SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබ ලංකාවේ දේශපාලන හා සාමාජීය කරුණු කාරණා ගැන සංවේදී පුද්ගලයෙක් නම් අනිවාර්‍යෙන්ම ’90 දශකයේ දී ලාංකික සමාජයට විශාල මතවාදීමය වෙනසක් හා බලපෑමක් කරපු “X කණ්ඩායම” පිළිබඳව හොඳ මතකයක් ඇති.

පශ්චාත් නූතනවාදය මෙරට විද්‍යාර්ථීන්ගේ අවධානයට ලක්‌ කළ “X කණ්ඩායම” කියන්නේ 90 දශකයේ මැද භාගයේ පටන් ලාංකික සමාජයේ කැපී පෙනෙන කාර්යභාරයක්‌ ඉටු කළ තරුණ සමාජ ගවේෂකයන් පිරිසක් වගේම දේශපාලනික ක්‍රියාකාරීන්ගේ කණ්ඩායමක්.

ලංකාවට සුනාමි ඛේදවාචකය ඇති වුණු දිනයේම තමයි X කණ්ඩායමේ සමාප්‍තියත් සනිටුහන් වුණේ. ඒ නැවතීමට පසුගිය දෙසැම්බර් 26ට අවුරුදු 15ක් පිරුණා. ඒ නිසා අපි හිතුවා ඔවුන්​ගෙන් සමාජයට ලැබුණු දායකත්වය ගැන නැවත සිහිපත් කිරීමක් කරන්න සහ ඔවුන් ගැන තොරතුරු නොදන්න නූතන පරම්පරාවට ඒ ගැන කියන්න. ඒ සඳහා අපිට තොරතුරු වලින් දායකත්වය ලබා දුන්නේ එවකට “X කණ්ඩායමේ” මුල් පෙළ ක්‍රියාකාරිකයෙක් වු කල්‍යානන්ද පෙරේරා මහතායි.

 

X1

  1. එක්ස් කණ්ඩායමේ නම හැදුන හැටි

පළමු වරට 1996 දී තමයි ධම්ම දිසානායක විසින් අපේ කණ්ඩායමට “X කණ්ඩායම” කියලා නම දැම්මේ. එහෙම නමක් අපිට දාන්න අවශ්‍ය වුණේ X අකුර තුළ නිශ්චිත අර්ථයක් නොමැති නිසයි. කොටින්ම X කියන්නේ ගණිතයේ එන අර්ථ විරහිත අගයක්නේ. ඒ වගේ නිශ්චිත අර්ථයක් නැතුව ඕනේ කෙනෙකුට අපි ගැන ඕනේම විදිහකට හිතාගන්න පුළුවන් නිදහසක් දෙන්න අපිට අවශ්‍ය වුණා. අනික තමයි ඒ කාලය වෙනකොට ලෝකයේ X පරම්පරාවක් ගොඩ නැඟීගෙන ආවා.

ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය කෝටි 6කට අධික මිනිස් ජීවිත සංහාරය දැකලා සමකාලීන ලෝකයේ මිනිස්සු ඒ වෙද්දී දැඩි කම්පනයකට පත් වෙලයි හිටියේ. ඊට පස්සේ බිහි වුණ බුද්ධිමත් තරුණ පරම්පරාව ඒ දේවල් එහෙම වුණේ ඇයි කියන එක, ඒ මානව සංහාරය දැඩිව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ එක්කම ඔවුන් ලෝකයේ තිබ්බ ගතානුගතික හර පද්ධතීන් විවේචනය කරමින් විවිධ රට වල කැරලි ආරම්භ කළා. කොටින්ම ඒ කාලේ තරුණයෝ ඒ පැවතුණ සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් විවිධ අලුත් සංස්කෘතීන් හා කලාවන් පවා බිහි කරගත්තා. ඇමරිකාවේ බිහි වුණ හිපි සංස්කෘතිය, බීට්ල්ස් සංගීත කණ්ඩායම කියන්නේ ඒකට උදාහරණ. ඒ “X පරම්පරාවේත්” ආභාෂයත් මේ නමට බලපෑවා. ඊට අමතරව ඇමරිකාවේ කළු ජාතික අරගලයේ ප්‍රබල සටන්කරුවෙක් හා ක්‍රියාකාරිකයෙක් තමයි “මැල්කම් එක්ස්” කියන්නේ. ඔහුගේ නමෙත් X කොටස තිබ්බනේ. මෙන්න මේ හේතු සාධක පෙළත් අපි විසින් “X කණ්ඩායම” ඒ නමින් හඳුන්වන්න බලපෑවා. 

2. එක්ස් කණ්ඩායම බිහි කිරීමට බල පෑ හේතු

 

X9

රුසියානු විප්ලවය, කියුබානු විප්ලවය හා වියට්නාම් විප්ලවය ආදී විප්ලව වල අසාර්ථකත්වයන් නිසා ලෝකයේ නිර්ධන පන්තියේ මිනිස්සු තුළ විශාල පිබිදීමක් ඇති වෙලයි තිබ්බේ. ඊට අමතරව ලෝකයේ අනිත් රටවල් සමාජවාදී සහ ධනවාදී දේශපාලනික කඳවුරු දෙකට බෙදිල තිබ්බ කාලයක් තිබ්බා. ඒකෙන් ලෝකයේ දුප්පත් මිනිස්සුන්ට ලෝකයේ බලයක් ලැබුණ නිසා සමානාත්මතාවය පිළිබඳව ලොකු කතිකාවතක් ලෝකය පුරා ඇති වුණා.

80 දශකය වෙනකොට සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක ඒ සමාජවාදී රාජ්‍ය ක්‍රමයන් අසාර්ථක වෙන්න පටන් ගත්තා. 1994 වර්ෂය වන විට ලංකාවේ දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක විප්ලව වලින් සහ උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැද ලංකාවේ මිනිස්සු සමාජීය, දේශපාලනික, ආර්ථික සහ මානසික වශයෙන් විශාල පීඩනයක් මැද්දේයි ජීවත් වුණේ. ඒ පීඩනයේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු බොහෝ බලාපොරොත්තු මැද ඒ වෙලාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට 62%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙමින් ජයග්‍රහණය කෙරෙව්වා. අදටත් ඒ තරම් ප්‍රතිශතයක් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් වාර්තා කරලා නෑ.

නමුත් පසු කාලීනව මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඇයට නොහැකි වුණ නිසා මිනිස්සු විශාල කලකිරීමකට පත් වුණා. විශේෂයෙන්ම ලංකාවේ ඒ වගේ තත්ත්වයක් පැවතුනේ. ඒ කාලේ අපේ රටේ තරුණ පරම්පරාව මේ හේතු සාධක නිසාම දේශපාලනයට ආක‍ර්ෂණය වෙලයි හිටියේ. මගේ තාත්තා පවා ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙක් විදිහට වැඩ කළා. ඒ කාලේ ඒ වගේ දේශපාලන ව්‍යාපාර වල හිටියේ සමාජය දිහා ඉතාම සාධාරණව සමානව බලපු, හොරකමින් දූෂණයෙන් තොර අවංක මිනිස්සු. 90 දශකය වෙද්දී ඒ ආභාෂය නිසාම අපිට වගේම ලංකාවේ තරුණ පරපුරටත් රටේ එවකට පැවතුණු දේශපාලනික, ආගමික, සංස්කෘතික, ආර්ථික හා කලාවට සම්බන්ධ ප්‍රශ්න සහ සමාජීය ගැටළු සම්බන්ධයෙන් අලුතෙන් කියවීමක් කරන්න, ඒවට උත්තර හොයන්න අවශ්‍ය වුණා. ඒවට උත්තර හොයන්න තිබ්බ පැරණි දැනුම් පද්ධතිය මදි වගේ කියලා අපිට හිතුනා. ඒ නිසා ඒවා ගැන ශාස්ත්‍රීය අදහස් ඉදිරිපත් ක​ළ විද්වතුන් එක්ක කතා කළා, ඔවුන්ගේ පොත්පත් කියෙව්වා, සාකච්ඡා පැවැත්වූවා, විවාද සහ සංවාද කළා. හැබැයි ඒ බුද්ධිමය සංවාද සිද්ධ වුණේ අපේ සීමිත කොටසක් අතරේ පමණයි. අපිට ඕනේ වුණා ඊළඟට ඒවා සාමාන්‍ය මිනිස්සු අතරට ඔවුන්ට තේරෙන භාෂාවකින් අරන් යන්න.

ඒ ඔස්සේ දේශපාලනය, ආගම, කලාව, සදාචාරය, ස්ත්‍රීවාදය සහ ලිංගිකත්වය වගේ විශාල මාතෘකා ප්‍රමාණයක් ගැන අපි ගොඩක් කතා කළා. ඒ නිසා “X කණ්ඩායම” බිහි කරගෙන අපි​ට දර්ශනය සම්බන්ධයෙන් තේරෙන භාෂාවකින් මිනිස්සුන්ව දැනුම්වත් කරන්න අවශ්‍ය වුණා. ඒ වෙද්දී සමාජයේ න්‍යායික බුද්ධිමතුන් කොටසකට විතරක් සීමා වෙලා තිබ්බ ශාස්ත්‍රාලීය දැනුම අපි සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න සරලව ලියන්න පටන් ගත්තා. කොටින්ම කිව්වොත් අපි දාර්ශනිකයන්ව මහ පාරට ගෙනාවා. ඔන්න ඔය හේතු සහ ඉහත සඳහන් කරපු ඓතිහාසික හේතු තමයි අපේ “X කණ්ඩායම” 1996 වසරේදී බිහි වෙන්න බලපෑවේ. 

ඊට අමතරව විශේෂයෙන්ම සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ “ප්‍රවාද” සඟරාව, “යාත්‍රා” සඟරා කණ්ඩායම, කොළඹ මහජන පුස්තකාලයේ එවකට පැවැති බුද්ධිමය සංවාද එකතූන්, සශ්‍රීය අධ්‍යන කව, මහාචාර්‍ය නලින් ද සිල්වාගේ ජාතික චින්තන කණ්ඩායම, “හිරු” කණ්ඩායම, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමකාලීනව ලංකාව ඇතුළේ පැවතුණා. අපේ දැනුම ගොඩ නඟාගන්න අපිට ඒවායෙන් ලැබුණු දැනුම් සම්භාර.

3. ප්‍රධාන අරමුණ

 

X6

මේ වැඩේට මුලින්ම එකතු වුණේ අපි දන්න සමීප හිත මිතුරන් පිරිසයි. ඒ කාලේ දීප්ති නාට්‍යකරුවෙක්. ඒ නාට්‍ය නිර්මාණ ඇතු​ළේ ගොඩක් වෙනස් දේවල් ඔහු කළා. මම සහ නිර්මාල් වැඩි වශයෙන් අවධානය යොමු කළේ රටේ දේශපාලනික තත්ත්වයන් සම්බන්ධවයි. අපිට ඕනේ වුණා සංස්කෘතික දේශපාලනය (Cultural Politics) ගැන වැඩි වශයෙන් කතා කරන්න. ඒ ගැන අධ්‍යනය කරගෙන යද්දී අපිට තේරුණ ලොකුම දෙයක් තමයි ලංකාවේ දේශපාලනික සංස්ථාව අසාර්ථක වෙන්න බලපාපු ප්‍රධාන කාරණයක් තමයි ඒවට නායකත්වය දුන්න දේශපාලනික චරිත දෙබිඩි ජීවිතයක් ගත කර තීබීම.

දේශපාලනයේදී ඔවුන් කොච්චර ප්‍රගතිශීලී හෝ විප්ලවවාදී වුණත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඇතුළේ ඔවුන් වෙනම ම චරිත සහිත මිනිස්සු විදිහටයි ජීවත් වෙලා තිබ්බේ. ඔය තත්ත්වය හඳුනා ගත්ත නිසා අපි “මහේශ දේශපාලනය” සහ “ක්ෂුද්‍ර දේශපාලනය” විදිහට ඛණ්ඩනය කරලා ඔවුන්ගේ ද්විත්ව ජීවිත ගැන ලියන්න පටන් ගත්තා. ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒක නිසා විශාල අවධානයක් අපිට ලැබුණා. ඒ නිසාම අපිව විවේචනය කරන්නත් කොටසක් පෙළඹුනා. අපි සාර්ථක වගේම අසාර්ථකත් වුණා. මේ හැම කාරණාවක් ගැනම අපි ලිව්වේ “මාතොට” සහ “London ” සඟරා ආරම්භ කරමිනුයි. දේශපාලනය වගේම දේශපාලනයට සම්බන්ධ අනෙක් මාතෘකා ගැනත් අපි සාකච්ඡා කළා. මේ නිසා අපි ගතානුගතික මිනිස්සුන්ට වඩා වෙනස් කියලා සමාජය හිතන්න පටන් ගත්තා සහ සාමාන්‍ය මිනිස්සු පවා අපිත් එක්ක එකතු වුණා. ඒක තමයි අපේ ලොකුම අරමුණ විදිහට සාක්ෂාත් කරගත්තේ.

4. ආරම්භක සාමාජිකයින්

 

X13

 

මුල් කාලයේදී නිර්මාල් රංජිත් දේවසිරි, ධම්ම දිසානායක, දීප්ති කුමාර ගුණරත්න, සුමිත් චාමින්ද,  බුද්ධික බණ්ඩාර, රුවන් බස්නායක, දීපාල් චන්ද්‍රරත්න, සිරිමලී ලියනගම සහ තවත් අපේ හිත මිතුරන් පිරිසක් තමයි ආරම්භක සාමාජිකයින් විදිහට “X කණ්ඩායම”ට එකතු වුණේ. අපේ අදහස් පළ කරපු “මාතොට” සඟරාවේ මුල් හිමිකම තිබ්බේ එවකට රජයේ අමාත්‍යවරයෙක් වුණු මංගල සමරවීර මහතාටයි. ඒ කාලේ අපි විශ්ව විද්‍යාල අධ්‍යන කණ්ඩායමක් විදිහටයි අලුත් අදහස් ගැන කතා ක​ළේ. මුල් කාලයේදී දීප්ති අපිට වැඩිදුර ශාස්ත්‍රීය කාරණා ඉගැන්නුවා වගේම සාකච්ඡා කළා.

මේ අලුත් වැඩේට සහ අලුත් අදහස් වලට මංගල කැමති වුණා. හැබැයි අපි කවදාවත් මංගලගේ දේශපාලනයට එක් වුණේ වත් අනුමත කළේ වත් නෑ. ඔහුගේ දේශපාලනයට අපිව සම්බන්ධ කරගන්න මංගලට අවශ්‍යතාවයක් තිබ්බෙත් නෑ. නමුත් මංගල අපේ විකල්ප දේශපාලනික අදහස් වලට  කැමති වුණා.

ඒ නිසා පසු කාලීනව “මාතොට” සඟරාවේ මුල් සාමාජිකයින් අයින් වෙද්දී ඒක පවත්වාගෙන යන එක 1996 සැප්තැම්බර් මාසේ අපි භාර ගත්තා. සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, බස්නායක, දීප්ති, නිර්මාල් සහ මාත් ප්‍රමුඛ අපේ කණ්ඩායම තමයි සංස්කාරක මණ්ඩලය විදිහට ඒකේ වැඩ කළේ. සඟරාවට ලැබුණ අධික ඉල්ලුම නිසාම මාසෙකට සඟරා පිටපත් 3000කට අධික ප්‍රමාණයක් අලෙවි වුණා. 

5. සංවිධානයේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය

 

X4

 

ස​ඟරා​ව හරහා අපේ මතවාද රටේ සාමාන්‍ය මිනිස්සු අතර පැතිරුණා. සඟරාව කියවපු පාඨකයන් විසින් සාකච්ඡා කව හදාගෙන ඒවාට සම්බන්ධ වෙලා තව තවත් දැනුම ලබා දෙන්න කියලා අපිට ලංකාව වටෙන්ම ආරාධනා පවා ලැබුණා. ඒ හා සමගාමීව X කණ්ඩායමේ අපි ලංකාව පුරාම රැස්වීම්, සම්මන්ත්‍රණ, කණ්ඩායම් සාකච්ඡා පැවැත්වූවා. මේ සඟරාව මාස දෙකකට සැරයක් නිකුත් කරද්දී ඒකට අදා​ළ පෝස්ටරයකුත් නිකුත් කරනවා. ඒක රට පුරාම ඇලවුණා. ඉතාම හොඳ සංවිධාන ශක්තියක් එතකොට අපේ කණ්ඩායමට හැදිලා තිබ්බා.

 2000 වර්ෂයේදී “මාතොට” සඟරාව විවිධ හේතු නිසා නැවතුණා. ඊට පස්සේ අපිම හිතලා නමකුත් දාලා අපේ අදහස් ප්‍රකාශ කරන්න අලුත්ම විදිහට 2001 දී “London” සඟරාව ආරම්භ කළා. අපි සමාජයට කියපු හැම දෙයක්ම අපේ සැබෑ ජීවිතයේදීත් ප්‍රැක්ටිස් කළා. සංවිධානය ඇතු​ළේ ක්‍රියාත්මක කළා. ලංකාවේ වමේ දේශපාලනයට අලුත් මාතෘකා අපි හදලා දුන්නා. සාම්ප්‍රදායිකව පවතින තත්ත්වයන් ප්‍රශ්න කරන, විවේචනය කරන, බුද්ධියෙන් විමසා බලා ගැටළු අඳුනගන්න පුළුවන් තරුණ කොටසක් හදන්න ඒ කාලයේදී අපිට පුළුවන් වුණා.

 

6. X කණ්ඩායම බිඳ වැටෙන්න හේතු

 

x14

 

“X කණ්ඩායම” බිඳ වැටෙන්න හේතුව අපේම ඇතුළේ ඇති වුණ න්‍යායාත්මක ගැටුම් තමයි. විවිධ වාදයන් සහ අලුත් විෂය පද්ධතීන් අප කණ්ඩායමට එකතු වුණා. පසු කාලීනව “මනෝ විශ්ලේෂණවාදය” හැදෑරීම සහ සාකච්ඡා කිරීම අපි අතරේ සුවිශේෂී සහ ජනප්‍රිය වුණා. ඒ ගැන අධ්‍යනය කරද්දී අපිට තේරුණා මිනිස්සු කතා කරන දේවල් වලට වඩා කතා නොකරන දේවල් ගොඩක් විශාලයි කියලා. මනෝ විශ්ලේෂණවාදය හරහා ඒ දේවල් මතු කරගන්න, කතා කරන්න අපි උත්සාහ කළා.

ලංකාවේ දේශපාලනයට ඒ වෙද්දී කවුරුවත් මනෝ විශ්ලේෂණවාදය ආදේශ කරලා තිබුණේ නෑ. අපිට නොතේරෙන තැන් බොහොමයක් තේරුම් ගන්න ඒ න්‍යාය ගොඩක් තැන් වලදී ප්‍රයෝජනවත් වුණා. ඒ විෂය පථයේ කොටසක් තියෙනවා සායනික මනෝ විශ්ලේෂණය (Clinical Psychology) කියලා. ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ වෘත්තීමය සායනික මනෝ වෛද්‍යවරු. අපි ඒ කොටස දේශපාලනයටත් යොදා ගත්තා. ඒ හරහා අපේ සාමාජිකයින් පුද්ගලයන්ව විශ්ලේෂණය කරන්න පටන් ගත්තා. අපේ සමහර සාමාජිකයන් ඔවුන්ට ලැබුණු පුද්ගලික අත්දැකීම් ජෙනරලයිස් කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිට ඒ අය එක්ක න්‍යායාත්මක මාතෘකා හරහා ගැටෙන්න වුණා. ඒ ගැටීම් උත්සන්න වෙලා තමයි අපිට වෙන් වෙන්න සිද්ධ වුණේ.

අනික අපි “London ” සඟරාව ආරම්භ කළේ ‘ශිෂ්ටත්වයේ සිහිනය‘ කියන තේමා පාඨය සමඟයි. ඒකෙන් ගොඩක් කතා ක​ළේ ලන්ඩන් නුවර ප්‍රමුඛ බටහිර සමාජයේ මිනිස්සු තුළ එවකට පැවැති ශිෂ්ට හැසිරීම් හා ජීවන රටාවන් ගැනයි. එවැනි ශිෂ්ට මනුස්සයෙක් ලංකාව ඇතුළේ ගොඩ නඟන්නේ කොහොමද කියන තැනට අපි අපේ මතෘකා වෙනස් කළා.

 

X3

ඒ මිනිස්සු කන්න බොන්න ගියත්, පාරක් පනින්න ගියත් ඒ හැමදේම කළේ මනාව සකසපු විධිමත් ක්‍රමයක් ඇතුළේයි. ඒ වගේම අනිත් මිනිස්සුන්ව භාර ගන්නේ කොහොමද, විකල්ප හා අදහස් ප්‍රතිවාදී අදහස් භාර ගන්නේ කොහොමද, ආදරය විවාහය ලිංගිකත්වයේදී අපේ ජීවිතය මොන වගේ වෙන්න ඕනේද ආදී මිනිස්සුන්ට බොහෝ සමීප නමුත් වැඩි දුර ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකා අපි ඒ ඔස්සේ කතා කළා. අපිට ඇත්තටම ඕනේ වුණේ ඒ අලුත් දැනුමත් එක්ක සංවිධානය අලුත් ආකාරයකට අරන් යන්නයි. නමුත් පස්සේ කාලේ මේ වෙනස් වීම අපේ කණ්ඩායම තුළ මතවාදීමය වශයෙන් දෙදරීමක් කරා යන්න තරම් බලපෑවා.

ඒ එක්කම කාලයත් එක්ක අපිව රටේ ජනප්‍රිය වීමත් සමඟ සංවිධානය විශාල වෙන්න පටන් ගත්තා. අපිට ඒ කාලයේදී ලොකු ප්‍රැක්ටිස් එකක් තිබ්බේ නෑ ඒ දේවල් ක​ළමනාකරණය කරගන්න තරම්. 2004 දෙසැම්බර් මාසයේ 26 දා දීප්තිගේ කණ්ඩායම සහ මම, නිර්මාල්, ප්‍රභා මනුරත්න, අහිංසක පෙරේරා, සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, අරුණ බණ්ඩාර ප්‍රමුඛ අපේ කණ්ඩායම  වෙන් වුණා.

මේ හේතු කාරණා තමයි ප්‍රධාන වශයෙන් X කණ්ඩායම බිඳ වැටෙන්න බලපෑවේ. අපි ඊට පස්සෙත් අලුතෙන් සඟරා කළා. ඒ වගේම මගේ නමට  “London ” සඟරාව ලියාපදිංචි කරලා තිබ්බ නිසා සඟරාව දිගටම කරලා කාලෙකදී ඒක නැවැත්තුවා. “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව අපි කරගෙන ගියා. දීප්ති සමඟ කැඩිලා ගිය කණ්ඩායම පසු කාලීනව විවිධ නම් දරාගෙන වැඩ කළා. අද වෙද්දී “ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය” ලෙස ඔවුන්ගේ වැඩ ටික කරගෙන යනවා. 

7. වර්තමාන තත්ත්වය

 

x16

අර කණ්ඩායම් ගැටීමත් සමඟ සංවිධානය බිඳ වැටුණා. පස්සේ අපි තීරණය කළා ආයි සංවිධාන හදන්නේ නෑ කියලා. ඊට පස්සේ අපි X කණ්ඩායම විසිරෙව්වා. අපිත් එක්ක හිටපු කණ්ඩායම තීරණය කළා එතෙක් කාලයක් අපි එක තැනකට ගොනු වෙලා වැඩ කරපු එක වෙනුවට තම තමන්ගේ විෂය පථයන් ඇතුළේ ස්වාධීනව වැඩ කරන්න පටන් ගන්න එක සුදුසුයි කියලා.

අදටත් අපේ ඒ සාමාජිකයින් පොත් ලියනවා, ශාස්ත්‍රීය ලිපි ලියනවා, විවිධ සංවිධාන වල වැඩ කරනවා සහ රටේ දේශපාලනයට සැලකිය යුතු ආකාරයට මැදිහත් වෙනවා. අද කල්පනා කරනකොට හිතෙනවා අපි බලය ප්‍රශ්න කරද්දී අපිටත් නොදැනීම අවසානයේදී අපිත් බලයක් බවට පත් වුණා. අපේ ඕඩියන්ස් එක පවා අපෙන් ඒක ඉල්ලුවා. ඒකත් එක්ක අපි ඇඳගත්තා කියලා මට හිතෙනවා. ඒක වේලාසන දකින්න පුළුවන් වුණේ නෑ. අපිට ප්‍රැක්ටිස් එකක් තිබුණෙත් නෑ ඒවා දරාගන්න තරම්. මාක්ස් එක පාරක් කිව්වා “වෙනස් කරන්නා ද, වෙනස් වෙමින්, වෙනස් කළ යුතුයි” කියලා. ලංකාවේ අපිට මිස් වුනේ අන්න ඒකයි. මං කැමතියි “X කණ්ඩායම” අතින් වුණ අත්වැරදීම් කාටවත් පෞද්ගලිකව චෝදනා කරන්නේ නැතුව සාමූහිකව භාර ගන්න.

@ https://www.lifie.lk/2020/01/14/the-rise-and-the-fall-of-x-team/

 

 

 

නවතම ලිපි