මේ දවස් වල හැමෝම කතාව ක්‍රිකට් ගැන. සියලු දෙනා ජාතිමාමකත්වයෙන් උට්ටාන වී ඇත. තම ජාතිය මෙතරම් පරාජය වීම ගැන දරාගත නොහැකි කම්පනයකින් ඔවුන් පෙලේ.
ක්‍රීඩාව යනු ජාතික රාජ්‍යයන්ට අදාළ ජාතිකත්වය ඉස්මතුවෙන ප්‍රධාන අවස්තාවක් වේ. 1936 වසරේ බර්ලින් ඔලිම්පික් උළෙල හිට්ලර් විසින් අති උත්කර්ශවත් ලෙස පැවැත්වීය. හිට්ලර් ඔලිම්පික් තරඟයක් නරඹන අවස්ථාවක වීඩියෝවක් ඇත. එම ඔලිම්පික් උළෙලේ දී හිට්ලර්ගේ ප්‍රධාන සැලසුමක් වූයේ ඇමරිකානු ධාවන ශූරී ජෙසී ඕවන් පරාජය කිරීමයි. අදාළ තරඟ අවස්ථාවන්හිදී එය නරඹන හිට්ලර්ගේ තම ජාති මාමකත්වය ඉස්මතු වන ආකාරය ඔහුගේ අංග චලනයන් තුලින් පෙනේ. ජෙසී ඕවන් ජයග්‍රහණය කරනා විට ඔහු දැඩි තැතිගැන්මකට ලක් වේ.
(පළමු සබැඳියේ වීඩියෝවේ 3.20 සිට ද දෙවැනි සබැඳියේ ඇති වීඩියෝවේ 1.35 සිට ද නරඹන්න.
).
යුද්ධයකදී ඉස්මතුවන්නේ ද වෙන යම් කිසි ජාතිකත්වයක් නොව මෙම ක්‍රීඩා තරඟ තුලින් ද ඉස්මතුවන ජාතිකත්වයමය. නමුත් ලංකාවේ යුද්ධයට එරෙහි බොහෝ දෙනා ක්‍රිකට් වලට ඉතා කැමතිය. ඔවුන් ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙල ගැන එතරම් උනන්දුවක් නොමැත්තේ ලංකාවට ඒවායින් ජයග්‍රහණ ලබා ගත නොහැකි බැවිනි. නමුත් ලොව දියණු යයි සම්මත රටවල ජනයා තම ජාතිය වෙනුවෙන් ඔලිම්පික් තරඟ නරඹයි. එසේ නරඹමින් තත්පරයෙන් 100න් පංගුවෙන් මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කල තම රටේ ක්‍රීඩකයා වෙනුවෙන් උදම් වේ. ක්‍රීඩා සමග විද්‍යාව අත්වැල් බැඳගෙන තිබීම තුල බොහෝ තරඟ ජයගත හැක්කේ විද්‍යාත්මක දියුණුවේ කෙල පැමිණි රටවලට පමණි. තරඟ වලට එළඹෙන්නේ ඒ තත්වය නොදැන නොවේ.
ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන සියලු දෙනාම පාහේ ප්‍රධාන වශයෙන්ම දොස් නගනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව වෙතයි. ඊට අමතරව ආණ්ඩුවට සහ ක්‍රීඩා ඇමතිට දොස් නගයි. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීම ඒ එකඳු පාලක මණ්ඩලයක හෝ ආණ්ඩුවක ඍජු ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිමය සලකුණු වන්නේ 1982 සිට 2008 පමණ කාලය දක්වාය. ක්‍රමයෙන් ලංකාවේ ක්‍රිකට් කඩා වැටීම ආරම්භ වන්නේ 2008 වසරින් පසුවය. ඒ වෙනයම් කිසිවක් නිසා නොව ක්‍රිකට් කතිකාව ලංකාවෙන් තුරල් වී යාම ආරම්භ වීම නිසාය.
ජාතිකත්ව උද්ධාමයෙන් 'රෑට ක්‍රිකට් නරඹන්නන් සිටීම' පමණක් ක්‍රිකට් කතිකාවේ පැවැත්ම තහවුරු නොකරයි.
දැන් ලංකාවේ සියලු ළමුන් වයස අවුරුදු 3 වන විට අධ්‍යාපන තරඟය වෙත පිවිසේ. ඔවුන් ක්‍රීඩාවක් කරනවා නම් කරනුයේ අධ්‍යාපනය වෙනුවෙන්, යහපත් සෞඛ්‍ය තත්වයක් වෙනුවෙන්, සහ රූප සම්පත්තිය සඳහා ක්‍රීඩා කිරීම ප්‍රයෝජනවත් වනවාය යන විද්‍යාත්මක අර්ථයෙන් පමණි. ඒ පාසලේදී හෝ වෙනයම් අමතර ක්‍රියාකාරකමක් ලෙසය.
නමුත් යහළුවන් සමග එකතුව තම ගම් ප්‍රදේශ වල ක්‍රීඩා කරනා ළමුන් අද නොමැත. එබැවින් දැන් පිට්ටනි පාලුවට ගොසිනි. එකල එසේ නොවේ. පිට්ටේනියක ක්‍රීඩා කිරීමට අවස්තාව සලසා ගැනීම අසීරු කටයුත්තකි. පොල් මන්ඩි, වෙල් එලි, පාරවල් වල පමණක් නොව ඉඩ තිබෙන ගෙමුදුල් වලද එකල ක්‍රිකට් ගසන ළමුන් සෑම තැනම දැක ගත හැකිය. ගම් වල ක්‍රිකට් ක්‍රීඩා සමාජ තිබුණි. නීති පතා අවට ගම් වල ක්‍රිකට් ක්‍රීඩා සමාජ සමග තරඟ සහ තරඟාවලීන් පැවැත්වීම, ඒ සඳහා උත්සව සංවිධානය වැනි වැඩකටයුතු යහමින් තිබුණි. එකල ප්‍රශ්නය වී තිබුනේ පිති, පන්දු, කඩුළු වැනි දෑ මිලදී ගැනීමට මුදල් නැති කමය. අද අවශ්‍යනම් ඒවා ඕනෑ තරම් මිලදී ගැනීමට මුදල් ඇතත් ක්‍රීඩා කිරීමට ළමුන් නොමැත. ඔවුන් අධ්‍යාපන තරඟ පිටියේ සහ පරිඝනක, ටැබ්, දුරකථන තිර ඉදිරිපිටය. ඔවුන්ට මිතුරන් හමුවන්නේ, ක්‍රීඩා කරන්නේ (online games), සියලු සම්බන්ධ කම් පවතින්නේ සයිබර් අවකාශයේය. මිතුරෙකු නිවසට පැමිණීම පවා සයිබර් ලෝකය කඩාකප්පල් කරන්නක් බැවින් නූතන ලාංකීය ළමයා ඊට අකමැතිය. දහදිය දමාගෙන, කුණු ගාගෙන, එළිමහනේ ක්‍රීඩා කිරීම වෙනුවෙට උදේ පාන්දර ආරම්භ කාරණා අධ්‍යාපන තරඟය තුල වෙහෙස වී, රෑ වී ගෙදර පැමිණ LED තිරය ඉදිරිපිට සයිබර් ලෝකය වැළඳ ගනීම ඔහුට පහසුය.
එම තත්වය තුල, පාසල් ක්‍රිකට් කණ්ඩායමට තෝරාගන්න වයස පැමිණෙන විට ඒ සඳහා ඉදිරිපත් වන්නේ ක්‍රිකට් අධ්‍යාහාර වී ඇති ළමයෙකු නොව ආදුනිකයෙකි. එකල එය එසේ නොවේ. අවුරුදු 3 පමණ වන විට බැට්-බෝල සෙල්ලම අරඹයි. රූපවාහිනී නොමැති වුවද පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ වැනි විචාරකයින් වචර්ථයෙන් මවනා පන්දුවට පහරදීම් විලාශයන්, පන්දු යවන ආකාරයන්, පන්දු රැකීම් අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම කල ළමුන් එකල අති බහුලය. රූපවාහිනී නොමැත හෝ හිඟ යුගවල ක්‍රිකට් තරඟ නැරඹිය හැකි වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන්, හෝ පොල් සංවර්ධන මණ්ඩලයෙන් පෙන්වන චිත්‍රපට තුලිනි. ඒවා එකල ගම්වල පෙන්වන ලදී.
ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිමය සලකුණු කල 1996 කණ්ඩායම ගතහොත් එය බිහිවන්නේ 1975 පමණ සිට 1980 දශකයේ උත්සන්න වූ ලාංකීය ක්‍රිකට් උන්මාදයේ ප්‍රතිපලයක් ලෙසය. එහි නායක අර්ජුන රණතුංග පිළිබඳව කතා කරමින් ඔහුගේ පාසල් පුහුණුකරු සඳහන් කලේ තමන් ක්‍රිකට් පුහුණු කරමින් සිටින අතරතුර පිටියේ පසක ක්‍රීඩා කරමින් සිටි, ඉතා හොඳින් පන්දුවට පහරදෙන හුරුබුහුටි ළමයෙකු දුටු බවය. පුහුණුකරු විසින් අර්ජුන කණ්ඩායමට එක් කරගන්නේ ඉන්පසුවය. ඉන් හැඟවෙන්නේ ඒ වනවිටත් අර්ජුන යනු ක්‍රිකට් කතිකාවට ඇතුලත් වී ක්‍රිකට් අධ්‍යාහාර වී තිබූ ළමයෙකු බවය. සනත් ජයසූරිය වැල්ලේ ක්‍රිකට් ගසා පාසල් කණ්ඩායමට පැමිණි අයෙකි. එසේම ඔහු සාම්ප්‍රදායික ආකාරයෙන් පන්දුවට පහරදෙන්නෙකු ද නොවේ. මුරලිදරන් තම පියාගේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපට මිදුලේ සෙල්ලම් කොට කණ්ඩායමට පැමිණි අයෙකි. ප්‍රමෝද්‍ය ක්‍රිකට් ගැසුවේ පාරේය (ඔහුගේ නිවස පිහිටි ඉසදීන් නගරයේ අඩි 100ක් පමණ පළල පාරවල් ඇත. එකල අද මෙන් වාහන නොතිබුණි). අරවින්ද, මහානාම, ගුරුසිංහ, වාස් වැනි අය ද එසේය. නමුත් අද පාසල් ක්‍රිකට් කණ්ඩායම් වලට තෝරාගැනීමේදී එවැනි ළමුන් සොයා ගත නොහැක. එසේම ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වීම සඳහා එදා මෙන් තරඟයක් ද නොමැත. තරඟය ඇත්තේ අධ්‍යාපනය තුලය.
බටහිර ඉන්දීය කොදෙව් රටවල ක්‍රිකට් උන්මාදයක් ලෙස පැතිර ගොස් තිබූ සමයේ සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාව තුලින් බිහි නොවන ආකාරයේ විවිධත්වයක් සහිත, සාම්ප්‍රදායික ආකාරයෙන් තාක්ෂණික නොවන ක්‍රීඩකයින් බිහි විය. එබැවින් එකල ඔවුන් සමග තරඟ කිරීම ක්‍රිකට් දැවැන්තයින් වූ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවට අපහසු විය. වමතින් සහ දකුණතින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයින්, ජොවෙල් ගානර් වැනි ජව සම්පන්න වේග පන්දු යවන්නන්, තාක්ෂණයට පන්දුවට පහර නොදෙන විවියන් රිචඩ්ස්, රිචී රිචඩ්සන් වැනි ක්‍රීඩකයින්, දකුණතින් සහ වමතින් පහරදිය හැකි ක්‍රීඩකයින් කොදෙව් දූපත් තුලින් බිහි විය. ඒ අනුව ඔවුනට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට පවා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පෙළඹුණි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල මේ තත්වය ඇති වූයේ එහි ක්‍රිකට් කතිකාව උපරිමයට ගොස් තිබු සමයේය. නමුත් 1990 දශකයේ අග භාගය වන විට කොදෙව් දූපත්වාසීන්ට ක්‍රිකට් එපා වී ඇති බව වාර්තා විය. දැන් එය තහවුරු වී ඇත. එබැවින් අද කොදෙව් කණ්ඩායම යනු ඉතාම දුර්වල කණ්ඩායමකි.
චීනය සමග පින් පොං ක්‍රීඩා කල හැකි වෙනත් රටක් මෙදියත නොමැත. පිං පොං තරඟ වලදී 1,2,3,4,5 වැනි ස්ථාන වලට පැමිණෙන්නේ චීන රටවල්ය. වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කෙතරම් පිං පොං පුහුණු කල ද කිසිදා චීනය පැරදවිය නොහැකි වී ඇත. එසේම පාපන්දු සම්බන්ධයෙන් ද එවැනි රටවල් ඇත. කෙසේ නමුත් දැන් ලංකාව ක්‍රිකට් කතිකාවෙන් තුරල් වී අවසන්ය. කෙතරම් පුහුණු කරුවන් යෙදෙව්ව ද, පාලක මණ්ඩල පත් කල ද ක්‍රිකට් තරඟ ජයගැනීම අහම්බයක් වනු මිස 1990 සිට 2012 පමණ කාලයේ පැවතී තත්වයට නැවත කිසි දිනක ලංකාව නොපැමිණෙනු ඇත.
සුනිල් ගවස්කාර් පසුගිය දිනක ප්‍රකාශ කොට තිබුනේ ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ට වඩා හොඳ ක්‍රීඩකයින් ඉන්දියාවේ පාරවල් වල සිටින බවය. එය සැබෑවකි. එසේ නොමැති නම් ඉන්දීය කණ්ඩායම දැන් පවතින තත්වයේ නොපවතිනු ඇත. ඉන්දියාවේ සෙල්ලම් කරන ළමුන් තවමත් බොහෝ සෙයින් සිටින බව ඉන් පෙනේ.
ක්‍රිකට් පිළිබඳව හෝ එම අර්ථයෙන් ජාතිය පිළිබඳව ඇම්මක් අපට නොමැත. ක්‍රිකට් වලට මෙසේ වීම සුභදායකය. ක්‍රිකට් තවත් චොර වී යා යුතුය. එවිට වෙනත් ජාතික උට්ඨානයක් ලාංකිකයාට පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වනු ඇත.
@spartacus.lk