SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික සහ ජාත්‍යන්තර උත්සවවලදී මාලිමා රජයේ ඇමතිවරු දුර්වල ආකාරයට ඉංග්‍රීසි කතා කිරීම සහ

ජනාධිපතිවරයාට ඉංග්‍රීසි බැරි වීම විරුද්ධ පාක්ෂිකයන් මාලිමා රජයට විරුද්ධව නඟන එක් දුර්වල විවේචනයකි.

 

 

මේ විවේචනයට වලංගුභාවයක් ලැබී ඇත්තේ ද, මාලිමාවේ දේශපාලනඥයන් කළයුතු දේ නොකර වෙන විකාර කරන්නට යාම නිසාය.

 

මේ කරුණේ දී, මාලිමා රජය හැරී බැලිය යුත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා චීන ජනාධිපති ෂී ජින් පින් දෙසටය.

 

 

මේ ලෝක බලවතුන් තිදෙනා කිසිදු ජාතික හෝඅන්තර්ජාතික සමුළුවක දී මෙන්ම, මාධ්‍ය සාකච්ඡාවක දී හින්දි, රුසියානු සහ චීන භාෂා හැර වෙනත් කිසිදු භාෂාවක් භාවිත නොකරයි. මේ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වේවා, වෙනත් ජාත්‍යන්තර ආයතනයක් වේවා මෙම නායකයන් තිදෙනාට ස්වභාෂාවලින් කතා කිරීමට පහසුකම් සපයයි.

 

 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු කැබිනට් මණ්ඩලයට මෙන්ම සියලුම මන්ත්‍රීවරුන්ද ජාත්‍යන්තර වේදිකාවල දී යොදාගත යුත්තේ මේ ක්‍රමයයි.

 

මේ සඳහා යොදාගත හැකි විශිෂ්ට මට්ටමේ භාෂණ පරිවර්තකයින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් මෙන්ම වෙනත් ක්ෂේත්‍රවලින් ද සොයාගත හැකිය.

 

 

ඉන්දියානු, රුසියානු සහ චීන ජනාධිපතිවරුන් අන්තර්ජාතික තලයේ දී ස්වභාෂා භාවිත කරන්නේ මේ ක්‍රියාවේ පවතින දේශපාලනික සහ සංකේතාත්මක වටිනාකම නිසාය.

 

 

භාෂණ පරිවර්තකයන් යොදාගෙන ස්වභාෂාවලින් ජාත්‍යන්තර වේදිකාවල අදහස් දැක්වීමෙන් මොවුන් සිය ස්වාධීනත්වය, ජාතික අනන්‍යතාවය, යුරෝපීය පශ්චාද් යටත්විජිත හෙජමොනික මෙවලම්වලට ඇති තම විරෝධතාවය මෙන්ම ලෝක දේශපාලනයේ බලගතිකයන් ද සලකුණු කරයි.

 

 

ස්වභාෂාවලින් ජාත්‍යන්තර වේදිකා ඇමතීමේ අරමුණ වන්නේ, මූලික වශයෙන්ම තමන් යුරෝපීයයන්ගේ යටත්විජිත ගැත්තන් නොවන බවත්, තමන් ස්වාධීන ස්වෛරී ජාතීන් නියෝජනය කරන්නන් බවත්, තම සංස්කෘතීන් යුරෝපී සංස්කෘතියට වඩා වෙනස් බවත්, තමන් සමඟ ගනුදෙනු කළ යුත්තේ යුරෝපීය වටිනාකම් සහ මිණුම්දඬුවලට අනුව නොව, තම සංස්කෘතීන්ට අයත් වටිනාකම් මත පාදකව, සමානයින් ලෙස බවත් ප්‍රබල ලෙස ලෝකයට ප්‍රකාශ කිරීමය.

 

 

මාලිමා රජය යනු නූතන ලෝක දේශපාලනය තුළ ඉතා වැදගත් සමාජ විපරිවර්තනයක් නියෝජනය කරන ඉතා වැදගත් දේශපාලන ප්‍රවාහයකි.

 

සාමාන්‍යයෙන් කිසියම් සමාජයක පාරම්පරික ප්‍රභූතන්ත්‍රය හෝ, පශ්චාද් යටත්විජිත ප්‍රභූතන්ත්‍රය මුළුමනින්ම අතුගා දමා සාමාන්‍ය පොදු ජනයා වෙතින් මතුවන නායකයන් වෙත දේශපාලන බලය විතැන් වන්නේ විප්ලව හෝ හමුදා කුමන්ත්‍රණ ඔස්සේය.

 

 

එහෙත්, පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මහමැතිවරණයේදී ද ලංකාවේ මේ වෙනස සිදු වූයේ සර්වජන ඡන්දබලය ඔස්සේය. මින් පෙර ලෝකයේ මේ හා සමාන පරිවර්තන සිදු කළ කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බාට මෙන්ම චිලී රාජ්‍යයේ සැල්වදෝ අයන්ඩේට සිදු වූ හරිය අපි දනිමු.

 

 

එමෙන්ම, සුද්දන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසි කතාකළ හොරු රැළක් 1977 සිට මෑතක දී බංකොලොත් වන තෙක්ම අපේ රට උලා කෑ හැටි ද, රටේ ජනතාවට හොඳින් මතකය. ජනතාව පසුගිය මැතිවරණවල දී ඔවුන්ව රෙදි ගලවා ගෙදර යැව්වේ ද ඒ නිසාය.

 

 

අපට ඉංග්‍රීසි ඉගෙනගන්නට සිදු ව ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත උරුමයක ප්‍රතිඵලයක් ලෙසය. ඉංග්‍රීසි යනු අප ආඩම්බර විය යුතු කිසිවක් නොව, ගැලවිය නොහැකි ලෙස බලෙන් අපේ ඇඟ් ගසා ඇති, අප ලැජ්ජා විය යුතු, යටත්විජිත උරුමයකි.

එබැවින්, ජාත්‍යන්තර වේදිකාවල ඉංග්‍රීසියෙන් කතා කිරීමේ කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර අවශ්‍යතාවයක් නැත.

 

 

මාලිමා රජයේ අපේ සහෝදර සහෝදරියන්ට මට කිරීමට ඇති යෝජනාව වන්නේ, කරුණාකර මින් ඉදිරියට සෑම ජාත්‍යන්තර වේදිකාවකදීම භාෂණ පරිවර්තකයින් යොදාගනිමින් අභිමානයකින් යුතුව සිංහලෙන් හෝ දෙමළෙන් කතා කිරීමට කටයුතු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කටයුතු කරන ලෙස ය.

 

මානව භෘෂා යනු සන්නිවේදන මෙවලම්ය. එබැවින් කරුණාකර මින් ඉදිරියට ජාත්‍යන්තර වේදිකාවල දී, අප හරියටම හැසිරවීමට නොදන්නා අනුන්ගේ මෙවලම් භාවිත නොකර, උපන් දා පටන් පුරුදුපුහුණු වී ඇති අපේ මෙවලම් දෙක භාවිත කිරීමට කාරුණික වන්න.

 

@ශ්‍යාමන් හේමකොඩි

නවතම ලිපි