SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(කාන්තාව, දේශපාලනය සහ මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්)

 

මගේ පිරිමි මිතුරෙක් ළඟදි දවසක මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා. (අපූරුයි කිව්වට දශක ගණනාවක ඇහෙන/අහන ප්‍රශ්නයක්)

"මචං, ඇයි බන් අපේ රටේ ගෑණු හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කළාට දේශපාලනයට එන්නෙ නැත්තෙ?"

 

 

මේක අද ඊයෙක අහපු ප්‍රශ්නයක් නෙවෙයි. 60/70 දශකවල ඉඳලම ඇහෙමින් තිබිලා, 80 දශකයේ විතර හොඳටම මෝරපු ප්‍රශ්නයක්. මේකට උත්තර විදිහට "කාන්තාවට තැනක් නෑ," "පිරිමි ඉඩ දෙන්නෙ නෑ" වගේ සරල උත්තර දීලා නිකන් ඉන්න පුළුවන්. ඒත් ඊයෙ පෙරෙයිදා අර වැඩිමහලු මිතුරා මේක අහද්දි මට හිතුනා මේක හරි විදිහට ඇනලයිස් කරන්න ඕන කියලා. මොකද අද ඉන්න "ස්ත්‍රීවාදීන්" යැයි කියාගන්නා බොහෝ දෙනා කරන්නෙත් මේ ප්‍රශ්නයේ ඇත්ත ගැඹුර නොදැක, තමන්වම "මරාගෙන කෑමක්".

 

ඇත්තටම කාන්තාව දේශපාලනයට එන්නේ නැත්තේ ඇයි? අපි මේක ස්ලාවෝයි ජිජැක් (Slavoj Žižek) සහ ජැක් ලැකාන් (Jacques Lacan) ගේ මනෝවිශ්ලේෂණාත්මක කාචයෙන් බලමු.

 

 

1. භාෂාව පිරිමියාගේය (The Symbolic Order is Father-Centered)

 

ලැකාන් කියන විදිහට අපේ සමාජය, නීතිය සහ භාෂාව ගොඩනැගී තියෙන්නේ "පියාගේ නාමය" (Name-of-the-Father) කේන්ද්‍ර කරගෙන. සරලවම කිව්වොත්, බලය කියන එකේ "සංකේතීය ලෝකය" අයිති පිරිමියාට.

 

මේකට හොඳම උදාහරණය අපේ භාෂාව ඇතුළෙම තියෙනවා. සිංහලෙන් රටක් පාලනය කරන කෙනාට අපි කියන්නේ "පාලකයා" කියලා. හැබැයි ඒකෙ ස්ත්‍රී ලිංග පදය "පාලිකාව" ගත්තොත් අපිට මතක් වෙන්නේ කාවද? පාසල් නේවාසිකාගාරයක (හොස්ටල් එකක), මඩමක හරි එහෙමත් නැත්නම් ළමා නිවාසයක හරි ඉන්න පාලිකාවක් (Matron).

 

  • පාලකයා: රටක් පාලනය කරයි.
  • පාලිකාව: ළමයි බලාගනී / ගොඩනැගිල්ලක් බලාගනී.

 

එතකොට "දේශපාලකයා" කිව්වට "දේශපාලිකාව" කියලා වචනයක් අපේ කටට හුරු නෑ. ඒ වචනය ඇතුළේ "බලය" (Power) ගැබ් වෙලා නෑ. අපේ අවිඥානය (Unconscious) විසින්ම "පාලනය" යනු පිරිමි දෙයක් බවට භාෂාව හරහාම ලියාපදිංචි කරලා ඉවරයි. කාන්තාවක් කොච්චර දක්ෂ වුණත්, මේ සංකේතීය ලෝකය ඇතුළේ ඇය ආගන්තුකයි.

 

 

2. තාත්තාගේ හෝ සැමියාගේ "වීසා" එක (The Male Proxy)

 

අපේ රටේ (සහ දකුණු ආසියාවේ) දේශපාලනයට එන කාන්තාවන් දිහා බලන්න. ඔවුන්ගෙන් බහුතරයක් එන්නේ තමන්ගේ දක්ෂතාවයට නෙවෙයි, තමන්ගේ තාත්තාගේ හෝ සැමියාගේ අභාවයෙන් පස්සේ. ඇයි එහෙම වෙන්නේ?

 

ලැකානියානු අර්ථයෙන් ගත්තොත්, පිරිමියා විසින් හදපු මේ දේශපාලන ලෝකයට ඇතුල් වෙන්න කාන්තාවට තනියම බෑ. ඇයට "වලංගුභාවය" (Legitimacy) හම්බවෙන්නේ පිරිමියෙක් හරහා ආවොත් විතරයි. ඇය දේශපාලනයට එන්නේ "ඇය" ලෙස නෙවෙයි, අර මියගිය හෝ විශ්‍රාම ගිය "පිරිමියාගේ බලයේ නියෝජිතයා" විදිහට. ඒ පිරිමියා තමයි ඇයව මේ පීතෘමූලික ව්‍යුහය ඇතුළට ගන්න "වීසා පත්‍රය" (Visa).

 

 

3. "මහා අනෙකා" සහ දෙබිඩි පිළිවෙත (The Big Other)

 

ශිෂැක් කියන විදිහට අපි හැමෝම ජීවත් වෙන්නේ "මහා අනෙකා" (The Big Other) දිහා බලාගෙන. ඒ කියන්නේ සමාජ සම්මතයන්, නීති සහ "අනුන් මොනවා කියයිද" කියන බිය.

 

අපි "සවිඥානිකව" (Consciously) කෑගහනවා "කාන්තාවන්ට තැන දෙන්න ඕන, එයාලා ඉස්සරහට එන්න ඕන" කියලා. හැබැයි "අවිඥානිකව" (Unconsciously) මේ සමාජය තවමත් දේශපාලන නායකත්වය දකින්නේ පිරිමි වැඩක් විදිහට. ඒ නිසා තමයි පිරිමි දේශපාලකයෙක් බාර් එකකට ගිහින් බිව්වට ප්‍රශ්නයක් නොවී, කාන්තා දේශපාලකයෙක් කොටට ඇන්දොත් රටම ගිනි ගන්නේ. කාන්තාවක් මේ ක්ෂේත්‍රයට ආපු ගමන් "මහා අනෙකා" (සමාජයේ ඇස) ඇයව දරුණු පරීක්ෂණයකට ලක් කරනවා. ඇගේ පවුල් ජීවිතය, ඇඳුම, පැළඳුම පිරිමියෙකුට වඩා දහස් වාරයක් ප්‍රශ්න කරනවා.

 

 

4. පිරිමි තර්කනය සහ "සම්පූර්ණ නොවීම" (Woman as 'Not-All')

 

 

දේශපාලනය කියන්නේ "තර්කනය" (Logic) සහ "නීතිය" මත දුවන පද්ධතියක්. ලැකාන් කියන විදිහට මේ තර්කනය හැදිලා තියෙන්නේ පිරිමි මනසට ගැලපෙන විදිහට. කාන්තාව ස්වභාවයෙන්ම මේ පිරිමි රාමුවට (Phallic Structure) සම්පූර්ණයෙන්ම කොටු කරන්න බෑ.

 

 

කාන්තාවක් දේශපාලනයට ඇවිත් තමන්ගේම අනන්‍යතාවයකින් (ස්ත්‍රීවාදී විදිහට) වැඩ කරන්න ගියොත්, ඇයව "අතාර්කිකයි" (Irrational) හෝ "සංවේදී වැඩියි" (Too emotional) කියලා හංවඩු ගහලා පද්ධතියෙන් එලියට විසි කරනවා. ඉතින් ඇයට සිද්ධ වෙනවා පිරිමියෙක් වගේ කලිසම ඇඳගෙන, පිරිමි වගේ කතා කරලා, පිරිමි තර්කනය ඇතුළේම වැඩ කරන්න. එතකොට ඇය කාන්තාවක් වුණාට, දේශපාලනිකව ඇය තවත් පිරිමියෙක් විතරයි.

 

 

සාරාංශය

 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. කාන්තාවන් දේශපාලනයේ නැත්තේ ඔවුන්ගේ දක්ෂතාවයේ අඩුවක් නිසා නෙවෙයි. දේශපාලනය කියන "ක්‍රීඩාවේ නීති" (Rules of the game) හදලා තියෙන්නේ පිරිමි භාෂාවෙන්.

 

 

"දේශපාලකයා" කියන පුටුවේ ඉඳගන්න නම්, ඇයට සිද්ධ වෙනවා එක්කෝ පිරිමියෙක්ගේ නමින් එන්න, නැත්නම් පිරිමියෙක් වගේ හැසිරෙන්න. එහෙම නැතුව තමන්ගේ ස්ත්‍රී අනන්‍යතාවයත් එක්ක එන කාන්තාවට මේ සිස්ටම් එක ඇතුළේ ඉතුරු වෙන්නේ "පාලිකාවක්" (Matron) වගේ භූමිකාවක් විතරයි.

 

 

ඉතින් ඊළඟ පාර "ඇයි කාන්තාවෝ පාර්ලිමේන්තුවේ නැත්තේ?" කියලා අහන්න කලින්, "ඇයි අපි තාමත් පාලිකාවෝ හොස්ටල් වලට විතරක් සීමා කරලා තියෙන්නේ?" කියලා හිතන එක වඩා වැදගත් වේවි.

 

නමුත් ගැහැණිය සතුව ඉතිරි වෙලා තියෙන දේ වත් "පවතින්න" ඉඩ දෙන එක තමයි සාධාරණම විදිහ. ඒක තමයි ඇයගේ ජීවිතේ "ජීවත්වීම" නැමැති "එකම වත්කම" වෙන්නෙ.

 

#සමාරා

නවතම ලිපි