අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS)
හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. දැනට ඔහු ජාතික රෝහලේ 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පාස්කු චෝදනා ගැන අලි සබ්‍රි සහ සිවිල් පාර්ශවවලින් දැඩි විවේචන
කෙසේ වෙතත්, මෙම තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව ඇත්තේ, ඔහුගේ සුවදුක් විමසීම සඳහා පවුලේ සාමාජිකයින් කරන ලද ඉල්ලීම් පවා මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බැවිනි. හිටපු බුද්ධි ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පවසන්නේ සිය සේවාදායකයාගේ තොරතුරු සොයා බැලීමට නීතිඥයින්ට ද මේ දක්වා අවසර ලබා දී නොමැති බවයි.
"චෝදනා පට්ටපල් බොරුවක්" - ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගෙන් දැඩි ප්‍රහාරයක්!
සුරේෂ් සලේ ට එල්ල වී ඇති පාස්කු ඉරුදින ප්‍රහාරයේ කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ප්‍රකාශ කරන්නේ, එම චෝදනා කිසිදු පදනමක් නොමැති "පට්ටපල් බොරුවක්" සහ "විහිළුවක්" බවයි.
ඔහු පෙන්වා දෙන ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:
- දේශපාලන කුමන්ත්‍රණ තර්කය බිඳ වැටීම:
පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ අරමුණින් සිදුකළ කුමන්ත්‍රණයක් බවට වන තර්කය ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ ඒ වනවිටත් අතිවිශාල ජයග්‍රහණයක් ලබාගෙන ආණ්ඩුවේ දිශානතිය තීරණය කර අවසන්ව තිබූ බැවින්, ජයග්‍රහණය වෙනුවෙන් මෙවැනි විනාශකාරී දෙයක් කිරීමේ කිසිදු දේශපාලනික අවශ්‍යතාවයක් නොතිබූ බව ඔහු පෙන්වා දෙයි.
- විමර්ශනවල අපක්ෂපාතීත්වය පිළිබඳ ගැටලු:
මෙම පාස්කු විමර්ශන සඳහා එක්තරා ආගමික නායකයෙකු සිය සීමාව ඉක්මවා අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට අලි සබ්‍රි මහතා චෝදනා කරයි. එසේම, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මගින් නඩු පැවරීමට නිර්දේශ කර ඇති ශානි අබේසේකර වැනි නිලධාරීන් යළිත් මෙම විමර්ශන මෙහෙයවීම පිළිබඳව ද ඔහු දැඩි ලෙස ප්‍රශ්න කරයි.
කරුණු සහ සාක්ෂි: වසර 7කට පසු ආඛ්‍යානය වෙනස් වීම
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු සහ විමර්ශන වාර්තා දෙස බැලීමේදී සුරේෂ් සලේ ඉලක්ක කිරීම පිළිබඳව බරපතල පරස්පරතා මතුවන බව සිවිල් පාර්ශව සහ විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
- කාල පරාසය සහ රාජකාරිමය ස්වභාවය:
2016 සිට 2019 දක්වා කාලය තුළ සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ රැඳී සිට නැත. එසේම ප්‍රහාරය එල්ල වන සමයේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ද නැති අතර, කිසිදු බුද්ධි අංශ මෙහෙයුම් අණදෙන නිලධාරියෙකු ලෙස ද ක්‍රියා කර නොමැත. සහරාන් හෂීම් ඇතුළු ජාලය ලංකාව තුළ ක්‍රියාත්මක වන විට සහ ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබියදී සලේ සිටියේ රටින් බැහැරවය.
- 2021 චෝදනා පත්‍රවල නම නොමැති වීම:
2021 වසරේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කරන ලද චෝදනා 23,000 කට අධික ප්‍රමාණය තුළ කිසිදු ස්ථානයක සුරේෂ් සලේගේ නම සඳහන් වී නොමැත. එසේ තිබියදී, වසර 7කට පසු (2026 දී) හදිසියේම ඔහුව ප්‍රධාන සැකකරුවෙකු ලෙස ඉස්මතු කිරීම පිටුපස ඇත්තේ සාක්ෂි මත පදනම් වූ යුක්තියක් ද, නැතහොත් වෙනත් දේශපාලන හෝ ආඛ්‍යානමය අවශ්‍යතාවයක් ද යන්න ප්‍රශ්න කෙරේ.
- හිටපු නීතිපතිට අභියෝගයක්:
2021 දී "මහා කුමන්ත්‍රණයක්" පිළිබඳව ප්‍රකාශ කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ට, සිය ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස හෝ එය ඉල්ලා අස්කර ගන්නා ලෙස දැඩි බලපෑමක් එල්ල වී තිබේ. සාක්ෂි නොමැතිව කරන ලද එවැනි ප්‍රකාශ හරහා සමස්ත බුද්ධි අංශ දුර්වල වී ඇති බවත්, සැබෑ වැරදිකරුවන්ගෙන් අවධානය වෙනතකට යොමු වී ඇති බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සාරා ජෙස්මින් සහ විමර්ශන හැරවීම: ශෙනාලි වඩුගේ ගේ විශ්ලේෂණය
ලේඛිකා ශෙනාලි වඩුගේ පෙන්වා දෙන පරිදි, සංකීර්ණ විමර්ශනවලදී 'සාක්ෂි මගින් ආඛ්‍යානය ගොඩනැගිය යුතු වුවත්, මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ආඛ්‍යානය මගින් සාක්ෂි මෙහෙයවීමට උත්සාහ කිරීමකි'.
සයින්දමරුදු පිපිරීමෙන් සහරාන්ගේ මව, පියා, සහෝදරයා ඇතුළු සමීපතමයින් රැසක් මියගිය ද, සමාජය, මාධ්‍ය සහ දේශපාලන කරළිය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන්නේ "සාරා ජෙස්මින්" (පුලස්තිනි මහේන්ද්‍රන්) ගේ නම පමණි. ඇය හුදෙක් ප්‍රධාන ත්‍රස්ත ජාලයට පිටතින් විවාහය හරහා සම්බන්ධ වූ 24 හැවිරිදි තරුණියක් පමණක් වුවත්, ඇයව මෙම සමස්ත සිදුවීමේ ප්‍රධාන "සම්බන්ධක පුරුකක්" ලෙස අතිශයෝක්තියෙන් ගොඩනගා ඇත.
මෙලෙස එක් නමක් පමණක් (සාරා) නැවත නැවතත් පුනරුච්චාරණය කිරීම හරහා සමාජය තුළ ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩනගා, සැබෑ ලෙසම අසාර්ථක වූයේ කවුරුන්ද සහ ප්‍රහාරය වළක්වා නොගත්තේ කවුරුන්ද යන සැබෑ ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් පවතින බව ඇයගේ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කෙරේ. චෝදනා 23,000 කින්වත් ඔප්පු කළ නොහැකි වූ දේවල්, අලුත් මුහුණු සහ 'සාක්ෂිකරුවන්' යොදාගනිමින් මේ මොහොතේ සුරේෂ් සලේ වැනි නිලධාරීන් මත පැටවීමට දරන උත්සාහය, යුක්තිය පසිඳලීම වෙනුවට දේශපාලන පළිගැනීමක් විය හැකි බවට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
කෙසේ වුවද, රාජ්‍ය ආරක්ෂක සේවයේ බොහෝ නිලධාරීන් තම වෘත්තීය ජීවිතය තුළදී වින්දිතයින්ට සහ සැකකරුවන්ට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේදී සලකන්නේ ඉතා රළු පරලුවය. සැකකාරයෙක් වැරදි කරුවෙකු නොවී සිටියදීම ඔහුට හෝ ඇයට දඩුවම් දෙන තත්වයක් අපගේ විමර්ශන කණ්ඩායම් තුළ පවතී. සලේ යනුද එවන් වෘත්තිකයෙකුව සිටි නිලධාරියෙකි. අද අත්අඩංගුවේ සිටියදී ඔහු භුක්ති විඳින බොහෝ 'සංග්‍රහයන්' ඔහු සේවයේ සිටියදී ඔහු විසිනුත් හෝ ඔහු යටතේ නිලධාරීනුත් ලබාදුන් ඒවාය. උතුරේ යුද සමයේදීත් දකුණේ ගැටුම් හා භීෂණය පවතින විටත් ඒවා එයාකාරයෙන්ම බොහෝ වාරයන්හි සිදුවූ සහ අදටත් සිදුවන දේවල්ය. අප දන්නේ එක් දෙයකි; යුක්තිය කෙදිනක හෝ කල් ගොස් හෝ සොබාදහමෙන් හෝ ඉටුවනවා සේම, බුදු දහමේ කියැවෙන පරිදි ස්වකීය ක්‍රියාවේ ප්‍රතිඵල කර්මය සේ තම පසුපස එනු නියතය.
@ නිරෝමී සුබ්‍රමනියම්

