SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කියුබානු විප්ලවයේ මතක සටහන් – අර්නෙස්ටෝ චේ ගුවේරා


“සෑම අසාධාරණයකදීම ඔබ කෝපයෙන් වෙව්ලන්නේ නම්, ඔබ මාගේ සහෝදරයෙකි.” යි පැවසූ ඔහු ලොව පුරා සිටින තරුණ කැරලිකරුවන්ගේ සහ විප්ලවවාදීන්ගේ ආකර්ෂණීය සංකේතයක් වන අර්නෙස්ටෝ “චේ” ගුවේරා ය. සමහරුන්ගේ පැසසුමට ලක්වූ, ඇතැමුන්ගේ ගර්හාවට ද ලක් වූ ගුවේරාගේ නම – කැරැල්ල, විප්ලවය සහ සමාජවාදය යන පදවල අර්ථය බවට පත්ව ඇත. චේ අදහන ආධාරකරැවන් පවසන්නේ ඔහු තම විශ්වාසයන් වෙනුවෙන් සටන් කොට මියගිය වීරයකු බවත්, ඔහු නිදහස සඳහා වූ විශ්වීය අරගලයට සම්බන්ධ ආදරණීය චරිතයක් ලෙසත්ය. ජාති ආගම් කුල ගොත් නොසලකා සමස්ත මානව වර්ගයාටම ආදරය කළ අර්නස්ටෝ චේ ගුවේරා ඝාතනය කොට වසර 54 ක් සපිරෙන 2021 වසරේ දීත් සමස්ත ලෝකයම ඔහු ගැන කතා කරන්නේ අර්නෙස්ටෝ “චේ” ගුවේරා සතු වූ ඒ ගුණ සංකලනය හේතුවෙනි.

che 2

අර්නෙස්ටෝ “චේ” ගුවේරාගේ අසහාය රූපකාය අද මං මාවත්හි, සුපිරි රෙදි සාප්පුවල, වීදිවල රෙදි කඩවල, ටියුෂන් පන්තිවල මෙන් ම විවිධ වෙළඳ ප්‍රචාරක මාධ්‍ය ඇතුළු වාණිජ ලෝකයේ නිරූපකයක් බවට පත් කර ගෙන ඇති නමුත් වඩා වැදගත් දෙය නම්, ඔහු ලෝකයේ මෙන් ම කියුබාව තුළ ද දේශපාලන සංස්කෘතිය කෙරෙහි සියුම් නමුත් සැබෑ බලපෑමක් ඇති කර ඇති ආකාරය අවබෝධ කර ගැනීමය.

ඒ නිශ්චිත වැඩසටහන්ගත දේශපාලන හෝ ආර්ථික ව්‍යාපාරයක ප්‍රභවයක් ලෙස නොව, පරිත්‍යාගයේ හා විඥානවාදයේ සංස්කෘතික ආකෘතියක් ලෙස ය. කියුබානු පාසල් දරැවන් නිතිපතා ගායනා කරන “සෙරෙමොස් කොමෝ එල් චේ” (අපි චේ මෙන් වන්නෙමු) යන පාඨය, බොහෝ විට ජනප්‍රිය පරිකල්පනයෙන් ඔබ්බට ගිය, වඩාත් පුළුල් නමුත් සැලකිය යුතු බලපෑමක් කියුබානු සංස්කෘතිය මත ජනිත කර ඇති අයුරු අපට පසක් කර දෙන එක් සාධකයක් පමණි.

che 3

මේ පූර්විකාව සාහිතලෝලී පාඨක අප හමුවේ යළිදු ජීවමාන වන්නට හේතු සාධකයක් වන්නේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ‘කියුබානු විප්ලවයේ මතක සටහන්‘ නමින් සිංහල බසට පරිවර්තනයක් ලෙසින් නොබෝදා එක් කළ කෘතියක් හේතුවෙනි.

මෙම කෘතියට පාදක වන්නේ 1956 නොවැම්බර් මස 25 වැනි දා ‘ග්‍රැන්මා‘ නමැති කුඩා යාත්‍රාවෙන් තමන් අරඹා කියුබානු විප්ලවයේ ජයග්‍රහණය තෙක් චේ සහ ඔහුගේ විප්ලවීය සගයන් ගෙවූ ගමන් මඟ පිළිබඳ මතක සටහන් සමුදායයයි. මෙම මතක සටහන් සමුදායය රසාලිප්තව පිටු තුන්සියයකට ආසන්න වපසරියක් පුරා දිවෙන සේ පෙළ ගස්වන්නට පරිවර්තකයා දක්වා ඇති සමත්කම නොතකා හැරිය හැක්කක් නොවේ. අද බොහෝ පරිවර්තනවල දක්නට ලැබෙන කඨෝර වදන්, පදානුගත පරිවර්තන පදාස ඇතුළු පොදු පරිවර්තන වැරදි හා අතපසුවීම්වලින් මිදෙන්නට මෙම පරිවර්තන කාර්යයේ දී ප්‍රියන්ජන් සුරේෂ් පළ කර ඇති බුහුටි බව කෘතිය කියවාගෙන යන කාට වුව ද අත්පත් කර දෙන්නේ නොමඳ අස්වැසිල්ලකි.

che 10


“චේ ගුවේරා කියුබානු විප්ලවයේ නිර්මලම අංගයයි. ඔහු විප්ලවයේ හා පරමාදර්ශයේ සංකේතයයි; ඔහු නව්‍යකරණයේ සංකේතයයි. ඔහු බලාපොරොත්තුවේ සංකේතයයි‘ යනුවෙන් මොහිත් ගිලෝරි ගෙනහැර දක්වන කියමන හා නිර්වචනයට සාධාරණයක් ඉටු කරන්නට ‘කියුබානු විප්ලවයේ මතක සටහන්‘ සිංහලට නැඟූ පරිවර්තකයා උත්සුකවීම පැසසුම් කටයුතුය.

ගිලෝරි පැවසූ පරිදි ම ප්‍රියන්ජන් සුරේෂ් නම් පරිවර්තකයා ද පාඨක අප තුළ බලාපොරොත්තුවක් දල්වන්නට සමත් ව ඇත්තේ සිංහල පරිවර්තන ක්ෂේත්‍රයට ප්‍රාමාණික දායකත්වයක් සපයා දෙන්නට සමත් පෙර මඟ ලකුණු මෙම පරිවර්තනයෙන් අප හමුවේ විදහා දක්වන හෙයිනි.

che 4

ලොව කවර හෝ පෙදෙසක වෙසෙන පීඩිත ජීවිත ගෙවන ජනයා, විප්ලවය ජය ගනු පිණිස ‘චේ‘ ගෙන ගිය අරගලයෙන් පන්නරය ලැබුණු බවට උදාහරණ බොහෝය. ලොව සුවහසක් මිනිසුන් හා ගැහැනුන් චේ ගුවේරාට අසීමිත සමීපත්වයක් ඇති කරන්නට ඔහු තුළවූ විශ්වීය දැක්ම හේතුකාරක විය. මිනිසුන් තලාපෙලා පාගා දමන දුෂ්ඨ පාලන ක්‍රමයක් වෙනුවට මිනිසුන්ට ආදරය කරන, ඔවුන් රකින පාලන ක්‍රමයක් බිහිකිරීම ඔහුගේ දර්ශනය බවට පත්වුයේ මානව වර්ගයා කෙරෙහි වු ඔහුගේ අසීමිත ආදරය නිසාමය. ඒ විශ්වීය ප්‍රේමයත්, එය පැතිර වූ දයාබර මිනිසාත් පිළිබඳ අලුත් කියවීමක් වත්මන් ශ්‍රී ලංකාවට වෙනදාටත් වඩා අද වුවමනා වී ඇත්තේ මෑතකාලීන ඉතිහාසයේ කුල, ජාති හෝ වර්ණ භේදයකින් තොරව අප දරා සිටින තිරස්චීන මතවාද හා මුහුණ දුන් ජන ඝාතක ගැටුම්වලින් මිදී වෛරය වෙනුවට ආදරය තෝරා ගත යුත්තේ කෙලෙසදැයි ‘චේ‘ ගේ චරිතය ක්‍රියාවෙන් ම අපට පෙන්වා දෙන නිසාවෙනි.

che 6

‘චේ‘ ගේ දර්ශනය තම දර්ශනවාදයේ හෝ දේශපාලන ගමන් මඟේ පූර්වාදර්ශය ලෙස පෙන්වා දෙමින් සිටින ඇතැමුන් අද සිදුකරන්නේ ඊට හාත්පසින්ම පරිබාහිර හා නොගැළපෙන කටයුතුය. ඉන් සිදු වන්නේ මරණින් පනස් තුන්වසරක් ගතවීත් ඔහු නැවත නැවතත් ඝාතනය වෙමින් පැවතීමය. එවන් පසුබිමක් හමුවේ විප්ලවයේ හා පරමාදර්ශයේ සංකේතය ලෙස ‘චේ‘ අදටත් වලංගු වන්නේ කෙලෙසදැයි යන්න වටහා ගැනීමට ප්‍රාමාණික දායකත්වයක් සපයා දෙන්නට ප්‍රියන්ජන් සුරේෂ්ගේ ‘කියුබානු විප්ලවයේ මතක සටහන්‘ පරිවර්තනය අත්‍යවශ්‍යම මොහොතක අප හමුවේ පෙනී සිටියි.

che 1

‘චේ’ ගේ මරණයෙන් හරියටම 2021 ඔක්තෝබරය වන විට පනස් හතරවසරක් ගෙවෙමින් තිබෙයි. පනස් හතරවසරක් ගෙවුණු පසුත් චේ ගුවේරාත් ඔහුගේ විප්ලවීය ජවයත් ලෝකයට තව ම අමතකව ගොස් නැත. ලොව විවිධ දේශ දේශාන්තරවල පවා ‘චේ’ යන හඬින් ඔහුගේ හැඩරුව, කියුම් කෙරුම් හා විප්ලවීය භාවිතය හඳුනා ගැනීමට බොහෝ දෙනා සමත් වෙති.

 

che 14


ලෝකයේ නොයෙකුත් රටවල විප්ලවවාදී අරගලය උදෙසා සිය ජීවිත කැප කර සිටින හා සටන් වදින බොහෝ ජනයාට පරමාදර්ශයක්, ආශ්වාදයක්, සටන්කාමීත්වයක් හා පන්නරයක් ගෙනදෙන ‘චේ‘ නම් සටන්කාමියා කවරෙක් ද? සිය විප්ලවීය අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස ඔහු අනුගමනය කළ ක්‍රියා මාර්ගය කුමක්ද යන්න වටහා දෙනු වෙනුවට ‘චේ‘ හුදු කැරලිකරුවකු ලෙස උත්කර්ෂයට නංවන බොහෝ දෙනකු ඉන් ‘චේ‘ නම් චරිතයට සිදු කරන අසාධාරණය යටපත් කරන්නේ ඒ අසහාය විප්ලවීය අදහසින් පොහොණි වූ හදවතේ සැඟ ව ඇති මානව ප්‍රේමයයි. ආත්මාර්ථය හැරදමා මිනිසුන් වෙනුවෙන් කැපවුණු, විප්ලවීය ඉතිහාසයේ නොමැකෙන අමරණීය සලකුණක් ලෙස මනුෂ්‍ය හදවත් තුළ සදා අනුස්මරණීයව ලැගුම් ගත් උතුම් මිනිසත්කමයි. ‘චේ‘විප්ලවීය ඉතිහාසයේ ආත්මීය සංකේතය ලෙස අදටත් නාම ගැන්වෙන්නේ ඒ මිනිසත්බවේ ගුණ මහිමය හේතුවෙනි. අද වන විට බොහෝ අවස්ථාවල ඔළුවෙන් සිටවුණු ඒ මිනිසත් බවේ ගුණ මහිමය දෙපයින් සිටුවන්නට ‘කියුබානු විප්ලවයේ මතක සටහන්‘ පරිවර්තන කෘතිය අපට මඟ පෙන්වා දෙන්නක් බව සඳහන් කිරීම අසාධාරණ නොවේ.

che 8

 (පරිවර්තනය- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා// විදර්ශන ප්‍රකාශන)

නවතම ලිපි