ජයසිරි අලවත්ත මිතුරා හදිසියේම වේදනාවට පත්ව ඇත.
ඔහු දීප්තිකයන් විසින් සංස්කරණය කෙරෙන (මීට ඉහතදී රුවන් ෆර්ඩිනැන්ඩිස් අපගේ මිතුරා සතුව තිබූ) ‘ද ලීඩර්’ වෙබ් අඩවියෙහි ලිපියක් පළකර ඇත.
ඒ දීප්ති සහ දීප්තිය වෙනුවෙන් ය.
ඒ රොහාන්ගේ මරණය නිසා දීප්තිව පෙති ගසන එක වැරදිය කියාය.
මේ අලවත්තයන්ගේ ලිපියේ උපුටාගැනුමකි..
“රොහාන් පෙරේරා නමැති පුද්ගලයා මට කිසිදු දිනක භෞතිකව සම්මුඛ වී නොමැත. නමුදු මා ඔහු කියවා ඇත. එම කියවීම පළමුව සම්මුඛ වන්නේ මාතොට සඟරාවෙනි. මාතොට සඟරාවේ සඳහන් ඇතැම් කරුණු මත මා ප්‍රවාද සඟරාවට ද ඇබ්බැහි විය. එහි පරණ මෙන් ම එවකට ප්‍රකාශ වූ කලාපවලදී ද මට රොහාන් පෙරේරා සම්මුඛ විය; ඔහු කියවී ය. නමුදු පළමුවෙන් ම ඔහු කියවන්නට මට වරම් ලැබෙන්නේ මාතොට සඟරාව තුළිනි. මාතොට සඟරාව යනු එම වකවානුවේ අපේ පරම්පරාවේ මතු නොව අපට පහළ පරම්පරාවේ ද ජීවිතාබෝධයේ වෙනසක් කළ සඟරාවක් බව වෙසෙසින් පැහැදිලි කළ යුතු නොවේ. එය සැබැවින් ම පුද්ගලිකව මගේ ජීවිතයේ අධ්‍යාපනික මෙන් ම දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ සඟරාවක් බව වෙසෙසින් ම සඳහන් කළ යුතු ය. එමෙන් ම දීප්ති කුමාර ගුණරත්න ප්‍රමුඛ එවකට X කණ්ඩායම ද ඊට දායක වූ බව මෙහි දී සඳහන් කළ යුතු ය.
ඒ සියලු කරුණු එසේ පවතිද්දී මා සුදානම් වන්නේ රොහාන් පෙරේරා පිළිබඳ වෙසෙස් යමක් ලිවිමට නොවේ. මන් ද මා ඔහු පිළිබඳ වෙසෙස් යමක් ලිවීමට තරම් උස මිනිසෙකු නොවේ. මා ඔහුගෙන් යමක් උගත් මිටි පුද්ගලයෙක් පමණි. මා මෙබඳු ලිපියක් ලිවිමට අදහස් කළේ රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති කුමාර ගුණරත්න පෙති ගසන සහ පෙති ගසන්නට සුදානම් වන නරි රැළ පිළිබඳ යමක් ලිවීමට සිත් වූ බැවිනි”.(උපුටාගැනීම ද ලීඩර්)
රොහාන්ගේ මිය ගිය මොහොතේම සම-බිම උපාය වුයේ එතැන් සිට එහි මෙහෙයවීම තම හස්තයට ගැනීමය. මන්ද රොහාන් යනු දීප්තගේ අතීතය මෙන්ම අනාගතයද බව ඔවුන් දන්නා නිසාය. මේ නිසාම ආරම්භයේදීම මෙම පුද්ගලයා මුසල්මානුවෙකු වන නිසා පැය 24ක් තුළ මරණයේ වැඩකටයුතු සිදුවිය හැකි බව දීප්තකයන් ප්‍රකාශ කර හැර තිබිණි.
බළලා මල්ලෙන් එළියට පැන්නිනි. එහෙත් කුරුමානම වැරදිනි. එයට හේතුව සමාජ මාධ්‍ය නැමැති දීප්ත නොරුස්සනා ඔහුට ජඩ මාධ්‍ය ප්‍රවාහය වේ.
නොහිතූ ලෙස රොහාන් පිළිබඳ වූ සියලු දුර්ගුණ කතා යටපත් වී ඔහුගේ ජීවනා විලාසය, ජීවිතාභ්‍යාසයන් ගැන රැල්ලක් මතුවිය. රොහාන් නොදන්නා නොදුටු අයවලුන්ට එසේ නොදැන සිටීම මදිකමක් ලෙස හැඟෙන තරමට ම මෙම මාධ්‍ය රැල්ල ප්‍රභල විය. එසේම එය සම්භාව්‍ය මට්ටමින් පැන නැගිනි. දැනුම, බුද්ධය, විප්ලවය, විමුක්තිය, ස්ත්‍රීවාදය, ඉතිහාසය වැනි ක්ෂේත්‍ර හරහා එය තටු ගසා ඉගිලෙන්නට පටන් ගැනුනි.
වැරදුනු කුරුමානම ඉදිරියේ රොහාන් පෙරේරා බබලන්නට වීමත් සමග එකින් එක රෙදි ගැලවෙන්නට පටන් ගත්තේ දශක දෙකකට ආසන්න කාලයකට පෙර රොහාන්ව විශ්ලේෂනිකව මරාදාන්නට මුල් වූ පුද්ගලයා වටාය.
මෙවේලෙහි ඔහුට රාජ්‍ය බලය(මර්ධන බලය) හිමිය. එහෙත් මෙය මෙසේ වුවහොත් ඒ තමා අසීරුවෙන් ලංකරගෙන සිටින රාජ්‍ය බලයටත් කෙලවෙන්නේය. දැන් වෙනත් පාරක් සොයාගත යුතුය.
ජයසිරි අලවත්තයන් මෙසේ ද කියයි..
“රොහාන්ගේ මරණයත් සමග ම ඔහුගේ මරණය හෝ ඔහු ජීවත්ව සිටිය දි කළ කී දෑ පවසනවාට වඩා, අගය කිරීම හෝ විවේචනය කිරීමට වඩා ඔහු සහ දීප්ති සංසන්දනය කරමින් දීප්තිට අවලාද නැගීම සහ දිප්ති විවේචනය කිරිම් ඉහළ ගියේ ඇයි ද යන්න ගැඹුරින් සිතා බැලුය යුතු ය. එවිට දක්නට ලැබෙන්නේ ඒ සියලු දෙනා දීප්ති කෙරෙහි කිසියම් විවේචනාත්මක ස්ථාවරයක සිටි බව නොව ඔහු කෙරෙහි අමනාපයකින් පසු වු බවයි; වෛරයකින් පසු වු බවයි. එකී වෛරය හෝ අමනාපය පිරිමසා ගන්නට මේ නරියෝ රොහාන්ගේ මරණය භාවිත කිරීම ඉතාම පිළිකුල් සහගත ය; නින්දා සහගත ය”. (උපුටාගැනීම ද ලීඩර්)
මේ වනවිටද මුහුණු පොතේ රොහාන් පෙරේරා පිළිබඳ සංවාදය අවසන්ව නැත. එය දැන් වෙනස් ස්වරූපයක් ගෙන ඇත. එය ලංකාවේ ජාතිකවාදී දේශපාලනය යළි කරලියට රැගෙන ඒම දක්වා දිග හැරී ඇත. එම තත්වය ඇතිකිරීම හා ඊට බලපෑ හේතුද තවත් එක් කුරුමානමකි. පවතින දේශපාලන යතාර්ථය එයය. එය සැකෙවින් මෙසේ ය.
මරණයේ වැඩකටයුතු කරන්නට සිටි මොහොතේ සවස වනවිට රොහාන් පෙරේරා තම ජීවිතයේ අඩකටත් වඩා වැඩියෙන් කාලයක් අත්හැර කිසිදු තොරතුරක් නොලබා සිටි ජීව විද්‍යාත්මක පවුලෙහි ජීව විද්‍යාත්මක මව එකවර ප්‍රාදීර්භූත වී ඇත. ඒ පැමිණ මරණයේ වැඩ කටයුතු තම ආගමට අනුව සිදුකිරීමට එය ඉල්ලා ඇති අතර නෛතික සිදුවීමක් වන නිසාවෙන් හිතවතුන් විසින් එය ඔවුන් වෙත බාර දී ඇත.
එය නිර්මාල් දේවසිරිගේ පොස්ටුවක සඳහන් වන්නේ මෙසේ ය.
“රොහාන්ගේ අවසන් කටයුතු අවසන් වූයේ අධියථාර්ථවාදී (Surreal) නාට්‍යය ජවනිකාවක් මෙනි. ඔහුගේ සිරුර සහිත පෙට්ටිය බොරැල්ල කනත්තේ භූමදාන කිරීමට සියල්ල සූදානම් කර තිබියදී රොහාන් ට ඥාති සම්බන්ධකම් තිබූ පිරිසක් පැමිණ ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු සිදු කිරීම සදහා මෘත ශරීරය එතැනින් රැගෙන යන ලදි. මට පසුව ආරංචි වූ ආකාරයට මුස්ලිම් සුසානභූමි කීපයකින් ප්‍රතික්ෂේප වූ පසුව මාලිගාවත්ත මුස්ලිම් සුසානභූමියේ දී අවසන් කටයුතු සිදු කෙරී ඇත. සංවිධායකයින්ට කළ හැකි දෙයක් නොවූයේ නීතිමය වශයෙන් වලංගු අවසන් කැමති පත්‍රයක් නොතිබූ තත්වයක් තුළ මෘත ශරීරය පිළිබද අයිතිය ඥාතීන්ට පැවැරෙන බැවිනි.
කෙසේ වෙතත් මෙය බෙහෙවින්ම රූපකාත්මකව වැදගත් අවස්ථාවකි. රොහාන්ගේ අවසන් කටයුතු සූදානම් කළේ හා එය පවත්වාගෙන ගියේ රොහාන් සිය වැඩිහිටි ජීවිතය තුළ ඇසුරු කළ ඔහුගේ දේශපාලන-සංස්කෘතික මිතුරු සමාජයේ මැදහත් වීම යටතේය. නමුත් අවසන් අවස්ථාවේ රොහාන්ගේ උපත හා සම්බන්ධ ආගමික අනන්‍යතාවය මැදිහත් වී සිරුර පිළිබද අවසන් කෘත්‍යය සිදු කිරීම සිය අතට ගත්තේය.
කෙසේ වෙතත් මේ මගින් රොහාන්ගේ වැදගත් දේශපාලන තීන්තදුවක් යුක්ති සහගත කෙරේ. එනම් රොහාන් සිය උපත හා බැදුනු මුස්ලිම් මූලය සගවා තැබීමයි. ඊට බලපෑ මනෝවිශ්ලේෂණාත්මක හේතු තිබණා විය හැකි වුවත් මට මෙහි දී වැදගත් වෙන්නේ එහි දේශපාලන වැදගත්කමයි. රොහාන් නියැලුණු දේශපාලන ක්‍රියාකාරකම් සමූහය මුස්ලිම් අනන්‍යතාවයක් සහිතව පවත්වාගෙන යාම එතරම් පහසු එකක් නොවේ. සාමාන්‍යෙයන් මුස්ලිම් අනන්‍යතා ප්‍රජාවගේ ඓන්ද්‍රීය අංගයක් ලෙස ජීවත් වෙමින් රොහාන් ඉදිරිපත් කළ ආකාරයේ අදහස් ඉදිරිපත් කිරීම බොහෝ දුරට නොහැකි දෙයකි.
රොහාන් සිය මුස්ලිම් අනන්‍යතාවය සැගවූවා පමණක් නොව, ජාතික චින්තනවාදීන් කුමක් කීවද, බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය කරන බවට කියා පෑමට ද උනන්දු විය”. (උපුටාගැනීම -මුහුණුපොතෙන්)
මේ වනවිට දීප්තිකයන්ගේ කුරුමානම යළිත් වැරදී ගොස් ඇත.
දශක ගණනාවක් පුරා නොදැක්ක සහ කිසිදු සම්බන්ධතාවක් නොදත් තම මව මේ වනවිට ජීවතුන් අතර සිටිනවාදැයි හෝ අදහසක් නොමැතිව රොහාන් මිය ගියද රාජ්‍යයේ උකුසු ඇසෙන් දිනක් ඇතුලත එය සොයා ගන්නට හැකි වූ නමුත් මරණය ජාතිවාදී ස්ථානයක තබා කුණු ගඳ ගස්සවා හෝ රැල්ල නවතන්නට කළ කුරුමානම වෙනතකට ඇඹරෙමින් ඇත.
දැන් ඉතිං අලවත්ත ආකාරයේ කෙඳිරිගෑම්, අඩෝවැඩියා හැරුනු විට මිනිසුන්ගේ මැදිහත්වීමේ ස්වරූපයට කළ හැකි දෙයක් රාජ්‍ය යාන්ත්‍රණයට නැත.
දීප්තිකයන් විසින් රාජ්‍ය හරහා සොයා ඉදිරිපත් කළ පවුල් මැදිහත්වීම නිසා යළි සිදුවූයේ ආදාහනයෙන් පසු යටයන්නට තිබුණු රොහාන් රැල්ල තවත් සතියකට දෙකකට ඉස්සීමය.
දීප්තකයන්ගේ රජුගේ ගැලවෙන රෙදි පිළිබඳ නිහඩ වූවා නම් සමහරවිට මීට පෙර මෙම කතිකාව අවසන් කර දමන්නටද හැකිවෙනු ඇත.
දැන් ඉතිං වෙන කුමක් කරන්නද?
@සමාරා පරණවිතාන