කර්‍මය හා කර්‍ම ඵලය මෙන්ම පින් හා පව් පිළිබඳ සංවේදී බව ද හරහා
සදාචාරාත්මක තීරණයකට එළැඹෙන්නේ කෙසේද?
මෙහිලා කුසලතාවක් දක්‍ෂකමක් ඇත්තටම සලකන්නේ නම්, එහිදී ඔළමොළ නොවී සාමකාමී වීම හෙවත් අවිරුද්ධ ප්‍රතිපත්තිය ඥානාන්විතය. අපගේම පමාවල් පිළිබඳව අසීමිතව කම්පා වන්නට යෑමෙන් ඉක්මනින්ම බලාපොරොත්තු සුන්වීම නොවැළැක්විය හැකිය. අපගේ අතපසුවීම් හෝ කට වැරදීම්වලදී පළමුවෙන් කළ යුත්තේ සතිමත් වීමයි. එවිට හදිසි තීරණ හා නොසැලකිලිමත් බව පිළිබඳව ඒ ඒ අවස්ථාවේදීම දැනුවත් වීම එහි ප්‍රතිඵලයයි. මේ අඩුපාඩු නිතරම අපගෙන් සිදු වේ. දුර්ලභ නැත. පනින්න පෙර සිතා බැලීමේ පුරුද්ද ඇත්නම් එමගින් වළක්වාගත හැකි අනතුරුවල කෙළවරක් නැත. ඉදින් මෙවන් සිහිකල්පනාවක් හුරු කරගන්නේ කෙසේද?
මේ සඳහා ආසන්න කාරණාව නම් සුපුරුදු කෙලෙස් ජවය නතර කොට නැවතිල්ලේ ක්‍රියාකිරීමට පුරුදු වීමයි. සිතේ නොසන්සුන් ගතිය වෙනුවට හීං සැරේ කටයුතු කිරීම ඊට පිළිතුරයි. එවිට අවශ්‍ය විටකදී සිතේ වේගය නතර කර ගැනීමට හැකියාව ලැබේ. මෙලෙස අවශ්‍ය වේලාවට තිරිංග තද කිරීමට හැකි වීම සති මාත්‍රය පුහුණු කරන්නාට ලැබෙන ලාභයයි. මෙලෙස නොසැලී බලා සිටීමට හා අවශ්‍ය තැනේදී නතර වීමට පුරුදු වීමෙන් තමාගේ ප්‍රතික්‍රියා හා ඇබ්බැහි පාලනයකට නතු කරලීමට හැකි බවට විශ්වාසය හටගනී.
මෙවන් අභ්‍යාසයක් හරි හැටි ක්‍රියාවත් කිරීමට නම්, සෑහෙන භාවනා අත්දැකීම් ප්‍රමාණයක් යෝගාවචරයා සතු විය යුතුවාක් මෙන්ම, ඒ සඳහා කුසලච්ඡන්දය හෙවත් කර බැලීමේ කැමැත්ත ද අත්‍යවශ්‍යය. පිටතින් පැමිණෙන බාධක හමුවේ මෙය අත්හදා බැලිය හැක. වේදනාවක්, සිතිවිල්ලක් හෝ ශබ්දයක් හිරිහැරකාරී ලෙස ඉස්මතු වන අවස්ථාවකදී ඉබේ කෙරෙන ප්‍රතික්‍රියා ගැන සතිමත් වන්නේ නම්, ඒවා මැඬපවත්වනු වෙනුවට ප්‍රතික්‍රියා කරන මනස දැකගනු ඇත. සිත් කරදර නොගෙන ඒ දෙස බලා සිටිය හැකි තරමට අවිරුද්ධව බලා සිටිය හැකි නම් මෙහි යාන්ත්‍රණය පැහැදිලි වනු ඇත. ඉබේ කෙරෙන ප්‍රතික්‍රියා වෙනුවට නිසසලව බලා සිටීමට පුළුවන්කමේ කුසලතාව අත්දකිනු ඇත. මේ අත්දැකීමම, එදිනෙදා ජීවිතයේදී අපරීක්‍ෂාකාරී ඔළමොළ තීන්දු ගැනීම් වෙනුවට තමාගේ අභ්‍යන්තර සන්සුන් බව අදහාගනු ඇත. අරුම පුදුම කරුණු හෝ අනපේක්‍ෂිත පෙලඹීම් මධ්‍යයේදී පවා නැවතිල්ලේ සෝදිසි ගමනක් යෑමට පුරුදු වනු ඇත. විමසුම් නුවණ වර්ධනය කරගනු ඇත.
මේ තාක් ඉදිරිපත් වූ කරුණු අදාළ වන්නේ පහසුවෙන් වළක්වා ගත හැකි මුත් ලෑස්ති වී නොසිටීම නිසා ඇති විය හැකි ප්‍රකට අතපසුවීම් සම්බන්ධයෙනි. එවන් අවස්ථා ගැන සතිමත් වීමෙන්, ගැඹුරු ආවේග, ඇබ්බැහි, කාමාශා වැනි දේවලට ද යහපත් ලෙස අතපෙවීමේ හැකියාව කාලයත් සමග උපයා ගනු ඇත. මෙවන් දක්‍ෂතා හෙවත් චිත්ත විවේක නිසා කෙලෙස් ප්‍රවාහවල ගලනයත් බාල වෙයි. නැවතිල්ලේ සතිය වැඩීමෙන් “නැවැත්වීමේ හා අත්හිටුවීමේ” කලාව පුරුදු වන අතර, මත්තෙහි අවශ්‍ය තැනදී තිරිංග යෙදීමට මෙය පූර්වාදර්ශයක් ද වනු නොඅනුමානය.
සති මාත්‍රය පිළිබඳ මේ පුහුණුවේදී නැවතිල්ලේ – සතියෙන් – නිශ්ශබ්දව කටයුතු සම්පාදනය කිරීමට පුරුදු වීම අනුව, ක්‍රමයෙන් කෙලෙස්වල නපුරු බලපෑම හෙවත් පෙළන ගතිය අතුරුදන් වන බවක් ඇතිවේ. අකුසල චිත්තවීථිවල ජවය හා පැවැත්ම රඳා පවතින්නේ සතියේ අඛණ්ඩතාව මත වන නිසා, අඛණ්ඩ සතිය ඉදිරියේ කෙලෙස් බළමුළු අඩපණ වේ. නැත්නම් ලත් තැනම ලොප් වේ. දිගට කෙලෙස් දම්වැලක් සේ ඇමිණෙන ගතිය වෙනුවට පුරුක් පුරුක් වෙන් වෙන්නට බලයි. මේ නිසා කෙලෙස් අසීමිතව වැඩීම නතර වී මුල් අවස්ථාවෙන් ඔබ්බට යාගත නොහැකිව සුළු ප්‍රයත්නයකින්ම මැඬලිය හැකි බවට විශ්වාසය තහවුරු වේ. මෙය සංස්කාර හෙවත් චේතනා අඩු කිරීමකට හෝ නැති තත්ත්වයකට පාර කපයි.
ඇසට මුලිච්චි වූ රූපාරම්මණයක් ගැන සිතන්න. එය ආශා දනවන එකක් නමුත් එහි සරාගී බව ආරම්භයේදී ප්‍රබල නැත. ඒ අනුව හටගන්නා විටම එම සරාගී බව සූදානම් සිතකින් යුක්තව විචාර බුද්ධියට ලක් කරන්නේ නම් නියපොත්තෙන් කඩා දැමීමට තරම් පහසු වනු ඇත. හුදු ආසා කරන අරමුණක් මුලිච්චි වුණා යන්න පමණක් මතකයේ රැඳෙනු ඇත. එසේ නැතිව, සූදානම් නැති මනසකින් මුහුණ දුන්නා නම් හෝ ඒ අනුව ප්‍රමාදයක් සිදු වුණි නම්, ඒ නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරොවකින් කපන්නවත් බැරි තරමට මෝරා ගොස් රූපාරම්මණය සතුකර ගැනීමට තරම් සිත රාගරක්ත වීමට කරුණු පැනෙනු ඇත.
මෙවන් අවස්ථාවක හෝ අප්‍රමාදීව කරුණු තේරුම් ගතහොත් එම රූපාරම්මණය සතුකර ගැනීමේ දැඩි ප්‍රයත්නය නවතාලිය හැකි වනු ඇත. එසේ නැති නම් තෘෂ්ණාව මගින් මෙහෙයවනු ලබන්නේ එම මනබඳන අරමුණ ඉල්ලා සිටීමට පෙලඹවීමක්ය. එනම් අකුසල මනෝ කර්මය වචී කර්මයක් බවට වීතික්‍රමණය වේ. එහිදී අසාර්ථක වුවහොත් කෙලෙස් සැඩ පහර අදාන්ත වී වස්තුව සොරකම් කිරීමට තරම් පෙලඹෙයි. එය කර්මය අංගසම්පූර්ණ කරන අතර, කර්ම පථයක් ලෙසින් බලවත් ආදීනව ගෙනදෙනු ඇත. වචී කර්ම මට්ටමේදී නතර කරගත හැකි නම් හෙවත් සතිය එළැඹ සිටියේ නම්, අරමුණ ප්‍රතික්‍ෂේප වීම පිළිගෙන ආශාව තුනී කර ගතහොත් යථෝක්ත නපුරු විපාක ගෙනදෙන දේවල් වළක්වා ගත හැකි වනු ඇත. සම්පූර්ණ කර්ම පථය තහවුරු වන එවන් අවස්ථාවකදී පවා ඒ ගැන සලකා බලා අකුසලය තේරුම් ගතහොත් එම සලකා බැලීම හා වටහා ගැනීම අර්ථය සලසනු ඇත. මෙසේ අකුසල ක්‍රියාව සම්පූර්ණ වූ පසුව හෝ ඔහු එතැන නැවතී මෙනෙහි කිරීම නිෂ්ඵල නොවනු ඇත. එසේ වූ විට සිත දැඩි වීමෙන් වැළකී එබඳු ක්‍රියා පිළිවෙළක් මතු සිදුවීම ද වළක්වාලයි. මෙය පාඩමට ගත්තොත් මත්තෙහි නැවත එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත.
බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හිමියන්ට මෙසේ උගැන්වූහ.
“රාහුලයෙනි, ඔබ කයින් වචනයෙන් සිතින් යමක් කරනු කැමති වන්නේ ද, ඔබ විසින් එය සලකා බැලිය යුතු වේ. එසේ සලකා බැලීමේදී – මා කරන්නට යන වැඩේ මට පීඩා පිණිස වෙයි, අනුනට පීඩා පිණිස වෙයි, දෙපාර්ශ්වයටම පීඩා පිණිස වෙයි, එය දුක් උපදවන, දුක් විපාක ඇති කරවන, අකුසල් උපදවන කාර්යයක් වන්නේ යැයි ඔබට අවබෝධ වේද එවිට ඒ කාර්යය ඒකාන්තයෙන් නොකළ යුතුය.”
@සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood