ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවන් පිරිසක් රැගත් එරට හමුදා ගුවන් යානයක් පන්ජාබ්හි අම්රිත්සාර් වෙත ගොඩබස්වා තිබූ අයුරු
නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු වූ බවට චෝදනා ලැබූ
ඉන්දීය ජාතිකයන් 100 දෙනෙකු පමණ රැගත් ඇමෙරිකානු හමුදා ගුවන් යානයක් පන්ජාබ් ප්‍රාන්තයට ගොඩ බස්වා තිබේ.
අඟහරුවාදා පස්වරුවේ ටෙක්සාස් නුවරින් පිටත් වූ හමුදා ගුවන් යානය මේ වන විට අම්රිත්සාර් වෙත ගොඩ බස්වා ඇත. පිටුවහල් කරන ලද පුද්ගලයින් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව බලධාරීහු පවසති.
ලේඛනගත නොවූ විදේශිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ප්‍රධාන ප්‍රතිපත්තියක් බවට පත් කරනු ලැබීය. නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බවට විශ්වාස කරන ඉන්දියානු ජාතිකයන් 18,000ක් පමණ ඇමෙරිකාව හඳුනාගෙන ඇති බව පැවසේ.
ඇමෙරිකාවේ සිට පිටුවහල් කරන ඉන්දියානුවන් පිළිගැනීමේදී "නිවැරදි දේ කරන" බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමාට සහතික වූ බව ට්‍රම්ප් පවසා තිබේ.
පිටුවහල් කරන ලද පුද්ගලයින් පිළිගැනීම සඳහා විශේෂ කවුළු පිහිටුවා ඇති බවත්, එම පුද්ගලයින්ට "මිත්‍රශීලී" ආකාරයකින් සලකනු ඇති බවත් පන්ජාබ් බලධාරීහු පවසති.
අම්රිත්සාර්හි ඉන්දීය ගුවන් හමුදා ගොඩනැගිල්ලක් අසල පොලිස් මාර්ග බාධක ඉදිරිපිට මාධ්‍යවේදීන් පිරිසක් රැස්ව සිටියහ.
එම ගුවන් යානයේ ඉන්දියානු පිටුවහල් කරන ලද ඉන්දියානුවන් 104 දෙනෙකු සිටි අතර, ඔවුන් පන්ජාබ්, හර්යානා, චන්දිගාර්, උත්තර් ප්‍රදේශ් සහ ගුජරාට් ඇතුළු ඔවුන්ගේ මව් ප්‍රාන්ත වෙත යාමට බස් රථවලට නැගීමට පෙර සාමාන්‍ය මගීන්ගෙන් වෙන් කර තබනු ලැබේ.
ට්‍රම්ප් ඇමෙරිකාවේ හමුදා ගුවන් යානා භාවිත කරමින් අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයන් ඔවුන්ගේ මව් රටවලට ආපසු යවමින් සිටී.
කෙසේ වෙතත්, ඉන්දියාවට පිටුවහල් කිරීමේ ඇමෙරිකානු ගුවන් ගමන් අලුත් දෙයක් නොවේ. සැප්තැම්බර් මාසයේදී අවසන් වූ 2024 ඇමෙරිකානු මූල්‍ය වර්ෂය තුළ, ඉන්දියානු ජාතිකයන් 1,000කට වැඩි පිරිසක් විශේෂ සහ වාණිජ ගුවන් ගමන් මගින් ආපසු ගෙන්වා ගෙන තිබිණි.
ඔක්තෝබර් මාසයේදී, එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනය, ඉන්දියානුවන් එරටින් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, එක්සත් ජනපදයේ රැඳී සිටීමට නීතිමය පදනමක් නොමැති ඉන්දියානු ජාතිකයන් 100කට වැඩි පිරිසක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කරනු ලැබූහ.
වැඩිහිටි පිරිමින් සහ කාන්තාවන් රැගත් එම ගුවන් යානය ද පන්ජාබ් වෙත හරවා යවන ලද අතර, එය බොහෝ පිටුවහල් කරන්නන්ගේ උපන් ස්ථානවලට ආසන්නව ගොඩ බස්වා තිබිණි. කෙසේ වෙතත් ඔවුන් උපන් ගම්මාන පිළිබඳ නිශ්චිත විස්තරයක් සපයා නොතිබිණි.
ඉන්දියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන බොහෝ දෙනා සීක් ආධිපත්‍යය ඇති පන්ජාබ් ප්‍රාන්තයට සහ අසල්වැසි හර්යානා ප්‍රාන්තයට අයත් බව පෙනේ. අනෙක් වැඩි පිරිසක් මෝදිගේ උපන් ප්‍රාන්තය වන ගුජරාට් නියෝජනය කරති.
"පසුගිය වසර කිහිපය තුළ ඉන්දියානු ජාතිකයන් එක්සත් ජනපදයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක කොටසක් ලෙස එය සිදුවී තිබෙනවා," යනුවෙන් එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොයිස් බර්න්ස්ටයින් මරේ ඔක්තෝබර් මාසයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙක්සිකෝව හෝ කැනඩාව සමග රටේ දේශසීමා තරණය කිරීමට උත්සහ කරන අතරතුර එක්සත් ජනපද බලධාරීන් විසින් එරට පුරවැසියන් නොවන පුද්ගලයින් නවත්වන අවස්ථා බාධා කිරීම් ලෙස හඳුන්වයි.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2018 සිට 2023 දක්වා කාලය තුළ එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය විසින් ඉන්දියානුවන් 5,477 දෙනෙකු එක්සත් ජනපදයෙන් පිටුවහල් කර ඇත. 2020 දී 2,300කට වැඩි පිරිසක් පිටුවහල් කරන ලද අතර එය මෑත වසරවල වාර්තා වූ ඉහළ ම අගය යි.
මෙක්සිකෝවේ සිට ඇමෙරිකාව වෙත ඇවිද යන ඉන්දියානුවන් පිරිසක් ජලය පානය කරමින් (පසුගිය වසරේ)
එක්සත් ජනපදයේ සිටින ලේඛනගත නොකළ ඉන්දියානු සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව ගැන නිශ්චිත තොරතුරු නැත.
Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ නව දත්ත මගින් 2022 වන විට පුද්ගලයින් 725,000ක් ඇස්තමේන්තු කර ඇති අතර, ඔවුන් මෙක්සිකෝව සහ එල් සැල්වදෝරයට පසු තුන් වන විශාලතම කණ්ඩායම බවට පත්ව තිබේ.
ඊට අමතරව, සංක්‍රමණ ප්‍රතිපත්ති ආයතනය (MPI) එම සංඛ්‍යාව 375,000ක් ලෙස දක්වන අතර, ඉන්දියාව ආරම්භක රටවල් අතර පස් වන ස්ථානයට පත් කර තිබේ. අනවසර සංක්‍රමණිකයන් එක්සත් ජනපද ජනගහනයෙන් 3%ක් සහ විදේශයන්හි උපන් ජනගහනයෙන් 22%කි.
නොවැම්බර් මාසයේදී, එක්සත් ජනපදයේ පුරවැසියන් නොවන මිලියන 1.44 ක් ICE හි "අවසන් ඉවත් කිරීමේ නියෝග සහිත රඳවා නොගත් ලේඛනයේ" රැඳී සිටින බව, ෆොක්ස් පුවත් සේවයට ලැබුණු එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනයේ ලේඛනයකට අනුව අනාවරණය වී තිබේ.
වැඩි ම සංඛ්‍යාවක් පැමිණෙන්නේ, හොන්ඩුරාස්, ග්වාතමාලා, එල් සැල්වදෝර් සහ මෙක්සිකෝවෙනි. ඒ සෑම රටක ම පිටුවහල් කිරීමට අපේක්ෂිත පුද්ගලයින් සංඛ්‍යාව 200,000කට අධික ය.
චීන ජාතිකයින් 37,908ක් සිටින අතර ඉන්දියානු ලැයිස්තුවේ පුද්ගලයින් 17,940ක් සිටිති.
එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනයට අයත් ලේඛනයේ සඳහන් වන්නේ, විදේශ රටවල් තම පුරවැසියන් පිළිගැනීමට අපේක්ෂා කරන නමුත් මෙම වැඩපිළිවෙළේදී යම් යම් ප්‍රතිරෝධයන්ට මුහුණ දෙන බව ය.
ICE ආයතනය දැනට චීනය, ඉන්දියාව, ඉරානය, රුසියාව සහ වෙනිසුවෙලාව ඇතුළුව රටවල් 15ක් "සහයෝගය නොදෙන" ලෙස වර්ගීකරණය කරයි. ඉරාකය, නිකරගුවාව සහ වියට්නාමය වැනි තවත් 11ක් අනුකූල නොවීමේ අවදානමක් ඇති බව සැලකේ.
ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මෑතකදී පැවසුවේ, ඉන්දියාව "නීති විරෝධී සංක්‍රමණයට දැඩි ලෙස විරුද්ධ වන අතර විශේෂයෙන් එය වෙනත් ආකාරයේ සංවිධානාත්මක අපරාධ සමග සම්බන්ධ වී ඇති," බව ය.
"ඉන්දියා-ඇමෙරිකානු සංක්‍රමණ සහ සංචලතා සහයෝගීතාවයේ කොටසක් ලෙස, දෙපාර්ශවය ම නීතිවිරෝධී සංක්‍රමණය වැළැක්වීමේ ක්‍රියාවලියක නියැලී සිටින අතර ම, ඉන්දියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට නීත්‍යනුකූල සංක්‍රමණය සඳහා තවත් මාර්ග නිර්මාණය කරයි. මෙම සහයෝගීතාව අඛණ්ඩව කරගෙන යාමට අපි උත්සහ කරනවා."
"ඒ සමග ම, අදාළ පුද්ගලයින් ඉන්දියාවට පිටුවහල් කිරීමට පෙර ඔවුන්ගේ ජාතිකත්වය ඇතුළුව අවශ්‍ය සත්‍යාපනය ඉන්දීය රජය විසින් සිදු කළ යුතුයි."
පසුගිය වසරේ, හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් යටතේ, සංක්‍රමණිකයන් 271,000ක් රටවල් 192කට පිටුවහල් කරනු ලැබූහ.
@BBC