රෝස මලක් වගේ හුරතල් පුංචි දරු පැටියෙක් හා හා පුරා කියල අරන් එනව
කියන්නෙ කොයි ගෙදරකටත් සතුටු උල්පතක්නෙ ඉතින්.
ගෙදර හැමෝම බලන් ඉන්නෙ අලුත් අමුත්තව ජයටම පිළිගන්න. හැමෝටම අලුත් බලාපොරොත්තුවක් අරන් ඔන්න චූටිය ගෙදරට ආවයි කියමුකෝ. දැන් තමයි යුද්ධෙ පටන් ගන්නේ. පුංචි පැටියෙක් මේ ලෝකෙට ගෙනත් උස මහත් කරනව කියන්නේ සුළු පටු රාජකාරියක් නෙමෙයි කියල හිතෙන්නෙ දැන් තමයි. මේ ලියන්න යන්නේ තමන්ගේ කුළුදුල් දරු පැටියා ගෙදරට අරන් එන්න මඟ බලන් ඉන්න අළුත් අම්මලා තාත්තලාට වැදගත් වෙන කාරණා ටිකක්.
1. බබාට කාමරයක්
ඔන්න අළුත් අම්මල තාත්තල කවුරු උනත් බබාට අඳින්න, බබාව හෝදන්න වගේම බබාගෙ වටපිටාවටත් තමන්ට පුළුවන් උපරිම දේවල්, ලස්සන දේවල් මිලදී ගන්න දෙපාරක් හිතන්නෙ නැහැනෙ. කාමරය ලස්සනට සරසලා පුංචි ලස්සන කොට් එකක් තියලා හැඩ කරන්නෙ ගොඩක් වෙලාවට තාත්තල තමයි. හැබැයි මෙන්න මේ කාරණයේදී අපි හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි පුංචි බබා ඉන්න කාමරේ ලස්සනටත් වඩා පිරිසිඳුකම. හැඩ වැඩ කරන්න කලින් කාමරේ හොඳින් හෝදලා, මකුළු දැල් එහෙම කඩලා, තමන්ට පුළුවන් විදිහට පුංචි අළුත්වැඩියාවක් කරන්න. තීන්ත ටිකක් අලුතෙන් ගාන්න එහෙම පුළුවන්නම් ගොඩක්ම හොඳයි. කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕන නිසා අරින්න බැරි ජනේල එහෙම තියෙනවනම් ඒව අලුත්වැඩියා කරන්නත් මේක තමයි හොඳම වෙලාව. සිවිලිමක් ගහල නැති වහලෙකින් දුවිලි, කුණු, පොඩි පොඩි සත්තු වගේ වැටෙන්න පුළුවන්නම් තාවකාලිකව හරි සිවිලිමක් ගහගන්නත් බලන්න ඕනෙ.
ඔන්න කාමරේ පිරිසිඳු කරගත්තනෙ. ඊළඟට සැරසිලි. පුංචිම කාලේ බබාලගේ විෂන් එක ඩිවලොප් කරන්න හොඳ කළු සුදු වර්ණ. ඒ නිසා කළු සුදු කඩදාසි වලින් කරපු පොඩි පොඩි සැරසිලි බබාට පේන තැන්වල එල්ලන්න. ඇහේ පෙනුම ටික ටික වර්ධනය වෙනකොට තමයි තද වර්ණ වලින් කරපු ලස්සන සැරසිලි ඕන වෙන්නේ.
ඊළඟට ලොකුම දේ තමයි බේබි කොට් එක. හුඟක් අම්මලා කොට් එකක් ගත්තට බයටයි දුකටයි බබාව ඒකෙ තියන්නෙම නැහැ. ඉතින් අර කොට් එක කාලයක් යද්දි කාමරේට වදයක් වෙනවා. තවත් සමහරක් ඇඳේ හිටියොත් යටවෙයි කියල බයට කොට් එකම පාවිච්චි කරනවා පුංචිම කාලේ ඉඳන්. ඉතින් මේ කාරණාව අම්මයි තාත්තයි දෙන්නත් එක්ක කතා බහ කරලා තීරණයක් ගන්න ඕන. නිකං ආසාවට අරගෙන පස්සේ වදයක් වෙනවට වඩා උවමනාව බලලා බබා වෙනුවෙන් මිලදී ගන්න හැම දෙයක්ම තීරණය කරන්න.
2. අපේ පිරිසිඳුකම
බබා ගෙදරට ගෙනාවම ගෙදර කාටවත් ඉතින් වෙන රාජකාරියක්නම් ඇත්තේම නැති තරම්. දරු සුරතල් බලන එකම තමයි වැඩේ. විශේෂයෙන්ම සහෝදරයෝ අම්මලා තාත්තලා එකට ජීවත් වෙන පවුල් වල මුළු සෙනගම බබාගෙ කාමරේ. ඉතින් මේ කාරණේ ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. පුංචි බබාගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තවම බාහිරින් එන අභියෝග හරියට අඳුරන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා පොඩ්ඩට විෂබීජ වලින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න වැඩියි. ඒ නිසා බබාගෙ ළඟ අනවශ්‍ය විදිහට සෙනඟ පිරෙන එක, නිතර නිතර බබාගෙ කාමරේට යන එන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ. අනිත් එක තමයි යන කීපදෙනාගෙ උනත් පිරිසිඳුකම. නිතරම නාල පිරිසිඳු ඇඳුම් ඇඳල බබා ලඟට යන්න ඕන වගේම, බබාව අල්ලන, අතට ගන්න හැමවෙලාවකම හොඳින් අත් සෝදන්නත් අමතක කරන්න එපා.
3. බබාගෙ මල් වගේ අතපය
මේ චූටි පැටියගේ අතපය තාමත් මල් වගේ සියුම්. බාහිර පරිසරයට හරියන්න රළු වෙලා හැඩගැහෙන්න, අස්ථි පද්ධතිය ශක්තිමත් වෙන්න තව හුඟක් කල් යනවා. ඒ නිසා බබාව අල්ලද්දී, වඩාගනිද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. අම්මලා තාත්තලාටනම් මේ හැම දෙයක්ම ලස්සනට කියල දෙනවා ගමේ මාතෘ සායනයේදී. ඒ වගේම ගෙදර ඉන්න ආච්චිලා හොඳට දන්නවා පුංචි පැන්චොන්ව පරිස්සම් කරන හැටි. ඉතින් මෙන්න මේ කාරණේ ගෙදර ඉන්න හැමෝටම හොඳට කියල දෙන්න ඕන. බබා එක්ක තවම වැඩි සෙල්ලම් දාන්න බැහැ.
4. මව්කිරි දීම
ඔන්න දැන් අලුත් අම්මගේ පැත්තට හැරෙමු. මව්කිරි දීම කියන්නේ වෙනමම පාඨමාලාවක්. හැබැයි දැනගන්න ඕන මූලිකම කාරණාවන් කිහිපයකුත් තියෙනවා. දරුවා ඉපදිලා පළවෙනි පැය ඇතුළතදීම මව්කිරි දීම පටන් ගන්න ඕනේ. මේ වැඩේට සෑහෙන්න උපදෙස්, උදව් රයේ සායන වලිනුත් බබා ඉපදිලා ටිකට් කපන්න කලින් රෝහලෙනුත් ලැබෙනවා. හැබැයි ගෙදර ආවම තනියම අම්මා අතේ තමයි වැඩේ. චූටි පැටිය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අම්මගේ කිරි වලින්නේ. ඒ නිසා මේ කිරිදීම හරිම අවධානයෙන් කරන්න ඕන. අනේ මට කිරි නැහැ, කිරි මදිද වගේ දේවල් හිතන්න එපා කිසිම වෙලාවක. අම්මගේ මානසික මට්ටම සෑහෙන්න බලපානව කිරි එරෙන්නත්. හරියට වෙලාවට හොඳින් පියයුරු පිරිසිඳු කරලා පැටියට කිරි පොවන්න. මව්කිරි දෙන අතරේ බබත් එක්ක හිනාවෙන, කතා කරන, ඇස් දිහා බලන් ඉන්න එක අම්මගෙයි බබාගෙයි සම්බන්ධය ශක්තිමත් කරන්න ලොකු උදව්වක්. කිරි එරීම, බබා කිරි උරාබීම ගැන මොකක්ම හරි ගැටළුවක් තියෙනවනම් කිරි දොවල බෝතලෙන් පොවන්න හරි පොඩි බබාලට දෙන පිටිකිරි වර්ගයක් වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්න හරි පොඩ්ඩක්වත් පසුබට වෙන්න එපා. ඒකෙන් කිසිම වෙලාවක ඔයාව නරක අම්මා කෙනෙක් වෙන්නෙ නැහැ. කොහොමහරි දරුවා බඩගින්නෙ නොඉන්න එකයි වැදගත්.
5. පෙකෙණිවැල
පොඩි බබාලගේ වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන කරණා අතරින් ඉහලින්ම තියෙන තව කාරණාවක් තමයි මේ බබාගෙ පෙකණිය කියන්නෙ. කටුවත් එක්ක පෙකණියේ ඉතුරු කොටස හැලිල තුවාලෙ හොඳටම සුව වෙනකන් බොහොම පරිස්සමට බලාගන්න ඕනෙ. වතුර නොරැඳෙන්න හොඳින් තෙත මාත්තු කරලා වියලිව තියාගන්න ඕන. මොකද මේ තැන හරිම ලේසියෙන් ආසාදනයට ලක්වෙන්න පුළුවන්. මොකක්මහරි වෙනසක් තිබුනොතින් ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට හරි පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියට හරි පෙන්නලා උපදෙසක් ලබාගන්න එක තමයි හොඳම දේ.
6. බබාට ගුඩුස් යවන හැටි
චූටි බබා කුක්කු බිව්වට පස්සේ අමාශයේ වාතය නොරැඳෙන්න ගුඩුස් යවන්න ඕනේ. නැත්තම් කිරි පිට උගුරේ ගිහින් හුස්ම ගැනීමේ ගැටළු වගේ ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන්. කිරි බීල ඉවර උනාම බබාගෙ බඩ හොඳින් තදවෙන විදිහට බබාව ටිකක් වෙලා වඩාගෙන ඉන්න ඕන මෙහෙම ගුඩුස් යවන්න. මේක හුඟක් අළුත් අම්මලා තාත්තලාට හරිම අමාරු වැඩක්. නූතන වෛද්‍ය විද්‍යාව අනුවනම් මේකට ආදේශන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බබාව පුංචි කාලේ ඉඳන්ම ටමි ටයිම් (Tummy Time) එකකට හුරු කරන එක. ඒ කියන්නේ වැඩිහිටි කෙනෙකුගේ පූර්ණ නිරීක්ෂණය යටතේ බබා අවදිවෙලා ඉන්න වෙලාවක බඩ යටට හිටින්න මුනින් අතට බබාව සුළු වෙලාවක් තියන එක. මේකෙ වෛද්‍ය විද්‍යාත්මක වාසි ගොඩක් තියෙනවා. හැබැයි තවමත් රජයේ සායන වල වෛද්‍ය සහ පවුල් සෞඛ්‍ය නිළධාරීන් මේ ක්‍රම තරයේ ප්‍රතික්ෂේප කරනව. ඒ නිසා හොඳම දේ තමයි බබාව පෙන්නන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවනම් ඔහුගේ උපදෙස් මත පමණක් මේ දේවල් උත්සහ කරන එක.
7. බබාගෙ නින්ද
ඊළඟට බබාගෙ නින්ද. ඔන්න මේ අලුත ගෙදරට ආපු පුංචි බබා ඉන්නව නේද. එයා හරියටම කිව්වොත් හැඩයක් නැති පුංචි මැටි ගුලියක් වගේ. අපි තමයි තීරණය කරන්න ඕන මේ මැටි ගුලියෙන් ලස්සන දෙයක් හදනවද නැත්තම් ඔහේ මැටි ගුලියට ඕන හැඩයකට හැදෙන්න දෙනවද කියලා. බබා නිදියන්නේ නෑ කියල කල් ගිහින් මැසිවිලි නැගල වැඩක් නැහැ. පුංචිම කාලේ ඉඳන් බබාව රූටින් එකකට පුරුදු කරන එක අපේ වගකීම. අපි පොඩි කාලේ ඉඳන්ම බබාව කකුලේ දාගෙන පද්දල නිදි කරන්න හුරු කළොත් එයා ඒකට හුරු වෙනවා. එහෙම නැතුව තනියම නිදාගන්න හුරු කළොත් ඒකට හුරුවෙනවා. ඒ වගේ බබාගෙ නිදියන ක්‍රමය, වෙලාව මුල ඉඳන්ම තීරණය කරලා එයාව ඒකට හුරු කරන එක අලුත් අම්මලා තාත්තලාට පැවරෙන තවත් එක අභියෝගයක්
උපුටාගැනීම - Lifie වෙබ් අඩවියෙන්