අහම්බෙන් ඉතිහාස කතාවක් කියෙව්වා. බෙදා හදා ගත යුතු කතාවක්.
ඒ සුසානා සෝල්ටර් ගැන. ඇමරිකාවෙ පළමුවන නගරාධිපතිනිය ගැන.
ඒ 1887. ඇමරිකානු කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනා විතරයි. දේශපාලන කරුණු ගැන කාන්තාවන්ගෙ උනන්දුව යාන්තමින් මෝදුවෙන්න ගත්තා විතරයි.
මේ ප්‍රවනතාවය නොරිස්සූ, දේශපාලනය කියන්නෙ පිරිමින්ගෙ බූදලයක් යැයි සිතූ පිරිමින් පිරිසක් කතා වුනා කාන්තා දේශපාලනය ලත් තැන ලොප් කරන්න. ඔවුන්ව අපහාසයට ලක්කරන්න.
ඒ සඳහා ඔවුන් කලේ ඉදිරියට නියමිත නගර සභා ඡන්දෙදි කැන්සාස් ප්‍රාන්තයේ ආර්ගෝනියා නගරාධිපති තනතුර සඳහා කාන්තාවකගේ නම යෝජනා කිරීමයි. ඒ කාලෙ නාම යෝජනා දෙද්දි යෝජිත තැනැත්තාගෙ/තැනැත්තියගෙ අවසරය අවශ්‍ය නෑ. අනෙක ඡන්ද පොළට යනකල් කවුරු තරඟ කරනවාද කියන්න කවුරුත් දන්නෙත් නෑ. ඔවුන් තෝරගත්තෙ ගෘහණියක් වූ සුසානාව.
ඔවුන්ට නිසැකයි ඡන්දෙ දා උදේම සුසානා තමන්ගෙ නම ඉල්ලා අස්කරගන්නා බවට. එසේ නොවුනත් ඇය තරඟ කලත් කවුරුත් ඇයට ඡන්දය නොදෙන බවට. ඒ දෙකෙන්ම සිදුවන්නෙ ගෑණුන්ට මොන දේශපාලනේද යන අදහස තහවුරු වීමයි.
ඡන්දෙ දා බැලට් පේපර් එකේ කාන්තාවකගෙ නම දුටු ක්‍රිස්තියානි කාන්තා කවය නම් කුඩා කාන්තා සමූහයක් තමන් මෙතෙක් තෝරා ගෙන සිටි අපේක්ෂකයා අත හැර ඇයට සහයෝගය දෙන්නට තීරණය කලා. එය දුටු ප්‍රදේශයේ රිපබ්ලිකන් පක්ෂයේ බලවතා ඇය ජයග්‍රහණය කලොත් ඇත්තෙන්ම තනතුර බාරගන්නවාද අසන්නට නියෝජිතයන් පිරිසක් ඇගේ ගෙදරට යැව්වා. ඔවුන් නිවසට ගොඩවෙද්දි ඇය සිටියේ රෙදි හෝදමින්. ආරංචියෙන් විමතියට පත් වුනත් ඇය අපේක්ෂකත්වය තහවුරු කලා.
කවුරුත් විමතියට පත් කරමින් ඇය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කලා. ඇයට රටේ දස දෙසින් පමණක් නොව ජාත්‍යන්තරයෙන් පවා සුබපැතුම් ගලා ආවා. ඇය නගර සභා රැස්වීම්වල මුලසුන හොබවන ආකාරය වාර්තා කරන්න දස දෙසින් වාර්තාකරුවන් පැමිණියා.
ඇගේ පළමු රැස්වීම වාර්තා කරන්නට පැමිණි නිව්යොර්ක් සන් වාර්තාකරු සිය ලිපිය පටන්ගන්නෙ ඇගේ ගවුමේ සහ තොප්පියේ හැඩ රුව විස්තර කරමින්. නමුත් ඇය මනා පරිචයකින් යුතුව සභාව මෙහෙය වූ බව සහ මාතෘකාවට අදාල නොවන කතා කියූවන්ගේ කට වසා දැමූ බව ඔහුට නොලියා බැරි වුනා.
සුසානා සෝල්ටර් (1860-1961) විසූ කුඩා නිවස අද පුරා විද්‍යා භාරයට ගෙන සංරක්ෂණය කර තිබෙනවා. ඒක හොඳ දෙයක්. මොකද ඒ ගෙදර විසූ තැනැත්තී තමයි ජර්මනියෙ ඇන්ජලා මාර්කල්ගෙ නවසීලන්තයෙ ජසින්ඩා ආර්ඩන්ගෙ දේශපාලනයට පවා මුල්ගල තිබ්බෙ.
@ සුසන්ත ආරියරත්න