SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇය අවදි වූයේ කොයි මොහොතේ දැයි මතකයක් , හැගීමක් මට නැත .

මගේ නින්දට බාධා නොවන්නට , ගොරෝසු පොරෝනය හෙමින් සීරුවේ ඉවත් කර , සිරුරත් , පොළොවත් අතර ඇතිවන ස්පර්ෂය අවම කර ගනිමින් බිමට අඩි තබා , යන්තමට අඩවන් වී ඇති කාමරයේ දොරෙන් කිසිදු හඬක් මතු නොකර පිටව යන්නට ඇය කොමාන්ඩෝ පුහුණුවක් ලැබුවාක් වැනිය.

එලාම් ඔරලෝසුවට වෙලාව කියා දුන්නේ ඇය විසිනි. මා නිතර සිතුවේ ඔරලෝසුව ඇගෙන් වෙලාව අසා ගන්නා බවයි.

මේ ගෙවෙන දෙසැම්බර් මාසයේ උෂ්ණත්වය බින්දුවට බැස තිබේ. ඊයේ ප්‍රකාශ කළ කාලගුණ වාර්තාව නිවැරදි වන්නේ නම් අද දවසේ කොයි මොහොතක හෝ හිම වැස්සක් කඩා වැටෙන්නට පුළුවන. නිදන කාමරයේ ඝන ජනෙල් රෙද්දට මුවා වී ඇති නිසා පිටත ලෝකය නොපෙනුනත් , මේ උදෑසන හිරු පෙනෙන තෙක් මානයක නොමැති බව මම දනිමි. පැරිස් අහස අඳුරු බවට සැක නැත . උදාවී ඇත්තේ තවත් එක් මූසල ඉරිදා දවසකි.

පිටත පරිසරය සීතලෙන් ගල් ගැසී තිබුනද නිවස ඇතුළත උණුසුම ඉල්ලා සිටින්නේ දිගු නින්දකි.

ඉරිදා නිසා රැකියාවට යා යුතු නැත . ඉරිදා නිසා දරුවන්ව පාසල් ගමනට සූදානම් කිරීමේ වුවමනාවක් නැත. සතියේ රැකියා වෙහෙස නිවා ගනු පිණිස දවල් වන තුරු නිදා ගත හැකි වුවත් , අවදිව සිටින්නී , නිවසේ ජීවි අජීවී වස්තු වලට නොදැනෙන්නට දවස ආරම්භ කර තිබේ . එලාම් ඔරලෝසුවේ උදව් නොලබා අවදි වී , අදෘශ්‍යමාන ගැහැනියක් මෙන් ඇවිද යන්නට සමත් මගේ බිරිඳ මිනිස් දියණියක් නොවේ යැයි මට සිතුණු වාර ගණන එමටය .

 

wife 1

 

ඊයේ " සෙනසුරාදා විශේෂ " රාත්‍රී ආහාරය සූදානම් කර , හැඩ වැඩ දමා අලංකාර කර මේසෙට කැඳවා ගෙන විත් , අපි තුන් දෙනාගේ පිගන් පමණක් නොව සිත් සතන් ද පිනවා අහර බෙදා දී , අතරමගදී "රසද ..?" කියා අසා , හරිම රසයි... කී විට වසන්ත කාලෙට පිපෙන renoncule මලක සොඳුරු බව කැටි වුණු සිනහවකින් මුව සරසා ගත් ඇය , කා බී නිම වූ පසුව , මේසය අස්පස් කර මුළුතැන්ගෙට වැදී " ඔයා වාඩි වෙලා ඉන්න .. මම අස්පස් කරළා එන්නම්.. " යැයි කීවාය. මම කිසිවක් නොකියා , රූපවාහිනිය ඉදිරියේ වාඩි ගෙන මධු විතෙන් සහ රසමවුලින් පදම් වූ සිරුරට විවේකයක් දෙන්නට සිතුවෙමි.

සෝපාවේ වාඩි වීමේ මගේ අරමුණ වූයේ ඇය මුළුතැන්ගෙයි වැඩ කටයුතු නිමා කර පැමිණ මා අසළින් අසුන් ගන්නා තුරු රූපවාහිනිය දෙස බලා සිටීමයි. එහෙත් සතියේ රැකියා වෙහෙසත් , මධුවිත සහ රාත්‍රී කෑමේ බරපතළ කමත් නිසා දෙනෙත් පියවෙන්නට පටන් ගත්තේය. අන්තිමේදී සිදුවූයේ සෝපාවේ වැටී නිදියන මදෙස රූපවාහිනිය බලා සිටීමයි. කුස්සියේ වැඩ නිමකර සාලයට ඇතුළු වන ඇය අපහසුවෙන් මුව අයාගෙන නිදියන මගේ හිසට කොට්ටටයක් තබනා බව මම දැන සිටියෙමි.

"ඔයා ලෝකේ වෙනස් කරන්න හිතා ඉන්නවා නම් මුළින්ම කරන්න තියෙන්නේ නිදා ගත්ත ඇඳ හදන එක. ඒ දවස ඇතුළත ලෝකේ වෙනස කරන්න ඔයාට හැකියාවක් ලැබෙන එකක් නැහැ. හැබැයි හවස ගෙදර එනකොට ඇඳ හදලා තියෙන්නේ.." ඇය දිනක් මට කීවාය . කොතරම් වැඩ තිබුණත් , කොතරම් ප්‍රමාද වී සිටියත් නිවසින් පිටවන්නට පෙර නිදි යහන සකසන ඇය දකින මගේ " පරක්කු වෙලා නේද ..? ගිහින් ඇවිත් ඇඳ හදන්න බැරිද..?" යන මගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඉහත පිළිතුර ලැබුණි.

"කව්ද ඔය කතාව කිව්ව දාර්ශනිකයා ..? ඔයාලගේ තාත්තා ද..? "

"නැහැ ..ස්ටීව් ජොබ්ස්..එයාට රස්සාවක් නැති කාලේ එහෙම හිතුනලු.."

"ඒ කියන්නේ ස්ටීව් ජොබ්ස් පවා ජොබ් එකක් නැතුව ඉඳලා තියනවා..."

 

wife 2

 

හැමෝටම කළින් අවදිවීමේ ඇගේ එක අරමුණක් වන්නේ නිදි යහන සැකසීමයි . දරුවන් සමග එකතු වී ඔවුන්ගේ යහන සැකසීමට උදව් කිරීමයි. නැත. නිදි යහන පමණක් නොවේ. සතියේ රැකියා දවසක නම් හැමෝටම කළින් අවදි වන ඇගේ කාර්යයන් අතර පෙරදා සෝදන්නට මැෂිමට දැමූ ඇඳුම් පිටත ගෙන වේලෙන්නට දැමීම තිබේ. රාත්‍රියේ සේදී නිම වූ පිගන් කෝප්ප පිටත ගෙන කිසිදු හඬක් නැගෙන්නට ඉඩ නොදී නිසි තැන ඇසිරීම තවත් කාර්යයකි. ස්නානය කර පිරිසිදුව , දරුවන් අවදි කරවා , පාසලට සූදානම් කර , උදෑසන ආහාරය ලබා දී අවසානයේ මා වෙත පැමිණ, නිදියමින් සිටින මගේ නලල මත සුරත තැබීම ඇගේ පුරුද්දයි. පහළොස් වසරක් පුරාම මා අවදි වූයේ ඇගේ සුරතේ ගැබ් වුණු අදෘශ්‍යමාන බලවේගයට පින්සිදු වන්නටයි. දවස පහසුවෙන් ගෙවා දමන්නට මට ශක්තිය ලැබුණේ ඇගේ සුරත දිගේ ගලා පැමිණි ජවය තුළිණි .

ඇය අවදි වන්නේ අනෙකුන්ට වඩා පැයකට කළිනි .එහෙත් ඉහත ක්‍රියාකාරකම් වල අඩුවැඩි වශයෙන් නියැලෙන්නට ඇය කාලය කළමනාකරණය කර ගත්තේ කෙසේදැයි යන්න අසා දැන ගැනීමේ විශාල වුවමනාවක් මට තිබුණි. එහෙත් පිරිමි අපි , " ඔයා කොහොමද මේ හැම දෙයක්ම තනියම කර ගන්නේ..?" යනුවෙන් අපේ ගැහැනුන් ගෙන් අසනවාට වඩා කිසිවක් නො අසා , නොදැක්කා මෙන් සිටින්නට ප්‍රිය කරන්නෝ වෙමු. අති සුවිශේෂ කාර්යකට මිස ඇයට කළින් කිසි දිනක අවදි වී නැති මට ඇගේ උදෑසන මෙහෙයුම , මෙහෙවර ගැන සැබෑ අවබෝධයක් නොවිණ . සත්‍ය කතාව වන්නේ එසේ අවබෝධයක් ලබා ගන්නටත් වුවමනාවක් මට නොවීමයි. ඇයට කළින් දෙනෙත් විවර කළ දුර්ලභ අවස්ථාවන් කීපයේදීම මා මුළින්ම කළේ ඇයව අවදි කිරීමයි .

හැම ගැහැනියක්ම , අපේ ගැහැනුන් මෙන් නොවන බව මම දැන සිටියෙමි. ජීවිතය , ගෘහයේ මෙන්ම දරුවන්ගේ කටයුතු , ඉවුම් පිහුම් එකිනෙකා සමග බෙදා ගැනීමේ පුරුද්දක් අපේ ගැහැනුන් ට නැත. යුරෝපයේ ගැහැනු තමන්ගේ දෛනික දිවියේ බර සැමියා සමග බෙදා ගන්නා විට , අපේ ගැහැනු ඒ බර තනිවම උහුලා ගන්නවා පමණක් නොවේ. එසේ උසුලා ගැනීමෙන් මහත් සතුටක් විඳිති. තනිවම දරනා ඒ බර වෙනුවෙන් ඇය බලාපොරොත්තු වන දෙයක් නැති තරම්ය.

"උඹ උදේ කීයටද ඇහැරෙන්නේ...?" මම මගේ හොඳම මිතුරා අකිල ගෙන ඇසුවෙමි.

"වැඩට යන වෙලාව කිව්වාම මනෝජා මාව ඇහැරවනවා. එයා හැමදාම මට කළින් ඇහැරෙනවා..ඇයි මොකක්ද ගැටලුව..?"

"ඒ කියන්නේ මනෝජා උඹට කළින් ඇහැරෙනවා කියන එකනේ..?"

"ඔව්..මොකක්ද අවුල..?"

"ඒ කියන්නේ මනෝජාත් අපේ නදීෂා වගේ..ගෑනි තමයි මුළින්ම නැගිටින්නේ..අවුලක් තියනවා. මම අහන්නේ උඹ කවදාවත් හිතලා නැද්ද මනෝජට කළින් ඇහැරෙන්න..ඇහැරිලා එයාට තේ එකක් හෙම හදලා දෙන්න..."

"උඹට පිස්සුද .. අර කව්ද හාමුදුරුවෝ කෙනෙක් කිව්වේ පිරිමියාට කියලා තේ හදා ගන්න ගෑනු නරකාදියට යනවා කියලා. මම කැමති නැහැ මගේ ගෑනිව නරකාදියට යවන්න.. මෙච්චර ආදරේ කරන ගෑනි නරකාදියට යනවා බලං ඉන්නේ කොහොමද බං .. ඒක හින්දා මම එයට කළින් නැගිටින්නෙත් නැහැ. එයාට තේ හදලා දෙන්න වුවමනාවකුත් නැහැ..."

 

wife 4

 

අපේ අම්මා අවදි වූයේ තාත්තාට පෙරයි. නැන්දා අවදි වූයේ මාමාට පෙරයි. මගේ එකම නංගි , මස්සිනා සුරංගට පෙර අවදි වන බව මම දනිමි. මනෝජා අවදි වන්නේ අකිලට කළිනි. සැමියාට පෙර අවදි වීම අපේ ගැහැනුන් උපතින්ම පතා ගෙන ආ දෙයක්ද..?

දෛනික ජීවිතය ඇය සමග බෙදා ගැනීමේ වුවමනාවක් මට නොතිබුණා නොවේ. එහෙත් එය මා වැනි "සාමාන්‍ය පිරිමියෙකුට " තරමක් අපහසු කාර්යකි. නිවසේ කටයුතු , දරුවන්ගේ වුවමනා එපා කම් , වගකීම් මට අයිති නැති, ගැහැනියට අයිති දේ යැයි සිතා ඇග බේරා ගත් මම රැකියාව නිම වී නිවසට පැමිණියේ වුවමනාවට වඩා තෙගුණයක වෙහෙසක් මවා ගෙනයි. ඒ මවා ගත් අමතර වෙහෙස තුළින් මා බලාපොරොත්තු වූයේ නිවසේ සිදුවන කාර්යයන් ගෙන් ඈත්ව සිටීම නොවේද..? පැය හතක් රැකියාව කර පැය දහ හතරක වෙහෙසක් මා මවා ගනිද්දී ඇය කිසිදු වෙහෙසක් නොපෙන්වා පැය දහ අටක් රැකියාවේ සහ නිවසේ රාජකාරිවල යෙදුනාය. "අද නම් හරිම මහන්සියි... " කිසි දිනක ඇය නොකීවාය .

අද දවස ගෙවී ගියදෙන්. හෙට හෙට පටන් නිවසේ කටයුතු ඇය සමග බෙදා ගන්නා බවට මම මටම පොරොන්දු දී ගත් වාර ගණන නම් සියය ඉක්මවයි. එහෙත් ඒ "හෙට " දවස කෙදිනකවත් පැමිණියේ නැත.

"ඔයා උදේට බොන්නේ මම හදන තේ එක. ඔයාගේ ඇඟට වැටෙන මුල්ම වතුර බින්දුව එහෙම නැත්නම් තේ බින්දුව හැදෙන්නේ මගේ අතින්. ඒකේ තියෙන්නේ තේ කොළ , වතුර , සීනි විතරක් නෙමෙයි. තව හුගක් දේවල් තියනවා...මගේ බිරිඳ කීවාය . ඇය නවකතා කියවන්නට බොහෝ කැමැත්තක් දක්වන අයෙකි. මේ කියන්නේ පොතක දෙබසක් යැයි මට සිතුණි .

"වෙන මොනවද තියෙන්නේ..?"

"ආදරය , සෙනෙහස , දවස කරදරයක් නැතුව ගත වෙන්න කියලා කරන ප්‍රාර්ථනය . මේ හැම එකක්ම අත දිගේ ඇවිත් හැන්දෙන් තේ කෝප්පයට එකතු වෙනවා. අපි වැකේෂන් ගියත් , කොහේ ගියත් ඔයාගේ තේ එක මම හදන්නේ ඒ හින්දා..වෙන ගෑනියෙක් ඒක හදනවට මම කැමති නැහැ. අඩුම තරමින් ඔයාගේ අම්මා හදනවටත් කැමති නැහැ.."

"වාව්..මොකක්ද ඔය දෙබස තියන පොත...?"

"ගෑනියෙක් මොනවා හරි වැදගත් වෙනස් දෙයක් කිව්වාම ඇයි පිරිමි හිතන්නේ ඒක පොතකින් ගත්ත දෙයක් කියලා.." මම කිසිවක් නොකීමි. කියන්නට කිසිවක් තිබුණේ නැත.

"මම ජිවිතයෙන් ඉල්ලන්නේ එක පුංචි දෙයක්.. "

"මොනවද..?" මම ඇසීමි.

"මැරෙන දවසට වේදනාවක් නොදී මැරෙන්න කියලා.. " එදා ඒ රාත්‍රියේ ඇය මරණය ගැන කතා කළේ ඇයිදැයි වටහා ගන්නට මට නොහැකි විය. අපි දෙදෙනාම ජීවිතයේ මැදි වියට ළඟා වෙමින් සිටිමු. මහළු විය ඈත බව සැබෑය . එහෙත් සිරුර පෙර මෙන් නොවේ. නොයෙක් පීඩා ගෙන එයි. ඈත දකින බස් රථයට දිව යන්නට නොහැකිය. පියගැට පෙළ නගිද්දී දෙවරක් නැවතී හති අරින්නට සිදුවෙයි. අපි දෙන්නාම දශක දෙකකට පෙර හමු වූ දෙදෙනා නොවේ.

 

wife 3

 

ශීත කාලය ගෙවී ගොස් පැමිණි වසන්තයේ එක සෙනසුරාදා හවස් යාමයක ඉහින් කනින් බඩු උසුලාගෙන නිවසට ඇදෙන ඇයව , උඩු මහලේ කවුළුවෙන් දකින මම , හැකි ඉක්මනින් පිටත දිව ගොස් ගොස් බර බෑග දෙක අතට ගතිමි.

"ඇයි ඔයා මට කතා කෙරුවේ නැත්තේ..?"

"ඔයාට මහන්සි හින්දා.. "

එදා රාත්‍රියේ වෙනදා මෙන් සෙනසුරාද විශේෂ කෑම වේල පිළියෙල වූයේ නැත. ඇය බෙහෙවින් වෙහෙසට පත්ව සිටියාය. ඉතා සරළ ලෙස පිසුණු රාත්‍රී ආහාරය සම්බන්ධයෙන් ඇය කණගාටු වන බව මම දැන සිටියෙමි. ඇය වෙහෙසට පත්ව සිටි ඒ රාත්‍රිය වනාහි මගේ සිතුම් පැතුම් සියල්ල වෙනස් කරන්නට සමත් වුණු රාත්‍රියයි. වයින් විදුරු දෙකකින් පමණක් ගත සනසා ගෙන පැයක පමණ කාලයක් අකිල ගොනා සමග දුරකතනයේ එල්ලී බහුභූත දොඩමින් සිට යහනට ගොඩ වන විට ඇය නිදියමින් සිටියාය. ඇගේ සිරුරේ උණුසුමින් , උණුසුම් වුණු පොරෝනය යටට ඇදුණු මා වෙත නින්ද ආවේ ශබ්දයේ වේගයෙනි.

එහෙත් රාත්‍රියේ එක් මොහොතක මම අවදිවීමි.

දරා ගත නොහැකි සීතලකින් කාමරය පිරි තිබුණා මට මතකය. පොරෝනය සිරුරින් ඉවතට ගොස් තිබුණේ නැත. එසේ වුවද පොරෝනය සීතල ජලයෙන් පෙඟී තිබුනාක් වැනිය. මම ඇගේ සිරුරට අත තැබුවෙමි. එවිටය මා තේරුම් ගත්තේ කාමරය වෙලාගෙන ඇති ශීතල පැමිණෙන්නේ ඇගේ සිරුරින් බව. ජීවිත කාලය පුරාම ඇගේ සිරුර වෙලා ගෙන තිබුණු උණුසුම පහව ගොස් තිබුණි.

ඇය ජිවිතයෙන් ඉල්ලා සිටියේ එක ඉල්ලීමකි. එනම් වේදනාව නැති මරණයකි. ඇගේ ඉල්ලීමට මෙලොව පාලන බලවේගය සවන් දුන්නාද..?

මම ඇගේ නම කියා කතා කළෙමි . සිරුර සෙලවූයෙමි. ඇගේ සිරුරේ කිසිදු ජීවයක් තිබුණේ නැත.

ඇය යන්නට ගියාද...?

මගේ මුවින් පිට කරනා වදන් වල හරයක් නොවිණ . මගේ ලතෝනිය ඇසුණු නිසා විය යුතුය දරුවන් දෙදෙනා කාමරයට පැමිණියේ .

මවගේ සිරුර බදාගෙන හඩන දරුවන් දෙදෙනාට එසේ ඉන්නට ඉඩ හැර සාලයට පැමිණි මම පැරිස් නගරයට ඉහළින් වසන්ත අහස තවත් දවසකට සූදානම් වන අයුරු දුටිමි. සියළු අජීවී වස්තූන් පෙර පරිදිම පවතිනු ඇත. එහෙත් මේ සුන්දර නගරයේ අපේ ජීවිත යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි ලෙස කඩා වැටී ඇතැයි මට සිතුණි . යළිත් වරක් කාමරයට ඇතුල් වෙද්දී දරුවන් එහි සිටියේ නැත. ඔවුහු යළිත් නින්දට ගොසිනි. පොරෝනය තුළට රිංගා ඇගේ සීතල සිරුර වැළඳ ගන්නා මගේ දෙනෙත් වැසුණි . එහෙත් වැඩි වේලාවකට නොවේ. විවර වන දෙනෙත් මට කීවේ ඉරිදාවක් පැමිණ ඇති බවයි. අසළ මේසය මත සිට අප දෙස බලා සිටින ඔරලෝසුව කීවේ වෙලාව උදෑසන හයයි තිස් පහ බවයි. කාමරය පුරා ඇති උණුසුමත්, ඇගේ මුවින් පිටවන සිහින් සුසුම් නාදයත් මට කීවේ මා දුටුවේ නපුරු හීනයක් බවයි.

හෙමින් සීරුවේ යහනින් බැස ගන්නා මම දෙපයත් , පොළොවත් අතර ස්පර්ශය අවම කර ගනිමින් කාමරයෙන් පිට වීමි. කොරිඩෝව දිගේ සන්සුන් ගමනින් පැමිණ මුළුතැන්ගෙට ඇතුළු වී කේතලය වතුරින් පුරවා ගතිමි. එය ක්‍රියාත්මක කළෙමි.

ජීවිතයේ මතක ඇති කාලයේ දිනයක මෙසේ මම ඇයට පෙර අවදිව සිටිමි. ඇය වෙනුවෙන් උදෑසන තේ කෝප්පය සූදානම් කළ යුතුය. තේ කොළ , සීනි , උණු වතුර කෝප්පයට දමා ඉතිරිව ඇති මගේ ආයුෂ සියල්ල එක් කරන මෙන් වූ ප්‍රාර්ථනාවක් එයට එකතු කළෙමි.

"ඇයි ඔයා උදෙන්ම ඇහැරිලා..." පසුපසින් පැමිණි ඇය ඇසුවාය.

"මම ඔයාට තේ එකක් හැදුවා.." සිනහවක් ඒ මුහුණේ ඇති විය. එවිට මම ඇගේ නළලත මත හාදුවක් තැබුවෙමි.

ඉඳ හිට සාදා දෙන තේ කොප්පයත් , නිතරම වාගේ නළලත මත තබනා හාදුවත් ඇයට නව ජීවයක් ලබා දෙන බව මම දනිමි.

"ගිහින් තව ටිකක් නිදා ගන්න.. මම නවයට විතර නැගිට්ට වන්නම් ..." ඇය කීවාය

 

@ මංජුල සේනාරත්න

නවතම ලිපි