ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,
දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද "දිය ජනනි" පාවෙන සූර්ය විදුලි බලාගාරය ඊයේ (18) දින ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි. මෙගාවොට් 05ක (5MW) ධාරිතාවකින් යුත් මෙම ව්‍යාපෘතිය, පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූවකි.
මෙම සූර්ය බලාගාරය අක්කර 10.5ක පමණ ජල පෘෂ්ඨයක් ආවරණය කරමින් ඉදිකර තිබේ. සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වයෙන් නිම වූ මෙය, ඉදිකිරීම් කාලය තුළ ප්‍රදේශවාසීන් 150 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ද නිර්මාණය කළේය. මෙය සාර්ථක කර ගැනීම සඳහා දිය ජනනි පුද්ගලික සමාගම, බලශක්ති අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු පාර්ශ්ව ලබා දුන් දායකත්වය මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

ආර්ථික දෘෂ්ටිකෝණයෙන් බලන කල මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන පිටුවහල අතිශය වැදගත් ය. මේ හරහා වාර්ෂිකව නිවාස 7,500කට පමණ විදුලිය සැපයීමට අපේක්ෂා කෙරෙන අතර, ඩීසල් මගින් විදුලිය උත්පාදනයට වැයවන ඩීසල් ලීටර් මිලියන 2.5ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක පමණ දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව රටට ඉතිරි කර දීමට එය සමත් වේ.

විද්‍යාත්මකව, ගොඩබිම සවි කරන පැනලවලට වඩා ජලය මත සවි කරන පැනලවල කාර්යක්ෂමතාව ඉහළ ය. ජලයේ සිසිල් බව නිසා පැනලවල තාප හානිය අවම වන අතර, වියළි කලාපයේ ජලාශයක් වන ඉබ්බන්කටුව වැවේ ජලය වාෂ්ප වීම අවම කිරීමට ද මෙම ආවරණය ප්‍රයෝජනවත් වේ. එසේම, වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් (CO₂) විමෝචනය මෙට්‍රික් ටොන් 6440කින් පමණ අවම කිරීම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ලබාදෙන ප්‍රබල දායකත්වයකි.
කෙසේ වෙතත්, මෙවැනි නවෝත්පාදන ව්‍යාපෘති දෙස හුදු ආර්ථික වාසිවලින් ඔබ්බට ගොස් පාරිසරික බලපෑම් කෝණයෙන් ද විචාරාත්මකව බැලිය යුතු ය. විශාල ජල පෘෂ්ඨයක් පැනල මගින් ආවරණය වීම නිසා ජලයට සූර්යාලෝකය වැටීම සීමා වීම, ජලජ ශාකවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට සෘණාත්මකව බලපෑ හැකිය.
තවද, ජලයේ උෂ්ණත්වය වෙනස් වීම හරහා ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේ අවදානමක් පවතින අතර, එය මත්ස්‍යයින් ඇතුළු සමස්ත ජලජ පරිසර පද්ධතියට මෙන්ම වැව ආශ්‍රිත පක්ෂීන්ගේ හා සතුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට ද බාධාවක් වීමට ඉඩ ඇත. ජලය මතුපිට පිහිටා ඇති බැවින් නඩත්තු කටයුතු දුෂ්කර හා වියදම් අධික වීම මෙන්ම වැවේ ස්වභාවික සෞන්දර්යයට සිදුවන බලපෑම ද මඟහැර යා නොහැක.

කෙසේ වුවත් මානව අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සොබාදහම පාලනය කිරීමට හෝ වෙනස් කිරීමට දරන උත්සාහය මත විද්‍යාව සහ තාක්ෂණය ගොඩනැඟී ඇති බැවින්, තාක්ෂණික මැදිහත්වීම් හරහා ස්වභාවික පරිසර පද්ධතිවලට සිදුවන බලපෑම කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම වළක්වාලිය නොහැක.

ඉබ්බන්කටුව පාවෙන සූර්ය බලාගාරය හරහා අපගේ බලශක්ති අර්බුදයට තාක්ෂණික විසඳුම් සෙවීමේ දී ද, ස්වභාවික ජල පෘෂ්ඨය කෘත්‍රිම පැනල මගින් ආවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජලජ ශාකවල ප්‍රභාසංස්ලේෂණය සහ ජීවීන්ගේ ස්වභාවික පැවැත්ම අනිවාර්යයෙන්ම බාධාවන්ට ලක් වේ. එබැවින්, තාක්ෂණික සංවර්ධනය සහ සොබාදහම අතර පවතින මෙම මූලික පරස්පරතාව මත කිසිදු පාරිසරික වෙනසකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන අතර, අපට කළ හැක්කේ විධිමත් පාරිසරික අධ්‍යයනයන් හරහා අදාළ බලපෑම අවම කර ගනිමින් සාපේක්ෂ සමතුලිතතාවයක් පවත්වා ගැනීම පමණි.
අවසාන වශයෙන්, ඉබ්බන්කටුව "දිය ජනනි" ව්‍යාපෘතිය යනු බලශක්තියෙන් රට සුරක්ෂිත කිරීමේ ගමනේ සුවිශේෂී ප්‍රවේශයකි. එහෙත්, මෙමඟින් මතු විය හැකි පාරිසරික අභියෝග කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. විධිමත් පාරිසරික බලපෑම් ඇගයීමක් (EIA) මත පදනම්ව සිදුවිය හැකි හානි අවම කර ගනිමින් මෙවැනි ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම, සැබෑ තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් අනාගතයට තබන නිවැරදිම පියවර වනු ඇත.

