SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අම්මා කෙනෙකු වැඩියෙන්ම ආදරය කරන්නේ තම කුසින් වැදූ දරුවන්ටය.

එහෙත් සමහර අම්මලාට කොයි දරුවත් එකය. මාරියා අන්ඩ්‍රෙයිජික් යනු එහෙව් අම්මා කෙනෙකි. ඇය අනුන්ගේ දරුවෙකුගේ ජීවිතය බේරාගැනීම සඳහා තමන් දුක් මහන්සියෙන් දිනා ගත් ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරමින් සිය මනුෂ්‍යත්වය ලොවට විදහා පෑවාය.

 

මාරියා 4

 

පෝලන්ත ජාතික 25 හැවිරිදි මාරියා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ හෙල්ල වීසි කිරීමේ අවසන් ඉසව්වට සුදුසුකම් ලැබුවේ පළමුවැනියා වෙමිනි. එහෙත් අවසන් තරගයේදී චීනයේ ලියු ෂියිංග් ඇයට වඩා සෙන්ටි මීටර් 2 ක් දුරකට හෙල්ල වීසී කරමින් රන් පදක්කම දිනා ගත්තාය. මාරියාට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එය මාරියාගේ පළමුවැනි ඔලිම්පික් පදක්කම විය. ඇය විකුණා දැමුවේ ඒ පදක්කමය.

ඉන් ලද මුදල ඇය මාස අටක් වයසැති මිලොසෙක් මලිසා නම් කුඩා දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා අවශ්‍ය කරන හදිසි හදවත් සැත්කම සිදුකිරීමට ලබාදුන්නාය.

 

මාරියා 1

 

පුංචි මිලොසෙක් ගේ සැත්කම සිදුකිරීමට අවශ්‍ය කරන පහසුකම් පෝලන්තයේ නැත. ඒ නිසා ඔහුව කැලිෆෝර්නියාවේ ස්ටැන්ෆෝඩ් රෝහලේදී සැත්කමට භාජන කළ යුතු බව වෛද්‍ය නිගමනය විය. එහදී මිලොසෙක්ගේ මව මුහුණ පෑ ප්‍රධානම ගැටළුව වූයේ මුදල් ය.

ඇමෙරිකාවේදී මෙම සැත්කම කිරීමට ඇමෙරිකානු ඩොලර් 383,000 ක් (ආසන්න වශයනේ රුපියල් ලක්ෂ 766 ක්) අවශ්‍ය කර තිබුණි. ඉන් හරි අඩක්ම මිලොසෙක්ගේ මව, මොනිකා විසින් සොයාගෙන තිබුණි. ඉතිරි මුදල සෙවීම සඳහා ඇය අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළාය. මාරියා සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කළේ ඒ සඳහාය.

“මට ඒක කරන්න දෙපාරක් හිතන්න ඕනේ වුණේ නැහැ” යැයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මාරියා පැවැසුවාය.

 

 

මාරියා 6

 

 

පෝලන්ත ස්ලොටි 200,000 ක (රුපියල් ලක්ෂ 102 ක්) ආරම්භක ලංසුවකින් ආරම්භ වූ රිදී පදක්කමේ වෙන්දේසිය පෝලන්තයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ ජාලයක් වන “සැබ්කා” විසින් දිනාගත් බවට මාරියා සිය ෆේස්බුක් ගිණුම හරහා පසුගියදා නිවේදනය කළාය. ඒ ඩොලර් 125,000 කට හෙවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 250 කටය.

“සැබ්කා... මේ පදක්කම ඔබට දෙන්නට හැකිවීම ගැන මම සතුටු වෙනවා, මේ රිදී පදක්කම කියන්නේ අභියෝග මැද කරපු අරගල, විශ්වාසය සහ සිහින හඹා යාම නිසා ලැබුණු දෙයක්” යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.

දැන් පුංචි මිලොසෙක්ට ස්ටැන්ෆෝඩ් සරසවි රෝහලේදී ශල්‍යකර්මයට භාජනය වීමේ හැකියාව ලැබී ඇත.

අනෙක් අතට “සැබ්කා” සුපිරි වෙළෙඳසැල් ජාලයද මනුෂ්‍යත්වය ඉක්මවා ගිය සමාගමකි. ඔවුන්ද තමන් මිලට ගත් රිදී පදක්කම නැවත වරක් මාරියාටම ලබාදීමට පියවර ගෙන ඇත.

 

මාරියා 5

 

“අපි අපේ ඔලිම්පික් ක්‍රීඩිකාවගේ සුන්දර සහ අතිශයින්ම උදාර ක්‍රියාවෙන් පෙළඹවීමක් ලැබූවෙමි” යැයි “සැබ්කා” සමාගම ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.

“ඉතිං අපි තීරණය කළා අසනීපයෙන් ඉන්න පුංචි මිලොසෙක් ගේ වෛද්‍ය අරමුදලට දායකත්වයක් ලබාදෙන්න. ඒ වගේම අපි හිතුවා ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් දිනාගත් රිදී පදක්කම මාරියා නෝනා ළඟම තියෙන එක හොඳයි කියලා. ඇය තමන් කොතරම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවක්ද කියන එක අපට පෙන්නුවා”

මාරියාට 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කමක් අහිමි වූයේ සෙන්ටිමීටර් 2 කිනි.

රටක සිටිය යුත්තේ මාරියා වැනි ක්‍රීඩිකාවන්ය. රටක තිබිය යුත්තේ “සැබ්කා” වැනි සමාගම්ය.

එහෙත් අවාසනාවකට මෙන් අපිට නැත්තේද එවැනි ක්‍රීඩිකාවන්ය. අපිට නැත්තේ එවැනි සමාගම්ය.

 

@ අනිල් කරුණාරත්න