SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ලබන වසරේ සිට වසර 10ක් ශ්‍රී ලංකාවේ උග්‍ර රැකියා හිඟයක්!
  • ලෝක බැංකුව අනතුරු අඟවයි!
  • පෞද්ගලික අංශය දිරිගැන්වීම අත්‍යවශ්‍යයි!
  • ලක්‍ෂ 10 ක් පෝලිමේ හිටියත් අලුත් රැකියා ලක්‍ෂ 3යි!

 

 

ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනය සම්බන්ධයෙන් ලෝක බැංකුව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළට අලුතින් එක්වන ශ්‍රමිකයන් සංඛ්‍යාවට සාපේක්ෂව නව රැකියා අවස්ථා හිඟයක් ඇති විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවනවා.

 

 

ඉදිරි දශකය තුළ උග්‍ර රැකියා හිඟයක් ඇතිවීමේ අවදානම

 

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් එක් වනු ඇති බවයි. නමුත් එම කාලය තුළ ඇස්තමේන්තු කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000ක් (ලක්ෂ 3ක්) පමණක් බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt පවසනවා. මෙය සමස්ත රැකියා වෙළඳපොළට විශාල අභියෝගයක් වන අතර, මෙවැනි තත්ත්වයක් සමාජ සහ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට හේතු විය හැකි බවට බියක් පවතිනවා.

 

 

පෞද්ගලික අංශය දිරිගැන්වීම අත්‍යවශ්‍යයි

 

මෙම තත්ත්වය හමුවේ රැකියා උත්පාදනය වේගවත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය අත්‍යවශ්‍ය බව Johannes Zutt අවධාරණය කර තිබෙනවා. රැකියා අවස්ථා පුළුල් කිරීම, පෞද්ගලික ප්‍රාග්ධනය සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජය සහ ලෝක බැංකුව අතර හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කරයි. ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇති බවත්, දැන් අවධානය යොමු කළ යුත්තේ රැකියා, ආයෝජන සහ සියලුම අංශවල සංවර්ධනය කෙරෙහි බවත් ඔහු පෙන්වා දුන්නා.

 

 

ආර්ථික ස්ථාවරත්වයට ලෝක බැංකුවේ ප්‍රසාදය

 

ලෝක බැංකු උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව දුෂ්කර උත්සාහයකින් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය ගැන ප්‍රශංසා කළා. රැකියා උත්පාදනය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරන සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව රජයට අඛණ්ඩව සහාය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළා.

 

මෙම අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීම, තරඟකාරිත්වය ශක්තිමත් කිරීම, සහ සේවා සැපයීම වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමඟ දිගටම කටයුතු කරනු ඇතැයි ද ලෝක බැංකුව සඳහන් කරනවා.

 

“ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පැතිරුණු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළුගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”

 

කෙසේ වුවද විචාරක අදහස වන්නේ, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර පැවති රැකියා විරහිතභාවය, විවිධ කාල වකවානුවලදී රට තුළ ඇති වූ සමාජ නැගිටීම් සඳහා ප්‍රබල හේතුවක් වූ බවය. ආර්ථික අපේක්ෂා ඉටු කර ගැනීමට නොහැකි වීම සහ සමාජ අසමානතාව පිළිබඳ හැඟීම තරුණ පිරිස් තුළ දැඩි අසහනයක් සහ කලකිරීමක් ඇති කිරීමට හේතු විය.

 

 

1971 සහ 1987-89 තරුණ නැගිටීම්:

 

1971 සහ 1987-89 කාලවලදී ඇති වූ කැරලිවලට ප්‍රධාන හේතු අතරින් එකක් වූයේ අධ්‍යාපනය ලැබූ තරුණ පරම්පරාවට ඔවුන්ගේ දැනුමට සහ කුසලතාවන්ට සරිලන රැකියා අවස්ථා නොලැබීමයි. රජයේ රැකියා සඳහා ඇති වූ ඉහළ ඉල්ලුම සහ සීමිත සැපයුම නිසා ඇති වූ රැකියා හිඟය, තරුණ පිරිස් අතර දේශපාලන සහ සමාජ අරගල සඳහා පෙළඹවීමක් ඇති කරන ලදී. මෙම තත්ත්වය, රැකියා විරහිතභාවය හේතුවෙන් සමාජයේ සාම්ප්‍රදායික ව්‍යුහය තුළ තමන්ට හිමි තැන අහිමි වූ බවට හැඟීමක් ඇති කළ අතර, එය විප්ලවීය අරගලයකට මග පෑදූ බවයි විශ්ලේෂක අදහස වන්නේ.

 

 

නූතන සමාජ අභියෝග:

 

විචාරකයින් පවසන්නේ වර්තමාන තත්ත්වය ද මීට සමාන ලක්ෂණ පෙන්වන බවයි. ලෝක බැංකුව දක්වා ඇති අනතුරු ඇඟවීම පරිදි, ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට ඇතුළු වීමට අපේක්ෂා කරන මිලියනයකට ආසන්න තරුණ ප්‍රජාවට ලබා දිය හැකි රැකියා අවස්ථා ඇත්තේ 300,000ක් පමණක් වනවිට අලුතින් රැකියා සොයන තරුණ තරුණියන් 700,000කට පමණ සෘජු බලපෑමක් ඇති කරනවා. මෙවැනි දැවැන්ත රැකියා හිඟයක්, අතීතයේ මෙන් ම තරුණ පිරිස් අතර සමාජ සහ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි විචාරක අදහස වී ඇත්තේ.

 

ආර්ථික අපේක්ෂා ඉටු නොවූ තරුණ ප්‍රජාව, දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි කලකිරී, විවිධ සමාජ සහ දේශපාලන අරගලවලට සම්බන්ධ වීමට පෙළැඹීම, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ නැවත නැවතත් දක්නට ලැබුණු තත්ත්වයක්. එබැවින්, රැකියා විරහිතභාවය සහ ඒ හා බැඳුණු ආර්ථික අර්බුදයන්ට නිසි විසඳුම් නොලැබුණහොත්, එය සමාජ සහ දේශපාලන අස්ථාවරත්වයකට මග පෑදිය හැකි බව අවධාරණය කළ හැකි බවට සමාජ විශ්ලේෂකයන්ගේ අදහස වි ඇත.

 

#සමාරා

නවතම ලිපි