එම්බා රජුනි...!
රටේ දූෂණය සහ වංචාව පිටු දකින බවටත්, යුක්තියේ පාලනයක් ගොඩනගන බවටත් පොරොන්දු දෙමින්
රජ පුටුවට පැමිණි ඔබ වෙත මා මේ සටහන තබන්නේ දැඩි කම්පාවෙනි. දූෂණය සොයන්නට පැමිණි ඔබ, අද දූෂණයේ සහ වංචාවේම ප්‍රතිමූර්තියක් වෙමින් සිටින බව ඔබට නොපෙනෙන්නේ මන්ද?
මා ඔබෙන් විමසන්නේ එකම එක පැහැදිලි ප්‍රශ්නයකි. ගතවූ මාස දහයක කාලය පුරාවට මේ රටේ අතිශය තීරණාත්මක තනතුරක් වන 'විගණකාධිපති' පුටුව ඔබ හිස්ව තැබුවේ මන්ද? එය සුදුස්සාට ලබා දීමට තිබූ අකමැත්ත නිසාද? නැතහොත් ඔබලාගේ පෞද්ගලික වුවමනාවන් ඉටු කරන, නූල් සූත්තරවලට නටන රූකඩයක් එතැනට ගෙනෙන තුරු කල් මැරුවාද?
ත්‍රෛනිකායික මහා සංඝරත්නයත්, රටේ සිවිල් සංවිධානත් 'ජ්‍යෙෂ්ඨයාට තැන දෙන්න', 'ධර්මපාලට එම පුටුව බාර දෙන්න' යැයි හඬ නගද්දී ඔබලා ඒ හඬට කන් දීම ප්‍රතික්ෂේප කළෙහුය. ජ්‍යෙෂ්ඨත්වය පසෙක ලා, විනය පරීක්ෂණ ඇති බව කියන, ව්‍යවස්ථා සභාවෙන් පවා වරක් ප්‍රතික්ෂේප වූ අයෙකු බලහත්කාරයෙන් රිංගවීමට ඔබලාට තිබූ වුවමනාව කුමක්ද?
රටම අසන ප්‍රශ්නයට පිළිතුර මම දනිමි. ධර්මපාල ගම්මන්පිල නුඹලාට වහකදුරු වීමට හේතුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොව, හුදෙක් අමනෝඥ පෞද්ගලික පළිගැනීමකි. ඔබගේ ආණ්ඩුවේ බලගතු ඇමතිවරයෙකු සහ රජ ගෙදර ඉහළ පුටුවක් හොබවන නිලධාරියෙකු, පාසල් අවධියේ පටන් අදාළ පුද්ගලයා සමඟ පැවති කෝන්තරයක් මුළු රටේම විගණන ක්ෂේත්‍රය බිල්ලට ගනිමින් පිරිමසන ආකාරය ලැජ්ජා සහගතය.
රජුනි, පාසල් යන කාලයේ පන්තියේ බත් පතක් බෙදා ගැනීමට නොහැකිව ඇති වූ පුංචි රණ්ඩු, රටේ පාලන බලය අතට ගත් පසු මෙලෙස පිරිමසා ගැනීමද ඔබලා හඳුන්වා දුන් 'සිස්ටම් චේන්ජ්' එක? 'බත් පැකට් එකේ කෝන්තරය' විගණකාධිපති පුටුවෙන් පිරිමහද්දී, ඔබලා හෑල්ලු කරමින් සිටින්නේ ඔබලාගේම අභිමානයයි.
පැලවත්තේ ලොක්කන්ට මේවා නොපෙනෙන බව මම දනිමි. අසාධාරණයට ලක්වූ ඒ මනුස්සයාගේ ඥාතීන් පසුගිය කාලයේ ඔබලාගේ 'මාලිමාව' කර තබාගෙන ගිය පිරිසකි. අද ඔවුන් සිය දුක කියන්නට එන විට, "රජතුමා සමඟ මේවා කතා කරන්න එපා, බැනලා එලව ගනීවි" යැයි කියමින් දොරවල් වසා ගැනීම කෙතරම් කෘතගුණ සැලකීමක්ද? තමන්ට උදව් කළවුන්ගේ බෙල්ල කපා, තමන්ගේ පන්තියේ මිතුරන් රජ කරවීම ඔබලාගේ නව දේශපාලන සංස්කෘතියද?
ලාල් කාන්ත සෙනෙවිවරයා වරක් පැවසුවේ "ආණ්ඩුව ගත්තට රාජ්‍ය දිනාගන්න බැරි වුණා" කියාය. ස්වාධීන නිලධාරීන් පලවා හැර, තමන්ගේ අතේ නැටවෙන රූකඩ දමා රාජ්‍ය සේවය බිය ගන්වා දණ ගැස්සවීමද ඔබලා 'රාජ්‍ය දිනාගැනීම' ලෙස අර්ථ දක්වන්නේ?
හොඳින් මතක තබාගන්න. ඔබලා අද පයින් ගැසුවේ ධර්මපාලට නොව, 'සුදුස්සාට සුදුසු තැන' දිය යුතුය යන උතුම් ධර්මතාවයටයි. පාසල් කාලයේ කෝන්තරවලින් රටක් පාලනය කළ නොහැක. එසේ කිරීමට ගියහොත්, මේ මහා රාජ්‍යය ඔබලාගේ හිස මතටම කඩා වැටෙන දවස වැඩි ඈතක නොවන බව සිහි තබා ගන්න.
මීට, රුහුණේ සුගලා.

