SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බේදින් බාර්වලට සබන් කියන්න බෑ - සබන්වලට බේදින් බාර් කියන්නත් බෑ

 

හැබැයි බේදින් බාර් සබන් නමින් විකුණනවා

 

·       TFM අගය අඩු බේදින් බාර්වල ඇඟ හෝ රෙදි පිරිසුදු කිරීමේ හැකියාවත් අඩුයි

·       ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ ක්‍රමවේදවල හොරකමට වංචාවට ඉඩදෙන හිල් රැසක්

·       ඒ හිල් ඉබේ හැදුණු ඒවා නෙවෙයි. හිතාමතාම සැලසුම් සහගතව හැදූ ඒවායි

·       ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය හිල් වහන්න කැමැති නම් මෙන්න මගෙන් නිර්දේශ 4ක්

 

බේබි සබන්, ඇග ගල්වන සබන් හෝ බේදින් බාර් මිලදී ගැනීමේදී නියම TFM අගය ඇති නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ලැබෙන බවට සහතික කළ හැකිද? මේ ඒ පිළිබඳව ඉතා වැදගත් විද්‍යානුකූල පැහැදිලි කිරීමකි.

 

සබන් වසර දහස් ගණනක් ඉපැරැණි බැබිලෝනියානු ශිෂ්ටාචාර සමයේ සිට පැවත එන පිරිසිදුකාරකයක් ලෙස භාවිතා කරන නිෂ්පාදනයකි. සංයුතිය වශයෙන් ගත්කළ එය ‘මේද අම්ලයක භාෂ්මික ලවණයකි’ පොල්තෙල්, පාම් තෙල් වැනි ශාකමය තෙල්වල මෙන්ම සත්ත්ව තෙල්වල අඩංගු මේද අම්ල භාවිත කරමින් සබන් නිෂ්පාදනය කරයි. වර්තමාන ශ්‍රී ලංකාවේ සබන් සහ බේදින් බාර් නිෂ්පාදන සඳහා ප්‍රධානම අමුද්‍රව්‍ය ලෙස ශාකමය තෙල්වලින් ලබාගන්නා සෝප් නූඩ්ල්ස් (Soap Noodles) සහ ආසවනය කරන ලද මේද අම්ල (Distilled Fatty Acids) භාවිතා කරයි. එසේ නිෂ්පාදනය කරන සබන් හෝ බේදින් බාර්වල අඩංගු වන ශාකය මේද අම්ල ප්‍රමාණයන්හි එකතුව ප්‍රතිශතයක් ලෙස TFM (Total Fatty Matter) අගය ලෙස සැලකෙයි.

 

සබන් හෝ බේදින් බාර් නිෂ්පාදන සඳහා භාවිතා කරන මේද අම්ල ප්‍රමාණයන්හි එකතුව හෙවත් TFM අගය සියලුම සබන්වල සහ බේදින් බාර්වල පිරිසිදුකාරක හැකියාව මැනීමේ මිනුම්දණ්ඩ ලෙස භාවිතා කරයි. එක් එක් සබන් සහ බේදින් බාර් නිෂ්පාදන සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) අනුමත කර ප්‍රකාශයට පත්කර ඇති අවම TFM අගයන් මෙහි දැක්වෙන වගුවේ සඳහන් වෙයි.

 

saban 1

වගුවේ සඳහන් තොරතුරු වලට අනුව,

 

– බේබි සබන්වලට හෝ ඇඟ ගල්වන සබන්වලට කිසිදු කෘතීම සේදුම්කාරකයක් එකතු කිරීමට අවසර දී නොමැත.
– කෘත්‍රීම සේදුම්කාරක රහිත රෙදි සෝදන සබන් වලටද කෘතීම සේදුම්කාරක එක්තු කිරීමට හැකියාවක් නොමැත.
– බේබි සබන් සඳහා 78% ක අව්ම TFM අගයක්ද, ඇඟ ගල්වන සබන් සඳහා 76.52 ක අවම TFM අගයක්ද, කෘතීම සේදුම්කාරක රහිත රෙදි සෝදන සබන්වලට 59% ක අවම TFM අගයක්ද තිබීම අනිවාර්ය වේ.
– භාවිතා කළ හැකි එතනෝල්වල දිය නොවන පදාර්ථයන් බේබි සබන් සඳහා 1.5% ක උපරිම අගයකටද, ඇඟ ගල්වන සබන් සඳහා 2%ක උපරිම අගයකටද කෘතීම සේදුම්කාරක රහිත රෙදි සෝදන සබන් සඳහා 22 ක උපරිම අගයකටද යටත් වන ලෙස අනිවාර්ය කර තිබේ.
– බේදින් බාර් ප්‍රමිතිය යටතේ එතනෝල්වල දිය නොවන පදාර්ථයන් සඳහා උපරිම සීමාවක් පනවා නොමැති බැවින් නිෂ්පාදකයන්ට රිසි පරිදි ඒ පදාර්ථයන් භාවිතා කළ හැකි බව පෙනී යයි.

 

 

ඇඟ ගල්වන සබන් සහ බේදින් බාර් අතර වෙනස පාරිභෝගිකයාට හඳුනාගත හැකිද?

 

ඇඟ ගල්වන සබන් (SLS 34:2009) සහ බේදින් බාර් (SLS 1220:2016) සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් (SLS Standards) දෙකක් පැවතියද, අදාළ නියාමන ආයතන විසින් හෝ නිෂ්පාදකයන් විසින් ඒ නිෂ්පාදන දෙවර්ගය අතර පවතින වෙනස නිවැරැදිව හඳුනාගත හැකි ලෙස පාරිභෝගිකයන් දැනුවත් කරන බවක් නොපෙනෙයි. ඇඟ ගල්වන සබන් සහ බේදින් බාර් ප්‍රමිතීන් යටතේ ලබාදී ඇති ලේබල් සඳහා වන නියාමන මගින් අදාළ නිෂ්පාදනය කුමක්ද යන්න නිවැරැදිව ඒ නිෂ්පාදන ඇසුරුමේ ඉදිරිපස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර නොමැත. එබැවින් ඇඟ ගල්වන සබන්වලට වඩා අඩු TFM අගයක් සහිතව නිපදවූ බේදින් බාර් ‘ඇග ගල්වන සබන්’ නමින් හඳුන්වමින් අලෙවි කිරීමට ඇතැම් නිෂ්පාදකයන්ට අවස්ථාව සලසා තිබේ.

 

බේබි සබන් සහ ඇඟ ගල්වන සබන්වල TFM අගය නිර්ණය කිරීම සඳහා නිර්දේශ කර තිබෙන පරීක්ෂණ ක්‍රමවේද සහ TFM අගය ගණනය කරන ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා ඇතැම් නිෂ්පාදකයන්ට බේදින් බාර් කාණ්ඩයට අයත් විය යුතු නිෂ්පාදන බේබි සබන් සහ ඇඟ ගල්වන සබන් කාණ්ඩ යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීම සහ අලෙවි කිරීමට ඉඩකඩ සලසා දී තිබේ.

 

 

බේබි සබන්, ඇඟ ගල්වන සබන් සහ බේදින් බාර් අතර වෙනස පැහැදිලිව සහ නිවැරැදිව හඳුනාගත හැකි මනා දැනුමක් පාරිභෝගික ජන්තාව සතුව පවතීද?

 

 

මාගේ අවබෝධය හා දැනුම අනුව නම් අපේ රටේ ජනතාවට එවැනි අවබෝධයක් හෝ දැනුමක් නැත. එබැවින්, සබන් නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් සහ සබන් නිෂ්පාදන පිළිබඳව මනා විද්‍යාත්මක දැනීමක් සහිත නීතිගරුක ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස මෙම ලිපිය මගින් ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට සහ අදාළ නියාමන ආයතනවලට, සබන් සහ බේදින් බාර් පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පැහැදිලි කර දීමට කැමැත්තෙමි. මා සඳහන් කරන කරුණු මනා ලෙස අවබෝධ කරගතහොත් නියාමන ආයතනවලට සබන් සහ බේදින් බාර් අලෙවියේදී නිෂ්පාදකයන්ට පාරිභෝගික ජන්තාව නොමග යැවීමට නොහැකි වන පරිදි නීති සකස් කළ හැකිය. එමෙන්ම, පාරිභෝගික ජනතාවටද ගුණාත්මක බවින් වැඩි නිවැරැදි නිෂ්පාදනයක් තෝරාගැනීමට හැකිවෙයි.

 

saban 2

වගුවේ සඳහන් තොරතුරු අනුව බේබි සබන් සඳහා 782 ක අවම TFM අගයක්ද, ඇඟ ගල්වන සබන් සඳහා 76.5% ක අවම TFM අගයක්ද තිබීම අනිවාර්ය වෙයි. එසේ වුවද, බේදින් බාර් සඳහා වන SLS ප්‍රමිතියට (SLS : 1220:201) අනුව එහි අවම TFM අගය 40% ක් දක්වා අඩු කිරීමට අවසර දී ඇත. TFM අගය අඩු කිරීමේදී ඒ සමගම එහි පිරිසිදුකාරක හැකියාවද අඩුවන බැවින් එලෙස අඩු වන පිරිසිදුකාරක හැකියාව වැඩි කර ගැනීම සඳහා SLS ප්‍රමිතිය මගින් 2% කට නොඅඩු කෘතීම සේදුම්කාරක ප්‍රමාණයක් බේදින් බාර් වලට එකතු කිරීම අනිවාර්ය කර තිබේ.

 

එළවළු තෙල් හෝ සත්ව තෙල්වලින් ලබාගන්නා මේද අම්ල වලින් ලැබෙන මෘදු පිරිසිදුකාරක හැකියාවට වඩා වැඩි ප්‍රබල සේදුම්කාරක හැකියාවක් කෘතීම සේදුම්කාරක සතුව පවතී. ඒ නිසා කෘතීම සේදුම්කාරක 2% සිට 3% අතර ප්‍රමාණයක් එකතූ කිරීම මගින් 18% ක පමණ TFM අගයක් අඩුකර ගැනීමට බේදින් බාර් නිෂ්පාදකයන්ට හැකියාව ලැබෙයි. TFM අගය අඩු කිරීමේදී අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අඩුවන නිෂ්පාදනයේ බර නැවත සකසා ගැනීම සඳහා බේදින් බාර් නිෂ්පාදකයෝ මිලෙන් ඉතා අඩු කෙඔ ලින් මැටි (Kaolin) හෝ ටැල්ක්(Talc) වැනි අමුද්‍රව්‍යන් යොදාගනී. එම අමුද්‍රව්‍ය පිරවුම් (fillers) ලෙසින් හඳුන්වන අතර එමගින් නිෂ්පාදනයේ පිරිසිදුකාරක හැකියාව වැඩි නොවෙයි. එනමුත් ඉවත්වන මේද අම්ල (TFM) ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු මුදලකින් බේදින් බාර් නිෂ්පාදනයේ බර වැඩිකර ගැනීමට සහ බේදින් බාර් කැටයේ ව්‍යුහය සකස් කර ගැනීමටද නිෂ්පාදකයන්ට හැකියාව ලැබෙයි.

 

 

ශ්‍රී ලංකා ප්‍රමිතීන් සහ TFM අගය ගණනය කිරීම සඳහා නිර්දේශිත පරීක්ෂණ ක්‍රමවේදය මොකක්ද?

 

 

බේබි සබන් සහ ඇඟ ගල්වන සබන්වල TFM අගය ගණනය කිරීම සඳහා අර්ථ දක්වා ඇති පරීක්ෂණ ක්‍රමය මගින් නිවැරැදි TFM අගය නිර්ණය කර ගැනීමට නොහැකි වන ආකාරයේ අඩුපාඩු හෝ හිඩැස් පවතින බවයි. ඒ අඩුපාඩු හෝ හිඩැස් හේතුකොට ගෙන ඒ නිෂ්පාදනවල පවතින නියම TFM අගයට වඩා වැඩි TFM අගයක් හූවා දැක්වීමට නිෂ්පාදකයන්ට ඉඩකඩ සලසා දී තිබෙන බව පෙනීයයි.

 

ඉහත සඳහන් පරීක්ෂණ ක්‍රමයන්හි පවතින අඩුපාඩු මෙම ලිපියෙහි පසුවට දීර්ඝව විස්තර කරමි. ඊට පෙර බේදින් බාර් සහ කෘතීම සේදුම්කාරක රහිත රෙදි සෝදන සබන්වල TFM අගය පරීක්ෂා කරන පරීක්ෂණ ක්‍රමය පිළිබඳව විමසා බැලීමෙන් පාඨක ජනතාවට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාදිය හැකි වෙයි. SLS 554: 2016, ඇමුණුම (Appendix) B’ සහ ‘SLS 1220: 2016 ඇමුණුම් (Appendix) D’ යන පරීක්ෂණ කර්මවේද යටතේ ඒ ප්‍රමිතීන් නිර්දේශ කරන්නේ බේදින් බාර්වල අඩංගු ‘එතනෝල්වල දිය නොවන පදාර්ථ ප්‍රමාණය’ (‘matter insoluble in ethanol’) ඉවත් කිරීමෙන් පසු TFM අගය ගණනය කළයුතු බවයි. ඉහත සඳහන් කළ පිරවුම් ද්‍රව්‍ය (fillers) එතනෝල්වල දිය නොවේ. එබැවින් එතනෝල්වල දිය නොවන පදාර්ථ ප්‍රමාණය ඉවත් කිරීම මගින් පිරවුම් ද්‍රව්‍ය (fillers) වල බර TFM අගය ගණනය කිරීමේදී එකතූ නොවෙයි. සබන් හෝ බේදින් බාර්වල ඇති TFM ප්‍රතිශතය ඒ නිෂ්පාදනයෙහි තත්ත්වය නිර්ණය කිරීමට බලපාන්නා වූ ප්‍රධානතම සාධකයයි. එබැවින් TFM අගය නිවැරැදිව ගණනය කිරීමේ පරීක්ෂණ ක්‍රමවේදය ඉතා වැදගත් වෙයි. ඒ පරීක්ෂණ ක්‍රමවේදයේ අඩුපාඩු හෝ හිඩැස් තිබෙන විට පාරිභෝගික ජනතාව නොමග යවමින් අඩු TFM අගයක් සහිත නිෂ්පාදන වැඩි TFM අගයක් සහිත භාණ්ඩ ලෙස හුවාදක්වමින් අලෙවි කිරීමට නිෂ්පාදකයන්ට ඉඩකඩ සැලසෙයි.

 

saban 3

අඩුපාඩු හෝ හිඩැස් නොමැති පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්දේශ කිරීම මගින් නිවැරැදි TFM අගය පමණක් සබන් හෝ බේදින් බාර්වල සඳහන් කළ යුතු බවට නිෂ්පාදකයන්ට අනිවාර්ය කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ අනෙකුත් නියාමන අධිකාරීන් වහ වහාම පියවර ගත යුතූය. එසේ නොකරන තුරු පිරවුම් අමුද්‍රව්‍ය (fillers) වැඩි ප්‍රමාණයක් එකතු කරන ගුණයෙන් හා තත්ත්වයෙන් බාල නිෂ්පාදනවල වැඩි TFM අගයක් සඳහන් කරමින් අලෙවි කර තම ලාභය තරකර ගැනීමට ඇතැම් නිෂ්පාදකයෝ පෙළඹෙති.

 

‘SLS 554: 2016, ඇමුණුම(Appendix) B’ සහ ‘SLS 1220: 2016 ඇමුණුම් (Appendix) D’ යනු පරීක්ෂණ ක්‍රමවේද අධ්‍යයනය කිරීමේදී පෙනීයන්නේ එමගින් අදාළ නිෂ්පාදනවල ඇති එතනෝල්වල දිය නොවන පදාර්ථ ප්‍රමාණය’ (‘matter insoluble in ethanol) එනම් පිරවුම් අමුද්‍රව්‍ය (fillers) වැනි පදාර්ථවල බර නිසා සිදුවන බලපෑම ඉවත් කිරීමෙන් පසුව නිවැරැදි TFM අගය ගණනය කළයුතු බවයි. එබැවින් එතනෝල්වල දිය නොවන පදාර්ථ ප්‍රමාණයෙහි බර අඩුකිරීමෙන් පසුව පමණක් TFM අගය ගණනය කිරීම TFM අගය මත පදනම්ව තත්ත්වය නිර්ණය කරන්නා වූ සබන් හෝ බේදින් බාර් සඳහා අනිවාර්ය කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. එසේ නොකළහොත් පාරිභෝගික ජනතාව නොමග යැවීම මෙන්ම බාල තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳ පොළෙහි අලෙවි කිරීම වැළැක්විය නොහැකිය.

 

බේබි සබන් සහ ඇඟ ගල්වන සබන්වල TFM අගය ගණනය කිරීම සඳහා නිර්දේශ කර ඇති ISO 65 පරීක්ෂණ ක්‍රමවේදය ගැන දැන් සලකා බලමු.

 

ඉහත සඳහන් කළ පරිදි TFM අගය නිවැරැදිව ලබා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයක් පැවතිය යුතු වුවද බේබි සබන් (SLS 547:2009) සහ ඇඟ ගල්වන සබන් (SLS 34:2009) යන දෙකෙහිම ප්‍රමිතිවල නිර්දේශිත TFM ගණනය කිරීමේ වත්මන් ක්‍රමය (ISO 685) මගින්, TFM අගය ගණනය කිරීමේදී එතනෝල්වල දිය නොවන පදාර්ථ ප්‍රමාණය නිසා සිදුවන බලපෑම ඉවත් කිරීම අනිවාර්ය කර නොමැත.

 

බේබි සබන් (SLS 547:2009) සහ ඇඟ ගල්වන සබන් (SLS 34:2009) වල ඉහත SLS ප්‍රමිතීන් යටතේ නිර්දේශ කර ඇත්තේ මේද ද්‍රව්‍ය හැර වෙනත් අමතර ද්‍රව්‍ය පෙරීමේ පියවරක්(filtration step) මගින් ඉවත් කිරීම “අවශ්‍ය නම්’” පමණක් කළ හැකි බවයි. මෙය බේබි සබන් (SLS 547:2009, ISO 685) සහ ඇග ගල්වන සබන්(SLS 34:2009, ISO 685) ප්‍රමිතීන්වල සඳහන් TFM පරීක්ෂණ ක්‍රමවේදයෙහි TFM ගණනය කිරීමේ ක්‍රියාවලියේ පවතින කැපීපෙනෙන අඩුපාඩුවකි.

 

පිරවුම් අමුද්‍රව්‍ය (fillers) වැඩි ප්‍රමාණයක අඩංගු කළ බේබි සබන් හෝ ඇඟ ගල්වන සබන් කැටයක TFM අගය ගණනය කිරීමේදී ඒ නිෂ්පාදන සඳහා නිර්දේශ කර ඇති ISO 685 පරීක්ෂණ ක්‍රමවේදය යොදාගත හොත්, ඉහත සඳහන් පිරවුම් අමුද්‍රව්‍ය (fillers) වල බරද අවසාන TFM අගයට එක්ත වී වැරැදි ලෙස අගය වැඩි වූ TFM අගයක් ලබාදෙයි. එසේ වැරැදි TFM අගයක් ලැබෙන්නේ ISO 685 පරීක්ෂණ ක්‍රමවේදය මඟින් ඉහත පරීක්ෂණයට භාජනය කරනු ලබන සාම්පලය එතනෝල් හෝ වෙනත් මද්‍යසාර ද්‍රාවණයක වෙනුවට උණු වතුරේ දියකිරීමට නිර්දේශ කර ඇති බැවිනි. එතනෝල් හෝ වෙනත් කාබනික ද්‍රාවකවල මෙන් නොව ඉහත සඳහන් පිරවුම් අමුද්‍රව්‍ය (fillers) උණු වතුරේදී පහසුවෙන් දියවෙයි. එවිට පිරවුම් අමුද්‍රව්‍ය (fillers) වෙන්කර ඉවත් කළ නොහැකි නිසා සබන් හෝ බේදින් බාර්වල අන්තර්ගතය පිළිබඳව නිවැරැදි විශ්ලේෂණයක් ඉහත ක්‍රමවේදය මගින් ලබාගැනීමට නොහැකි වෙයි.

 

එය බේබි සබන් සහ ඇඟ ගල්වන සබන්වල TFM අගය ගණනය කිරීම සඳහා නිර්දේශිත ඉහත පරීක්ෂණ ක්‍රමවේදයෙහි (ISO 685) ඇති කැපීපෙනෙන අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව මගින් ඇතැම් නිෂ්පාදකයන්ට අවශ්‍ය නම් තම නිෂ්පාදනවලට පිරවුම් අමුද්‍රව්‍ය (fillers) එකතු කිරීමෙන් බේබි සබන් සහ ඇඟ ගල්වන සබන්වල නිවැරැදි TFM අගයට වඩා ඉහළ වැරැදි TFM අගයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා කරයි, ඉඩ සලසා දෙයි.

 

ඒ තත්ත්වය යටතේ ඇතැම් සබන් සහ බේදින් බාර් නිෂ්පාදකයින්ට පාරිභෝගික ජනතාව නොමඟ යවමින් නිර්දේශිත අවම TFM අගයට වඩා අඩු TFM අගයක් සහිත එහෙත් ලාභ පිරවුම් අමුද්‍රව්‍ය (fillers) හෝ කෘතීම පිරිසිදුකාරක ඇතූළත් කළ නිෂ්පාදන බේබි සබන් හෝ ඇග ගල්වන සබන් ලෙස හඳුන්වමින් අලෙවි කිරීමට අවස්ථාවක් උදා කර දී තිබේ.

 

ඒ අඩුපාඩු නිවැරැදි කරගනිමින් පාරිභෝගික අයිතීන් සහතික කිරීම සඳහා සලකා බැලිය හැකි ක්‍රියාමාර්ග දැන් යෝජනා කරමි.

 

මා ඉහත සඳහන් කළ විද්‍යාත්මක දෘෂ්ටිකෝණය මත පදනම්ව, පාරිභෝගික ජනතාව සබන් සහ බේදින් බාර් මිලදී ගැනීමේදී නිවැරැදි TFM අගය සහිත නිෂ්පාදන මිලදි ගැනීම සහතික කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවලට පහත ක්‍රියාමාර්ග සලකාබැලිය හැකිය.

 

01. භාණ්ඩ ඇසුරුම්වල ඉදිරිපස පැනලයේ නිෂ්පාදන වර්ගය, නිවරැදිව එනම් ‘බේබි සබන්, ඇඟ ගල්වන සබන් හෝ ‘බේදින් බාර්’ ලෙස සඳහන් කරමින් ඒවාට අදාළ අවම TFM අගය පැහැදිලිව සඳහන් කළ යුතු බවට නිෂ්පාදකයන්ට අනිවාර්ය කිරීම.

 

02. SLS 547:2009 සහ SLS 34:2009 යටතේ ISO 65 පරීක්ෂණ කමයේ පවතින මා ඉහත සඳහන් කළ අඩුපාඩු නිවැරැදි කිරීම සඳහා, පෙරීමේ පියවර “අවශ්‍ය නම්” (‘if necessary’) යන්න වෙනුවට “අනිවාර්ය” (‘mandatory’) ලෙස සංශෝධනය කිරීම.


(TFM අගය නිර්ණය කිරීම සඳහා American Oil Chemists Society කුමය වන Db 2-48 -2024 ක්‍රමයේ, පරීක්ෂණ නියැදියෙහි පෙරීමට ලක්කළ යුතු බව ඉතා පැහැදිලිව සඳහන් කර තිබීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.)

 

03. ‘එතනෝල්වල දියනොවන පදාර්ථ ප්‍රමාණය’ අඩු කිරීමේ විශ්ලේෂණාත්මක උපාය මාර්ගය ඇතුළත් කිරීම මගින් බේබි සබන් (SLS 547:2009, ISO 685) සහ ඇඟ ගල්වන සබන් (SLS 34:2009, ISO 685) වල පරීක්ෂණ ක්‍රමවේදය සංශෝධනය කිරීම.


(TFM අගය නිර්ණය කිරීම සඳහා American Oil Chemists Society කර්මය වන Db 2-48 -2024 ක්‍රමයේ,මද්‍යසාර ද්‍රාවණයක් භාවිතා කිරීම සහ එය පෙරීමට ලක්කළ යුතු බව ඉතා පැහැදිලිව සඳහන් කර තිබීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය)

 

04. ඉහත සඳහන් 2 වැනි සහ 3 වැනි නිර්දේශ කියාත්මක කිරීමට අපහසු නම් බේබි සබන් සහ ඇග ගල්වන සබන්වල TFM අගය ගණනය කිරීමේ පරීක්ෂණ ක්‍රමවේදය ද බේදින් බාර් පරීක්ෂණ ක්‍රමවේදය (SLS 1220: 2016 Appendix D) යටතේම කිරීමට නිර්දේශ කිරීම.

 

 

@මහාචාර්ය නිමල් පුණ්‍යසිරි

(කොළඹ විශ්වවිද්‍යාලයයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ ජෛව රසායනය පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ හිටපු සභාපති)

නවතම ලිපි