SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රංශයේ ප්‍රධානතම සාහිත්‍ය සම්මානය වන්නේ" ගොන්කූර්" (Prix Goncourt ) සම්මානයයි.

සම්මානය හිමිවන පොත තෝරා ගන්නා ජූරිය සමන්විත වන්නේ සාහිත්‍යය පිළිබඳ මහා දැනුමක් ඇති , සාහිත්‍යවේදීන්, ආචාර්ය , මහාචාර්ය වරුන්ගෙන් සහ භාෂා විද්වතුන්ගෙනි . හඳුන්වා දෙන්නට වුවමනා නැති වුණත් ජූරියේ හැමෝම වාගේ  වයසින් වැඩි උදවිය බව පැහැදිළිය . ඉතිං මෙවර 2021 සම්මානය ලබා දුන් ගොන්කූර් ජූරියට මගේ ප්‍රණාමය පළ කරන්නට මට සිතුණේ හේතු කීපයක් නිසාය.

කවුරු මොනවා කීවත් ප්‍රංශ කාරයෝ විදේශිකයින්ට කැමති නැති බව පැහැදිළිය . තිස් වසරකට ආසන්න කාලයක් ප්‍රංශයේ ජීවත් වන මට මේ වෙනස , නොගැලපීම , අකමැත්ත පෙනී ඇත. දැනී ඇත . මානුෂික අයිතිවාසිකම් ගැන ලෝකය ඉදිරියේ මහා ඉහලින් පෙනී සිටියත් , තමන්ට ලැබී ඇති අයිතීන් විදේශිකයින් සමග බෙදා ගන්නට ඔවුහු කැමති නැත. විදේශිකයින්ට දෙවැනි තැන ලබා දීමේ ප්‍රවනතාවයක් ප්‍රංශයේ සෑම ක්ෂේත්‍රයකම ඇති බව කියන්නේ මා නොවේ. එය සමාජ සමීක්ෂණ වලින් සොයා ගත් කරුණකි. එකම සුදුසු කම් ඇති විදේශික සම්භවයක් ඇති අයෙක් සහ ප්‍රංශ ජාතිකයෙක් රැකියාවකට අයදුම්පත් යොමු කළ විට වැඩි අවධානය යොමු වන්නේ ප්‍රංශ ජාතිකයාට බව හැමෝම දන්නා කරුණකි.

කෙසේ හෝ වේවා හැම ක්ෂේත්‍රයකම අඩු වැඩි වශයෙන් පවතින්නේ යැයි මා සිතනා (ප්‍රංශයේ සිටින තවත් අයෙකුට එසේ නොසිතෙන්නට පුළුවන ) තමන්ගේ අයට වැඩි තැනක් දීමේ මේ ප්‍රවනතාවය බල නොපාන්නේ ක්‍රීඩාවට සහ කලා ක්ෂේත්‍රයට පමණක් බව පැහැදිළිය .

Racism 2

 

අද දවසේ ප්‍රංශ සාහිත්‍යයවර්ණවත් කරන්නවුන් අතරේ විදේශ සම්භවයන් ඇති ලේඛක ලේඛිකාවන් වැඩි වැඩියෙන් දකින්නට ලැබීම කැපී පෙනෙන කරුණකි. යුරෝපිය , ආසියාතික , ලතින් ඇමරිකානු රටවලින් පැමිණ ප්‍රංශයේ පැළපදියම් වුණු පවුල් වලින් පසු කාලීනව බිහිවුණු දරුවෝ ප්‍රංශ සාහිත්‍යය වැළඳගෙන කැපී පෙනෙන කතු වරුන් කතුවරියන් බවට පත් වූහ .

ඒ කෙසේ වුවද වසර ගණනාවක සිට ප්‍රංශ සාහිත්‍යයේ වැඩියෙන්ම කැපී පෙනෙන විදෙස් ආක්‍රමය හිමි කරගන්නේ අප්‍රිකානු ලේඛක ලේඛිකාවන්ය. අපේ ලාංකික පාඨකයින් බොහෝ දෙනෙක් නොදන්නා Cheikh Anta Diop (1923-1986) , Ahmadou Kourouma (1927-2003), Amadou Hampâté Bâ (1901-1991) ,Aminata Sow Fall, Alain Mabanckou වැනි ප්‍රංශ බසින් පොත් ලියා සාහිත්‍ය ලෝකයේ අවධානයට ලක් වුණු අයයි .

කළු අප්‍රිකානුවන් වන මේ බොහෝ දෙනා බිහි වන්නේ ප්‍රංශ යටත් විජිත වශයෙන් පැවති සෙනෙගාලය , මාලි රාජ්‍යය , කොංගෝව , කැමරූනය , (Afrique française) වැනි රටවල් වලින් බව අමතක කළ යුතු නොවේ. එනම් ඔවුන් බොහෝ දෙනෙක් තමන්ගේ මව් බසට අමතරව ප්‍රංශ බස හදාරා ප්‍රංශ බස කතා කරන ලියන්නට ( francophone) හැකියාව ඇත්තෝ වෙති. එවැනි ඇතැම් කළු ජාතික ලේඛක ලේඛිකාවෝ ඇතැමෙක් තමන්ගේ පොත් වැඩි වශයෙන්ම අලෙවි කරන්නේ ප්‍රංශයේය. ප්‍රංශ ජාතික පාඨකයෝ මේ කළු අප්‍රිකානු ලේඛකයින්ට දැඩි ලෙස ප්‍රිය කරන්නේ නොදන්නා සංස්කෘතියක් සාහිත්‍ය තුළින් වැළඳ ගන්නට ඇති කැමැත්ත නිසා විය යුතුය.

අප්‍රිකානු රටවලින් පැවත එන මේ ලේඛක ලේඛිකාවෝ ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන වලින් පුද ලබති. පසුගිය සතියේ ප්‍රංශ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත්ම සිද්ධිය වූයේ 2021 වසරේ " ගොන්කූර්" සම්මානය සෙනෙගාල ජාතික ලේඛකයෙකුට හිමිවීමයි.

මේ ලේඛකයා මොහමද් බුගා සාර් (Mohamed Mbougar Sarr)ය.

ඔහුගේ වයස අවුරුදු 31 කි.

"ගොන්කූර් " සම්මානයේ විශේෂත්ව කීපයක්ම තිබේ. මේ පිළිගත් සම්මානය ලේඛකයෙකුට දිනා ගත හැක්කේ එක් වරක් පමණි. කීප වතාවක් නාම යෝජනා විය හැකි නමුදු සම්මානය දිනා ගත් සැනින් යළිත් ඔහුගේ පොතක් තරඟයට ඉදිරිපත් කළ නොහැකිය. මේ කොන්දේසිය ඇති කිරීමෙන් "ගොන්කූර්" කමිටුව බලාපොරොත්තු වූයේ එකම ලේඛකයෙකුට කීප වතාවක් සම්මානය ලැබීමෙන් ඇතිවිය හැකි ඒකාධිකාරිය නැති කිරීමයි.

 

Racism 3

එමෙන්ම සම්මානය හිමි කර ගන්නා ජයග්‍රාහකයාට ලැබෙන තෑගි මුදල යුරෝ 10 කි. මෙතරම් කුඩා මුදලක් ලබා දෙන්නට සංවිධායකයින් කටයුතු කරන්නේ සම්මානය දිනා ගන්නා පොත නියත වශයෙන්ම පිටපත් ලක්ෂ තුනක - හතරක (අවම වශයෙන් ) අලෙවියක් වාර්තා කරන හෙයිනි. මේ අනුව මෙවර සම්මානය හිමි කර ගත් Mohamed Mbougar Sarr තරුණයා ගේ La plus secrète mémoire des hommes පොත පිටපත් ලක්ෂ හතරක් අලෙවි වන්නේ නම් ඔහු කර්තෘ අයිතිය වශයෙන් උපයා ගන්නා මුදල යුරෝ මිලියන 6 ක් වන බවද අමතක කළ යුතු නැත.

කව්ද මේ Mohamed Mbougar Sarr ..?

1990 වසරේ සෙනෙගාලයේ ඩකාර් නගරයේ උපත ලැබූ ඔහු වයස අවුරුදු 18 දී උසස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රංශයට පා තැබුවේය. ගොන්කූර් සම්මානය ලබන්නට පෙර පොත් 4 ක් ලියූ බුගා සාර් ඒ සෑම පොතකටම වාගේ විවිධ වූ සම්මාන හිමිකර ගත් , බොහෝ දෙනෙකුගේ කතා බහට ප්‍රශංසාවට ලක් වූ ලේඛකයෙකි.

Mohamed Mbougar Sarr තරුණයාට ගොන්කූර් සම්මානය ලබා දුන් ජූරියට මගේ ප්‍රණාමය පුද කරන්නේ යැයි මම කිවේ ඇයි ..? ජූරියේ සිටින්නේ ප්‍රංශ ජාතිකයෝය. ඔවුන් සැළකිල්ලට ගත්තේ නිර්මාණය පමණි. එහි නිර්මාණකරුවා නොවේ. ඔහු කළු ජාතිකයෙක් වීම හෝ , නාම යෝජනා ලබා සිටි අනෙක් අය අතරේ වයසින් බාලයෙකු වීම ජූරියට ගැටළුවක් වූයේ නැත.

අනෙක් වැදගත් කරුණ වන්නේ මේ පොතේ ප්‍රකාශකයා වන Éditions Philippe Rey ආයතනය ඉතා කුඩා, ස්වාධීන ආයතනයක් වීමයි. එක් කළෙක ප්‍රධාන පෙළේ , කැපී පෙනෙන ප්‍රකාශකයින්ගේ බල අධිකාරියට හසුව තිබුණු සම්මානයේ අපක්ෂපාති බව රැක ගන්නට 2001 වසරේ විශේෂ කොමිසමක් පත් කරන ලදී . එදා පටන් අද දක්වා කිසිදු ප්‍රකාශන ආයතනයකට සම්මාන පිරිනැමීමේ ක්‍රියාවලියට අත පෙවීමේ හැකියාවක් නොවේ.

ලබන වසරේ ප්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වෙයි. විදේශිකයින්ව ප්‍රතිෂේප කරන , ප්‍රංශයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ ප්‍රංශ කාරයින්ට පමණක් යැයි කියමින් ජනතාව කුලප්පු කරන පක්ෂ කීපයක්ම බිහිව ඇති මොහොතේ රටේ වැදගත්ම සාහිත්‍ය සම්මානය Mohamed Mbougar Sarr ට ලබා දීම ජාතිවාදයට එරෙහිව ගැසූ පහරක් යැයි මම සිතමි.

මේ තරුණ ලේඛකයා ගේ එකදු පොතක් වත් මා කියවා නැත. ගොන්කූර් සම්මානය ඔහුට ලැබුණු දිනයට පසුදා (ගිය බ්‍රහස්පතින්දා ) උදෑසන නගරයේ පොත් කඩ හතරකට ගොඩ වුණු මට අසන්නට ලැබුණේ සම්මානය හිමි වී ගතව යන පළමු පැය දෙකේදී තමන් සතුව තිබුණු පිටපත් සියල්ල අලෙවි වුණු බවයි. අලුත් පිටපතක් ලබා ගන්නට සතියක් බලා සිටිය යුතු අතර එයද පෙර ඇනවුම් කළ යුතුය. මම එසේ කළෙමි.

ලබන 15 වැනි ඉරිදා පැරිසියේ ප්‍රන්සුවා මිතරෝන් පුස්තකාල ශාලාවේ ගොන්කූර් සම්මානය පිරිනැමීම ගැන විවාදයක් පැවැත්වෙන්නට නියමිතය . ජූරියේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවේදී සම්මානය සම්බන්ධයෙන් වන ඕනෑම ප්‍රශ්නයක් අසන්නට පාඨකයින්ට අයිතිය තිබේ. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ජූරිය සූදානම්ය.

නවතම ලිපි