මේ ඝාතනය කළේ පොලිසිය – තෙලිජ්ජවිල ඝාතනයේ ඇත්ත හෙළි කරන ඩිල්ෂාන්
ජනවාරි 20 වන දින රාත්‍රියේ, තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ත්‍රී ස්ටාර්ස් නම් ජංගම දූරකථන අලෙවිසැලක් තුළදී, නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එම දූරකථන අලෙවිසැල තුළ සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණි. පසුදින වෙඩික්කරුවන් පැමිණියා යැයි කියන යතුරුපැදිය මාතර තිහගොඩ ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබී පොලිසිය සොයා ගෙන තිබුණි.
මෙම දූරකථන අලෙවිසැලේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, පැමිණි වෙඩික්කරුවන් ඉලක්ක කළ පුද්ගලයා නොවන බවත්, ඉලක්කය වී ඇත්තේ එම දූරකථන අලෙවිසැලේ අයිතිකරු වන ඩිල්ෂාන් මධුසංඛ යන තරුණයා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර පැවසීය. එපමණක් නොව, එම තරුණයාද, එනම් ඩිල්ෂාන් මධුසංඛ මාධ්‍ය වෙත කීවේ, මේ ඝාතනය තමා ඉලක්ක කර ගනිමින් කළ එකක් බවත්, තමන්ට සැක පොලීසිය බවත්ය.
වෙඩිතැබීම සඳහා පිස්තෝලයක් භාවිත කොට ඇති බවත් භාවිත නොකළ උණ්ඩ කිහිපයක් දූරකථන අලෙවිසල තුළ තැන තැන වැටී තිබෙනු දක්නට ලැබුණු බවත් නිහාල් තල්දූව මහතා පැවසීය. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොරාගත් යතුරුපැදියක් විය හැකි බව පොලිසිය සැක කරයි. යතුරු පැදියේ සඳහන් කර ඇති අංක තහඩුවට අනුව එහි හිමිකරු හඳුනා ගැනීමට විමර්ශන පැවැත්වීමට නියමිතය. ඇඟිලි සලකුණු විශේෂඥයන් පැමිණ යතුරුපැදියේ සටහන්ව ඇති ඇඟිලි සටහන් ලබාගැනීමට පියවර ගෙන තිබුණි.
එහෙත් මේ සිදුවීම දෙස සමාජ අවධානය යොමු වුණේ කතාවේ සිටින තරුණයාගේ කතාව නිසාය. තරුණයා කීවේ කුමක්ද? එහි පසුබිම් කතාව කුමක්ද? ඇතැම් විට අනිද්දා පාඨකයන්ට ඒ කතාව මතකයේ තිබෙනවා විය හැක. මන්ද, මේ තරුණයාට පොලීසියෙන් ඇති තර්ජනය කුමක්ද, එහි පසුබිම් කතාව කුමක්ද යන්න කාලයකට පෙර අප ලියා ඇති නිසාය. අප මීට පෙර තෙලිජ්ජවිල ඩිල්ෂාන් මුණගැසී ඇති නිසාය.
මියගිය තරුණයා
ඩිල්ෂාන් ඉලක්ක කළ වෙඩි පහරින් මියගිය තරුණයා මැදගෙවත්ත උඩහගෙදර මූණමල්පේ, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මින්දික අලුත්ගමගේය. ඔහු දූරකථන අලෙවිසැලේ හිමිකරුගේ මිත්‍රයෙකි. මින්දික එදින රැකියාව නිම වී ඔහුගේ දූරකථනය චාර්ජ් කර ගැනීමට මෙම දූරකථන අලෙවිසැල වෙත රාත්‍රී 7.30ට පමණ පැමිණ ඇත. ඔහු සිය දුරකථන චාජ් කර ගැනීමට අලෙවිසැල තුළ සිටියදී අලෙවිසැලේ හිමිකරු වූ ඩිල්ෂාන් එළිමහනේ දූරකථන ඇමතුමක් ලබා ගනිමින් සිට ඇත.
එම කාලය අතරතුරදී අලෙවිසැල වෙත නාඳුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ඇති අතර එක් අයෙකු අලෙවිසැලෙන් පිට යතුරුපැදියේ රැඳී සිට තිබේ. අනෙක් පුද්ගලයා රෝස පැහැති ෆයිල් කවරයක් අතැතිව කඩය තුළට පැමිණ ඡායා පිටපත් ලබා ගැනීමට අවශ්‍ය බව පැවැසුවත් එහි එම පහසුකම් නොමැති නිසා ඉන් ඉදිරිපිට ස්ථානයක් පෙන්වා තිබේ. ඔවුන් අකුරැස්ස දෙසට යතුරුපැදිය ධාවනය කොට යළිත් සුළු වෙලාවකට පසු පැමිණ යමක් විමසා වෙළෙඳසැල තුළට පැමිණ තිබේ.
දූරකථන සංවාදයේ යෙදී සිටි හිමිකරුගෙනුත්, වෙළෙඳසැල ඉදිරිපිට සිටි අනෙක් මිත්‍රයාගෙනුත් යමක් විමසූ නාඳුනන පුද්ගලයා වෙළෙඳසැලට ඇතුළු වී වෙඩි තබා පලායන ආකාරය එම ගොඩනැගිල්ලේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති බව දූරකථන අලෙවිසැලේ අයිතිකරු පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගෙන් සිදු වී තිබුණු අතර, දූරකථන අලෙවිහලේ හිමිකරු එල්ල කොට සිදුකළ ඝාතනයක් බවට සැක කරන නිසා, ඔහුගේ, එනම් දිල්ෂාන් මධුශංඛගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබුණි. ඒ අනුව මේ වන විට සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරා යටතේ පොලිස් ආරක්ෂාව ඔහුට ලබා දී ඇත. සිද්ධියේ මූලික පරීක්ෂණ මාලිම්බඩ පොලිසියත් ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ආරම්භ කර ඇති බවත් වාර්තා විය.
ඝාතනය කළේ පොලිසියද?
අනිද්දා පුවත්පතේ ඩිල්ෂාන්ගේ කතාව මුලින්ම පළ කළේ 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ ‘ඇට කැඩෙන තුරු පොලිසියෙන් පහර කෑ ඩිල්ෂාන්’ යන ශීර්ෂය යටතේය. එම ලිපියේ සඳහන් කර තිබුණේ මාලිම්බඩ පොලිසිය විසින් ඩිල්ෂාන් සොරකමක් සඳහා අත්අඩංගුවට ගෙන ඔහුට පහර දෙන ලද සිද්ධියක් පිළිබඳවය. ඩිල්ෂාන් එම පහරදීම් නිසා ශාරීරික ආබාධයන්ට ලක් වී සිටි අතර, පහරදීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස් කොමිසමට සහ ජනාධිපති ඇතුළු එවකට පොලිසිය භාරව සිටි අමාත්‍යවරයා වන සරත් වීරසේකර මහතාටද ලිපි යොමුකරමින් පැමිණිලි කර තිබුණි.
ඩිල්ෂාන් මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියට විරුද්ධව, 68/2021 අංකය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. එම නඩුවේ ඊළඟ විමසීම් වාරය ඇත්තේ 2024 පෙබරවාරි 16 දිනය. එනම් ලබන මාසයේය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන තිබෙන අවස්ථාවකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බැවින් ඩිල්ෂාන් සැක කරන්නේ පොලිසිය මෙම වෙඩි තැබීමට සම්බන්ධකමක් ඇති බවය.
‘මල්ලි කඩේට ආවේ එයාගේ දූරකථනය චාර්ජ් කරගන්න. ඒ වේලාවේ මට කෝල් එකක් ඇවිත් මම එළියට ගියා. බයික් එකක නැගලා දෙන්නෙක් ආවා. එක්කෙනෙක් ෆයිල් කවරයක් අරගෙන කඩේ ඇතුළට ආවා, එයාට පොටෝ කොපි වගයක් ගන්න ඕනේ කියලා. අපි කිව්වා අපේ ගාව පොටෝ කොපි ගහන මැෂිමක් නැහැ, ඉස්සරහට ගිහින් බලන්න කියලා. ඉන්පස්සේ ඒ දෙන්නා අකුරැස්ස පැත්තට බයික් එකේ ගියා. දෙවනි පාරත් ඒ දෙන්නා ආපහු ආවා. එක්කෙනෙක් කඩේ ඇතුළට ගියා. ටික වේලාවකින් වෙඩි සද්දයක් ඇහුණා කඩේ ඇතුළෙන්. මැරුණ මල්ලිට කිසිම තරහකාරයෙක් නැහැ. මටත් කිසිම තරහකාරයෙක් නැහැ. තරහකාරයෙකුට මට ඉන්නේ පොලිසිය විතරයි. මම විශ්වාස කරනවා මේ ඝාතනය කළේ පොලිසියෙන් කියලා. ගිය නඩු වාරයේදී පොලිසිය එක්ක සමාදාන වෙන්න කියලා මට කිව්වා, මම කිව්වා මට සමාදාන වෙන්න ඕන නැහැ. මට හේතුවක් නැතිව ගහපු නිලධාරීන්ට දඬුවම් දෙන්න ඕනෑයි කියලා. ඉන්පස්සේ නඩුව පෙබරවාරිවලට කල් දැම්මා. මට හිතෙන්නේ ඒ තරහට තමයි මේ ඝාතනය කළේ කියලා.’ ඩිල්ෂාන් අප සමඟ පැවසීය.
ඩිල්ෂාන්ට පොලිසිය පහරදීමේ අතීත කතාව
තෙලිජ්ජවිල පදිංචි වලවේ දූරගේ දිල්ශාන් මධුසංඛ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රී ස්ටාර්ස් නමින් ජංගම දූරකථන අලෙවිසැලක් පවත්වා ගෙන පුද්ගලයෙකි. ඔහුට පහරදීමේ සිදුවීමක් පිළිබඳ විමර්ශනය කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පී.එස්. ගුණවර්ධනගේ අත්සන සහිත ලිපියක් 2020 වසරේ සැප්තැම්බර් 23 වැනිදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කර තිබුණි. ඒ දිල්ශාන් මධුසංඛගේ මව, රූපා පතිරණගේ කළ පැමිණිල්ලක් අනුවය.
ඇය තම පුතාට පහරදීමේ සිදුවීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වෙත පැමිණිලි කර ඇති අතර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීඩී ලියනගේ, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඒ පිළිබඳ විමසා ලිපියක් යවා ඇත. ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිල්ලක් කර ඇති අතර, ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු සහිත ලිපියක් යොමු කර ඇත. මේ පැමිණිලි 2020 වර්ෂයේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කර ඇති ඒවාය. එහෙත්, 2021 පෙබරවාරි දක්වා ඒ ගැන විමර්ශනය අවසන් කර නොතිබුණි.
මෙතැන් සිට එන්නේ ඩිල්ෂාන්ගේ පැත්තේ කතාවය. ඒ කතාව තහවුරු කරන්නට වෛද්‍ය වාර්තා, සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගේ දිවුරුම් ප්‍රකාශ කිහිපයක් මෙන්ම සිරුරේ තුවාල සහිත ඡායාරූප ඔහු අපට පෙන්වීය.
2020 අගෝස්තු 24දා මාලිම්බඩ පොලිසියේ නිලධාරීන් තෙලිජ්ජවිල ප්‍රදේශයේදී දිල්ශාන් අත්අඩංගූවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පවසා ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිසැලක සිදුවූ මුදල් සොරකමකට දිල්ශාන් සම්බන්ධ බවය. එම අලෙවිසැලේ සවිකර තිබුණු සීසීටීවී දර්ශනවල සටහන් වී තිබුණු රූපරාමුවල සොරකම කළ පුද්ගලයා දිල්ශාන්ට සමාන බව කියා තිබුණි.
‘තෙලිජ්ජවිල වයින් ස්ටෝර්ස් එකේ වැඩකරන කෙනෙක් මට දූරකථන ඇමතුමක් දීලා කිව්වා මට වයින් ස්ටෝර්ස් එක ළඟට එන්න කියලා. මගේ යාළුවෙක් එක්ක බයික් එකේ වයින් ස්ටෝර්ස් ළඟට ගියා. ඒ වෙලාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මා අල්ලගෙන එතැන තියෙන කාමරයකට එක්ක ගෙන ගියා. ඒ කාමරයේ හිටපු මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේසේකර මහත්තයා මට අසභ්‍ය වචනවලින් බැන වදිමින්, මගේ මුහුණට, පපුවට පහරදෙමින් වයින් ස්ටෝර්ස් එකෙන් හොරකම් කරපු මුදල් තියෙන්නේ කොහේද කියලා ඇහුවා. මම කිව්වා ඒ ගැන කිසිවක් දන්නේ නැහැ කියලා. එහෙම කියද්දී ඒ මහත්තයා කිව්වේ සීසීටිවී කැමරාවල ඉන්නේ උඹ තමයි, උඹට කොහොමත් මේ නඩුව මම දානවා කියලා. මට තර්ජනය කළා. ඉන්පස්සේ කාර් එකක මාව දාගෙන මාලිම්බඩ පොලිසියට එක්කගෙන ගියා. පොලිස් ස්ථානයේ පිටිපස්සට මාව එක්කගෙන ගිහින් අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාන්න යනකොට මම කිව්වා, මගේ අතක් එකපාරක් කැඩිලා තියෙන්නේ ඒ නිසා දාන්න එපා කියලා. ඒත් මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති ජයවික්‍රම මහත්තයා අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාලා, අත් දෙක දෙපැත්තට කර පහර දුන්නා. එතැනදීත් කිවුවා, ඇත්ත කියපන් නැත්නම් කුඩු දාලා හරි උඹව ඇතූළට දානවා කියලා.
විනාඩි 45කින් විතර මාංචු ගලවලා අත්දෙක ඉස්සරහට කරලා ආයෙත් මාංචු දැම්මා. සැරෙන් සැරේ ඇත්ත කියපන් කියමින් පොලිස් ස්ථානාධිපති ජයවික්‍රම සහ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේසේකර කියන නිලධාරීන් දෙන්නා මට පහර දුන්නා. 25 වෙනිදා උදේ කූඩුවෙන් එළියට අරගෙන බිම වාඩිවෙන්න කියලා, විජේසේකර මහත්තයාගේ කකුලෙන් මගේ බෙල්ලට, කකුල්වලට සහ මුහුණට ගැහුවා. ඒ කාමරයේ තිබුණ විකට් කූරක් අරගෙන ගැහුවා. ටික වෙලාවකට පස්සේ මා ආයෙත් පොලිස් ස්ථානයේ පිටිපස්සට එක්කගෙන ගිහින් ස්ථානාධිපතිතූමාගේ ළඟ සිවිල් ඇඳුමෙන් හිටපු පොලිස් නිලධාරියෙක් මිරිස් රෙදි කෑල්ලක තියලා අඹරලා මගේ කටේ ඒ රෙදි කෑල්ල ගැටගහලා ඇත්ත කියපන් කිව්වා. සැරෙන් සැරේ එළියට අරගෙන මට පහර දුන්නා.
එදා රාත්‍රී 9.30ට විතර ජීප් රථයකින් මාතර පොලිසියට අරගෙන ගියා. මාතර පොලිසියේ තෙලිජ්ජවිල අංශය කියා හඳුන්වන කොටසට මාව එක්කගෙන ගිහින් අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාලා මට යළිත් පහර දුන්නා. ඒ වෙලාවේත් ඔවුන් මුදල් කෝ කියලා ඇහුවා, මුදල් කොහේද තියෙන්නේ කියලා කිව්වේ නැතිනම් කිරල කැලේට එක්කගෙන ගිහින් බෝම්බයක් හරි දානවා කියලා එතැන සිවිල් ඇඳුමෙන් හිටපු පොලිස් නිලධාරියෙක් තර්ජනය කළා.
2020 අගෝස්තු 26 වෙනිදා උදේ මගේ පවුලේ අය සහ යහළුවෝ ටිකක් මා බලන්න පොලිසියට ආවා. උදේ ඉඳලා එදා රාත්‍රී වෙනකම් කූඩුවෙන් එළියට අරගෙන ප්‍රශ්න කළා. 27 වෙනිදා උදේත් කූඩුවෙන් එළියට අරගෙන ඇහුවා, මුදල් කෝ කියලා. මම දිගින් දිගටම පැහැදිලි කළා කිසි දෙයක් දන්නේ නැති බව. එදා මා බලන්න ගෙදර අය ආවා. පවුලේ අය මාව උසාවියට ඉදිරිපත් කරන්න යැයි පොලිසියට ඉල්ලීමක් කරන්න නීතිඥයෙක් පොලිසියට එවලා තිබුණා. නීතිඥ මහත්තයා මාත් එක්ක කතා කරලා පොලිසිසියෙන් එළියට ගියාට පස්සේ මාව කූඩුවෙන් එළියට අරගෙන, තෙලිජ්ජවිල අංශයට ගෙන ගිහින් මේසයක් මත හාන්සි වෙන්න කියලා යටි පතුල්වලට පොලුවලින් ගැහුවා. ඉන්පස්සේ මා නැගිට්ටවලා උරහිස්වලටත් පොලු තුනකින් ගැහුවා.
එක පොල්ලක් කැඩිලා, ඒ පොල්ලේ තුඩක් වම් කකූලේ දණහිසට පහළින් ඇනිලා එතැන සිදුරු වුණා. ඒ කකූලෙන් ලේ ගලාගෙන එද්දීත්, විනාඩි 40ක් විතර එක දිගට මගේ යටි පතුල්වලටයි, උරහිස්වලටයි දිගටම පහර දුන්නා. ඉන්පස්සේ මට නැගිටින්න කිව්වා. ඒ වෙද්දීත් මට නැගිට ගන්න බැරි විදියට කකුල් ඉදිමිලා තිබුණේ. නැගිටින්න ගිහින් මාව වැටුණා. නැගිටපන් උඔව දැන් උඩ එල්ලන්න යන්නේ කිය කියා විජේතුංග මහත්තයා මට ගැහුවා. ඔහු ළඟ හිටපු නිලධාරීයෙකුට මුදල් දුන්නා කඹයක් ගේන්න කියලා. ඒ වෙනකොටත් ගහපු පහරවල් දරාගන්න බැරිව මට එතනම මුත්‍රා ගිහින්.
ආපහු තෙලිජ්ජවිල පොලිසියට ගෙනිච්චා. එතැන හිටපු නිලධාරීන් වතුර බෝතල්වලින් සහ අත්වලින් මගේ කණට ගැහුවා. හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට කිව්වා උඩ පැනපන් කියලා. ඒ අවස්ථාවේදී අපේ නීතිඥයා ආවා. ඔහු දැක්කා පොලිසියෙන් මට පහර දීලා තුවාල වෙලා තියෙන බව. නීතිඥ මහත්තයා එක්ක මගේ අක්කාත් ආවා. ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මල්ලිට ගහන්නේ කියලා. ඔවුන් කීවේ මම වයින් ස්ටෝර්ස් එකෙන් මුදල් සොරකම් කරලා, ඒකට සාක්ෂි සීසීටීවී වීඩියෝ තියෙනවා කියලා. ඇය ඉන්පස්සේ කීවා වීඩියෝ තියෙනවා නම් ඇයටත් ඒවා පෙන්වන්න කියලා.
පොලිස් නිලධාරීන් ඒ වීඩියෝ පෙන්වන කොට මගේ පවුලේ හැමෝමයි, යාළුවෝ ටිකයි එතැනට ආවා. හැමෝම විඩීයෝ එක බලමින් සිටිය වෙලාවේ මාලිම්බඩ පොලිස් ස්ථානයේ තෙලිජ්ජවිල අංශයේ ස්ථානාධිපතිවරයා මගේ දූරකථනයයි, හෙල්මට් එකයි අරන් ඇවිත් විජේතුංග මහතාට භාර දී ගියා. ඒ වෙලාවේ මගේ ගෙදර අයයි, යහළුවෝ ටිකයි පොලිසියෙන් ප්‍රශ්න කළා මගේ හෙල්මට් එකයි, සීසීටීවී වීඩියා්වේ තියෙන හෙල්මට් එකයි වෙනස් නේද කියලා.
වීඩියෝව දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා, ඔවුන් තේරුම් ගත්තා මා සහ ඒ කෙනා සමාන නැති බව. ඊට පස්සේ විජේතුංග මහත්තයා මගේ අම්මාට වැන්දා. එයා අතින් ලොකූ වැරදීමක් වුණා. මේක එයාගේ ජීවිතේට සිදුවුණ දෙවැනි වැරැද්ද කියලා සමාව ඉල්ලුවා. මගේ පවුලේ අය මාව රෝහල්ගත කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් ඔහු කිව්වා රෝහල්ගත කරන්න ඕනෑ නැහැ, හැමදේම බලාගන්නම් කියලා. ඉන්පස්සේ 1990 සුවසැරියක් ගෙන්වා ගිලන් රථයේ තියාගෙන තුවාලවලට බෙහෙත් දැම්මා. විජේතුංග මහත්තයා මගේ යාළුවෙක්ට සල්ලි දීලා බෙහෙත් ගෙන්න ගත්තා. තෙලිජ්ජවිල අංශයේ නිලධාරීන් තමයි තුවාලවලට බෙහෙත් ගෑවේ. මගේ අම්මා ඒ වෙලාවේ ඇහුවා පුතා ගෙදර එක්කගෙන යන්නද කියලා. එතකොට විජේතුංග මහත්තයා කිව්වා දැන්ම යවන්න බැහැ. දූරකථන ඇමතුම් විස්තර ටිකක් එන්න තියෙනවා. ඒවා ආවාට පස්සේ යන්න පුළුවන් කියලා. හවස ගෙදර අය ගියා.
අගෝස්තු 28 වෙනිදාත්, මගේ තුවාලවලට බෙහෙත් කරමින් පොලිසිය ඇතුළේම හිටියා. 29 වෙනිදා මා ගෙදරට එක්කගෙන ආවා. අම්මාට පොලිස් නිලධාරීන් කීවා කකුල්වල ඉදිමුම බහින්න ටිකක් තවන්න කියලා. විජේතුංග මහත්තයා කිව්වා ඕනෑ නම් පොලිස් නිලධාරියෙක් ගේ ඉස්සරහා නවත්වලා යන්නම් කියලා. පසුවදා පවුලේ අය එක්ක මාතර පොලිස් අධිකාරී කර්යාලයට ගිහින් මට පොලිසියෙන් සිදු වුණු පහරදීම් සහ අසාධාරණය ගැන කියා එම සිද්ධියට පැමිණිල්ලක් විභාග කරන්න ඕනෑ කිව්වා. ඒ අවස්ථාවේදී එතැන සිටි පොලිස් අධිකාරීවරයෙකු අපිට තරහින් බැන වැදුණා. ඔහු කීවේ මින් ඉදිරියට කිසිම පොලිසියකට ගිහින් මේ ගැන කියන්නත් බැහැ, රෝහල්ගත වෙන්න ඕනෑත් නැහැ කියලා. පොලිසියේ හැටි දන්නවා නේද, ගොරකත් දඩමස් කරන්න පුළුවන් අපිට කියා ඔහු තර්ජනය කළා.
ඉන්පස්සේ සමුපකාර රෝහලට දින කිහිපයක් තුවාලවලට බෙහෙත් දාන්න මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් මා එක්කගෙන ගියා. ඒත් 31 වෙනිදා රෝහලට යද්දී මගේ පපුවේ වේදනාවක් ඇති වුණ නිසා සමුපකාර රෝහලෙන් එක්ස්රේ එකක් ගත්තා. වෛද්‍යවරයා කිවේ තැලීම් නිසා වේදනාව ඇවිත් තියෙන්නේ කියලා. ඉන්පස්සේ දිනයක දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට දූරකථන ඇමතුමක් දීලා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගියා. ඒ අවස්ථාවේදී මගේ තුවාල පෙන්නුවාම ඔහු කීවේ විජේතුංග මහත්තයා හැමදේම බලාගනීවි. මින්පස්සේ පොලිස් නිලධාරීන්ගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවක් වුණොත් ඔහුට දූරකථන ඇමතුමක් දෙන්න කියලා.
සතියකට ආසන්න කාලයක් ගත වුණත් මගේ කකුල්වල ඉදිමුම බහින්නේ නැති නිසා, සැප්තැම්බර් 14 වෙනිදා පොලිස් නිලධාරීන් මා ආපහු සමුපකාර රෝහලට අරගෙන ගියා. මගේ කකුල් දෙකේ එක්ස්රේ ගත්තා. ඒ එක්ස්රේ බලපු වෛද්‍යවරයා කිව්වේ කකුල් දෙකේම යටිපතුල්වල අස්ථි කැඩිලා කියලා. ඒත් මා ගෙදරට ගෙනල්ලා බස්සලා පොලිස් නිලධාරීන් අම්මාට කිව්වේ පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ, ඒක පෙන්නමු කියලා. සැප්තැම්බර් 16 වෙනිදාත් රෝහලට යන්න කලින් විජේතුංග මහත්තයා කිව්වා වෛද්‍යවරයා ඇහුවොත් කියන්න තාප්පෙකින් වැටිලා තුවාල වුණේ කියලා. මම පොලිසියට තියෙන බයට වෛද්‍යවරයාට කිසිම දෙයක් කිව්වේ නැහැ. එදා මම ගෙදර ආවේ කිහිලිකරු දෙකකින්. පොලිසියේ මහත්වරු කිව්වා රෝද පුටුවක් ගෙදරට එවන්නම්, බය වෙන්න එපා කියලා.
කිසිම පොලිසියකින් මට වුණු අසාධාරණය ගැන අහන්නේ නැති නිසා මම මේ සිද්ධිය ගැන විස්තර ලියලා 2020 අගෝස්තු 26 වෙනිදා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යැවුවා. ඒකට කට උත්තරයක් ගන්න මාතර පොලිස් අධිකාරි කාර්යාලයට එන්න කියලා සැප්තැම්බර් 29 වෙනිදා අපිට ලිපියක් ආවා. කටඋත්තරය දෙන්න මමයි, අම්මයි ඒ කාර්යාලයට ගියාම අපිට හොඳටම පොලිස් නිලධාරීන් බැන්නා. කියන දේ අහන්නේ නැතිව ඉහළට පැමිණිලි කරලා කියලා.’
ඩිල්ෂාන් අනූනවයෙන් දිවි ගලවා ගත්තත්, තවත් අහිංසක තරුණයෙකුගේ ජීවිතය අවසාන විය. ගෙවුණු සතිය, ඊනියා යුක්තිය මෙහෙයුම අස්සේ, මිනී කඳු ගොඩගැසුණු සතියකි. එක් මූලික අයිතිවාසිකම් නඩුවකින් වධහිංසාවට වරදකරුවකු වූ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයාගේ යුක්තිය කියන්නේ, පොලීසියේ වධහිංසාවට ලක් වී මූලික අයිතිවාසිකම් නඩු පැවරූ තරුණයන්ගේ ජීවිත විනාශ කිරීමදැයි මේවා දකිද්දී අපට විමසන්නට සිතේ.
@රේඛා නිලුක්ෂි හේරත්
අනිද්දා පුවත්පත