SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එරන්ද ගිනිගේ ගේ අවතරණය පොත සම්පුර්ණයෙන්ම කියවලා පැය 36 ක් වුණා. ඒ ගැන සටහනක් ලියන එක අතපසු වෙයි කියලා මේ සටහන ලියන්නේ.

හරියටම දවස් දොළහකට කලින් ලිව්වා වගේ පොත ලියලා තියෙන්නේ ඉතාම පොහොසත් සිංහල භාෂාවකින්.ඒ නිසාම පරිස්සමින් කියවලා තේරුම් ගන්න ඕන නිසා සාමාන්‍ය පොතක් කියවලා අවසන් කරන්න යන කාලේ වගේ තුන් ගුණයක කාලයක් ගන්නට වුණා.

 

 

එදා කිව්වා වගේම ඒ භාෂා විදග්ධ බව වටිනවා. අද කාලේ සිංහල භාෂාව පිලිබඳ ආචාර්‍ය මහාචාර්‍ය වරුත් එහෙම පොත් ලියන්නේ නැහැ. ඒ නිසා මේ එරන්දගේ පොත සිංහල භාෂා සාහිත්‍ය කෙත තුල කාලේකට පස්සේ එකතු වෙච්ච සරු අස්වැන්නක්. විශ්විවිද්‍යාල වල සිංහල භාෂාව හදාරන ශිෂ්‍යයන් වගේම, පිරිවෙන් හා උසස් අධ්‍යාපනය ලබන භික්ෂුන්ට මේ පොතේ භාෂාමය බවිතාව හෙළ බස රැකීමට හා උගෙනීමට උදව්වක් වෙන බව ඉඳුරාම කියන්න පුළුවන්.

 

 

කතුවරයා මේ පොත කොටස් තුනක වෙන් කිරීමකින් හා අනු කොටස් 23 ක සන්දර්භයකින් පිටු 318 කින් යුක්තව ලේඛනගත කරනවා.පිට කවරය සරල සුන්දර එකක්. එහි පැහැය සාගරය හා දේවත්වය ප්‍රකාශ කරනවා.ශ්‍රී ලංකාව ආරක්ෂා කරන කුල දෙවියන් වන මහා විෂ්ණු, කථාව අවසානයෙන් මට සිහිපත් වුණා. කොහොම නමුත් මම ඔය අදහස් කරපු දේට වඩා වෙනස් අදහස් කිරීමක් කතුවරයාට පෙනෙන්න පුළුවන්.

 

 

මේ පොත අපගේ සිංහල ජාතිය බිහි වීම හා බෞද්ධ වීම ගැන අප අසා තිබුණු කථාවලට ප්‍රති පරිකල්පනයක් කිව්වොත් නිවැරදියි. . පොත පුරාම එරන්දගේ පරිකල්පනය ඉතාම හොඳින් සාධාරණිකරණය වෙනවා.ඉතිහාස කරුණු ගත්තම සහ අද ඉන්දියාවේ සිංහපුර,එදා කාලිංග යේ අද ඔදිස්සාවේ ප්‍රදේශයක් මේ සිංහ බාහු,සුප්පා දේවියගේ සුල මුල දක්වන ප්‍රදේශය. එරන්ද ඒ අතීත කතාවන් ඉතා සුන්දර ලෙස අමුණමින් බුද්ධ කාලයේ හා බුදුන් පිරිනිවීම දක්වාවන කාලය තුල රාජ්‍යත්වය හා දේශපාලනය හොඳින් ගොඩ නගනවා.

 

මම මේ වෙනකොට කියපු කරුණු දෙකේදීම ලේඛකයාගේ භාෂා හා ඉතිහාසය පිලිබඳ අධ්‍යනය හා පදනම හොඳින්ම වටහා දෙනවා.

 

අනික් අතට ශාක්‍යමුණි.හෙවත් විමුක්තිය ලද්දාහු..නම් බුදුන්ගේ චරිතය හා එම චරිතය තුල වන සංවාද අභිධර්මය හා බුද්ධ චරිතය අතර මනා කියවීමක් සංවාදයක් සියුම්ව ගොඩ නගා තිබීම නිසාම සිංහල භාෂාව, ඉතිහාසය පමණක් නොව බෞද්ධ දර්ශනය හා අභිධර්මය, බුද්ධ චරිතය ගැන ලේඛකයාගේ ගැඹුරු දැනුම හා බැඳුණු පරිකල්පන ශක්තිය හොඳින්ම වැටහෙනවා.

 

 

එරන්ද නියෝජනය කරන්නේ ජාතික දේශපාලන කඳවුර.ඔහුගේ නවකථාව තුල ඒ නියෝජනයට අවශ්‍ය සම්පත් ඔහු සතුව පවතින බව හා සොයා යමින් සිටින බව පැහැදිලියි. මේ පොත කියවන්න මට පෙළඹවීම ලැබෙන්නේ මෙතනින්. ඒ කියන්නේ එරන්දගේ දේශපාලන භාවිතාව කොහොමද මෙම පොත තුල කියවෙන්නේ කියන කරුණ අත්දැකීම තමයි මගේ අරමුණ වුනේ.

 

 

එරන්ද ඉන්දියාවේ මගධය කෝසලය ,කාලිංගය හා අනෙක් ජනපද රාජ්‍යයන් අතර සිදුවන දේශපාලනය, දේශපාලන උපක්‍රම හා යුද්ධ ගැන කථා කරනවා. මේ දේවල් ශාක්‍යමුණි භගවතුන් තම ජිවිත කාලය තුල අත්විඳිනවා. එරන්ද මේ කථාව පුරාම ස්ත්‍රිය..අම්මා.. ඔහු එය ලියන්නේ..අම්ම යනුවෙන් මේ දේශපාලනයේ ගෞරවනීය චරිතයක්, හැටියට ගොඩ නගා තිබෙනවා. ඕනෑම රජකු තම මව සමග ඇති බැඳීම ඉතා උසස් ලෙස කථාව තුල ගොඩ නැගෙනවා. මෙය කතාව අවසානයෙන් බිහිවන අලුත් අනාගතයේ ශ්‍රී ලංකාව නමැති රාජ්‍ය තුල ලෝකයේ පළමු කාන්තා රාජ්‍ය නායකයන් බිහිවීම සිට අද දක්වා අපගේ පදනම තුල කාන්තාව හිමිකරගෙන තිබු දේශපාලන,සංස්කෘතික හා ජීවවිද්‍යාත්මක අඩ හෙවත් භාගය ගැන සුක්ෂම අදහසක් ගත හැකි ලෙස ලියවෙනවා. අනෙක් අතට ලිජ්ජවින්ගේ ප්‍රජාතන්ත්‍ර වාදයේ අපට ඇති උරුමකම ගැන මෙහි පරිකල්පනය වෙනවා.

 

වැදගත්ම කියවීමක් වෙන්නේ සහෝදරයන් දේශපාලනය කෙතරම් පාලනය කරනවද? මහා රාජ චරිත ඉපදෙන පවුලක ඉපදෙන සියලු සහෝදරයන් හෝ සහෝදරියන් ඒ මහා රාජයෝග ඇත්තා මෙන් ප්‍රතාපවත් වන්නේ නැහැ. ඔවුන් තුල පවතින සාමාන්‍ය ,කූට ඊර්ෂ්‍යාව බලකාමය නිසා සමහර රජවරු අපහසුවට පත්වෙන හැටිත්.රාජ්‍යයන් ජනතාව විනාශ වෙන සැටිත් එරන්ද ඉතා හොදින් මේ ඉතිහාස කතාව තුල පරික්ලාපනය කරනවා. එය ලංකාවේ වැදගත්ම වෙන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන පවුලට හා කථාවට කියලා මට හිතෙනවා.

 

ශාක්‍යමුණි හා විජය කුමරු අතර ඇති සම්බන්ධය..

 

 

විජය ගේ උපත සම්බන්ධ ඉතිහාස කතාවට නව අරුතක්,පරිකල්පනයක් දීම තුලින් එරන්ද උත්සාහ කරන්නේ සිංහල ජාතිය සමබන්ධ ඇති අවර ගනයේ පරිකල්පනයන් හා හඳුන්වා දීම් වලට පිළිතුරක් සෙවීම. හොරකු ලෙස පිටුවහල් කරන විජය ගැන තිබෙන ලාංකීය ඉතිහාසය එරන්ද සුබවාදී අර්ථවාදී පරිකල්පනයක් තුල ගොඩ නගනවා.ශාක්‍යමුණි හා විජය අතර ගොඩ නගන සම්බන්ධකම හා අප ගේ ඉතිහාසයේ කියවීම අනුව බුදුන් පිරිනිවන් පෑ දින විජයගේ පිටුවහල් වීම යන ඓතිහාසික කරුණ මහා අරමුණක්, සම්මුතියක් හා සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා ලද ඓතිහාසික එකඟතාවයක් ලෙස කථාව ගොඩ නගාගෙන පැමිණෙන මොහොතේ අපව හෘදයංගම ලෙස සංවේදී වෙනවා.

 

 

මේ තුල කියවෙන කරුණු තුල ඉන්දියාවේ ඇති බලකාමය හා ගැටුම් නිසා බුදු දහම එහි ආරක්ෂා නොවන බවට ඉතා සාධාරණ ස්ථාවරයක ශාක්‍යමුණි සිටි බව සපථ වෙනවා. දේශසීමා කරදර නැති ශ්‍රී ලංකාව තුල බුදු දහම එක අරමුණකින් පවත්වාගෙන යාමට ආරක්ෂා වන බවට කථාව තුල සාධාරණ මතයක් ගොඩ නැගෙනවා. මේ අවස්ථාව ගැඹුරින් වටහාගත යුතු සද් ධර්මතාවක්.

 

විජයගේ ලංකාගමනයේ අරමුණ අප කියවා ඇති දන්නා යයි කියන කරුණු වලින් ඔබ්බට ගිය මහා අරමුණක් ලෙස පරිකල්පනය වෙනවා. අනෙක් අතට විජය අපට හඳුන්වා දී ඇති සොරා නොව ඉතා ප්‍රගති ශීලි, මානව වාදී රාජ කුමරකු ලෙස ශාක්‍යමුණි ගේ ආශිර්වාද ලබන කෙනෙක්. ඒ තුල ඉතිහාසය පුරාම විජයට හොරා කියු හා අප පැවත එන්නේ හොරෙක් ගෙන් යයි කියන කථාවට වෙනස් අභ්‍යන්තරයක් ඇති බවට එරන්ද මේ ලිවීම තුල යෝජනා කරනවා.

 

 

එරන්ද මේ පොත ලිවිම නවත්වන්නේ අනුරාධපුරයෙන්. කුවේණිය ගැන මේ කොටසේ හැඳින්වීමක් නැහැ. ඔහු සියුම් දේශපාලන කරුණු තම පරිකල්පනය තුල කතා කරන ගමන් මහින්දාගමනය තුලින් සිදුවන බෞද්ධ කරණය සියුම්ව ප්‍රතික්ෂේප කරන තැනට අපව ගෙන එනවා.එනම් මේ නව රාජ්‍ය විජය අතින් බිහිවන්නේම බුදුන්ගේ දහම සුරක්ෂිත කිරීම උදෙසාම කියලා අදහසක් ලැබෙනවා. ඉන්දීය භූ දේශපාලනය ගැන එරන්ද පැහැදිලි සීමාවක් ඒ තුල දක්වනවා.

 

 

කොහොම නමුත් මේ පොත එරන්ද නියෝජනය කරන දේශපාලන දැක්ම, හා කඳවුර තුල එහි අභ්‍යන්තරයට සාධාරණී කරණයක් කෙරෙන ලිවීමක්, වගේම අභිමානවත් ජාතියක්, හා කුලවමියන්ගේ දේශයක් අපේක්ෂාවෙන් ලියපු ඉහල වටිනාකමක් ඇති පොතක්.

 

විටෙක Gladiater චිත්‍රපටය හා මොහෝනජෝදාරෝ චිත්‍රපටය යන අග්‍රගණය සිනමා පට වල සංසිද්ධි ඒ ආකාරයෙන්ම සිහිවෙන අවස්ථාවන් තියෙනවා. විජය වීර චරිතයක්.සාධාරණ චරිතයක්.සිංහලයන් පැවත එන්නේ ඔහුගෙන් වගේම,ජැක්සන් කියපු ශාක්‍ය වංශයට ඇති නෑකම සපථ කරවන ලිවීමක් මේ පොතේ මට දැනෙනවා.

 

 

ලංකා ඉතිහාසයේ මේ වගේ පොතක් මම කියවලා නැහැ. එහෙම පොතක් මට මග හැරුණද දන්නේ නැහැ. හැබැයි මේ පොත අපේ රටේ ඕනෑම කෙනෙක් කියවිය යුතු පොතක්.

 

 

එහෙත් අඩුපාඩු ලෙස දැක්විය හැකි එකම දේ මෙහි ඇති උසස් සිංහල භාෂාව හා අභිධාර්මික කරුණු සාමාන්‍ය පාටකයාට නොවැටහෙන්න ට තිබෙන ඉඩ කඩ වැඩි වීමයි.

 

එරන්දට සුබ පැතුම්.. බුදුන් ගැන විජය ගැන සිංහලයා ගැන අප්‍රමාණ අවර සංකල්ප කෝටි ප්‍රකෝටි ගාණක් උවමනාවෙන් ජනගත කරන මොහොතක මේ පොත ලියා ජනගත කලාට ඔබට ස්තුතියි.

 

@Subhashini Wipfler

නවතම ලිපි