ජාතක කතා බහුතරයක ම ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇති ඍණාත්මකභාවය යි. එහි දී ස්ත්‍රිය විවිධාකාරයෙන් අපහාසයට,
උපහාසයට, අවමානයට මෙන් ම පිළිකුලට ද බඳුන් කර ඇත.
ජාතක කතා විමර්ශන ලිපි පෙළ කියවන පාඨක ප්‍රජාව වෙත එවන් අවස්ථා කිහිපයක් ම හමු වී ඇති බවට සැකයක් නොමැත.
ජාතක කතා සංග්‍රහයේ එන කරුණුවල සත්‍ය අසත්‍යතාව කුමක් වුව ද වර්තමානයේ කාන්තාව යනු පුරුෂ පාර්ශ්වය සමග සමතැන්හි කටයුතු කරන පාර්ශ්වයකි. නමුදු එවන් තත්ත්වයක් තුළ වුව ද ‘‘පිරිමිකම’’ යනු කුමක්දැයි කාන්තාවන් විසින් ම අර්ථ දක්වනු ලැබ ඇත්තේ කෙසේද යන්න ගැඹුරින් සිතා බලන විට දක්නට ලැබෙන්නේ කුමක් ද...?
වර්තමානයේ ද බොහෝ කාන්තාවන් විසින් ම කාන්තාවන් සමතැන්හි ලා සැලකීම ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථා අනන්තවත් දක්නට පිළිවන. උදාහරණයක් ලෙස ගතහොත් එය මෙසේ හැඳින්විය හැකි ය.චී
‘‘ඔය සරම ගලවල ඇඳගනින් චීත්තයක්’’
ඇතැම් පුරුෂයෙකුට පුරුෂයන් පමණක් නොව කාන්තාවන් ද ‘‘ඔය සරම ගලවල ඇඳගනින් චීත්තයක්’’ යැයි පවසන අවස්ථා අපි අනන්තවත් අසා ඇත්තෙමු; දැක ඇත්තෙමු. පුරුෂයන් පුරුෂයන්ට එලෙස අවමන් කළ ද (එය සාධාරණ යැයි මෙයින් ගම්‍ය නොකෙරේ) කාන්තාවන් පුරුෂයන්ට එසේ පැවසීම තුළින් ගම්‍ය වන්නේ කුමක් ද...? කාන්තාව යනු අනුන්ගේ ඕපාදූප සොයන පාර්ශ්වයක් යන්න ඔවුන් විසින් ම පිළිගනු ලැබීම නොවේ ද...?
ඇතැම් විට මෙය ඔවුන් නොදැනුවත්ව සිදු කරන දෙයක් විය හැකි ය. නමුදු එහි අවමානය, අපහාසය, උපහාසය සහ පිළිකුල යොමුවන්නේ කාන්තාව කෙරෙහි ම ය.
පුරුෂයකු සතු විය යුතු ‘‘පිරිමි ලක්ෂණ’’ මොනවාද යන්න පිළිබඳ නිර්නායක සැපයීමේ දී පවා ‘‘ඒවා මෙසේ විය යුතු ය’’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුරුෂ පාර්ශ්වය විසින් නොව කාන්තා පාර්ශ්වය විසිනි. ඊට කදිම නිදසුනක් ලෙස ‘‘යකෝ උඹේ පිරිමිකමටත් ලැජ්ජයි’’ යැයි පුරුෂයන් මතු නොව කාන්තාවන් ද පවසන අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය. තවත් අවස්ථාවක දී කාන්තාව විසින් ම ‘‘ඔයා වගේද අනේ... මං ගෑනියෙක් නෙ... ගෑනුන්ට පුළුවන් ද ඔය වැඩ කරන්න...?’’ යැයි පවසනු ලබන අවස්ථා ද පවතී. එහි දී ද සිදු කෙරෙනුයේ කාන්තාව විසින් ම කාන්තාව අවතක්සේරු කරගනු ලැබීම ය.
ඇතැම් අවස්ථාවක දී කාන්තාව පීඩනයට හෝ යටහත්භාවයට පත්කිරීම සඳහා පුරුෂයා පොලඹවනු ලබන්නේ ද කාන්තාවන් විසින් ම ය. ඇතැම් මවක තම විවාහක පුතු හට ‘‘යකෝ... තමන්ගෙ ගෑනි ආන්ඩු මට්ටු කරගන්න බැරි උඹත් පිරිමියෙක් ද...?’’ යැයි විමසන අවස්ථා කොතෙක් නම් පවතී ද... මව මතු නොව ඇතැම් පුරුෂයකුගේ වැඩිමහල් සොයුරිය විසින් ද මෙසේ අසනු ලබන අවස්ථා ඔබ කොතෙකුත් අසා, දැක ඇතුවාට සැක නැත.
දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්තාවන් විසින් ම කාන්තාවන් මෙලෙස අවතක්සේරුවට ලක් කරන අතර ම ඇතැම් කාන්තාවෝ ඔවුනොවුන්ගේ වාසිය තකා පුරුෂයා උසස් යැයි පවසන අවස්ථා ද පවතී. එහි දී ‘‘පිරිමිකම’’ පෙන්වීමට හෝ රැකගැනීමට පෙලඹෙන බොහෝ පුරුෂයෝ බරපතළ අර්බුදකාරී අවස්ථාවලට ලක් වීම වැළැක්විය නොහැකි ය.
‘‘රිතීය පුෂ්ප රත්න ජාතකය’’
ජාතක කතා සංග්‍රහයේ එන ‘‘රිතීය පුෂ්ප රත්න ජාතකය’’ ඊට කදිම නිදසුනකි.
ජාතක කතාකරුවා පවසන ආකාරයට බුදුන් වහන්සේ මෙම කතාව වදාරා ඇත්තේ අලසකමෙන් දිවි ගෙවන භික්ෂුවක් උදෙසා ය.
එහි අතීත කතාවට අනුව එක් සමයක දී බෝධිසත්වයෝ අහසෙහි වෙසෙන දේවතාවක ලෙස උප්පත්තිය ලබා ඇත.
එකල කාර්ථික උත්සවය යන මැයෙන් වූ උත්සවයක් පැවත තිබේ. මෙම උත්සවයට සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් සිටි දුප්පත් මිනිසෙක් ඔහු සහ ඔහුගේ බිරිඳ සතුව පැවති, ඔවුන්ට අනුව ඔවුන් සතුව තිබූ හොඳම ඇඳුම් දෙක සෝදා පිරිසිදු කර තබා ඇත.
උත්සව දිනය ආසන්න දිනයක දී මෙම පුරුෂයා හමුවට පැමිණි බිරිඳ පවසා ඇත්තේ වනුක් (හෙන්දිරික්කා) මල් පැහැයෙන් (ලංකාවේ මෙනමින් තිබෙන මල් නම් වර්ණ ත්‍රිත්වයකින් පමණ යුක්ත ය) යුත් ඇඳුමෙන් සැරසී, සැමියා සමග අතිනත පටලාගෙන කාර්ථික උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටින බවයි.
සැමියා පවසා ඇත්තේ ඔවුන් දුප්පත් බැවින් වනුක් මල් පැහැයෙන් යුත් ඇඳුම් සොයාගත නොහැකි බැවින් ඔවුන් සතුව පවතින හොඳ ම ඇඳුම් සෝදා පිළියෙල කර ඇති බවයි.
නමුදු බිරිඳ පවසා ඇත්තේ පරණ ඇඳුම් ඇඳගෙන එම උත්සවයට සහභාගි විය නොහැකි බැවින් එම ඇඳුමෙන් සැරසී උත්සවයට සහභාගි වන්නේ නම් ඒ වෙනුවෙන් වෙනත් කාන්තාවක සොයාගන්නා ලෙස ය. එහි දී අසරණභාවයට පත්වූ පුරුෂයා තමාට ඇය හැර වෙනත් කාන්තාවක සමග උත්සවයට සහභාගිවිය නොහැකි බව පවසා බිරිඳ ඉදිරියේ ඉතා බැගැපත්වී ඇත.
එවිට බිරිඳ පවසා ඇත්තේ පිරිමියෙකු ලෙස සිතන්නේ නම් කළ නොහැකි දෙයක් නොමැති බවයි. එබැවින් වනුක් මල් පැහැයෙන් යුත් ඇඳුමක් නොමැති නම් අවම වශයෙන් එම මල් ටිකක් හෝ තමාට ගෙනවිත් දෙන ලෙස යි.
වනුක් මල් තිබෙන්නේ රාජකිය උද්‍යානයේ පමණි. එබැවින් කෙලෙසකවත් එම මල් කෑඩිම මතු නොව එදෙස බැලීමටවත් නොහැකි බව පුරුෂයා පවසා ඇත. එවිට කාන්තාව පවසා ඇත්තේ දිවා කාලයේ දී මල් කඩාගෙන ඒමට නොහැකි නම් රාත්‍රී කාලයේ දී හෝ ගොස් එම මල් කඩාගෙන එන ලෙස ය; එසේවත් කළ නොහැකි නම් එම ‘‘පිරිමිකමෙන්’’ ඇති ඵලයක් නොමැති බවයි.
සිය බිරිඳ ඔහුගේ පිරිමිකම අවතක්සේරුවට ලක් කරන බැවින් එය ඉවසාගත නොවුණ මේ පුරුෂයා අවසන රාජකීය උද්‍යානයට හොරෙන් ඇතුළු වී මල් කැඩීමට සූදානම් වන මොහොතේ දී ම උද්‍යාන මුරකරුවාට හසුවන්නේ ය. එහි ප්‍රතිඵලය වන්නේ එම පුරුෂයා උල සිටුවා මරණයට පත් කිරීම ය.
ජාතක කතාකරුවා පවසා නොතිබුණ ද ඇතැම් විට මෙවන් බිරිඳක් සැමියා දණ්ඩනයට නියම වූ පසු ‘‘අහු නොවෙන විදියට හොරකමක්වත් කරන්න බැරි නම් තමුසෙත් පිරිමියෙක් ද ඕයි...?’’ යනුවෙන් විමසීමට ද ඉඩ-කඩ පවතී. ඒ ගැහැනු පිරිමින්ගේ ‘‘පිරිමිකම’’ කිරා මැන බලන එක් ආකාරයකි.
එහෙත් ‘‘පිරිමිකම’’ ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙවන් මූඪ ක්‍රියාවල නොයෙදෙන්නැයි ජාතක කතාකරවා සමස්ත පුරුෂ සංහතියට ම ව්‍යංගයෙන් පවසා ඇත. පුරුෂ පාර්ශ්වය මෙම ජාතක කතාව කියවා ගතයුත්තේ ඒ මානයෙනි.