ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන බුද්ධි මණ්ඩලයක් ලෙස හඳුන්වාගන්නා පාත්ෆයින්ඩර් (Pathfinder) පදනම සහ
ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගත් චින්තන් පර්යේෂණ පදනම (CRF) අතර අද (06) අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම, හුදෙක් ආයතන දෙකක් අතර ලියැවුණු ලියවිල්ලකට එහා ගිය බරපතල භූ-දේශපාලනික සංඥාවක් නිකුත් කරයි.
කොළඹදී පැවති මෙම උත්සවය සහ ඊට සහභාගී වූ පාර්ශවයන් දෙස බැලීමේදී පෙනී යන්නේ, මෙය "දෙවන පෙළ රාජ්‍ය තාන්ත්‍රිකභාවය" (Track II Diplomacy) හරහා ඉන්දීය දේශපාලන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය තුළට "පැල කිරීමේ" (Planting) සියුම් උත්සාහයක්ද යන සැකයයි.
ඛනිජ සහ බලශක්තිය: කාගේ වුවමනාවක්ද?

මෙම ගිවිසුමේ අන්තර්ගතය පරීක්ෂා කිරීමේදී වඩාත් අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ සහයෝගීතාවය සඳහා තෝරාගෙන ඇති ක්ෂේත්‍රයන්ය. "උපායමාර්ගික ඛනිජ" (Strategic Minerals) සහ "බලශක්ති සම්බන්ධතාවය" යනු වර්තමාන ඉන්දීය භූ-දේශපාලනික උපායමාර්ගයේ හදවතයි.
චීනය සතු ඛනිජ සම්පත් ආධිපත්‍යයට අභියෝග කිරීමට ඉන්දියාව දරන උත්සාහයේදී, ශ්‍රී ලංකාවේ මිනිරන් සහ ඛනිජ වැලි සම්පත ඉන්දියානු කක්ෂය තුළ රඳවා ගැනීම නවදිල්ලියේ ප්‍රධාන අරමුණකි. පාත්ෆයින්ඩර් පදනම වැනි දේශීය බුද්ධි මණ්ඩලයක් හරහා මෙම මාතෘකා කරළියට ගෙන ඒමෙන් සිදුවන්නේ, ඉන්දීය වුවමනාව "දේශීය සංවර්ධන අවශ්‍යතාවයක්" ලෙස සමාජගත කිරීමේ (Legitimizing) උපායමාර්ගයයි.
බුද්ධි මණ්ඩල භාවිතය: නව යටත්විජිතවාදයේ මෙවලම?


සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස්, 'බුද්ධි මණ්ඩල' (Think Tanks) හරහා රටක අනාගත දිශානතිය හැසිරවීම නූතන බලවතුන්ගේ ක්‍රමයයි. මිලින්ද මොරගොඩ ගේ සංකල්පයක් වන "ඒකාබද්ධ දේශීය උපායමාර්ගය" (Integrated Country Strategy) තුළ ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීමේ සැලැස්ම අන්තර්ගත විය. ඔහු රාජ්‍ය තනතුරුවලින් ඉවත්ව සිටින මොහොතක වුවද, පාත්ෆයින්ඩර් පදනම හරහා එම සැලැස්ම ක්‍රියාවට නැංවීමට අවශ්‍ය බුද්ධිමය යටිතල පහසුකම් සපයමින් සිටින බවට විචාරකයෝ මත පළ කරති.
මෙය ඉන්දීය දේශපාලනය ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්තිමය වශයෙන් ස්ථාපිත කිරීමට තනන ලද "ට්‍රෝජන් අශ්වයෙකු" (Trojan Horse) බඳු මෙහෙයුමක් ද යන්න විමසා බැලිය යුතුය.

ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහභාගීත්වය මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි රටේ ආර්ථික ප්‍රතිපත්ති හැසිරවූ ප්‍රබලයන් සිටීම අහඹුවක් නොවේ. ඔවුන් වැනි තීරණාත්මක චරිත මෙම ඉන්දු-ලංකා බුද්ධිමය ජාලය තුළට ගොනු කරගැනීම මගින්, අනාගතයේ කුමන රජයක් බලයට පත් වුවද රටේ ආර්ථික ප්‍රතිපත්තිය ඉන්දියාවට හිතකර දිශාවට හැසිරවීමේ හැකියාව (Policy Capture) නිර්මාණය වේ.
සහයෝගීතාවයේ සැබෑ වපසරිය අවසාන වශයෙන්, මෙම ගිවිසුම මගින් ආවරණය කිරීමට නියමිත විෂය පථය දෙස බැලූ විට එහි බැරෑරුම්කම මැනවින් පැහැදිලි වේ.
ගිවිසුමට අනුව උපායමාර්ගික ඛනිජ සම්පත්, පුනර්ජනනීය බලශක්තිය, නව තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ආයෝජන, කලාපීය සම්බන්ධතාවය (Connectivity) සහ භූ-දේශපාලනික වර්ධනයන් වැනි අංශ ගණනාවක් ඊට ඇතුළත්ය.

මෙම ලැයිස්තුව දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට පෙනී යන්නේ, මෙය හුදෙක් අධ්‍යාපනික පර්යේෂණ හුවමාරුවක් නොව, රටේ ආර්ථික ස්වෛරීත්වයට සෘජුවම බලපාන 'මර්මස්ථාන' සියල්ල ඉන්දීය උපායමාර්ගික කක්ෂය වෙතට ගොනු කරගැනීමේ පුළුල් ව්‍යාපෘතියක් බවයි. ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකාව මෙම නව 'පාරේ' (Path) ගමන් කරන්නේ තමන්ගේම වුවමනාවටද, නැතහොත් නවදිල්ලියේ 'චින්තනය' විසින් කොළඹ පාලනය කරන නිසාද යන්නයි.

කෙසේ වුවත් අනාගත ලංකාවේ දේශපාලන බල හුවමාරුවලදී මිලින්ද මොරගොඩ යන්න විවාදාපන්න "චරිතයක්" වනු ඇත.
@ සමාරා පරණවිතාන

