මේ වෙලාවේ ලංකාවේ ඇතමෙක් ඉන්දියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළේ ඇත්තටමද?
එහෙම නම් එය ලංකාවේ ක්‍රිකට්වලට ආදරේ අය වෙන්න බැහැ. වෙනත් බහුබූත ඔළුවේ තියාගෙන ඉන්දීය අනුරාගයක් පෙන්වීමයි ඔවුන් කළේ.
ඒක ඇත්තටම නම් ඉන්දියාව ලෝක ක්‍රිකට් ආධිපත්‍යය හිමිකර ගෙන ගහන ගේම මෙන්ම ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමත් අනුමත කිරීමක්.
ක්‍රිකට්වලදි ඉතා ආත්මාර්ථකාමී විදියට සිය ආධිපත්‍යය ගොඩනගා ගන්නා ඉන්දියාව ඉතා උඩඟු ආඩම්බරයක් සහිත රටක්. ක්‍රීඩකයන් වගේම ජනතාවත් ඉන්නේ ක්‍රීඩාවේ පරාජයක් ඇතැයි නොසිතන තරමේ අන්තයක. විදෙස්ගතව සිටින ඉන්දියානුවන්ගෙන් පවා අප මේ බව දකිනවා.
ඔය වගේ දේවල් එක්ක ලොව බහුතරයක් මෙන්ම ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ද ඉන්දීය ජයග්‍රහණය ප්‍රාර්ථනා නොකිරීමේ කිසිදු ගැටළුවක් නෑ. අපේ ඇතැම් අය "අසල්වැසියාට ප්‍රේම කරන්න, නැති බැරි මොහොතේ පිහිටට ඉන්නේ ඉන්දියාව" වගේ කතා කිව්වත් මෙතෙන්ට ඒවා අදාළම නැහැ. ක්‍රිකට්වලදි ඉන්දියාවට පිළිතුරු දිය යුත්තේ ක්‍රිකට්වලින් මිස වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පදනම්ව ගොතන පණ්ඩිත කතාවලින් නොවෙයි.
අපේ රටේ ඕනෑම පහත් පෙළේ වැඩක් කරන දේශපාලකයෙක් මරණයට, මගුලට උදව් උපකාර කරන්නේ නම් මිනිස්සු ඡන්දය දෙනවා වගේ වැඩක් තමයි මේ වෙලාවේ ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින කට්ටිය ඔය යෝජනා කරන්නේ.
ලංකාවේ කන්න බොන්න නැති වෙලාවේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක දුන්න නිසා අප ඉන්දියාවේ පැත්ත ගන්න ඕන වගේ කතා කියවුනා. එහෙම නම් ඉන්දියාව 1987 දී උතුරට ගුවනින් පරිප්පු දැමීම වගේම කොළඹ වරායේ බටහිර පර්යන්තය සහ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ගත්තේ ලංකාවට ඇති ආදරය නිසාමද? අපිට ඉන්දියාව ඕන වගේම ඉන්දියාවටත් අපි නැතිව බෑ. ඒක කලාපීය භූ දේශපාලනයේ (Geopolitics) කාලීන හැසිරීමක්.
ඒ නිසා මේ වෙලාවේ ඉන්දියාවේ ක්‍රිකට්වලට ශ්‍රී ලාංකිකයන්ගේ ඇති ළබැඳියාව කියන්නේ ව්‍යාජ හෝ මෝඩ අනුරාගයක්.
අනෙක් වැදගත් කරුණ තමයි ඉන්දියාවට ලංකාව, පාකිස්ථානය වගේ රටක් හමුවේ පරාජයන් දරාගන්න අමාරුයි. එනිසාම ලංකාවේ නැගිටීමක් හමුවේ ඔවුන්ගේ ඇරියස් එක දැන් අපේ එකට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙත් අපේ කලාපයේ නොවන රටක් ශ්‍රී ලංකාව දෙස එලෙස බලනවා යැයි හිතන්න අමාරුයි.
ලංකාවේ ක්‍රිකට්වලට සල්ලි නොතිබුණු, 1996 වර්ල්ඩ් කප් එකට පෙර සමයේ විවිධාකාරයෙන් උදව් කළේ ඕස්ට්‍රේලියාවයි. පුහුණුකරුවන්ගේ ගෙවීම් ඇතුළු බොහෝ දේට ඕස්ට්‍රේලියාව මුදල් ආධාර ලබා දුන් බව එවක ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා මහතා පැවසූ බව මතකයි. ඒ වගේම ක්‍රීඩකයන් හැටියට ස්ටීව් වෝ, මාක් වෝ වගේ අය ලංකාවේ දුප්පත් පවුල්වලට නිවාස හදාදීම වගේ දේවල් කළ බවට මගේ මතකයේ තිබෙනවා. ඒ දේවල් එසේ වුවත් ඔවුන් පිටියේදි නියම ප්‍රතිවාදීන් ලෙස තරගයට බහිනවා.
ඉන්දියාව සම්බන්ධයෙන් මේ තවත් උදාහරණ. IPLවලින් ලංකාව වගේම බොහෝ රටවලට වුනේ වින්නැහියක්. මෙවර ලෝක කුසලානයේ පරාජයත් සමග එංගලන්තය සිය ක්‍රීඩකයන්ට IPL තහනම් කරන සූදානමක ඉන්නේ.
අනෙක් ප්‍රධානම දේ තමයි මෙවර ඉන්දියාව දින්නා නම් ලෝකයටම ක්‍රිකට් පිළිබඳ මන්දෝත්සාහී බවක් දැනෙන්න තිබුණා. ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් බොහෝ දේවල් කරමින් සිටි නිසා අනෙක් සියල්ලන්ට විශාල පශ්චත්තාපයක් වගේම "උඹලගේ ඔය ක්‍රිකට්, උඹලා තියා ගනින්" වගේ හැඟීමක් ඇති වෙන්න තිබුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය විසින් ක්‍රිකට් කියන්නේ තවමත් "ක්‍රීඩාවක්" බව සනාථ කෙරුනා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අඩියටම වැටිලා ඉන්න නිසාත් ඉන්දියාවේ මේ පරාජය අනියමින් හෝ අපට වැදගත් වන්නේ එනිසයි. අනෙක් කරුණ තමයි ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් සතුරෙක් ලෙස දැකීම හෝ ඒ සිතිවිල්ල නරක එකක් නොවෙයි. ඉන්දියාව වගේ කණ්ඩායමක් ළඟා කරගෙන ඇති සාර්ථකත්වය හමුවේ ගේම් එකේ හිටියොත් පමණයි ලංකාවටත් ඉදිරියේදි ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ.
ඒ වගේම ඉන්දියාවට එරෙහි වෙනවා කියන්නේ ඔවුන්ගේ පරාජයට "කොචොක්" කරන එකත් නොවෙයි. ඉන්දීය කණ්ඩායමේ හැකියාව දකින්න වගේම අගය කරන්නත් අපට බැරි නෑ. ඒ හැම දෙයක්ම අපේ ක්‍රිකට් බලධාරීන්ට හා ක්‍රීඩකයන්ට අනින ටොක්කක් විදියට අපි දකින්න ඕන.
ඉන්දීය කණ්ඩායමේ සියල්ලන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ තදාත්මක බැඳීමකින්. එය අපට ගත හැකි හොඳම ආදර්ශයක්. විරාට් කෝලි, සචින් ටෙන්ඩුල්කාර් වගේ සාපේක්ෂව කුඩා ශරීර ඇතුලේ තියෙන ජවය අපටත් නැතිවෙන්න බෑ කියන එකත් අපේ ක්‍රීඩකයන්ට හිතෙන්න ඕන.
ක්‍රීඩාවේදි වැදගත් වෙන්නේ ජයග්‍රහණය. ඒ වෙනුවෙන් ගැටෙද්දි වෙනත් කාරණා පටලවා ගත යුතු නැහැ. ලෝක ආර්ථික බලවතෙක් ලෙස නැගී එන ඉන්දියාවත් සමග සබඳතා තර කර ගැනීම වෙනම කතාවක්. මහත්වරුන්ගේ ක්‍රීඩාව "මහත්වරුන් විදියට කිරීම" තවත් කතාවක්. ඒ නිසා සාපේක්ෂව හොඳ මහත්වරුන්ට සහාය පළකිරීම හොඳ මිනිස්සු කළ යුතු වැඩක්.
ලංකාවේ හොඳ මිනිස්සු වැඩි බව මේ දින කිහිපයේම දකින්න ලැබුනා
@මහින්ද රුබසිංහ