අධ්‍යතන ලංකාවේ සෑම උගෙතෙකුම (මග තොටේදී හමුවන අය පවා) පාහේ දොඩවන කාරණයක් වන්නේ ආයෝජකයින් ලංකාවට නොපැමිණීම පිළිබඳව ප්‍රශ්නයයි.
දැන් ඔවුන් පුල පුලා බලාසිටිනුයේ ආයෝජකයින් එනතෙක්ය. එසේම ආයෝජකයින් ගෙන්වා ගත හැකි උපක්‍රම පිළිබඳව කතිකාවක පසුවේ.
මේ ප්‍රශ්න වලට පිළිතුරු තිබේ ද?
ආයෝජකයින් නොපැමිණීම පිළිබඳව ඔවුන් විවිධාකාර හේතු (ආර්ථික ස්ථාවරත්වය, පුහුණු ශ්‍රම බලකාය, හිතකර බදු ප්‍රතිපත්ති, යටිතල පහසුකම් වැනි දෑ) දක්වයි. එම හේතු සම්පූර්ණ කල හැකි නම් ලංකාව ආයෝජකයින්ගෙන් පිරී යනු ඇති බව ඔවුන් සිතයි.
එසේ නම් එවිට ආයෝජකයින් ලංකාවට පැමිණෙන්නේ කොහේ සිට ද?
එනම්:
1. දැනට ආයෝජනය කොට ඇති රටවල් අතහැර පැමිණේ ද?
2. එසේ නොමැති නම් ලංකාවේ ආයෝජන බාධාවන් ඉවත් කල පසු ලෝකයේ පාරිභෝජනය ඉහල ගොස් ඒ සඳහා අවශ්‍ය නව ආයෝජන සංස්ථාපනය කල හැකි තත්වයක් උදා වේ ද?
3. ඉහත 1 සහ 2 ප්‍රශ්න දෙකට අදාලව කොන්දේසීන් පරිපූර්ණ වශයෙන් සංතෘප්ත වන තත්වයක් අභ්‍යුපගමනය කරන්නේ නම්, නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (ඒවා ලංකාවේ නොමැත), ජාත්‍යන්තර ප්‍රවාහන වියදම් (ඒවා කිසිඳු ලංකා ආණ්ඩුවකට විසඳිය නොහැක), දේශගුණ විපර්යාස ඇතුළු සකල විධ පාරිසරික අර්බුධ (යුගයේ විශාලතම වෙළඳපොල අසාර්ථකත්වය), ලෝක ආර්ථිකයේ උච්ඡාවචනයන් සහ යුධ ගැටුම්, ඒ සියල්ල මැද ආයෝජන ගෙන්වා ගැනීම සඳහා වන අනෙකුත් මෙවැනි රටවල් අතර තරඟකාරීත්වය (එම තරඟ කාරීත්වයෙන් ජය ලබාගත නොහැක්කේ නිවැරදි, දූෂිත නොවන, පරිපාලනයක් නොමැති නිසාය යන්න යුගයේ තහවුරුව ඇති කතිකාවයි), තුලින් ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට සමත් විය හැකි ද (අනෙකුත් තරඟකරුවන් පරාජය කරමින්)?
4. ඉහත 3 වන ප්‍රශ්නයට පිළිතුර ඔව් නම් එවිට ලංකාවට ආයෝජන ගලා විත් පිරී ඉතිරී යාම තුල වෙන යම් රටක් හෝ රටවල් කිහිපයක් බංකොලොත් වීමට හෝ ඒවායේ ආර්ථිකය දුර්වල වීමට නියමිත නොවේ ද?
5. ඉහත 4 වෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව් නම් එවිට එය නරුමවාදයක් නොවෙන්නේ කෙසේ ද සහ එම ප්‍රශ්නයට පිළිතුර නැත යන්න නම් එවිට පැමිණෙන්නේ කොහේ සිටින ආයෝජකයින් ද?
6. ආයෝජකයින් හෝ එම සමාගම් යනු කිසියම් "දියුණු" රටක කලාන්තරයක් මුළුල්ලේ බලහත්කාරී ලෙස ගොඩනගාගත් ව්‍යවසායන්ය. එවිට එම ව්‍යාපාර වෙනත් රටවල් තෝරා ගන්නේ තම මවු රට තුල සිදුකෙරෙන නිෂ්පාදන හෝ මෙහෙයුම් තුලින් ලබන ලාභයට වඩා අධික ලාභයක් ලබාගත හැකි තත්වයක් යටතේ පමණි. එසේ නම් එම ලාභය යනු කුමක් ද? එය ලැබෙන්නේ කෙසේ ද?
සියලු කොන්දේසි සපිරුණ ද රටකට ආයෝජකයින් පැමිණෙනුයේ දේශපාලන/ආර්ථික ස්ථායිතාවය සහ ආයෝජකයින් සඳහා අවශ්‍ය නීතිමය ස්ථායිතාවය තහවුරු වන්නේ නම් පමණි. චීනය වෙත ආයෝජකයින් ඇදී යාමට එය ප්‍රධාන හේතුවක් විය. එනම් චීන කොමියුනිස්ට් පක්ෂ රෙජීමය යටතේ වන දැඩි දරදඬු පාලනය තුල ශ්‍රමය, කනිජ සම්ම්පත්, පරිසරය ඇතුළු සියල්ල සූරාකෑම සඳහා අවශ්‍ය සන්ධර්භය නිර්මාණය කොට දීමයි. අද වන විට චීනය තුල හුස්ම ගැනීමට නොහැකි වාතය, බීමට හෝ සේදීමට වත් නොසුදුසු ජලය, විෂ වී ඇති ආහාර ඇතුළු පරිසරයක් උරුම කොට දී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඊට අමතරව එහි අද සිටිනුයේ මිනිසුන් නොවේ.
අධ්‍යතන ධනවාදයේ ධනපති සමාගම් යනු පැරණි ධනවාදයේ අර්ථය තුල ක්‍රියාත්මක සමාගම් නොවේ. යම් රටක ආයෝජන ස්ථාපිත කරනුයේ එම රට තුල ද ඔවුනට විශාල වෙළඳපොළක් නිර්මාණය කර ගත හැකි තත්වයක් යටතේය. මේ තත්වය තුල ශ්‍රම සූරාකෑම මාක්ස් පෙන්වා දුන් අර්ථයෙන් අද කිසි ලෙසකින් ගණනය කොට පෙන්විය නොහැකිය. අද දවසේ ශ්‍රමිකයා යනු සිය කැමැත්තෙන් වැඩ කිරීම සඳහා ඇබ්බැහි වූ (workaholic) සොම්බියකි. ඔහු අවදියෙන් සිටින සැම විටම ධනවාදය වෙනුවෙන් වෙහෙසීම සඳහා ඇප කැප වූවෙකි. එසේම තම දරුවන් ද ඉතා උනන්දුවෙන් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් දැඩිව වෙහෙසෙන්නෙකි. ඊට හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේ මධ්‍යම පාන්තිකයාය.
මාක්ස් විසින් අර්ථකථනය කල නිර්ධනයා ඉහත සඳහන් කල අකාරයේ අයෙකු නොවේ. ඔහු ක්‍රියාත්මක වූයේ තමන්ට අදාලව සංස්ථාපනය වී තිබු කොන්දේසීන් තුල වන අතර මාක්ස්ම පැවසූ පරිදි ඔහුට කිසියම් හෝ දේපලක් නොහිමි, තම ශ්‍රමය පමණක් වගුරා තමන්ගේ පැවැත්මට සහ නිර්ධන පන්තියේ පැවැත්ම වෙනුවෙන් තම දරුවන් ඇති දැඩි කිරීම සඳහා පමණක් වන වැටුපක් හිමි, නැතිවෙන්නට දෙයක් නොමැති තම වාර්ගික සත්තාව අහිමි "මනුෂ්‍යයෙකි".
නමුත් අද දවසේ ශ්‍රමිකයා යනු පාරිභෝජනවාදයට ඉතා හොඳින් පිවිස ඇති, දේපල හිමි, තම දරුවන් තමන් දැනට සිටින පන්ති තත්වයෙන් ඉහලට ඔසවා තැබීමට වෙර දරන, නැති වීමට බොහෝ දෑ ඇති සොම්බියකි. ඔහුට කාලවේලාව ඇත්තේ ඉතා කැමැත්තෙන් රැකියාව වෙනුවෙන් වෙහෙසීමට සහ අමතර කාලයක් ද සේවය කොට වැඩිපුර උපයා ගැනීමට, නිවසේ කටයුතු ද තමන් විසින්ම සිදුකොට මුදල් ඉතුරු කර ගනිමින්, ඒ තුලින් වඩ වඩාත් පාරිභෝජන අවස්ථා (අධ්‍යතන ධනවාදය තුල පාරිභෝජනය ක්‍රියාත්මක වන්නේ සෞන්දර්යකරණය තුලිනි) වෙතට පිවිසීම සඳහාය. ඒ සියල්ලට වඩා ඔවුනට අදාළ ප්‍රමුඛතම කාර්ය වන්නේ ධනවාදය වෙනුවෙන් කැපවන ඉදිරි ශ්‍රමික පරපුරේ පැවැත්ම වෙනුවෙන් තම දරුවන් නිර්මාණය කිරීමයි.
අදට ඉහත සඳහන් කල මාක්ස්ගේ අර්ථය අදාළ වන්නේ අධ්‍යතන මනුෂ්‍යයා යනු ද වාර්ගික සත්තාව උපරිම ලෙස අහිම් කොටගෙන ඇත යන අර්ථයෙන් පමණි. හරිණි අමරසූරිය විසින් පළමුවත් අධ්‍යාපනය, දෙවනුවත් අධ්‍යාපනය, තෙවනුවත් අධ්‍යාපනය යනුවෙන් පවසන විට "ජනතාව" පිනා යන්නේ එබැවිනි. හරිණි පවසනුයේ ලංකාවට ඇති අඩුපාඩුව නම් "පුහුණු ශ්‍රම බලකායක්" (Skilled workforce) සහිත රටක් ලෙස ගොඩනැගී නොමැති වීම බවය. ආයෝජකයින් සඳහා අවශ්‍ය වන්නේ යාවත්කාලීනව නවීකරණය වන පුහුණු ශ්‍රම බලකායක අවිච්ඡින්න පැවැත්මයි.
ඉන්දියාවේ ජනගහනය චීනය ඉක්මවා ගොස් ඇත. එහි ඇත්තේ අධික ජනඝනත්වයකි. එම තත්වය තුල ඉතාම ලාභ ශ්‍රමය ඉන්දියාව තුල ඇත. එසේම ඉන්දීය ජනගහනය යනු විශාල වෙළඳපොලකි. ඇපල් සමාගම වැනි සමාගම් ඉන්දියාවට පැමිණෙනුයේ එම තත්වය තුලය. එබැවින් වර්තමාන ධනවාදය නිෂ්පාදනය (වෙහෙසී වැඩ කිරීම) - ක්‍රය ශක්තිය - වියදම් කොට භාණ්ඩ මිල දී ගැනීම යන යථාර්තය තුල ක්‍රියාත්මකය.
ආයෝජකයින්ගේ අනෙක් ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ හිතකර බදු ප්‍රතිපත්තියක් රට තුල පවත්වාගෙන යාමයි. වර්තමානයේ එහි ප්‍රධාන සාධකය වී ඇත්තේ පාරිසරික බදු ප්‍රතිපත්තියයි. පාරිසරික බදු යනු සිදුකරන පරිසර විනාශය සඳහා ගෙවිය යුතු බද්දයි. රාජ්‍යක් විසින් විද්‍යාත්මකව පරිසරය කළමනාකරණය කල යුත්තේ එම බදු මුදල් යෙදවීමෙනි. එනම් පරිසරය හැකිතාක් විනාශ කල හැකි ලෙසම එහි හානිපූර්ණ කළමනාකරණය කොට පරිසරය වෙනුවෙන් අදාළ වන්දිය ගෙවිය හැකිය යන්න විද්‍යාත්මක පිළිගැනීමයි (පරිසරවාදය). ඊට අනුව ඔවුන් බලාපොරොත්තු වනුයේ රිසි පරිදි පරිසරය විනාශ කිරීමයි.
මෑත අතීතයේ ආයෝජකයින් ප්‍රධාන වශයෙන් ආශක්ත වී ඇති රටවල් තුලින් උදාහරණ මෙසේය:
* ආයෝජකයින් චීනයට පැමිණ ඇත්තේ එහි නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීමට සහ එහි විශාල සහ වර්ධනය වන පාරිභෝගික වෙළඳපොළට ප්‍රවේශය ලබා ගැනීමටය.
* ආයෝජකයින් ඉන්දියාවට පැමිණ ඇත්තේ එහි තාක්‍ෂණ අංශයේ ආයෝජනය කිරීමට සහ දක්ෂ ඉංජිනේරුවන්ගේ විශාල හා වර්ධනය වන ශ්‍රම බලකාය වෙත ප්‍රවේශය ලබා ගැනීමටය.
* ආයෝජකයින් බ්‍රසීලයට පැමිණ ඇත්තේ එහි තෙල් හා ගෑස් අංශයේ ආයෝජනය කිරීමට සහ ඇමසෝන් වනාන්තරය ඇතුළු එහි බහුල ස්වභාවික සම්පත් වෙත ප්‍රවේශය ලබා ගැනීමටය.
*ආයෝජකයින් මෙක්සිකෝවට පැමිණ ඇත්තේ එහි නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීමට සහ එක්සත් ජනපද වෙළඳපොළට එහි සමීපත්වය සඳහා ප්රවේශය ලබා ගැනීමටය.
ඒ අනුව ආයෝජකයින් යනු නරුමයින් පිරිසකි. නමුත් ඔවුන් විද්‍යාත්මක, ඉතා ගුණ-යහපත්, ලෝකයට වැඩ දායක, ප්‍රගතිශීලි, සමාජ ප්‍රභූ තන්ත්‍රයක් ලෙස ප්‍රස්තාවනවට භාජනය වී ඇත. ආයෝජකයින් පිළිබඳව කිසිම මිසදෙටු අර්ථයක් අධ්‍යතන වාම දේශපාලනයෙන් හෝ සලකුණු වන්නේ නැත. ඒ වෙනුවට වාම දේශපාලනය වඩ වඩාත් මේ තත්වය තහවුරු කිරීම වෙනුවෙන් දේශපාලනයේ යෙදේ. අද ලංකාවා තුල ආයෝජකයින් පිළිබඳව කතිකාව වඩාත් තහවුරු කරනු ලබන්නේ ජාතික ජනබලවේගයේ දේශපාලනය විසිනි. එසේම පෙ.ස.ප. වැනි පක්ෂ වල හිස්ටීරික දේශපාලනය විසින් ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන පක්ෂ වඩ වඩාත් මෙම නරුමවාදය තුලට තල්ලු කරනු ලබයි.
එබැවින් අද වන විට, විශේෂයෙන්ම ගෝල්ෆේස් අරගලයෙන් පසුව, ආයෝජකයින් යනු "විශ්වයේ නව ස්වාමිවරුන්" බවත්, ඔවුන් "ලෝකයේ සැබෑ පාලකයන්" බවත් බොහෝ දෙනෙකු පිළිගෙන ඇත. එම අර්ථයෙන් ආයෝජකයින් යනු "ගෝලීයකරණය පිටුපස ගාමක බලවේගය" වේ. නමුත් එම තත්වය විචාරය කරන, විශ්ලේෂණය කරන, දේශපාලනය වෙනුවෙන් උනන්දු වීම සඳහා කිසිවෙකුට කාල වේලාවක් නොමැත. ඒ සියලු දෙනා තම දරුවන්ට ඇති අසීමිත ආදරය තුල වෙහෙසෙන බැවිනි.
තම දරුවන්ට අසීමිතව ආදරය කල නව කතා චරිතයක් වන්නේ මාරියෝ පූසෝගේ ගෝඩ්ෆාදර්ය. එසේම "ඔයිල්" නවකතාවේ එඩ්වර්ඩ් ලොහේන්ය (ඔහු සැබෑවට ජීවත් වූ චරිතයකි). පැබ්ලෝ එස්කොබාර් යනු ඉතිහාසයේ ධනවත්ම අපරාධකරු වූ අතර 1980 ගණන්වල ඔහුගේ බලයේ උච්චතම අවස්ථාව වන විට ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 30 කි. මෙය අද වන විට ඩොලර් බිලියන 70 කට වඩා සමාන වනු ඇත. ඔහු කොකේන් වෙළඳාම හරහා තම ධනය එක්රැස් කර ගත් අතර, ඔහුගේ මෙඩලින් කාටෙලය විසින් එක් අවස්ථාවකදී ගෝලීය කොකේන් වෙළඳපොලෙන් 80%ක් පාලනය කළේය.
මිනිසුන් දස දහස් ගණනක් මරා දමා ඇති ඔහු ලෝකයට මත් ද්‍රව්‍ය බෙදාහැරිය ද තම දරුවන් හට අසීමිතව ආදරය කල අයෙකි. ඔහු විටක තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසලක බෝම්බ පුපුරවා තම දියණියගේ වයසේ ළමුන් මරා දැමීමට පවා පසු බට නොවේ. එස්කොබාගෙන් පසු උච්ඡතම මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයා වූ මෙක්සිකෝවේ එල් චාපෝ ගුස්මාන් ද එස්කොබර් සේම තම දරුවන් හට අසීමිතව ආදරය කල අයෙකි. ඔහු දෙවරක් අත්අඩංගුවට පත් වන්නේ දරුවන් නොදක පැන යාමට අකමැති වූ බැවිනි. පාපොච්චාරණයක් කරමින් 2019 වර්ෂයේදී ඔහු විසින් ප්‍රකාශ කොට තිබුනේ තමා විසින් 6000කට අධික පිරිසක් මරා දමා ඇති බවත්, තමන් හට අත්අඩංගුවට පත් නොවී සිටිය හැකි වුවත් දරුවන් නොදැක පැනයාම තෝරා නොගත් බැවින් අත්අඩංගුවට පත්ව ඇමරිකාවට පිටුවහල් වීමට සිදු වූ බවත්ය.
මේ අයගේ දරුවන්ට ඇති මෙම අසීමිත ආදරය යනු කුමක් ද? ඔවුන්ගේ දරුවන් යනු ඔවුන් විසින් ගොඩනගාගත් ධනස්කන්ධය සහ බලයේ උරුම කරුවන්ය. ධනවාදයේ සැබෑව මෙයයි. දරුවන් ලෙස තමන් හට හමුවනුයේ වටිනා කම් මිස වෙන යමක් නොවේ. දරුවනට ඇති ආදරය යනු එම වටිනාකම් වෙත ඇති ආදරයයි. එසේ නොමැතිව කිසිවෙකුට කිසි දිනක ධනවාදය තුල දරුවන් හමු නොවේ. එම තත්වයෙන් නිපන් ස්වාමි හැඟවුම්කාරක තුලින් ක්‍රියාත්මක වන සමාජ පන්තීන්වල පියවරුන්ට ද එම "ගෝඩ්ෆාදර් ආචරණය" එලෙසින්ම අදාළ වී ඇත.
@spartacus.lk