SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් සහ ඔහුගේ වෙන්වූ බිරිඳ, හයා බින්ට් අල්-හුසේන් කුමරිය

බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම දික්කසාද නඩුව ලෙස විස්තර කෙරෙන නඩුවක් පසුගිය දා විභාගයට ගැනුණි. ඩුබායිහි ප්‍රකෝටිපති පාලකයා සහ ඔහු සමග විරසකව සිටින බිරිඳ අතරේ පවුම් මිලියන 500කට වැඩි මුදලක් බේරුම් කිරීම මෙහිදී සිදුවිය.

දෙසැම්බර් 21 වන දා එක්සත් රාජධානියේ මහාධිකරණය, ජෝර්දානයේ හිටපු රජු හුසේන්ගේ 47 හැවිරිදි දියණිය වන හයා බින්ට් අල්-හුසේන් කුමරියට පවුම් මිලියන 251.5ක මුදලක් එකවර ගෙවා දැමිය යුතුයැ යි තීන්දු කළේ ය.

ඇය, ඩුබායිහි ප්‍රකෝටිපති පාලකයා ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ද, බලවත් තුරඟ තරග හිමිකරුවෙකු ද වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්තුම්ගේ භාර්යාවන් හය දෙනාගෙන් ළාබාලතම තැනැත්තිය යි.

මෙම තීන්දුව මඟින්, පවුම් මිලියන ගණනක් වටිනා දේපළ දෙකක් පවත්වාගෙන යාමේ පිරිවැය පියවාගැනීම සඳහා හයා කුමරියට මුදල් ලබාදෙයි - ඉන් එකක් ලන්ඩනයේ කෙන්සිංටන් මාළිගයට යාබදව පිහිටා තිබෙන අතර, අනෙක සරේ ප්‍රාන්තයේ එගම්හි පිහිටි ඇගේ ප්‍රධාන නිවස යි.

තීන්දුව මඟින් ආරක්ෂාව සඳහා ද සැලකිය යුතු මුදලක් වෙන්කර ඇතිවා මෙන්ම, නිවාඩු ගතකිරිමට, හෙදියක සහ ළමයින් බලාගන්නා තැනැත්තියකට නවාතැන්, වැටුප්, පවුල සඳහා සන්නද්ධ වාහන, සහ පෝනියන් සහ සුරතල් සතුන් කීපදෙනෙකු නඩත්තු කිරීමේ පිරිවැය සඳහා ද ප්‍රතිපාදන වෙන්කර ඇත.

එය ඇගේ දරුවන් දෙදෙනා - 14 හැවිරිදි දියණියක සහ නව හැවිරිදි පුතෙකු - වෙනුවෙන් වසරකට පවුම් මිලියන 5.6 බැගින් සුරැකුම් ප්‍රදානය කර ඇත. මේවා පවුම් මිලියන 290ක ඇපයකින් රක්ෂණය කිරීමට නියෝග කෙරිණි.

'ජීවිතය ගැන බියෙන් පැනලා ආවා'

දරුවන්ගේ භාරකාරීත්වය පිළිබඳ මෙම දිගුකාලීන අධිකරණ සටන, සාමාන්‍යයෙන් ලොවෙන් සැඟවී තිබෙන මැද පෙරදිග රාජකීය පවුල්වල ජීවිතය කෙරෙහි ලෝකයේ අවධානය යොමු කළේ ය.

2019 දී හයා කුමරිය ඇගේ දරුවන් ද සමග ඩුබායිහි සිට බ්‍රිතාන්‍යයට පලා ආවේ ඇය ඇගේ ජීවිතය ගැන බියෙන් පසුවනබව පවසමිනි. ෂෙයික් මොහොමඩ් මින් පෙර ඔහුගේ දියණියන් දෙදෙනෙකු වන ෂෙයිකා ලතීෆා සහ ෂෙයිකා ෂම්සා පැහැරගෙනගොස්, ඔවුන්ගේ කැමැත්තට එරෙහිව යමින් ඔවුන් නැවත ඩුබායි වෙත භාරදුන්බව දැන ගැනීමෙන් පසුව මෙසේ සිය ජීවිතය ගැන භීතියට පත්වූබව ඇය සඳහන්කර තිබුණි.

තුරඟ තරග ලෝකයේ දැවැන්ත චරිතයක් වන 72 හැවිරිදි ෂෙයික් මොහොමඩ් මෙම පැහැරගැනීම් ප්‍රතික්ෂේපකර ඇත. නමුත් 2020 වසරේ ලබාදුන් මහාධිකරණ තීන්දුවකින් පැවසුණේ, ඒවා බොහෝ දුරට සත්‍යවිය හැකිබව යි. ඔහු "ඔබ ජීවත් වුණා, ඔබ මියගියා" නම් කවියක් ප්‍රකාශයට පත්කළ අතර, එය, බ්‍රිතාන්‍ය හිටපු හමුදා සෙබලෙකු වන කුමරියගේ පුද්ගලික ආරක්ෂකයා සමග ඇගේ ප්‍රේම සම්බන්ධයක් ඇතිබව අනාවරණයවීමෙන් පසු ඇයට තර්ජනය කරන්නට පළකළ එකක්යැ යි බොහෝදෙනා උපකල්පනය කළෝ ය.

හයා කුමරිය බ්‍රිතාන්‍යයට පැමිණි පසුව ද "අපට ඔබ කොහේ සිටිය ද ඔබට ළඟාවිය හැකි ය" වැනි පණිවිඩ ආදිය හරහා දිගින් දිගටම තර්ජන එල්ලවූ අතර, සිය දරුවන් පැහැරගෙන නැවතත් ඩුබායි වෙත ගෙන යනු ඇතැ යි යන බියෙන් ආරක්ෂාව සඳහා විශාල මුදලක් වියදම් කිරීමට ඇය කටයුතුකර ඇත.

princess 2

2019 දී හයා කුමරිය සිය දරුවන් ද සමග ඩුබායි සිට බ්‍රිතාන්‍යයට පලා ගියේ සිය ජීවිතය ගැන බියෙන් පසුවනබව පවසමිනි.

ෂෙයික් මොහොමඩ් විසින් හයා කුමරියගේත්, ඇගේ ආරක්ෂකයින්ගේත්, කොන්සර්වටිව් පක්ෂ දේශපාලකයෙකු වන ෂැකල්ටන් බැරන්වරිය ද ඇතුළත් ඇයගේ නීතීඥ කණ්ඩායමේත් ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස හැක්කර ඇතිබවට මහාධිකරණය මෙම වසරේ දී තීන්දු කළේ ය.

මෙම හැක් කිරීම සිදුකර ඇත්තේ ඊශ්‍රායල සමාගමක් වන NSO සමූහය විසින් නිෂ්පාදිත පෙගසස් නම් වූ ආක්‍රමණශීලී ඔත්තු මෘදුකාංගය (ස්පයිවෙයා) භාවිතයෙන් වන අතර, එය ඉලක්කගත දුරකථනය ආසාදනය කරයි. ෂෙයික් මොහොමඩ් පවසන්නේ හැක් කිරීමෙන් ලබාගත් කිසිවක් තමා සන්තකයේ නොමැතිබව යි. ඔහුගේ ප්‍රකාශිත හෝ ව්‍යංග අධිකාරත්වය යටතේ කිසිදු ඔත්තු බැලීමක් සිදුවී නොමැතිබවත් ඔහු ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ මහාධිකරණයේ පවුල් පිළිබඳ අංශයේ සභාපතිවරයා ඊට පටහැනි තොරතුරු සොයාගත්තේ ය.

දික්කසාද තීන්දුව ලබාදීමේ දී විනිසුරු මුවර් තීරණය කළේ, කලින් ලබාදී ඇති නඩු තීන්දුවලට ද අනුව, කුමරිය සහ ඇගේ දරුවන් දෙදෙනා විශේෂ අවදානමක පසුවනබව යි. එක්සත් රාජධානියේ දී ඔවුන්ගේ ආරක්ෂාව අඛණ්ඩ සහතික කිරීමට නම් ඔවුන්ට තදබල ආරක්ෂාවක් අවශ්‍යයැ යි ඔහු පැවසීය. ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රධාන තර්ජනය පැමිණෙන්නේ බාහිර පුද්ගලයන්ගෙන් නොව, රාජ්‍යයක සම්පූර්ණ බලය සහිත ඔවුන්ගේම පියාගෙන්බව ද ඔහු සඳහන් කළේ ය.

"මෙම දරුවන්ට පැහැදිලි සහ සදාකාලික අවදානමක් තිබෙනවා. මේ අවදානම ඔවුන් ඔවුන්ගේ ස්වාධීනත්වය ලබාගන්නා තෙක්ම නොනැසී පවතිනවා ඇති," විනිසුරුවරයා පැවසුවේ ය. හයා කුමරිය සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය: සාමාන්‍ය ත්‍රස්තවාදියෙකුගෙන් සහ වෙනත් තර්ජනවලින් හෝ "[ෂෙයික් මොහොමඩ්ගෙන්] හෝ වේවා, [හයා කුමරියට] ඇගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම පැහැදිලි සහ සදාකාලික අවදානමක් පවතිනවා."

ආරක්ෂාව පිළිබඳව සිදුකළ තක්සේරුවක් මඟින්, හයා කුමරියට සහ ඇගේ දරුවන්ට "දරුණු" අවදානමක් ඇතිබව අධිකරණයට දන්වා තිබේ. පසුව, පවුල ප්‍රවාහනය සඳහා යොදාගනු ඇති වෙඩි නොවදින වාහනවල ධාවන පිරිවැය පියවා ගැනීමට ද විනිසුරුවරයා මුදල් ප්‍රදානය කළේ ය.

princess 3

72 හැවිරිදි ෂෙයික් මොහොමඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වන අතර, තුරඟ තරග ලෝකයේ ද දැවැන්ත චරිතයකි

මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ, "විවාහය පැවති කාලසමය තුළ දී මෙම දරුවන් භුක්ති විඳි සුවිශේෂී ඓස්චර්ය සහ විශිෂ්ට ජීවන තත්ත්වය" සැලකිල්ලට ගනිමින් සාධාරණ නිගමනයකට එළඹීමට තමා උපරිම උත්සාහයක් ගත්බව යි. මෙම නඩුව "මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයෙන් බැහැරව" සලකන්නට කටයුතු කළබව ඔහු පැවසීය.

හයා කුමරිය ඇගේ අනාගත අවශ්‍යතා සඳහා කිසිදු මුදලකට හිමිකම් පා නැතැ යි ඇගේ නීතීඥයින් තරයේ කියා සිටි නමුත්, නඩු විභාග අතරතුරේ කුමරිය ඇගේ අධික වියදම් සම්බන්ධයෙන් විවේචනයට ලක්ව තිබේ. නිදසුනක් වශයෙන්, යන්තම් නව හැවිරිදි ඇගේ පුත්‍රයාට මිල අධික මෝටර් රථ තුනක් ලබා දී ඇත. ඔහු "තෑගි ලෙස කාර් ලැබීමට පුරුදුව සිටි" නිසා මෙසේ සිදුකළබව කියැවුණි. මෙය නීත්‍යානුකූල විවේචනයක්බව විනිසුරුවරයා පැවසීය.

හයා කුමරිය ඇගේ ආරක්ෂක කාර්යයමණ්ඩලයේ සාමාජිකයෙකු සමග ඇතිකරගත් අනියම් සබඳතාවක් හේතුවෙන් කර්යයමණ්ඩලයේ කීපදෙනෙකු විසින් ඇය බියවද්දා මුදල් ඉල්ලා ඇතිබවට කුමරිය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂ්‍ය ද මෙම තීන්දුවට ඇතුළත් වේ. ඇය කාර්යයමණ්ඩලයෙන් හතර දෙනෙකුට ගෙවීම් කිහිපයක් සිදුකර ඇති අතර, ඉන් ඇතැම්වා සඳහා මුදල් ලබාගෙන ඇත්තේ දරුවන්ගේ බැංකු ගිණුම්වලිනි. එම මුදල ආපසු බැර කිරීම සඳහා පවුම් මිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් තමාගේ ස්වර්ණාභරණ විකුණා ඇතිබවත්, ඉන්පසු ද තවත් ආභරණ විකිණීමට සිදුවූබවත් ඇය සඳහන් කළා ය.

සිය හිටපු බිරිඳට ලබාදුන් විශේෂිත වස්තූන් ඇය වෙත යවනබව ඩුබායිහි ෂෙයික් මොහොමඩ් පවසා තිබේ. ලෝක ප්‍රසිද්ධ නර්තන ශිල්පීන් වන මාගෝ ෆොන්ටෙයින් ආර්යාව සහ රුඩොල්ෆ් නුරෙයෙව් විසින් ඇයට ලබාදුන් බැලේ සපත්තු එයට ඇතුළත් ය.

කුමරිය තම ජීවිතයට තර්ජනයක් ලෙස සැලකූ, තමා තමාට ආරෝපණයකර ලියූ අන්තර්ජාල කවිය ද ඉවත් කළබව ඔහු පැවසීය.

කුමරියට හානියක් සිදුකිරීමේ කිසිදු අභිප්‍රායක් තමා සතුව නැතැ යි ද ඔහු ප්‍රකාශ කළේ ය

@ BBC Sinhala

නවතම ලිපි