2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත්
රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පවසයි.
ආණ්ඩුව පහුගිය දවස් 13ට රුපියල් කෝටි 41,900ක ණය අරන් - රෝහිණී
''රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න හිටපු මන්ත්‍රීවරිය පැවසූවේ දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
'' පසුගිය දවස් කිහිපය තුල රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ලබාගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි.''
මේ පිළිබඳව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත කියා සිටින්නේ ඔය කියන ආකාරයට විශේෂ හෝ අමුතු අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකර නැති බවත් ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කර ගැනීම සාමාන්‍ය දෙයක් බවත් ය.
අලුතින් ණය ගන්නෑ.. රජය දුවන්න වෙලදපලෙ අරමුදල් සපයා ගන්නවා..- ජනාධිපති ආර්ථික උපදේශක
ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස් කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතැමකු නඟන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා ඒ බව කීය.
“ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යෑමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මඟින් මහ බැංකුව අරමුදල් රැස් කර ගන්නවා. ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගෙවීම් සිදු කරනවා. මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත්වූවා යැයි කියා විශේෂයක් නැහැ.
අලුතින් ණය ගැනීම් සිදුකිරීමක් සිදු කර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස් කිරීමක් පමණයි සිදු කරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමක් සිදු කර නැහැ.
“මූල්‍ය වෙළෙඳපොළ ස්ථායීකරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ සඳහා ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිල දී ගැනීමක් සිදු කර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කළ යුතුයි.
දේශීය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් රැස් කර තිබේ ද? යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු කරනවා”
'වෙනත් විකල්පයක් නෑ' - මුදල් අමාත්‍යංශයේ ලේකම්
අලුතෙන් පත්වූ ජනපති අනුර කුමාර දිසානායක ගේ පාලන කාලය තුල දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබාගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන පවසන්නේ වාර්ෂිකව ඉහළ අයවැය හිගයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
මේ අතර 2024 වසරේ පළමු මාස 08 තුළ දී දේශීය හා විදේශීය ණය සඳහා පොලී වශයෙන් රු. බිලියන 1,559.7ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2023 වසරේ මුල් මාස 08 තුළ එම ප්‍රමාණය වාර්තා වී තිබුණේ රු. බිලියන 1,525.7 ක් ලෙසිනි.
මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2023 වසරේ මෙම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 08 තුළ විදේශ ණය සඳහා පොලී ගෙවීම් 34.9% කින් ඉහළ ගොස් තිබීමයි.
2023 වසරේ මුල් මාස 08හි රු. බිලියන 74.1 ක්වූ විදෙස් ණය පොලී ගෙවීම් මේ වසරේ මුල් මාස 08 තුළ රු. බිලියන 100 ක් දක්වා ඒ අනුව වැඩි වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ අත්හිටුවා තිබූ ඇතැම් බහුපාර්ශවයීය ණය පොලී ගෙවීම් නැවත ආරම්භ කිරීමත් සමඟ මෙලෙස මෙම වසරේ දී ණය පොලී ගෙවීම් ඉහළ ගොස් ඇති බවයි.
තවද දේශීය ණය පොලී ගෙවීම් රු. බිලියන 1,451.6 සිට රු. බිලියන 1,459.7 ක් දක්වා 0.6% ක වැඩි වීමක් වසරේ මුල් මාස 08 තුළ පෙන්නුම් කර ඇත.
මේ අතර 2024 වසරේ සමස්ත ණය පොලී ගෙවීම් ප්‍රමාණය රු. බිලියන 2,650 ක් බවට මුදල් අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර තිබේ.