SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 

ප්‍රකාශනයේ නිදහස යනු දේශපාලනයට ඉහළින් පවතින උත්තරීතර අයිතියක්ද? නැතහොත්

පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් පවත්වාගෙන යන දෘෂ්ටිවාදී මායාවක්ද? නිර්මාල් සහ උවිඳුගේ මැදිහත්වීම් නිදසුන් කරගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපේ "හඬ" පද්ධතියේම පැවැත්ම තහවුරු කරන උපකරණයක් වන ආකාරයත්, ධනවාදී "මහා අනෙකා" (Big Other) ඉදිරියේ අපේ නිදහස "වියුක්ත ප්‍රබන්ධයක්" බවට පත්ව ඇති ආකාරයත් පිළිබඳ ස්පාටකස් සාමූහිකය කරන ගැඹුරු දේශපාලනික විග්‍රහයකි.

 

 

"ප්‍රකාශනයේ (භාෂණයේ) නිදහස" නමැති මිත්‍යාව ගැන - ස්පාටකස් ලිපි

 

මේ වන විට නිර්මාල් ට සහ උවිඳු ට නැවත එක් වී එකට සටන් කිරීමේ භාග්‍ය උදා වී ඇත. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ "ප්‍රකාශනයේ නිදහස" වෙනුවෙනි. එනම්, නිර්මාල් හට දෙමලාගේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙනුත් උවිඳු හට "ජන මාධ්‍ය වේදියාගේ ප්‍රකාශනයේ නිදහසත් වෙනුවෙනි.

 

 

"ප්‍රකාශනයේ නිදහස" කියූ පමණින් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදය තුල නොමැත. එසේ නම් ඒ "නිදහස" අර්ථවත් වන්නේ කෙසේද?

 

 

ප්‍රජාතන්ත්‍රවාදය තුල "ප්‍රකාශනයේ නිදහස" යනු 'දෘෂ්ටිවාදී ෆැන්ටසියට' (ධනවාදයේ ෆැන්ටසි වසංගතය) අදාළ ඛණ්ඩාංක තුල ක්‍රියාත්මක වන නිර්ණායක මත තීන්දු වන්නකි.

 

 

මාක්ස්ගේ වටිනාම ගෙනහැර දැක්වීම ලෙස ශිෂැක් විසින් පෙන්වා දෙන්නේ කොම්යුනිස්ට් සමාජය පිළිබඳව "ප්‍රථමික සමාජය" ලෙසින් හඳුන්වන සමාජය පදනම් කරගනිමින් ඉදිරිපත් කල අදහසයි. එවැනි සමාජයක "ප්‍රකාශනයේ නිදහස" වැනි ජාත්‍යන්තරව සංස්ථාපිත ව්‍යුක්ත පුරවැසියෙකුට අදාළව ව්‍යවස්ථාපිත, ආයතන මගින් තීන්දු වන, අවසානයේ නීති මගින් කටයුතු කල හැකි සහ දෘෂ්ටිවාදය (ideology) මගින් ව්‍යුහගත වන විකාර නොපැවතියේය. එනම්, "ප්‍රකාශනයේ නිදහස" යන්නම දෘෂ්ටිවාදයෙන් බැහැර දෙයක් නොව; එය ක්‍රියාත්මක වන්නේ නිශ්චිත කතිකාමය ක්ෂේත්‍රයක් (discursive field) තුළය.

 

බටහිර ජාතීන් පැමිණීමට පෙර ද එවැනි විකාර ලාංකීය සමාජයේ නොපැවතුනි. එසේ නම්, එවැනි සමාජයක ඕනෑම අයෙක් ඕනෑම දෙයක් ප්‍රකාශ කලේද? නැත... ඒ සෑම සමාජයකම ප්‍රකාශනය තීන්දු වූයේ අදාළ 'සංකේත රටාව' තුල 'සංකේත නීතියට' අදාළ ඛණ්ඩාංක තුලය. එහිදී ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් හෝ ඇති නොවේ. විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ එවැනි සමාජ වල කලාව යනුවෙන් දෙයක් නොපැවති බවය.

 

නූතන බූර්ෂුවා (ධනේශ්වර) අර්ථයෙන් ගත්කල, කලාව යනු සෞන්දර්යාත්මක ස්වයං-ප්‍රකාශනය සඳහා වූ වෙන්වූ හෝ නිදහස් විෂය පථයක් ලෙස එකල හඳුනාගෙන නොතිබුණි.

 

 

නිර්මාල් සහ උවිඳු වැනි අය සාමාන්‍යයෙන් සිතනුයේ සිතන්නේ "ප්‍රකාශනයේ නිදහස" යනු දේශපාලනයට හෝ දෘෂ්ටිවාදයන්ට ඉහළින් පවතින උත්තරීතර, මධ්‍යස්ථ අයිතියක් බවයි. නමුත්, අප පවසන්නේ, එම අයිතිය පිළිබඳ සංකල්පය පවා පවතින පද්ධතියේම කොටසක් බවයි. එනම්, කුමක් ප්‍රකාශ කළ හැකි ද සහ කුමක් නොහැකි ද යන්න තීරණය කරන්නේ එම පද්ධතිය විසින්මය.

 

 

යමක් ප්‍රකාශ කළ පමණින් එය අර්ථාන්විත නොවේ. ඕනෑම ප්‍රකාශයක් අර්ථවත් වන්නේ එය පවතින සමාජ, දේශපාලන සහ භාෂාමය ව්‍යුහය තුළය. උදාහරණයක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ "ප්‍රකාශනයේ නිදහස" යන්නෙන් අදහස් කරන්නේ පද්ධතියට හානියක් නොවන පරිදි තම අදහස් කීමට ඇති ඉඩයි.

 

ඔබට පද්ධතියට එරෙහිව කෑගැසීමට නිදහස තිබිය හැකිය. නමුත් පද්ධතිය විසින්ම එම කෑගැසීම "හුදු ඝෝෂාවක්" හෝ "ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්" ලෙස නම් කර එහි ඇති විප්ලවීය ශක්තිය උකහා ගන්නේ නම් (neutralize), ඔබේ එම "නිදහස" ක්‍රියාත්මක වන්නේ පද්ධතියේ ආරක්ෂාව සඳහාමය.

 

"ප්‍රකාශනයේ නිදහස" වැනි වියුක්ත අයිතිවාසිකම් (abstract rights) අයත් වන්නේ එක්තරා සුවිශේෂී ඓතිහාසික සංකේතීය පර්යායකටය (specific historical symbolic order). ඒවා මගින් නූතනත්වයේ වියුක්ත නෛතික ආත්මය (abstract legal subject of modernity) පූර්ව උපකල්පනය කරනු ලබයි.

 

මේවා "වියුක්ත" වන්නේ ඒවා යථාර්ථයේ පවතින පන්තිමය, ආර්ථික, සමාජීය ඇතුළු සියලු ගොඩනංවන ලද අසමානතාවන් නොසලකා හරින බැවිනි. උදාහරණයක් ලෙස, බහුජාතික සමාගමක හිමිකරුවෙකුට සහ හිඟන්නෙකුට එක හා සමානව "ප්‍රකාශනයේ නිදහස" ඇතැයි පැවසීම අමූර්තය. නීතිය ඉදිරියේ දෙදෙනාම සමාන ලෙස පිලිගැනුන ද, ඔවුන්ගේ හඬ ඇසෙන ප්‍රමාණය සහ බලපෑම අහසට පොළොව මෙන් වෙනස්ය (වියුක්ත අයිතිවාසිකම්).

 

මෙම අයිතිවාසිකම් සදාකාලික සත්‍යයන් නොවේ. ඒවා "නූතනත්වය" (modernity) නමැති ඉතිහාසයේ එක්තරා යුගයක, ධනවාදයේ නැගීමත් සමඟ නිර්මාණය වූ සංකේතීය රාමුවක කොටසකි.'

 

නීතියට අනුව ඔබ රුධිරය සහ මස්වලින් සැදුම්ලත් ජීවියෙකු නොව, "පුරවැසියා" නමැති නෛතික ඒකකයකි. මෙම "ආත්මය" (subject) යනු පද්ධතිය විසින් ගොඩනගන ලද ප්‍රබන්ධයකි. ඔබ සැබෑ ලෝකයේ කෙතරම් අසරණ වුවත්, නීතිමය රාමුව තුළ ඔබ "නිදහස්" සහ "සමාන" කෙනෙකු ලෙස උපකල්පනය කෙරේ (අමූර්ත නෛතික ආත්මය).

 

 

මෙයින් කියැවෙන්නේ, පද්ධතිය අපට "නිදහස" ලබා දෙන බව පවසන විට, එය ලබා දෙන්නේ අපේ සැබෑ පැවැත්මට නොව, පද්ධතිය විසින් නිර්මාණය කරන ලද එම "වියුක්ත පුද්ගලයා" හට බවයි.

 

 

ලිබරල් සමාජයන් විසින් විරුද්ධ මත ඉවසනු ලබන්නේ ඒවායින් පද්ධතියට සැබෑ අනතුරක් නොවන තාක් පමණි. ඔබ පද්ධතියට විරුද්ධව කෑගසන විට, පද්ධතිය පවසන්නේ "බලන්න, ඔබට අපට විරුද්ධව කෑගැසීමට තරම් නිදහසක් අපේ සමාජය තුළ තිබෙනවා" යන්නයි. ඒ අනුව, ඔබේ විරෝධය පද්ධතියේම "නිදහස් බව" තහවුරු කරන සාක්ෂියක් බවට පත් වේ. ඔබේ විරෝධය පද්ධතියට හානි කරනවා වෙනුවට එය පද්ධතිය සාධාරණීකරණය කිරීමට උදව් වෙයි (විශේෂයෙන්ම උවිඳුගේ සහ නිර්මාල්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න).

 

ලැකානියානු අර්ථයෙන් අප සැමවිටම යමක් ප්‍රකාශ කරන්නේ 'මහා අනෙකා' (the big Other) උදෙසාය. එනම් අපේ හඬ පද්ධතියට ඇසෙන බවත්, ඉන් වෙනසක් සිදුවන බවත් අප විශ්වාස කරන්නෙමු. නමුත් වර්තමාන ගෝලීය ප්‍රාග්ධන පද්ධතිය සැබවින්ම බිහිරි යන්ත්‍රයක් වැනිය. ඔබ කුමන අදහස ප්‍රකාශ කළත්, පද්ධතියේ ආර්ථික සහ තාක්ෂණික "ඛණ්ඩාංක" වෙනස් වන්නේ නැත (යථාර්ථය). උදාහරණයක් ලෙස සලකන්නේ නම්, මිලියන ගණනක් මිනිසුන් පරිසර විනාශයට විරුද්ධව අන්තර්ජාලයේ අදහස් පළ කළ ද, පරිසරයට අදාළ ගෝලීය සැපයුම් දාමයන් සහ නිෂ්පාදන ක්‍රියාවලිය පෙර පරිදිම සිදු වේ.

 

 

ප්‍රකාශනයේ නිදහස ක්‍රියාත්මක වන්නේ "සාධාරණ - තාර්කික" (rational) සහ "අන්තවාදී" (radical) ලෙස පද්ධතිය විසින් බෙදා වෙන් කර ඇති සීමාවන් ඇතුළතය. ඊට අදාළ "සැබෑ දේශපාලන කතිකාව" යනු කුමක්ද සහ "හුදු කලබැගෑනියක්" යනු කුමක්ද යන්න පද්ධතිය විසින්ම තීරණය කරනු ලබයි. යමෙකුගේ අදහස් පද්ධතියේ මූලික පදනම් (උදා: පුද්ගලික දේපල අයිතිය, ධූරාවලිය) ප්‍රශ්න කරන්නේ නම්, එය "ප්‍රකාශනයේ නිදහස" යටතේ නොව "ත්‍රස්තවාදය" හෝ "අතාර්කික බව" යටතේ වර්ගීකරණය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

 

 

ඒ අනුව, අප නිරීක්ෂණය කරනු ලබන බව දැනෙන විට අප විසින්ම අපේ නිදහස පාලනය කර ගනු ලබයි. ප්‍රකාශනයේ නිදහස පවතින්නේ ද එවැනිම අදෘශ්‍යමාන සීමා පවුරු ඇතුළතය.

 

"ප්‍රකාශනයේ නිදහස" යනු ඉතිහාසය පුරා නොවෙනස්ව පවතින "මානව සාරයක්" (transhistorical human essence) නොව; ඒ වෙනුවට, එය නූතන සමාජය විසින් භාෂණය හෙවත් කථනය සංවිධානය කරනු ලබන ඓතිහාසිකව විශේෂිත වූ නෛතික ස්වරූපයකි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලිපි පෙළෙහි 5 කොටසේ සබැඳිය ...

https://bit.ly/4crfUz4

උපුටාගැනීම - ස්පාටකස් ලිපි

නවතම ලිපි