1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්‍රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික අර්බුදයක විනාශයට මුහුණ දුන් වෙනත් පරම්පරාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජීවත් වූවා දැයි සැක සහිතය.
අපගේ පරම්පරාවේදි දෙමල සහ සිංහල තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සිවිල් යුද්ධ හේතුවෙන් ජීවිත පූජා කිරිමද ඉතාමත් ශෝචනීය අත්දැකීමකි.
එම පරම්පරාව නියෝජනය කරන මා 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට, 1975-1977 ආර්ථික අර්බුදයට, 1988 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට, 30 වසරක ඊලාම් යුද්ධයට, 2004 සුනාමියට, 2019 කෝවිඩ් වසංගතයට සහ 2021 සිට ආර්ථික කඩා වැටීමට මුහුණ දි එම අමිහිරි අත්දැකීම් ලබා ගත් ජනතාව අතර සිටිමින් එහි ප්‍රතිවිපාකවලට සෘජුව හා වක්‍රව මුහුණ දුන් පුරවැසියෙකි.
විවෘත ආර්ථිකය අවුල්ද?
|1977 දි ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා නොදුන්නේ නම් අද ලංකාව ලෝකයේ නොදියුණුම රටක් වන්නට තිබිණි. නමුත් විවෘත ආර්ථිකය විවේචනය කරන කිසිම රජයක් තම පාලන කාලය තුල එය කිසි ලෙසකින්වත් වෙනස් කිරීමට උත්සාහ කලේ නැත.
නිරන්තරවම විවෘත ආර්ථිකය විවේචනය කරන බොහෝ දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් අද සිටින තත්වයට පැමිණි ගමනේ දී ඔවුන් හා ඔවුන්ගේ පුරෝගාමීන් මුහුණ දුන් දුෂ්කර අභියෝග ගැන හැගීමක් හෝ අවබෝධයක් නොමැති සේ හැසිරෙනු දැකිය හැකි ය. විවෘත ආර්ථිකය නොතිබෙන්නට අද වන විට එවැනි අයවලුන් කිසිසේත්ම ගොඩනැගෙන්නට නොව සොයා ගැනීමටවත් නොහැකි වන්නට ඉඩ තිබිණි. විවෘත ආර්ථිකයේ තිබූ හිඩැස් සාර්ථකව අතික්‍රමණය කළ ඔවුන්ට ඉක්මනින් සාර්ථක දේශපාලකයින් හෝ කෝටිපති ව්‍යාපාරිකයන් වීමට අවස්ථාව උදා වූ බව නොරහසකි.
බොහෝ දෙනෙකු කථා කරන්නේ දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත විවෘත ආර්ථිකය නිසා විනාශ වූ බවයි. නමුත් පැහැදිලිව වටහා ගත යුතු වන සත්‍යය නම් එය සිදු වූයේ හුදෙක් විවෘත ආර්ථිකය නිසා නොව විවෘත ආර්ථික සංකල්පය රටට ගැලපෙන පරිදි නිසි අයුරින් හැසිරවීමේ අසමත් වීම් නිසා බවයි. සෝවියට් රුසියාවෙන් අපට ලබා දුන් තුනිලෑලි, යකඩ සහ වානේ, කඩදාසි වැනි අති විශාල කර්මාන්ත වැසි ගියේ වෙළදපොළ පිළිබදව නිසි අධ්‍යයනයකින් තොරව ආරම්භ කිරීම නිසාය. දෙවෙනි කාරණය රජය වෙළදාම් කිරිමේ දී සාර්ථක වීම් අවම බව පෙන්වීමට එය කදිම උදාහරණයක් ද විය.
විවෘත ආර්ථිකයේ යම් අඩුපාඩු පවතින බව අප අවිවාදයෙන් පිළිගන්නෙමු. එනමුත් එම දුර්වලතා නිවැරදි කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීමද විමතියට කරුණක් නොවන්නේද?
|අද අපට අවශ්‍ය ව ඇත්තේ විවෘත ආර්ථිකයෙන් ඔබ්බට ගිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ගෝලීය ආර්ථික ක්‍රමයකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගෝලීය ආර්ථිකය යන්නෙන් අදහස් කරන්නේ නිදහස් වෙළෙඳපොළ, පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යන ලිබරල් මූලධර්ම ගෝලීය වශයෙන් ඒකාබද්ධ කරන ආර්ථික පද්ධතියකි.
එය විවෘත වෙළඳාමේ වැදගත්කම, ජාත්‍යන්තර සහයෝගීතාව සහ මානව හිමිකම් සහ සිවිල් නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම දක්වා වු පුඵල් පරාසයකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගෝලීය ආර්ථිකයක් තුළ, ආර්ථික වර්ධනය සහ ජනතාවගේ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා තීරුබදු සහ කෝටා වැනි වෙළඳාමට ඇති බාධක ඉවත් කිරීමට සමහර රටවල් දැනටමත් උත්සාහ කරමින් සිටින බවක් දක්නට ඇත.
එපමණක් නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගෝලීය ආර්ථිකයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ සහ නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම මැනවින් හඳුනා ගනී. මෙමගින් ආර්ථික ක්‍රියාකාරකම් සාධාරණ හා විනිවිද භාවයකින්, වගවීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ බහුපාර්ශ්වික ආයතනවල වැදගත්කම ඉතා මැනවින් පිළිගනී.
|දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය සහ අසමානතාවය වැනි ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට රටවල් එකතුකර ගනිමින් සහයෝගීතාවයට පහසුකම් සැලසීම, සම්බන්ධීකරණය සඳහා ජාත්‍යන්තර ගිවිසුම් සහ සංවිධාන ස්ථාපිත කරමින් දැනටමත් එම කටයුතු සිදුවෙමින් පවතියි. එය ජාතීන් අතර අන්‍යෝන්‍ය යැපීම සහ ලෝකය සමග එක්වීමට සහ සාමූහිකව ක්‍රියාකිරිමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ආර්ථික කාර්යක්ෂමතාව සහ සමාජ සාධාරණත්වය අතර ඇති කිරීමට උත්සාහ කරයි.
දුපත්වාසින් වන අපට තනිවම දියුණු වීමට වර්තමානයේ ඉතාමත් අසීරු ය. අප ලෝකයත් සමග සම්බන්ධ වෙමින් ගෝලිය වෙළදපොලට පිවිසුම් මාර්ග තනාගත යුතුයි. අපට ජාත්‍යන්තරයට ආමන්ත්‍රණය කලහැකි නායකයෙකු අවශ්‍යව ඇත. ඒ සදහා ලංකා දේශපාලනයේ ලිබරල් අදහස් දරණ නායකයෙකු සොයා ගත යුතු ව ඇත.
මීට සමගාමීව මා නියෝජනය කරන ඉහත පරම්පරාව ශ්‍රී ලංකා දේශපාලනයේ සංකීර්ණ අවස්ථාවන්ට ද මුහුණ පෑමට සිදු වූ පිරිසකි. ශ්‍රී ලංකා දේශපාලන ජාලය අධ්‍යයනය කරන විට, බොරුව, වංචාව, සහ පාවා දීමේ දේශපාලන සංස්කෘතියක් අපට උරුමව තිබුන ද, 1994 සිට රටේ දේශපාලන භූමිය කොමිස් ගැසීම, දේශපාලකයින් කෙටි කලකින් ධනවතුන් බවට පත්වීම වැනි දූෂණ ආරම්භ වෙමින් මහත්මා දේශපාලනය ශ්‍රී ලංකා දේශපාලනයෙන් ක්‍රම ක්‍රමයෙන් බැහැර වීම ආරම්භ වූ බව පැහැදිලි වේ.
දේශපාලන ප්‍රභූත්වය
|ජේ. ආර්. ජයවර්ධන පාලනයේ අවසානය දක්වා ලංකා දේශපාලනයේ ජනාධිපති සහ කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ කුමන අඩුපාඩු තිබුනද, ජනතාවගේ ගෞරවය නො අඩුව එම තනතුරුවලට හිමිව තිබිණි. රාජ්‍ය නායකයා කවරකු වූවද ජනතාව ඔවුන්ට ගෞරව කළේ රජකුට වැනිය. එමෙන්ම ජනතාව කෙරෙහි ද අවැසි ගෞරවට මෙම ජන නායකයන් තුළ තිබෙනු දැකිය හැකි විය.
නමුත් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය නායකයා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසට ජනතාව අතර යෑම නිසා එතෙක් රාජ්‍ය නායකයාට හිමිව තිබූ ගෞරවය සහ පිළිගැනීම ක්‍රමයෙන් ඉවත් වනු දැකිය හැකි විය. එපමණක් නොව, එහි බලපෑම මැති ඇමතිවරුන්ට ද එල්ල විය.
චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනාධිපති වශයෙන් පත්වීමෙන් පසුව නැවත වරක් එම ගෞරවය රැක ගැනීමට ඇය සමත් වූවාය. එනමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද, ප්‍රේමදාස මහතාව අනුගමනය කිරිමට උත්සාහ දැරීය. මෙම පසු කාලීන තත්වය තුළ බැලූ බැල්මට ජනතාව හා රාජ්‍ය නායකයන් අතර අති සමීප බවක් ඇතැයි පෙනෙන්නට තිබුන ද පෙරටත් වඩා සමීපස්තභාවය කඩා වැටුණු මහා දුරස්ථභාවයක් ඇති වී ඇති අතර දේශපාලකයන් දරුණු ලෙස සමාජ වෛරයට පාත්‍ර වනු දැකිය හැකි ය.
මෙම ආර්ථික සමාජයීය හා සංස්කෘතික තත්වයන් පැහැදිලි , බුද්ධිමත් හා දේශපාලනික පරිණතභාවයකින් යුතුව සමබර කර ගත හැකි දේශපාලන නායකත්වයක කඩිනම් පිපාසයකින් සමාජය පෙළෙන බව නම් නොරහසකි.
|2024 මැතිවරණ වර්ෂයකි. සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා, ඉන් අනතුරුව පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණය ද පවත්වා තම ස්ථාවරත්වය තහවුරු කරගනු ඇත.
මෙම කරුණු මෙසේ තිබිය දී, 2024 නව අවුරුද්දේ අතීත අත්දැකීම් වර්තමානයට මුසුකොට සුබවාදි අනාගතයකට රට යොමු කිරීමට පෙරමුණ ගැනීම අප සියළු පුරවැසියන්ගේ වගකීම සහ යුතුකම බව සිහිතබා ගත යුතුය.
@සුදත් චන්ද්‍රසේකර
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
ජනාධිපති වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම්