SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහොම ස්තූතියි,මෙතන ඉන්න බුද්ධිමතුන් අතරේ දක්ශයෙක් වෙන එක හැබෑවටම හරි භයානක දෙයක්. (සභාවේ සිනා)

මං මෙතනට ආවේ ලාලසාව (passion) එක ගැන කතන්දර කීපයක් කියන්න. මං හරිම ආස යුදෙව් කියමනක් තියෙනවා : සත්‍යයට වඩා සත්‍ය කුමක්ද? කියලා. ඒකට උත්තරය තමයි කතන්දර !

මං කතන්දර කියන්නියෙක්. මට ඕනේ උනා අපේ සාමාන්‍ය මනුශ්‍යත්වයට වඩා සත්‍ය වූ යමක් කියන්න . ඕනෑම වර්ගයක කතාන්දර වලට මම කැමතියි. සමහර ඒවා ලියලා ඉවර වෙනකම් මගේ ඔලුව ඇතුලේ හොල්මං කරනවා. යුක්තිය, පක්ෂපාතීත්වය , ප්‍රචන්ඩත්වය, මරණය , දේශපාලනය , සමාජ ගැටළු , ස්වාධීනත්වය වගේ විවිධ මාතෘකා නිතරම මගේ ඔළුවට එනවා. අප වටා තියෙන මායාව ගැන මම දන්න නිසා මං ලියන්නේම අහඹු සිදු වීම් ගැන , පෙර නිමිති ගැන, භාවයන් ගැන , සිහින, සොබාදහමේ බලය, මැජික් වගේ දේවල් ගැන.

පසුගිය අවුරුදු විස්ස ඇතුලත මං පොත් කීපයක් පල කලත් 2006, ඉතාලියේ තිබූන සීත ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් ධජය ගෙන යෑම වෙනකම් මං හිටියේ නිර්නාමිකව. අන්න ඒකෙන් පස්සෙ තමයි මං ගැන ලෝකේ දැන ගත්තේ. (සභාවේ සිනා) මිනිස්සු දැන් මාව අඳුරනවා. මගේ දරුවන්ගේ දරුවෝ හිතන්නේ මං පඩ ශෝ කාරියෙක් කියලා.

(සභාවේ සිනා)

isabel 4

ඒ විනාඩි හතරේ කීර්තිය ගැන කියන්නට මට ඉඩ දෙන්න. ඔලිම්පික් සමාරම්භක උළෙලේ එක් සංවිධායකවරයෙක් මට කතා කරලා කිව්වා මාව ධජ ඔසවාගෙන යන්නියක ලෙස තෝරා ගෙන ඇති බව . මං හිතුවෙම ඒක වැරදීමක් කියලා . ක්‍රීඩිකාවක් වෙන්න මං හිතලාවත් තිබුනේ නෑ. ඒ තියා ආධාරකයක් නැතුව ක්‍රීඩාංගනය වටා යන්න පුලුවන් වෙයි කියලාවත් මට විශ්වාසයක් තිබ්බේ නෑ.

(සභාවේ සිනා)

කාන්තාවන් විතරක් ඔලිම්පික් ධජය අරගෙන යන පළවෙනි අවස්ථාව මේක නිසා ඒක හිනාවෙන්න දෙයක් නෙවෙයි, කියලා මං දැන ගත්තා. මහද්වීප පහ නියෝජනය කිරීම සඳහා කාන්තාවන් පස් දෙනෙකු සහ ඔලිම්පික් රන් පදක්කම් ලාභීන් තුන් දෙනෙක් ඒ සඳහා තෝරා ගෙන තිබුණා. මගේ පළවෙනි ප්‍රශ්නය උනේ,

"මං අඳින්නේ මොකද්ද ?"

(සභාවේ සිනා)

"නිළ ඇඳුමක් " ඇය එහෙම කියලා මගේ මිනුම් ඉල්ලා සිටියා. මගේ මිනුම්! මිචෙලින් පප්පා වගේ වතුර කාන්දු වෙන්නේ නැති පිම්බුන ඇඳුමක් තුළ ඉන්න මං ගැන දර්ශනයක් තමයි මට පෙනුනේ.

(සභාවේ සිනා)

isabel 2

 

පෙබරවාරි මාසයේ මැද වන විට උද්‍යෝගිමත් ජනයාගේ ඔල්වරසන් අතරින් ගමන් කරන ඔලිම්පික් කණ්ඩායම් අසූවක් එක්ක ටියුරින්හි වීදියක මං ගමන් කරමින් හිටියා. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ල කැප කරමින් තරඟ වැදීමට සූදානම්ව සිටියා. ඒගොල්ලො හැමෝම ජයග්‍රාහනය කළ යුතුව තිබුණත් , ජය ලැබීමට වාසනාවේ අංගයක් තිබිය යුතුමයි. හිම තට්ටුවක්, අඟළක අයිස් , සුළගේ බලය ආදියට පුලුවන් තරඟයේ හෝ ක්‍රීඩාවේ ප්‍රතිඵලය වෙනස් කරන්න. කොහොම උනත් පුහුණුවට හෝ වාසනාවට වඩා වැදගත් වෙන්නේ හදවත. රන් පදක්කම ලබා ගන්නේ බය නැති, අධිෂ්ඨානයෙන් යුක්ත හදවත විතරයි . ඒ ඔක්කොම ලාලසාව හින්දයි.

ටියුරින් වල පාරවල් ඔලිම්පික් උළෙලේ උද්‍යෝග පාඨයෙන් පිරිලා තිබුණා; "ලාලසාව මෙහිය" බලන්න ඒක කොච්චර ඇත්තද කියලා.

අපිව මෙහෙයවන්නේ සහ ඉරණම තීරණය කරන්නේ අපේ හදවත. මගේ පොත්වල චරිත සඳහා මට ඕනේ වෙන්නේ අන්න ඒක. දැඩි හදවතක්!

ප්‍රශ්න අහන, නීති නවන, අනතුරු වලට බිය නැති නිදහස් මතධාරින්, විරුද්ධ අදහස් ඇති අය, අවධානම් ගන්නන්, පිටස්තරයින්, කැරලිකරුවන් මට ඕනේ. හරියට මේ කාමරයේ ඉන්න ඔයාලා වගේ මිනිසුන්. සාමාන්‍ය දැනුම තියෙන යහපත් මිනිස්සුන්ගෙන් ලස්සන චරිත මැවෙන්නේ නෑ.

(සභාවේ සිනා )

හැබැයි ඒ ගොල්ලොන්ගෙන් හොඳ බිරිඳන් සහ සැමියන් හැදෙනවා.

(සභාවේ සිනා සහ අත්පොලසන්)

 

isabel 7

 

ක්‍රීඩාංගණයේ රැඳවුම් කාමරයේදි මට අනෙක් ධජ දරන්නන් හමුවුනා. ක්‍රීඩිකාවන් තුන් දෙනෙක් , 'සුසන් සරන්ඩන්' සහ 'සෝෆියා ලොරේන්' කියන නිළියන් දෙදෙනා සහ උද්‍යෝගිමත් හදවත් ඇති ගැහැණන් දෙදෙනෙක්; එක්කෙනෙක් ගස් මිලියන තිහක් සිටවා ඇති නොබෙල් තෑග්ග ලබා ගත්ත 'වැන්ගරී මාතයි'. ඒකෙන් එයා අප්‍රිකාවේ පස, සමහර ප්‍රදේශවල කාළගුණය විතරක් නෙවෙයි සමහර ගම්මාන වල ආර්ථික තත්වය පවා වෙනස් කරලා තියෙනවා . අනෙකා 'සොමලි මම්' ළමා ගණිකාවෘත්තියට එරෙහිව දැඩි ලෙස සටන් කරන කාම්බෝජ ක්‍රියාකාරිණියක්.

අවුරුදු දහ හතරේදී ඇගේ සීයා ඇයව ගණිකා මඩමකට විකුණලා. නවයොවුන් කන්‍යාවියන් සමඟ ලිංගිකව හැසිරීමෙන් ඒඩ්ස් රෝගය සුව වන බව විශ්වාස කරන පිරිමින්ගෙන් ඔවුන් දූෂණය වනවා පමණක් නොව දිනකට සේවාදායකයින් පහළොස් දෙනෙකුට සේවා සැපයීමට බල කිරීමත් එයට විරුද්ධ වූ විට විදුලිය අල්ලා වද හිංසා පමුණවන බවත් ඇය අපිට කිව්වා.

රැඳවුම් කාමරයෙදි මට මගේ නිළ ඇඳුම ලැබුණා. ඒක මං සාමාන්‍යයෙන් අඳින වර්ගයේ ඇඳුමක් නෙවෙයි. හැබැයි මං බලාපොරොත්තුවෙන් හිටපු මිචෙලින් පප්පාගේ ඇඳුම වගේ එකක් නම් නෙවෙයි . ඇත්තමයි, නරකම නෑ. මගේ පෙනුම ෆ්‍රිජ් එකක් වගේ.

(සභාවේ සිනා)

isabel 3

හැබැයි සුන්දරත්වයේ සහ ලාලසාවේ විශ්වීය සංඛේතය වෙච්ච සෝෆියා ලොරේන් හැර අනිත් අයගෙත් වෙනසක් තිබ්බේ නෑ. සෝෆියාගේ වයස අවුරුදු හැත්තෑවකටත් වඩා වැඩි උනත් එයාගේ පෙනුම නම් මාරයි. සිහින් උසත් එක්ක තිබුන ගැඹුරු දුඹුරු පැහැය; ඇය හරිම සරාගියි. ගැඹුරු දුඹුරු පැහැය ක් එක්ක රැළි නැති හමක් තියෙන්නේ කොහොමද ? මම දන්නේ නෑ. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙතරම් හොඳ පෙනුමක් ලබා ගන්නේ කොහොමද කියලා ඇහුවාම ඇය පිළිතුරු දුන්නේ "ඉරියව්" කියලා.

(සභාවේ සිනා)

"ඕන වෙලාවක මගේ කොන්ද කෙළින් ඒ විතරක් නෙවෙයි මං නාකි කෙඳිරිලි පිටකරන්නෙත් නෑ."

(සභාවේ සිනා)

ඔන්න එතනම තියෙනවා ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවගෙන් නොමිලේ උපදෙස් කීපයක්: මැසිවිලි නගන්නේ නෑ, කහින්නේ නෑ, හතියක් නෑ, තනියම මිමිනීම් නෑ, පඩ යවන්නේ නෑ.

(සභාවේ සිනා)

නෑහ්, එයා එහෙමම කීවේ නෑ.

(සභාවේ සිනා)

isabel 9

 

මධ්‍යම රාත්‍රියේ එක වෙලාවක අපිව ක්‍රීඩාංගණයේ එක පැත්තකට කැඳෙව්වා. ලෞස්පීකර් වලින් කිව්වා ඔලිම්පික් කොඩිය ගෙන එන බව. මෙතනට එද්දි වාදනය වුන "අයිඩා මාර්ච්" එකම එතනත් වාදනය උනා. සෝෆියා ලොරේන් හිටියේ හරියටම මගේ ඉස්සරහින්. එයා මට වඩා අඩියක් විතර උසයි. මං කීවේ අර පිම්බුන කොණ්ඩේ නැතිව.

(සභාවේ සිනා)

එයා අප්‍රිකානු තැනිතලාවක ඇවිදින ජිරාෆියෙකු වගේ ධජය උරහිසේ තබාගෙන ආඩම්බරයෙන් ඇවිදන් ගියා. මං ඇඟිලි තුඩු වලින් ඇගේ පිටිපස්සෙන් දිව්වේ

(සභාවේ සිනා)

ඉහලට එසවිච්ච අතෙන් කොඩියත් උස්සගෙන. ඇත්තටම මගේ ඔළුව තිබ්බේ ඒ බම්බුවෙ කොඩියට යටින්.

(සභාවේ සිනා)

isabel 6

 

ඔක්කොම කැමරා තිබ්බේ සෝෆියා දිහාවට එල්ල වෙලා. ඒක මටත් හොඳට ගියා. මොකද සෝෆියාගේ කකුල් අස්සෙන් උනත් මාත් ඒ ෆොටෝ වල හිටියා...

(සභාවේ සිනා)

එතන පුරුෂ පක්ශය නම් බොහොම ආසාවෙන් ඉන්න කැමති තැනක්.

(සභාවේ සිනා)

(අත්පොලසන් )

මගේ මුළු ජීවිතේටම ලබපු හොඳම මිනිත්ත හතර තමයි ඔලිම්පික් ක්‍රීඩාංගණයේ හිටපු කාලය. අපි පෞද්ගලිකව කරන දේ උනත් මිනිත්තු හතරට අඩු බව කීවොත්, මං හිතෙනවා මගේ මහත්තයා ඒක එච්චර ගනන් ගන්න එකක් නෑ කියලා.

(සභාවේ සිනා)

ඔයා ඕක එච්චර හිතන්න එපා.

(සභාවේ සිනා)

වයසට යෑමෙන් මගේ මොළේ සෛල විනාස වෙලා ඔක්කොම මතක නැති වෙනවා වගේ දෙයක් මට ඕනේ නැති නිසා, ඒ මිනිත්තු හතරේ වෙච්ච ඔක්කොම පුවත්පත් මුද්‍රන කොටස් ඔක්කොම මං එකතු කරලා තියා ගත්තා .

ඔලිම්පික් උළෙලේ උඩින්ම තිබ්බ වචනය - ලාලසාව: මං කැමතියි මුළු ජීවිතේම ඒක මගේ හදවතේ අරන් යන්න.

ඉතිං

මෙන්න ආසාව ගැන තව කතාවක්. වර්ෂය - 1998, ස්තානය - කොන්ගෝවේ ටුට්සි සරණාගතයන් සිටි සිර කඳවුරක්. තව එකක් කියන්න ඕනේ, ලෝකයේ ඔක්කොම සරණාගතයින්ගෙන් සහ අවතැන් වූවන්ගෙන් සියයට අවූවක්ම (80% ) කාන්තාවන් සහ ගැහැනු ළමයින්. කොන්ගෝවේ මේ කියන තැන හරියට මරණ කඳවුරක් වගේ. කාගේ අතින් හරි නොමැරී බේරුනොත් ලෙඩ රෝග වලින් හරි කුස ගින්නෙන් හරි මැරෙනවාමයි.

 

isabel 5

 

මේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ රෝස් මාපෙන්ඩෝ කියන තරුණිය සහ ඇගේ දරුවෝ. එයා බඩදරු වැන්ඳඹුවක්. එයාගේ සැමියාව වද දීලා මරා දමන හැටි බලා ඉන්න කියලා සොල්දාදුවන් එයාට බල කරලා තියෙනවා. කොහොම හරි අමාරුවෙන් එයාගේ දරුවෝ හත් දෙනා ජීවත් කරවන ගමන් එයා නොමේරු නිවුන් දරුවෝ දෙන්නෙක් ලෝකෙට බිහි කරනවා. නොවැඩුණු පුංචි කොලු පැටව් දෙන්නෙක්. ඇය තියුණු ඉන්නකින් පෙකණි වැල කපලා එයාගෙම කොණ්ඩේ අරන් ඒක ගැට ගහනවා. එයා කොල්ලො දෙන්නට කඳවුරේ අණදෙන නිළධාරීන්ගෙ නම් දාන්නේ ඒ හොල්ලන්ගෙන් උදව් ගන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තවෙන්, මොකද එයාගේ කිරි ඒ දෙන්නට මදි වෙලා තේ කහට පොවන්න වෙච්ච හින්දා. සොල්දාදුවන් එයාගේ වැඩිමහල් දුවව දූෂණය කරන්න මැදිරියට කඩා වැදුනු වෙලාවේ ඔළුවට තුවක්කුවක් තියද්දි උනත් එයා දුවව අතෑරියේ නෑ. කොහොම හරි මාස දහසයක් එයාලට ජීවිතේ රැක ගන්න පුලුවන් උනා. ඊට පස්සේ ඒ ගොල්ලන්ගේ මාර්ම වාසනාවකට සාෂා චැනොෆ් කියලා උද්‍යෝගිමත් හදවතක් තියෙන තරුණ ඇමරිකානු කොල්ලෙක් එයාලව ගලවා ගැනීමේ ඇමරිකානු ප්ලේන් එකකට දානවා. රෝස් මාපෙන්ඩෝ සහ එයාගේ දරුවෝ නම දෙනා දැන් ඇරිසෝනාවේ ෆීනික්ස් නගරයේ ජීවත් වෙනවා.

ස්වහිලී භාෂාවෙන් 'මාපෙන්ඩෝ' කියන එකේ තේරුම තමයි 'මහත් ආදරය' කියන එක. මගේ කතා වල ප්‍රධාන චරිත වෙන්නේ රෝස් මාපෙන්ඩෝ වගේ හයිය, උසස් ලාලසාවක් තියෙන ගැහැනු . මට අමුතුවෙන් ඒවා හදන්න ඕනේ නෑ. මං වටපිට බැලුවාම ඒ වගේ අය මට හැමතැනම පේනවා. මගේ ජීවිත කාලය පුරාම මම ගැහැනුන් එක්කත් ගැහැනන් වෙනුවෙනුත් වැඩ කරලා තියෙනවා . මට ඔවුන්ව හොඳට තේරෙනවා .

මං ඉපදුනේ ආදි කාලේ, පුරුෂ මූලික කතෝලික සමාජේ අවසානයේ, ගතානුගතික පවුලක. වයස අවුරුදු පහ වෙද්දි මං වියරු ස්ත්‍රීවාදිනියක් වෙච්ච එක පුදුමයක් නෙවෙයි. ඒ කාලේ ඒ වචනේ චිලීයට ඇවිල්ලා තිබුනේ නැති නිසා කවුරුත් දැනගෙන හිටියේ නෑ මං මොන විකාරයක්* නටනවද කියලා.

(සභාවේ සිනා)

isabel 8

 

ඉක්මනින්ම මට තේරුණා මගේ නිදහසට සහ පුරුෂ මූලික සමාජය ප්‍රශ්න කිරීම ගැන සෑගෙන ගානක් ගෙවන්න වෙන බව. මට එක බැනුමක් ලැබෙනකොට මං දෙපාරක් ඒ ගොල්ලන්ට බැන්නා.

(සභාවේ සිනා)

එක සැරයක් මගේ දුව පෝලා වයස විසි ගණන් වලදි මට කිව්වා ස්ත්‍රීවාදය යල්පැන ගිහින් තියෙන නිසා මං ඒක අතෑරලා ඉදිරියට යන්න ඕනේ කියලා. අපි හොඳ හැටියට රන්ඩු උනා. ස්ත්‍රීවාදය යල්පැන ගිහින් ? ඔව්, මගේ දුව වගේ වරප්‍රසාද තියෙන අයත් අද මෙතන ඉන්න අපි හැමෝටමත් ඒක එහෙම උනාට, ළමා විවාහ, ගණිකා වෘත්තීය, බලහත්කාරයෙන් ශ්‍රම සූරා කෑම කෙරෙන ලෝකයේ බොහෝමයක් රටවල සහෝදරියන්ට ඒක එහෙම නෑ. එයාලට අවශ්‍ය නැති හෝ පෝශනය කර ගන්න බැරි දරුවන් ඉන්නවා. එයාලගේ ශරීරයවත් ජීවිතයවත් එයාලාට ඕනේ විදියට පාලනය කරන්න බෑ. එයාලට අධ්‍යාපනයක් හෝ නිදහසක් නෑ. ඔවුන් දූෂණය කර, පහරදී, නිදහසට කාරනා නොවිමසාම මරා දමනු ලබනවා. අද බොහෝ බටහිර තරුණියන් ස්ත්‍රීවාදිනියන් ලෙස හැඳින්වීම අපහාසයක් වෙනවා. ස්ත්‍රිවාදය කියන්නේ සරාගී දෙයක් නෙවෙයි. හැබැයි මං ඔයාලට එක දෙයක් කියන්නම්, ස්ත්‍රීවාදය නිසා මගේ අඟර දඟර ආලවන්තකම් කිසිමදෙයක් නැවතුනේ නෑ වගේම මිනිහෙකු නැති කමින් පීඩා වින්දෙ ඉතාම කලාතුරකින් .

(සභාවේ සිනා)

ස්ත්‍රීවාදය කොහෙත්ම මැරිලා නැ. ඒක තව පරිනාමය වෙලා. ඔගොල්ලෝ ඒ වචනෙට කැමති නැත්තම් දෙයියන්ගේ නාමෙට ඒ වචනේ වෙනස් කරන්න. "ඇෆ්‍රොඩයිටී" "වීනස්", "බිම්බෝ" වගේ ඔයාලට කැමති නමකින් කතා කරන්න. නම වැදගත් වෙන්නේ නෑ, අපිට ඒ මොකද්ද කියලා තේරෙනවා නම්! එච්චරයි, අපි ඒකට උපරිම සහාය දෙනවා.

 

ඉසා 1

 

මේ ලාලසාව ගැන තවත් කතාවක්. දුක හිතෙන එකක්.

ස්ථානය: බංග්ලාදේශයේ ගමක තියෙන පුංචි සායනයක්. වර්ෂය: 2005. ජෙනී කියන්නේ එයාගේ සති තුනක නිවාඩුව ඇතුලේ අර පුංචි සායනයේ ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න ගිය ඇමරිකානු දන්ත-සෞඛ්‍ය ආරක්ශාව ගැන උපදේශිකාවක්. ඇයට තිබුනේ දත් පිරිසිදු කරන්න. ඒත් එයා එතනට ගියාම තමයි දන්නේ වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු කවුරුත් නෑ කියලත් සායනය කිව්වට ඒක මැස්සෝ පිරිච්ච මඩුවක් කියලත්. බෙහෙත් ගන්න පැය ගානක් තිස්සේ බලාඉන්න ගෑනු පෝලිමක් මඩුවෙන් එළියේ හිටියා. පළවෙනි ලෙඩා නරක් වූ මවුල කීපයක් තිබුන නිසා, එයා හිටියේ හරිම වේදනාවෙන්. ඒකට එකම විසඳුම නරක් වෙච්ච දත් අයින් කරන එක කියලා ජෙනී දැන ගත්තත් ඒක කරන්න එයාට ලයිසමක් තිබුනේ නෑ. එයා කවදාවත් ඒක කරලා තිබුනෙත් නෑ. ඒකේ අවදානම ගැන එයා හොඳටම බය උනා. එයාට හරි හමන් උපකරණ තිබුනෙත් නෑ. වාසනාවට වගේ එයා "නවොකේන්" ටිකක් ගෙනත් තිබුණා . ජෙනීට තිබුනේ නිර්භීත සහ උද්‍යෝගිමත් හදවතක්. එයා යාතිකාවක් කරන ගමන් සැත්කම කරගෙන ගියා. අන්තිමේදී ලෙඩා සැනසිල්ලෙන් ජෙනීගේ අත් සිප ගත්තා. එදා මේ, දන්ත-සෞඛ්‍ය ආරක්ශක උපදේශිකාව තවත් නරක් වූ දත් බොහෝමයක් අයින් කරලා දානවා.

ඊළඟ දවසේ උදේ ජෙනී ආයෙත් අර සායනය කියන මඩුවට එනවා. මෙන්න ජෙනීගේ පළවෙනි ලෙඩා බලා ඉන්නවා එයාගේ මිනිහත් එක්ක. ඒ ගෑනු කෙනාගේ මූන කොමඩු ගෙඩියක් වගේ. ඇස් පේන්නෙත් නැති තරම් ඉදිමිලා. අසූහාරදාහට නැගලා ඉන්න මිනිහා ඇමරිකානුවාව මරනවා කියලා තර්ජනය කරනවා. ජෙනී එයා කරපු දේ ගැන හොඳටම බය වෙනවා. පස්සේ පරිවර්තකයා පැහැදිලි කරනවා ජෙනීගේ සැත්කමෙයි ලෙඩාගේ දැන් තත්වෙයි අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා. පෙරේදා, උගේ රෑ කෑම එක හදන්න හරි වෙලාවට ගෙදර හිටියේ නෑ කියලා, ඒ මිනිහා ගෑනිට ගහලා.

 

ඉසා 2

 

අද මිලියෙන ගානක් ගැහැනු එහෙම ඉන්නවා. ඔවුන් දරිද්‍රතාවයේ පතුලේ ඉන්න අය. ලෝක ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක්ම ගැහැනුන් වුනාට, ලෝකයේ වත්කම් වලින් ඔවුන්ට හිමිවන්නේ සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක්. එයාලට ගෙව්වත් ගෙවන්නේ, ඒ වැඩේම කරන පිරිමින්ට ගෙවනවට වඩා අඩු වැටුපක්. ආර්ථික ස්වාධීනත්වයක් නැති නිසා, ඔවුන් නිතරම ඉන්නේ අවධානමක. සූරාකෑම , ප්‍රචන්ඩත්වය සහ අපයෝජනයයෙන් ඒ ගොල්ලො නිතරම තර්ජනයකට ලක්වෙලා. කාන්තාවන්ට, අද්‍යාපනය, රැකියාව, තම ආදායම පාලනය කර ගැනීමේ හැකියාව, තමන්ගේ දේපළ වල උරුමය ලැබෙනවා නම් ඒක සමාජයට වාසියක් වෙන බව ඇත්තක්. කාන්තාවන් සවිබල ගැන්වීමෙන් ඇගේ දරුවන් සහ පවුල වඩා යහපත් වෙන්න පුලුවන. පවුල සමෘද්ධිමත් උනොත් ගම සමෘද්ධිමත් වෙලා අන්තිමේ මුළු රටම සමෘද්ධිමත් වෙනවා.

වැන්ගරී මාතයි කෙන්‍ යාවේ ගමකට යනවා. ඇය කන්තාවන් එක්ක කතා කරලා පැහැදිලි කරනවා ඉඩම නිසරු වෙලා තියෙන්නේ ඒකේ ටියන ගස් ටික කපලා විකුනලා තියෙන නිසා කියලා. එයා අර කාන්තාවන් ලවා ගස් හිටවලා වතුර බින්දුව බින්දුව දම්මවනවා. අවුරුදු පහ හයක් යද්දි සරුසාර පසක් තියන කැලෑවක් ලැබෙනවා විතරක් නෙවෙයි ගමත් බේරෙනවා.

දුප්පත්ම සහ පසුගාමි සමාජ හැම වෙලේම කරන්නේ කාන්තාවන් පහත් කරන එක. ඒ ගැන දැන දැනම රජය සහ මහජන හිතෛෂියයන් ඒක නොසලකා හරිනවා. කාන්තා වැඩසටහනකට ඩොලර් එකක් දෙනකොට පිරිමි වැඩසටහනකට ඩොලර් විස්සක් ලබා දෙනවා. මානව වර්ගයාගෙන් සීයයට පනස් එකක්ම කාන්තාවන්. ඔවුන් සවිබල ගැන්වීමෙන් තාක්ෂණයෙන්, නිර්මාණකරයෙන්, විනෝදාස්වාදයෙන් වෙන වෙනසට වඩා බොහෝ වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. ගැහැණුන් එක්වී අත්වැල් බැඳ ගත්තොත්, දැන උගතුන් වුවහොත් මේ අතහැර දමූ ග්‍රහලෝකය සාමය සහ සමෘද්ධියෙන් පිරෙන බවට පොරොන්දු වෙන්න මට පුලුවන් . අද වෙන ඕනෑම යුද්ධයකදී වැඩිපුරම මිය යන්නේ සිවිල් වැසියන්, ප්‍රධාන ලෙසම කාන්තාවන් සහ ළමයින්. ඒවා අමතර හානි. ලෝකය පාලනය කරන්නේ මිනිස්සු. පොඩ්ඩක් බලන්න ඒක කොච්චර අවුල් ජාලයක්ද කියලා. අපිට ඕනේ මොනවගේ ලෝකයක්ද? මේක හැමෝම අහන බොහොම මූලික ප්‍රශ්නයක්. ලෝකයපවතින පිළිවෙලටම යන්න හැරීමේ තේරුමක් තියෙනවා ද ? අපිට ඕනේ වරප්‍රසාද තියෙන අයට විතරක් නැතුව හැම කෙනෙකුගේම ජීවිත සුරකින සහ ජීවන තත්වය උසස් කරවන ලෝකයක්.

ජනවාරි මාසෙදි UC බාක්ලි පුස්තකාලයේ දි මම, ෆර්නැන්දෝ බොටේරෝගේ චිත්‍ර ප්‍රදර්ශනයක් බැලුවා. නිව්‍ යෝර්ක් ගැලරිය ඇරෙන්න ඇමරිකාවේ කිසිම කෞතුකාගාරයක් හෝ කලාගාරයක් බොටේරෝගේ නිර්මාණ ප්‍රදර්ශනය කරන්න එඩිතර උනේ නෑ. ඒකට හේතුව උනේ ප්‍රදර්ශනයේ තේමාව උනේ අබු ග්‍රයිබ් හිරගෙදර වෙච්ච නිසා. ඒවා වද හිංසා සහ බලය අනිසි ලෙස පාවිච්චි කරන අයුරු දැක්වෙන බොටේරෝ ශෛලියේ දැවැන්ත සිතුවම්. ඒ පින්තූර මගේ මනසින්වත් හදවතෙන්වත් අයින් කර ගන්න මට තාම බෑ.

මම වැඩියම බය නිදහසට කරුණු අසන්නේ නැති බලයන් වලටයි.

මම 'බලය' නරක ලෙස පාවිච්චි කරන්න වගේම 'නරක' බලයක් ලෙස පාවිච්චි කරන්නත් මම බයයි. මානව කුලයේ ඇල්ෆා පිරිමි තමයි යථාර්ථය කියලා, පෙන්වන ගමන් කණඩායමේ අනිත් අයට බල කරනවා ඒ යථාර්ථය පිළිඅරගෙන අනිත් නීති රීති අනුගමනය කරගෙන ඉන්න කියලා . නීති හැමතිස්සෙම වෙනස් වෙනවා, හැබැයි ඒ ගොල්ලන්ට ප්‍රයොජනවත් වෙන විදියට.

 

ඉසා 3

 

ආර්ථික විද්‍යාවෙදි "පහලට කාන්දු වීමේ ආචරණය"** හරි ආකාරව සිදු නොවුනත් බලය පැතිරවීමෙදි මේක නියමෙටම සිද්ද වෙනවා. අපයෝජනය ඉණිමගේ උඩ ඉඳලා පහලට ගලනවා. දරුවන් සහ කාන්තාවන් , විශේෂයෙන් ම දුප්පත් අය ඉන්නේ ඉණිමගේ පහලම. ඉතාම අසරණ පුරුෂයාටත් අතවර කරන්න පුලුවන් කාන්තාවක් හෝ දරුවෙක් ඉන්නවා. ස්ත්‍රී-පුරුෂභාවය ආදායම , ජාතිය, පංතිය වගේ දේවල් මත කිහිප දෙනෙක් එකතු වෙලා බොහෝ දෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක කරන බලය මට ඇති වෙලා.

අපේ ශිෂ්ඨාචාරයේ මූලිකම දේවල් වෙනස් කරන්නට කාලය ඇවිත් කියලා මට හිතෙනවා. හැබැයි සැබෑ වෙනසක් වෙන්න නම් ලෝකයේ කළමනාකරීත්වයට කාන්තා බලය අවශ්‍යමයි. බලතලවල කාන්තා නියෝජනය සෑහෙන පමණ තියෙන්න ඕනේ වගේම කාන්තාවට ශක්තිය ඇති බව පුරුෂ පාර්ශවයට ඒත්තු ගන්වන්න ඕනේ. ඇත්තටම , මම කතා කරන්නේ තරුණ පිරිමි ඔළු ගැන, වයසට ගිය අය ගැන කතා කරලා වැඩක් නෑ. අපිට කරන්න තියෙන්නේ ඒ ගොල්ල තොලොන්චි වෙලා යනකම් බලාගෙන ඉන්න එකයි.

(සභාවේ සිනා)

sofia

සෝෆියා ලොරේන් ගේ දිගු කකුල් සහ කීර්තිමත් පියයුරු මටත් තිබුනා නම් මං කැමතියි.

හැබැයි මට තෝරා ගැනීමක් කරන්න කිව්වොත් මං තෝර ගන්නේ වැන්ගරී මාතයි, සොමලි මම්, ජෙනී සහ රෝස් මාපෙන්ඩෝ ලගේ වගේ රණකාමි හදවත්. මට මේ ලෝකය යහපත් කරන්න ඕනේ. වඩාත් යහපත් නෙවෙයි , යහපත් කරන්න. ඇයි බැරි? අපිට පුලුවන් .මේ කාමරයේ ඇති සියළුම දැනුම, ශක්තිය , කුසලතා සහ තාක්ශනය බලන්න. අපි අපේ විනෝදකාමයෙන් ඉවත් වී පරිපූර්ණ ලෝකයක් නිර්මාණය කරන්න සෑහෙන වැඩ ඕනේ.

 

සියල්ලටම ස්තූතියි

(අත්පොලසන් සහ ප්‍රීති ඝෝෂා)

----------------------------------------

"පහලට කාන්දු වීමේ ආචරණය"** : (ඉහිරුම් ආචරණය) The trickle-down effect is the theory that benefits given to people at the top of a system will eventually be passed on to people lower down the system. For example, if the rich receive tax cuts, they will pass these benefits on to the poor by creating jobs. (Collins dictionary)

 

(Ted Talk එකකින් බිඳක්)

@ පරිවර්තනය අචලා සිරිතුංග

උපුටාගැනීම - විදර්ශන පාඨක ජාලයෙන්

නවතම ලිපි