන්න ඕනෑ. කැපකිරීමේ ආදර්ශය, පරිත්‍යාගයේ ආදර්ශය, සමාජයක් වෙනුවෙන් වැඩ කිරීමේ ආදර්ශය ලබාදී සමාජය ආත්මාර්ථකාමිත්වයෙන් මුදවලා සැබෑ මිනිසුන් ජීවත් වෙන මානවවාදී සමාජයක්, මානව ගුණධර්ම සහිත සමාජයක් බවට පත්කරන්න අපි සියලු දෙනාම එක්ව වැඩ කරන්න ඕනෑ. ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා.
1971 සගයෙක් සතුරා අවලාද නගනකොට, ලිව්ව කවියක් ඉදිරිපත් කරමින් මම ඔබගෙන් සමු ගන්නවා.
ගමන යන මග තිබේ හෙළිවී අදිරදේ මර ගී ගයද්දී
සටන මොට කොට නවත්තන්නට ඇතැම් අය මග අවුර වද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන් සහස් දන කැළ පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි යමු පෙරට ඇද්දී