SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෝලියෝ රෝගය නිසා ඇවිදගන්නවත් බැරිව හිටපු විල්මා රුඩොල්ෆ් ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව වුණු හැටිත්...

තමන්ගෙ දරුවා අඩු වයසින් ඉපදුනු නිසා මරණය පෙනි පෙනී සිටි ඇලිසන් ෆිලික්ස් මේ අවුරුද්දෙ ඔලිම්පික් පදක්කමක් දක්වා ගිය හැටිත් අපි පහුගිය දවස් වල කතා කලා.


නමුත් බෙටී රොබින්සන්ගෙ කතාව ඊටත් වඩා විශේෂයි.

betty 2

බෙටී ඉපදෙන්නෙ 1911 දි ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් පලාතේ.
අද ඇමරිකානු කාන්තාවන් භුක්ති විඳින නිදහස ඒ කාලෙ ඇමරිකානු ගැහැණුන්ට හීනයක් වගේ.
ක්‍රීඩා කියන්නෙ පිරිමින්ට සීමාවූ වරප්‍රසාදයක් විතරයි. ක්‍රීඩා කරන කාන්තාවන්ට හූ සද්දෙ විතරක් නෙවේ ගල්මුල් පවා ලැබුණු කාලයක් ගැනයි අපි මේ කතා කරන්නෙ.

අවුරුදු පහලව වෙද්දි බෙටී එක්ක තරඟෙට දුවල දිනන්න පුළුවන් එක පිරිමි ලමයෙක් වත් එයාගෙ කොලෝජියේ හිටියෙ නෑ. කොන්ඩෙත් කපල ... කොට කලිසමකුත් ඇඳගෙන පිරිමි ලමයෙක් විදිහට වෙස් වලාගෙන කොල්ලොත් එක්ක දුවල දිනන බෙටී නිතරම බැනුම් ඇහුව ගුටි කෑව.

ඒත් එයා නෙවේ ක්‍රීඩාවට තියන ආසාව අතෑරියේ.

betty 3
මෙන්න මේ කාලෙ තමයි ඔලිම්පික් මළල ක්‍රීඩා තරඟ කාන්තාවන්ටත් විවෘත්ත කල යුතුයි කියල ඉල්ලීම් ලැබෙන්නෙ. පූජකයන්... ආගම් මතවාදීන් සංසකෘතික අන්ධයන් මර හඬ දෙද්දි 1928 ඇම්සටර්ඩෑම් ඔලිම්පික් උළෙලෙට කාන්තා මළල ක්‍රීඩා තරඟ ඇතුලත් වෙනව.

බෙටීට යන්තම් අවුරුදු දාසය වුනා විතරයි. කොල්ලොත් එක්ක දුවල පුරුදු බෙටී ඇමරිකානු තේරීම් තරඟ වලින් දිනන්නෙ හිනා වෙවී.
මේ තේරීම් තරඟ පැවැත්වුනේ විරෝධතා ..හූ හඬ.. බාධා කිරීම් මැද්දෙ.

මතධාරීන්ගේ ඔළු උඩින් පැනල ඇම්ස්ටර්ඩෑම් යන බෙටී මීටර් සීය තරඟයේ රන් පදක්කම දිනා ගන්නෙ තත්පර 12 ක අළුත් ලෝක වාර්ථාවකුත් එක්ක.
ඒ එක්කම මීටර් සීය හතර සහාය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමකුත් ඇමරිකාවට දිනා දෙන්න මේ කෙල්ලට පුළුවන් වෙනව.

betty 1

හූ කියපු.. ගල් ගහපු හැමෝම මල් මාලා දාල බෙටීව පිලිගන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා.

මේ 1931 අවුරුද්ද... මළල ක්‍රීඩාවට අමතරව බෙටීට ඕනෙ වෙනව ගුවන් යානා පදවන්න.
මහ විනාසයක්.... ගෑණු කොහොමද ප්ලේන් පදින්නෙ.
තමන්ගෙ ඥාති සහෝදරයෙක්ගෙන් සැහැල්ලු ගුවන් යානා පදින්න ඉගෙන ගන්න යන බෙටී ආයෙත් සැරයක් මිනිස්සුන්ගෙ විහිළුවට ලක්වෙනව.

අවාසනාවකට මේ දෙන්න ගමන් ගත්ත ගුවන් යානය කඩාගෙන වැටෙනව කැලෑවකට.
පැය ගානකට පස්සෙ ගම්වාසීන් කඩා වැටුණු ගුවන් යානය හොයා ගන්නෙ පණ නැති සිරුරු දෙකත් එක්ක.
බෙටීගෙ සිරුරෙ හැම තැනම තුවාල. අත් කකුල් වල අස්ථි බිඳීම්... පිලිස්සීම් තුවාල ඇඟ පුරාම.

මේ කිට්ටුව තියන පුවර් ෆාම් නම් මළ සිරුරු සකස් කරන එහෙමත් නැත්තං අපේ භාශාවෙන් කිව්වොත් එම්බාම් කරන තැනට මේ දෙන්නගෙ සිරුරු දෙක අරගෙන යනව.
එදා හවස බෙටීගෙ සිරුර පිලියල කරන්න පටන් ගද්දි පුවර් ෆාම්හි වැඩ කරන අත් උදව් කාරයාට සැකයක් ඇති වෙනව බෙටී ඇත්තටම මැරිලද නැද්ද කියල.
කෝකටත් ..දෙවෙනි සැරේටත් පරීක්ශා කරද්දි එයාට වැටහෙනව මේ තරුණ කෙල්ල යාන්තමට හුස්ම ගන්නව කියල.
එදා රෑම බෙටීව රෝහල් ගත කරනව.. එයාව පරීක්ශා කරන වෛද්‍යවරු කියන්නෙ මෙයා දවස් දෙක තුනක් වත් ජීවත් වෙන එකක් නෑ කියලයි.

ඒත් සතියකට පස්සෙත් බෙටී ජීවත් වෙනව.
ජීවත් වුනත් කවදාවත් රෝද පුටුවෙන් එහා ජීවිතයක් එයාට නෑ. එහෙම කියන්නෙත් දොස්තර මහත්තුරුම තමයි.
මාස හයක් යනකල් බෙටී ජීවත් වෙන්නෙ ලෙඩ ඇඳෙයි රෝද පුටුවෙයි.
ගැහැනුන් ක්‍රීඩා කරනවට විරුද්ධ වුණු අන්තවාදී විහිළු කාරයින් බෙටීට හිනා වෙනව.

betty 0

1932 අවුරුද්ද වෙද්දි බෙටීට යන්තම් කොර ගගහ ඇවිදින්න පුළුවන් වෙනව.
මේ අවුරුද්ද තමයි එයාගෙ ජීවිතේ අමාරුම අවුරුද්ද . හේතුව 1932 ඔලිම්පික් තරඟ තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර.
තමන් ලේසියෙන්ම දිනපු රන් පදක්කම පෝලන්ත ක්‍රීඩිකාවක් අරන් යනව බලන් ඉන්න තමා බෙටීට සිද්ධ වෙන්නෙ.
කාලෙ ගතවෙනව.


ආපහු සැරයක් දුවන්න පුරුදු වෙන බෙටීට හැමෝම හිනා වෙනව. ඒ එක්කම තවත් කණ්ඩායමක් බෙටීව දිරිමත් කරන්නෙ මරණයෙන් නැගිටපු මුවදෙන යන අන්වර්ථ නාමය පටබඳිමින්.
මේ 1936 අවුරුද්ද. කොර ගගහ දුවන බෙටී ආපහු සැරයක් ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වෙන්නෙ මීටර් සීය තරඟයේ දෙවෙනියා වෙමින්.
මේ කිසිම කෙනෙක් බලාපොරොත්තු වුණු දෙයක් නෙවේ.

betty 4

 

වේගයෙන් දුවන්න පුළුවන් වුනත් බෙටීගෙ එක දණ හිසක් සම්පූර්නයෙන්ම නමන්න බැහැ. මේ හේතුව නිසා එයාට මීටර් සීය තරඟයේ ආරම්භය ලබා ගන්න බැහැ.

නමුත් මීටර් සීය හතර සහාය දිවීමේ ඉසව්වට සහභාගි වෙන්න බෙටීට කිසිම භාධාවක් නෑ.
මේ තරඟයෙන් ඔලිම්පික් රන් පදක්කම ඇමරිකාවට ලබා දෙන්න බෙටී රොබින්සන්ට පුළුවන් වෙනව.



1936 බර්ලින් ඔලිම්පික් උළෙලෙ ලෝකයේම ප්‍රසිද්ධ වෙන්නෙ හිට්ලර්ගෙ නාසි ප්‍රථිපත්තිත්... ඒ නාඩගම් වලට උඩින් පැනල ගිහින් රන් පදක්කම තුනක් දිනා ගත්ත ජෙසී ඕවන්ස් ගෙ හැකියාවත් නිසා.
නමුත් මරණයෙන් නැගිටල ආපු බෙටීගෙ රන් පදක්කම ඒ එකකට වත් දෙවෙනි වෙන්නෙ නෑ.
හූ හඬ.. ගල් පාරවල් මැද්දෙ බෙටී දුවන්න ගත්තෙ ක්‍රීඩාවට තිබුණු ආදරේ නිසයි.
දණහිසට ගාවට එනකල් දිග ඇඳුම් ඇඳගෙන ... කොන්ඩෙත් කොටට කපාගෙන බෙටී දිව්වෙ තමන්ගෙ රේස් එක නෙවෙයි.
ඒ මුළු ලෝකෙම ඉන්න කාන්තාවන්ගෙ රේස් එකයි.

betty 7


මැරිල කියල තීරණය කරපු බෙටී මරණෙන් නැගිට්ට.. කිසිම දවසක රෝද පුටුවෙන් එහා ජීවිතයක් නෑ කියල වෛද්‍යවරු කියද්දි බෙටී රෝද පුටුවෙන් නැගිටල දිව්ව.
ඒ විතරක් නෙවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනුව.


පහු කාලෙක විල්මා රුඩොල්ෆ් කිව්වෙ “කිසිම දවසක හීන වලට තියන බලය හෝ ඒ තුලින් ඇතිකරන්න පුළුවන් බලපෑම ගැන සැක උපදවගන්න එපා.. “කියලයි.
(Never underestimate the power of dreams and the influence of the human spirit....)

මේක තවත් පරණ කතාවක් විතරයි.
නමුත් බෙටී අපිට කියල දෙන කතාව මුළු ලෝකයේම ඉතිහාසය වෙනස් කලා. ක්‍රීඩා කරන ගැහැනුන්ට ගල් මුල් එල්ලවෙන කාලෙක.. නින්දා අපහාස එල්ල වෙන කාලෙක එයා ඒ ගල් මුල් ..අපහාස වල උඩින් පැනල ගිහින් ලෝකය දිනුව.

betty 5

බෙටී රොබින්සන්.. 1911/ 1999.
(Betty Robinson - Elizabeth R Robinson)

නවතම ලිපි