SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

රුපියල් ලක්ෂ 1,444 ක මහජන මුදල් වංචා කරමින් ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන්

සහ රිටොක්සිමැබ් ඖෂධ රජයේ රෝහල්වලට සැපයීම සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ ඊයේ දින විභාගය, සාක්ෂිකරුවන්ගේ හරස් ප්‍රශ්න කිරීම් සහ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති ලිපි ලේඛනවල නිරවද්‍යතාවය පිළිබඳ නෛතික විමසීම් සඳහා වෙන් විය.

 

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැනිණි.

 

 නීතිය දැනගනිමු Law Education (@associationoflegalscholarssrilanka) •  Facebook

 

 

ඖෂධ සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් ගේ සාක්ෂිය

දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ විසින් පෙර දින සාක්ෂි ලබා දුන් බුද්ධික නිශාන්ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසන ලදී.

 

ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය අත්හිටවූ බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් (NMRA) දැනුම් දුන් පසු, තමන් එය ස්වස්ථා පද්ධතියට යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ බවත්, ඊට අදාළ මිනිට් සටහන් තබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

NMRA ආයතනයෙන් එවන ලද විද්‍යුත් තැපෑලේ අදාළ සමාගමේ නම 'Live health bio pharmaceutical private limited' ලෙස සඳහන් වුවද, පද්ධතිය පරීක්ෂා කර නම නිවැරදි කිරීමට කටයුතු කළ බව සාක්ෂිකරු කීය. අදාළ ඖෂධය 'Live health' සහ 'Reliance' යන සමාගම් විසින් සපයා තිබූ අතර, ඖෂධය සහ SR අංකය අනුව තහවුරු කරගත් තොරතුරු ඕනෑම අයෙකුට බලාගත හැකි පරිදි ස්වස්ථා පද්ධතියේ පළ කළ බව ඔහු සඳහන් කළේය.

 

 

මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමේ (Withdraw) චක්‍රලේඛය සකස් කොට ඉහළ නිලධාරීන් දෙදෙනකු හරහා අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ බවද සාක්ෂිකරු පැවසීය. 'Withhold' කළ ඖෂධ නැවත භාවිතා කිරීමේ අවස්ථාවක් ඇති නමුත්, 'Withdraw' කළ ඖෂධ නැවත භාවිත කළ නොහැකි බව ඔහු පැහැදිලි කළේය. මෙම චක්‍රලේඛය නිකුත් කිරීමේදී අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගෙන් කිසිදු බාධාවක් හෝ බලපෑමක් සිදු නොවූ බව ඔහු තහවුරු කළේය.

 

 

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැවත ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ, වාචික උපදෙස් මත ඖෂධ අත්හිටුවීමට (Withhold) අවශ්‍ය ඊමේල් පණිවිඩය ලබාදුන් බවත්, පසුව ඊට අනුමැතිය ලබාගත් බවත්ය.

 

 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක් – srilankantribune.com

 

 

සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකාරිනී මින්දූලී ජයමාන්න ගේ සාක්ෂිය

2011 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ තමන් 2023 වසර වන විට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ගේ කාර්ය මණ්ඩලයේ මාධ්‍ය නිවේදන සකස් කිරීම හා මාධ්‍යවේදීන්ගේ රාජකාරී මුර සකස් කිරීම ආදිය සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. ඇය විත්ති කූඩුවේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාව හඳුනාගත්තාය.

 

ඇයගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇසූ ප්‍රශ්න සහ සාක්ෂිකාරියගේ පිළිතුරු පහත පරිදිය.

 

"ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය (අමලි රඹුක්වැල්ල) හෝ කාර්ය මණ්ඩල නිලධාරියකු දැනුම් දුන් විට සටහන් ලබා ගැනීමට සහභාගී වෙනවා. මට එහෙම රාජකාරි ලැයිස්තුවක් දීලා තිබුණේ නෑ. සාකච්ඡා සටහන් තබා ගත්තේ එරංගා නමැති නිලධාරිනියක්. ඇය නැති අවස්ථාවලදී තමයි මට එම කැඳවීම කළේ. පටිගත කිරීමක් සිදු කරන්නේ නෑ, මට ඇසෙන දේ එලෙස ලියාගෙන පසුව එය යතුරු ලියනය කර ලබාදෙනවා."

අමාත්‍යවරයාගේ පරිහරණය සඳහා සටහන් තබන බැවින් එය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ලෙස උපදෙස් ලැබී තිබූ බව ඇය වැඩිදුරටත් කීවාය.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී තමන් සකස් කළ සටහනක් (10v63 ලෙස ලකුණු කළ) දුටු බවත්, අත්සන් ලේඛනයේ තිබූ මාතෘකාව අනුව තමන් ඊට මාතෘකාවක් යෙදූ බවත් ඇය සඳහන් කළාය.

 

මෙම සටහන් යතුරුලියනය කළ පරිගණකයේ මෘදු පිටපත් සියල්ල, අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්ව යන විට මකා දැමූ බවත්, එය සාමාන්‍යයෙන් සිදු කරන කටයුත්තක් බවත් ඇය ප්‍රකාශ කළාය.

 

 Ministry Of Health Sri Lanka | Contact Us

 

 

අටවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර ගේ හරස් ප්‍රශ්න කිරීම්

2022 සැප්තැම්බර් 05 සහ 2022 ඔක්තෝබර් 10 දිනවල පැවති රැස්වීම්වලට සාක්ෂිකාරිය සහභාගී වූ බව තහවුරු කරගැනීමෙන් පසු විත්තියේ නීතිඥවරයා ප්‍රශ්න කිරීම් ඇරඹීය.

 

නීතිඥ නයන්ත විජේසුන්දර:

"සැප්තැම්බර් පස් වෙනිදා වෙනකොට අටවෙන චූදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා භූතානයට ගිහින් තිබුණ බව ඔබ දන්නවාද?"

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දැඩි විරෝධයක් මතු කළ අතර සාක්ෂිකාරිය අධිකරණයෙන් පිටතට යවන ලදී).

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

"ස්වාමීනි, 2023/09/05 වැනිදා අටවන චූදිත භූතානයට ගොස් සිටි බවට අන්‍යස්ථානික භාවය (Alibi) ලබා ගන්නේ නම්, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 126 (අ) උපවගන්තිය ප්‍රකාරව එය මුල් ප්‍රකාශයේ සටහන් කර තිබිය යුතුයි, නැතහොත් අධිචෝදනාවට දින ඇතුළත දැනුම් දිය යුතුයි. 2024/02/02 දින ලබාදුන් ප්‍රකාශයේ ඔහු භූතානයේ සිටි බවක් සඳහන් කර නෑ."

 

 

නීතිඥ නයන්ත විජේසුන්දර:

"ස්වාමීනී, අපරාධමය වරදක් කියලා මෙදින වුණා කියලා සඳහනක් නෑ. අපරාධමය වරදක් වෙන්න චෛතසික හා කායික නැමියාවක් තිබිය යුතුයි. අපරාධයක් සිදුව තිබුණා නම් එහි සිටි සියලු දෙනාටම එරෙහිව නඩු පැවරිය යුතුයි. අනෙක් අතට ස්වාමීනි, රැස්වීම් තියලා, සටහන් කරලා, ඒ පටිගත කරලා කවුද හොරකම් කරන්නේ? අපරාධයක් කරනවා නම් කවුද සටහන් තියන්නේ?"

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:

"කුමන්ත්‍රණය යන චෝදනාව පළවෙනි චෝදනාවෙන්ම දැනුම් දී තිබෙනවා. කුමන්ත්‍රණයක් එක දිනක දී සිදුවන්නේ නෑ. අන්‍යාස්ථානික භාවය ගන්නවා නම් එය නෛතිකව ප්‍රකාශ කළ යුතුයි."

 

විනිසුරු නියෝගය:

අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 126(1) වගන්තිය සම්පූර්ණ කර නොමැති අවස්ථාවක අන්‍යාකාරයකින් අන්‍යාස්ථානික භාවය පිළිබඳ ස්ථාවරයක් ඉදිරිපත් කළ නොහැකි බැවින් අදාළ හරස් ප්‍රශ්නය විමසීමට අවසර දීම විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

 

 

රැස්වීම් සටහන් සහ ඌනතා සලකුණු කිරීම

නැවත සාක්ෂිකාරිය කැඳවීමෙන් පසු නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය. 1v13 ලෙස ලකුණු කර ඇති 2023/12/05 දින පැවති මිනිට් සටහනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නවාවි මහතා සහභාගී වූ බවත්, ඔහුට "Additional Secretary Procurement" ලෙස වගකීමක් පවරා ඇති බවත් එහි සටහන්ව ඇති බව සාක්ෂිකාරිය පිළිගත්තාය. නවාවී මහතාට එවැනි වගකීමක් පවරා නොතිබූ බවට නීතිඥවරයා යෝජනා කළ විට ඇය කියා සිටියේ, තමන් ඇසුණු දේ ලිවූ බවත් ලේකම්වරයා එය අත්සන් කර තහවුරු කර ඇති බවත්ය.

 

 ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

 

සාක්ෂිකාරියට එරෙහි විනය පරීක්ෂණය

ඇයට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව නීතිඥවරයා අනාවරණය කළේය. "දේශපාලන අරමුණක් පදනම් කරගෙන ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී ඇති වාහන සහ තෙල් කෝටාවන් පිළිබඳ තොරතුරු FB එකට ලබාදීමේ චෝදනාව මත විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා," යනුවෙන් ඇය එය පිළිගත්තාය. එම විමර්ශනයට භාජනය වන අවස්ථාවේදී ගැලවීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදෙන බවට නීතිඥවරයා කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කළාය.

 

 

සටහන්වල මුල් පිටපත් සහ මෘදු පිටපත් විනාශ කිරීම

10v63, 10v53 යන මිනිට් සටහන් අමාත්‍යවරයාගේ අවශ්‍යතාවයට ගත් බවත්, ඒ පිළිබඳව CID යට කළ ප්‍රකාශයේ සඳහන් කර නොමැති බවත් විත්තිය පෙන්වා දුන් අතර, අධිකරණය එය ඌනතාවක් ලෙස ලකුණු කළේය.

 

නීතිඥවරයා:

"අදාළ මිනිට් සටහන් අතින් ලියාගත්තේ කවර හේතුවක් මතද? ඒ A4 කොළ කොහෙද තිබෙන්නේ?"

 

සාක්ෂිකාරිය:

"මට කියවා ගත හැකි පරිදි අසම්පූර්ණ වචනවලින් තමයි මම ලියාගන්නේ. සම්පූර්ණ ලියවිල්ලක් විදියට යතුරු ලියනය කිරීමෙන් පස්සේ එම කොළ විනාශ කරලා දානවා."

 

නීතිඥවරයා:

"මෙවැනි වැදගත් සටහනක මුල් සටහන් විනාශ කරාම හරියනවද? මා යෝජනා කරනවා ඔබ ඔය රැස්වීමට සහභාගි වෙලා මිනිට් සටහන් ගත් බවට කරන ප්‍රකාශය අමූලික බොරුවක් කියලා."

 

සාක්ෂිකාරිය:

"නෑ ස්වාමීනි, එම රැස්වීමට සහභාගි වී තමයි ලිව්වේ."

 

යතුරු ලියනය කළ මෘදු පිටපත් සම්බන්ධයෙන් ඇසූ විට, අමාත්‍යවරයා යන විට පරිගණකයේ ඇති කරුණු මකා දැමීමට උපදෙස් ලැබුණු බැවින් ඒවා මකා දැමූ බව ඇය කීවාය. මෙයද CID ප්‍රකාශයේ සඳහන් නොවීම ඌනතාවක් ලෙස ලකුණු කෙරිණි.

 

 ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

 

 

ලේඛනවල ස්ටේප්ලර් කටු සලකුණු

ලේඛනවල දෘඪ පිටපත් පෙන්වමින්, කොළ තුනකින් යුතු ලේඛනයකට ස්ටේප්ලර් කටු කිහිපයක් ගසා සිදුරු ගණනාවක් තිබීම හරහා ලේඛන වෙනස් කර ඇති බවට නීතිඥවරයා සැක මතු කළේය. මීට පැමිණිල්ල විරෝධය පෑ අතර, ඒ සඳහා රජයේ මුද්‍රණාලයාධිපති කැඳවීමට සිදුවන බව පැවසීය. නීතිඥවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ "ඒක හොඳයි. ඇවිත් සාක්ෂි දෙන්න කියන්න" යනුවෙනි.

 

 

2022.10.10 දින අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳ මතභේදය

අවසාන වශයෙන්, 2022 ඔක්තෝබර් 10 දින උදෑසන 10 වන විට අටවන චූදිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසිටි බවට විත්තියේ නීතිඥවරයා යෝජනා කළේය. පැමිණිල්ල මීට දැඩි විරෝධයක් මතු කළේය.

 

විනිසුරු ප්‍රියන්ත ලියනගේ:

"මෙය අන්‍යස්ථානික බව නෙමෙයි. මෙහිදී ඇත්තේ එම ස්ථානයේ චූදිත නොසිටි බවයි. අන්‍යස්ථානික බව යනු යම් කිසි වෙලාවකදී යම්කිසි ස්ථානයක ඔහු සිටි බව නිශ්චිතව ප්‍රකාශ කිරීමයි."

 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:

මෙයත් අන්‍යස්ථානික භාවය පිළිබඳ ගැටලුවක් බව පවසමින් සාක්ෂි ආඥා පනතේ 126 (අ) වගන්තිය අනුව ඊට විරුද්ධ විය.

 

නීතිඥ නයන්ත විජේසුන්දර:

තමන් වෙනත් ස්ථානයක සිටි බවක් ප්‍රකාශ නොකළ බවත්, පෙන්වා දුන්නේ අමාත්‍යාංශයේ නොසිටි බව පමණක් බවත් කීය. අමාත්‍යවරයා ඒ වේලාව වන විට වෙනත් ස්ථානයක සිටි බව පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කර ඇති නඩු භාණ්ඩයක් වන 'ඩයලොග් දුරකථන ලැයිස්තුවක' සඳහන් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

 

මෙම විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කිරීම ඊළඟ නඩු දිනයට කල් තබමින් එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණි.

 

 

නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි