SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ ලිංගිකත්වය වැනි මාතෘකා පිළිබදව විවෘතව සාකච්ජා කරන සමාජයක් නොවේ.

ලිංගික ආශය හා බැදුණු මානසික රෝග පිළිබදවත් කතාකරන්නවත්, මැදිහත් වෙන්නවත් විවෘත සමාජයක් නොවේ. බොහෝ මානසික ව්‍යාධි සහිත පුද්ගලයින් සුවපත් වුවත් මානසික සෞඛ්‍ය විද්‍යායතනය වැනි තැන්වල අවුරුදු ගණන් සමහර විට ජීවිත කාලයම සිරව වී සිටින්නේ සමීපතමයන්ගේ මේ දුරස්ථ බව නිසාමයි.

ජංගි 8

ඒ නිසාම නිදහස, අයිතිවාසිකම් මෙන්ම ලිංගිකත්වය පිළිබදවත් බොහෝ විට කතා කරන්නට පෙළඹුනේ විකල්ප දේශපාලනයේ නියෙලෙන්නන්. එහෙමත් නැත්නම් සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන වල නිරත වන සමාජ ක්‍රියාධරයින්. ඔවුන් මේ සදහා ගොඩාක් වෙහෙසුණා. ඔවුන් දැනටමත් විවිධ ලිංගික දිශානතීන් නිසා පීඩාවට පත්වන අයගේ අයිතිවාසිකම්, නිදහස සහ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. චින්තන ධර්මදාස වැන්නන් ලිංගිකත්වය පිළිබදව විවෘතව කතා කරනවා. ලිංගිකත්වය ධනාත්මකව දකින්න මොවුන් කතාකරනවා, ලියනවා සහ විවිධ මට්ටමින් මහා සමාජය දැනුවත් කරමින් ඉන්නවා.. ලිංගිකත්වය පිළිබද පසුගාමී අදහස් ඇති සමාජයක ඒ අභියෝගය අරගෙන පිච් එක මොවුන් හදමින් ඉන්නවා. විවිධ ලිංගික දිශානතීන් සදහා බලපෑ ඇති නීති වෙනස් කිරීමේ උත්සාහයක නිරත වී සිටනවා. එයට මෑත උදාහරණයක් නම් සමලිංගිකත්වය මානසික රෝගයක් යැයි කියමින් අමා දිසානායක නැමැති උපදේශීකාව සිදුකළ අගතිකාරි ප්‍රකාශයයි. අවසානයේ දී එය නතර වූයේ උසාවියෙනි. ඒ නිසා ලිංගිකත්වය පිළිබද ඇති පසුගාමී අදහස් නිවරදි කරන්නට ඉදිරිගාමී පියවරයන් බොහෝමයක් අපිට වර්තමානයේ දිකින්නට තිබේ. එය නිර්මාණකරණයේ නියෙලෙන්නට පහසුවක් වී ඇති බව ද පෙනී යයි. එවැනි විවෘත අවකාශයක් ගොඩනගමින් සිටින සංදර්භයකයි අපිට සෝමේ මාමාගේ මේ චිත්‍රපටිය දකින්නට අවස්ථාව ලැබෙන්නේ.

ජංගි 6

ළමා චිත්‍රපටි නිර්මාණය සදහා නාමකරණයට ලක්වූ, දෙස් විදෙස් සම්මානලාභී සෝමරත්න දිසානායකගේ UNDERPANTS THIEF හෙවත් ජංගි හොරා චිත්‍රපටිය නිර්මාණය වන්නේ මෙවනි කතිකාවතක් දැනටමත් ගොඩනැගී ඇති සමාජ පසුබිමකයි. විශේෂයෙන් සරෝජා සිට සුනාමි දක්වාම ළමයින්ම මූලීක කරගෙන වැඩිහිටියන් සදහා චිත්‍රපටි නිර්මාණය කළ සෝමේ මාමා, “ ජංගි හොරා චිත්‍රපටියෙන්” එකපාරටම වැඩිහිටි තේමාවක් ස්පර්ශ කර ඇත. එය ලාංකේය ප්‍රේක්ෂකයා සමහර විට, සංස්කෘතික කම්පනයක් ඇති කිරීමටත් සමත් වෙයි.

ඒ පිළිබද විවිධ සිනමා විචාරකයින් ධනාත්මක මෙන්ම ඝෘණාත්මක ප්‍රතිචාර දැක්වා තිබීම දක්නට ලැබුණා. කොහොම වුණත් මෙය සෝමේ මාමාගේ වැඩිවියට පත්වීම ලෙස ද හදුන්වයි. ළමා චිත්‍රපටි පිළිබදව නමක් දිනාගත් ලංකාවේ සමාජයේ නිළ කදිමට ඇල්ලූ නිර්මාණකරුවෙකු ලෙස වෙනස් තේමාවක් , වෙනස් වස්තුබීජයක් අල්ලා ගැනීම ධනාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස ද දැක්විය හැකිය.

නමුත් සෝමේ මාමාගේ ළමා චිත්‍රපටි කලාවෙන් එකපාරටම, අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි සදහා ලේබලයට පැනීමේ පිම්ම අපි තේරුම් ගත යුත්තේ කෙසේද?

 ජංගි 9

ඔවුන්ගේ නිර්මාණාත්මක වෑයම පිළිබද අගය කළ යුත්තේ කෙසේද? ප්‍රේක්ෂකයෙකු ලෙස, අධ්‍යයන කේෂ්ත්‍රයකට සම්බන්ධ වී සිටින කෙනෙකු ලෙස, වෘත්තිකයෙකු ලෙස මෙැවනි අසාමාන්‍ය මානසික හැසිරීමක් තිබෙන පුද්ගලයෙකු සමග ගණුදෙණු කළ යුත්තු ආකාරය සාධරණීය කළ හැකිද? යන සාකච්ජාව එම මැදිහත්වීමට වේදිකාවක් ගොඩනැගීම පිළිබද ඔහුට කෘතඥ වෙමි. මෙවැනි නිර්මාණ සදහා ප්‍රශස්ත ඇගයීමකට පෙර සාධනීය විවේචන රැගෙන ඒම වැදගත් බවයි මගේ හැගීම. එය නිර්මාණයට දායකවූවන්ට මෙන්ම ප්‍රේක්ෂකයාටත් සාධාරණය ඉෂ්ඨ කිරීමක් ලෙසත් දැක්විය හැකියි.

සෝමරත්න දිසානායක ළමා චිත්‍රපටි නිර්මාණයට සහ ලාංකීය ජන මනස තේරුම් ගැනීමට අතිශයෙන් හපන්නෙකු වේ. ඒ තේරුම් ගැනීමම ඔහු ශ්‍රී ලංකාවට ආවේණික සමාජ ප්‍රශ්න ගණනාවක් සිනමාව මාධ්‍ය ලෙස යොදාගෙන ආමන්ත්‍රණය කිරීමම දැක්විය හැක. එමගින් ඔහු අතිශය සාර්ථක වෙමින් මහා සමාජය තදින් ඔහුගේ ග්‍රහණයට නතු කිරීමක් ලෙසයි දැක්විය හැක්කේ.

ජංගි 2

විශේෂයෙන් වැඩිහිටි සමිතියේ සිට පාසැල්, දහම් පාසැල් වලින් බස් පුරවා සරෝජා සිට සුනාමි දක්වා චිත්‍රපටි ගොන්නේ සමහරක් චිත්‍රපටි නරඹන්නට පේ්‍රක්ෂකයා පෙළඹවීමේ හැකියාව ඔහුටම ආවේණික කුසලතාවයකි. ඒ සදහා ලංකාවේ සංස්කෘතික දේශපාලනය මැනවින් චිත්‍රපටිකරණයට යොදා ගත් ආකාරයත් වැඩිම ප්‍රේක්ෂකාගාරයක් හිමිවීමත් හේතු ලෙස දැක්විය හැකියි.

නමුත් කොපමණ ප්‍රේක්ෂක ආකර්ශණයක් ධන සම්මුචිතකරණයක් ගොඩනැගුවත්, මෙම චිත්‍රපටි පෙළින් චින්තනමය විප්ලවයක් සිදුකරන්නට සමත් වී තිබේද යන්න නැවත නැවත අසන්නට ඇති පැනයකි. එම අසමත්කම නිසා තවදුරටත් අපේ සමාජය තුළ උඩුදුවන ජනවාර්ගික ගැටලු, පාරිසරික ගැටලු සහ සමාජ අසමානතාවය වැනි ගැඹුරු සමාජ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම ප්‍රතිනිෂ්පාදනය වන ආකාරයත් නිරන්තරයෙන් දක්නට ලැබේ.

ජංගි 3

ඉහත කී සමාජ ගැටලු සැබවින්ම විසදීම සදහා ආකල්පමය වෙනසක් සිදු වී නැත. මෙය සෝමරත්න දිසානායකගේ ගැටලුවක් ද නොවේ. සෝමරත්න දිසානායක මෙම නිල අල්ලා තමා නිර්මාණය කරන්නේ මෙම සිස්ටම් එකට ගැළපෙන චිත්‍රපටියි. දේශපාලනය වගේම රටක ආර්ථිකය බංකොලොත් වී ඇති කර්කෂ වී ඇති මොහතක රෙජිමය 5000 බෙදයි. සෝමරත්න ජංගි බෙදයි. ඇත්ත ගැටලුවට ක්ෂ්ද්‍ර සහ සාර්ව විසදුම් නැත. ගැටලුම එසේමයි. රටේ ප්‍රශ්න මෙවැනි සරල සුත්‍රයකට හසුකර හැකි ද?

ඊට අමතරව චිත්‍රපටි වලින් සාකච්ජා කෙරන අන්තර්ගතයන් දරුවන් තුළ මෙන්ම වැඩිහිටියන් තුළ ද ගැඹුරින් සාකච්ජා නොකිරීම, පාසැල, දහම් පාසැල මෙන්ම පවුල වැනි සමාජ ආයතන එකිනෙකට පරයා මෙම ක්‍රමය පවත්වාගෙන යාමට නොමසුරු දායකත්වය ලබා දීමත් මෙයට හේතුවක් ලෙස දැක්විය හැකිය. ඒ නිසා සෝමේ මාමා ද බණ්ඩාරනායක සහ රාජපක්ෂ රෙජිමය ද ලාංකේය බෞද්ධ සාමාජයේ නිල කදිමට ඇල්ලුවේය. ඒ නිසා මෙම චිත්‍රපටි තුළින් ළමයින්ටවත් වැඩිහිටියන්ටවත් එකවිට ආමන්ත්‍රණය කරන්නට යෑම මගින් නිවරදි ආමන්ත්‍රණයක් සිදු නොවීය. ඒ නිසා අකාල්පමය වෙනසක් ද බලාපොරොත්තු විය නොහැකිය.

ජංගි 5

මෙම ලිපිය ආරම්භයේ සදහන් කළ ආකරයට සෝමරත්න දිසානායක මෙම චිත්‍රපටිය නිර්මාණය කරන්නේම ලිංගිකත්වය පිළිබඳව විවෘත කතිකාව ලංකා සමාජය තුළ දැනටමත් විවර වී ඇති මොහොතකයි.ඒ සදහා විවිධ කේෂ්ත්‍රවල අය යම් අභියෝග මැද කාර්යභාරයක් සිදුකරමින් සිටින අවදියකයි.

චිත්‍රපටියේ කතා සංදර්භය ගත්විට නුවරඑළිය වගේ පැත්තක ගල් බංගලාවක ඉන්න තරුණයෙකු අසාමාන්‍ය මානසික චර්යාවන් තියනවා. මනෝවිද්‍යාවේ සදහන් මේනික් වගේ තත්වයක්. කාන්තාවන්ගේ යට ඇදුම් වලට ආකර්ශණය වූ තරුණයෙක්. ඔහුට සහෝදරයකේ සිටිනවා. ඔහුගේ බිරිද සමග ගල් බංගලාවේ නතර වීමට ඔවුන් එනවා. මේ බංගලාවේ තරුණ සේවිකාවක් ඉන්නවා. ඇය සෑම් කියන මේ අමුතු හැගීම් තියන තරුණයාගේ ව්‍යාධිය හදුනාගෙන අයථා ලෙස මුදල් උපයනවා. ඔහුගේ සහෝදරයා බිරිදත් සමග නතර වෙන්නේ සෑම් නමට තියන ගල් බංගලාව විකුණන්නන. කූඨ ලෙස ඔහුව අන්දවා ඔහුගේ අත්සන යොදා ගන්න. මේ තරුණයාගේ අසාමාන්‍ය හැසිරීම නිසා අහල පහළ අයගේ නිවසේ අයගේ යට ඇදුම් නැති වෙනවා.

මෙම චිත්‍රපටියෙන් මතුකරන අසාමාන්‍ය මානසික හැසිරීමක් ඇති තරුණයාට පවුලේ මැදිහත්වීම මානුෂීය ප්‍රවේශය සාධනීය ලෙස හදුනාගත හැකිය. ඒ අතර ආදරය, කරුණාව, රැකවරණය වැනි මානුෂීය අවශ්‍යතා ධනාත්මක මතුකිරීමක් ලෙස ද දැක්විය හැකියි. මනුෂ්‍යත්වයට ගරු කිරීම, මනුෂ්‍යත්වයට ලබාදෙන වටිනාකම සහ නිරන්තරයෙන් ඔහු මානසික රෝගියෙක් බව සදහන් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමත් බැහැර කළ නොහැකිය. සෑම් පිළිබදව තේරුම් ගැනීම , පුද්ගල ආකල්ප වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන බව චිත්‍රපටියෙන් උත්සාහයක් ගෙන ඇත. එය යහපත් තත්ත්වයක් ලෙස පිළිගත හැකිය.

ජංගි 4

නමුත් නැවත නැවතත් ප්‍රශ්න කළ යුත්තේ මේනියා වර්ගයේ අසාමාන්‍ය මානසික රෝගයක් ඇති පුද්ගලයෙකුට සොමරත්න දිසානායකගේ වචනයෙන් සදහන් කලොත් ජංගි හොරෙකුට ජංගි ලබා දීමේ ගොඩවෙදකම් ප්‍රමාණවත් ද? යන්නයි.

විටෙක පවුලේ සේවිකාව ඔහුගේ අසනීපයේ ස්වභාවය හදුනා ගෙන ඇයට මුදල් සෙවීමට ඔහුව පාචිච්චි කරන ආකාරයත්, මෙකී තරුණයාගේ සුක්ෂම ලෙස සුරාගැනීමත්, තවත් විටෙක සහෝදරයා ලිංගික වෘත්තිකයෙකුගේ සේවාව ලබා දීමත්, මනෝ වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඔහු විවාහ වන තුරු ලිංගික ආසයන් සන්තර්පණය කිරීමට ඔහුගේ බිරිඳ ඉඩ දීම පිළිබදව කතිකාවත් චිත්‍රපටිය මගින් ගොඩනගයි.

ඔහුගේ අභිලාෂය මෙවැනි ආකාරයේ මැදිහත්වීමකින් මානසික රෝගීන් පුනරුත්ථාපනය කිරීමට නම් එය තවදුරටත් සාකච්ජා කළ යුතුයි. ප්‍රශ්න කළ යුතුයි. චිත්‍රපටියෙන් මතුකරන මනෝවෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ කාන්තාවක් ලබා දීමේ ප්‍රතිකාරය ද යන්න විෂය දන්න අයගේ අවධානයට යොමු විය යුතුයි.

මෙතනදි සොමරත්න දිසානායක එක් පැත්තකින් මොවැනි ගැටලුවකින් සිටින පුද්ගලයෙකුගේ අසාමාන්‍ය චර්යාව සදහා සිදුකරන වෛද්‍යමය මැදිහත්වීම් අවභාවිතා කර ඔහුට අවශ්‍ය සෙක්ස් කොමිඩියක් නිර්මාණය කර තිබෙන බවයි මගේ හැගීමයි. මෙවැනි රෝගීන් ඖෂධ ප්‍රතිකාරවලට යොමු නොකර සහෝදරයාගේ බිරදිගේ මැදිහත්වීම් වැනි ප්‍රේක්ෂක ආකර්ශණයක් යොදා ගැනීම සදහා ක්‍රම දක්නට ලැබේ. රෝගියාගේ සැබෑ ගැටලුව වඩා සංකීර්ණ ලිංගික චර්යාවන් මතුකර සැබෑ ගැටලුව යටපත් කිරීමක් ද සිදුකර ඇත.

ජංගි 10

මෙවැනි ආකාරයේ මේනියා තත්වයෙන් පෙළෙන මානසික අසමතුලිතා ඇත්තන්ට කාන්තාවන්ගේ යට ඇදුම් ප්‍රතිකාරය විරතරක් ප්‍රමාණවත් ද?

සහ නිරන්තරයෙන් විශ්වවිද්‍යාල වල නේවාසිකාගාර අසල සැරිසරන අසමාන මානසික හැසිරීම් ඇති අය නිසා රෑ මැද පාඩම් කරමින් සිටින සිසුවියන්, නිදාගනෙ සිටින සිසුවියන්, කෑ ගසන සිසුවියන් පාරවල් වල සිටින ප්‍රදර්ශනකාමීන්ට කාන්තාවන්ගේ යටඇදුමක් දී ෂේප් විය හැකිද යන ප්‍රශ්නය මෝඩ ප්‍රේක්ෂකයෙකු ලෙස මා හට මතු විය. ඒ නිසා මෙම විෂය ගැන උනන්දු වෘත්තිකයින් වන මනෝ වෛද්‍යාවරුන්ට, උපදේශකයින්ට, මනෝ චිකිත්සකයින් , සමාජ වැඩ වෘත්තිකයින්ට මෙම චිත්‍රපටිය නරඹා ඒ සදහා ගැඹුරු සංවාදයක් ගොඩනගන්නට ආරාධනා කරමි. සෝමේ මාමට ද මම වැනි මෝඩ ප්‍රේක්ෂයින්ට ඔවුන් පිළිතුරු සපයනු ඇත.

ජංගි 11

බහුතරයකට චිත්‍රපටි හදන්න පුළුවන් සෝමා මාමා වැඩිවියට පත්වෙලා කියලා කට්ටිය කියන නිසා ලංකාවේ සෙක්ස් ඇරියස් නැතුව ස්ත්‍රීපුරුෂසමාජභාවීය ගැටලු ආමන්ත්‍රණය කරන්න පුළුවන් හත අපේ පොත වගේ නිර්දේශීත පොතක් නිර්මාණශීලිි ලෙස රටේ ප්‍රේක්ෂකයින්ට දෙන්න. අඩුම තරමින් එය ගැඹුරින් අධ්‍යයනය කරන්න. ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන ආයතන වන පවුල් සංවිධාන සංගමය සහ ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ආයතන සමග එකතු වෙලා කරන්න. අඩුම තරමින් මෙවැනි කේෂ්ත්‍ර පිළිබද නිවරදි උපදෙස් ලබා ගත හැකි වනු ඇත. නෑනාගේ සමාජ අනුකම්පාව නොව නිවරදි ප්‍රතිකාර සදහා යොමු කිරීමට මෙවැනි ආකාරයේ මානසික හැසිරීම් ඇති අයට හැකිවනු ඇත. ඒ සදහා නිවරදි මැදිහත්වීමක් ද සිදුවෙනු ඇත.

මා සිනමාව හැදෑරුවෙක් හෝ සාහිත්‍යය හැදෑරුවෙකු නොවෙන අතර චිත්‍රපටි නරඹා ලබාගත් පරිචය ද මෙවැනි ගැටලු සහිත පුද්ගලයින් පිළීබද උපදේනයේ දී සමාජ වැඩවලදී ඉගැන්වීම් වලට භාජනය කරන නිසා එම අත්දැකීම් යොදා ගෙන චිත්‍රපටිය පිළිබද අදහස් දැක්වූ බව ද සලකන්න. මගේ ඉගැන්වීම් කටයුතු වලට නිරන්තරයෙන් චිත්‍රපටි කියවීම් යොදා ගන්නා බව ද මතක් කරමි.

ජංගි 12

ඉන්දියාව වගේ රටවල්වල නිර්මාණය වන මෙවැනි සමාජ ගැටලු ආමන්ත්‍රණය සදහා සමාජ මැදිහත්වීම් සිදුකරන චිත්‍රපටි සදහා අදාළ විෂයේ ප්‍රමාණිකයින්ගෙන් සහය ගන්නවා. දීර්ඝ අධ්‍යයනයක නිරත වෙනවා. ප්‍රතිකාරය පිළිබද නිවරදි මතය සමාජගත කරන්නට උත්සාහ ගන්න බව එම චිත්‍රපටි පරීශිලනය කරන්නෙකු ලෙස දකිනවා. චිත්‍රපටියෙන් කතා කරන මෙවැනි ආකාරයේ ගැටලු සහිත පුද්ගලයින්ට මනෝ විශේෂඥයෙකුට යොමු කරන්නට අවශ්‍ය උත්ප්‍රේරණය චිත්‍රපටියෙන්ම ලැබෙනවා විශේෂයෙන්ම. ඖෂධ ප්‍රතිකාර වලට යොමු කරන්න. බහු ශික්ෂණ ප්‍රවේශය ඔස්සේ ඖෂධ නොවන ප්‍රතිකාර සපයන වෘත්තීය උපදේශකයින්, මනෝ වෛද්‍ය සමාජ වැඩකරුවන්ගේ සහාය පිළිබද සමාජ කතිකාවත ගොඩනංවනවා.

මෙවැනි චිත්‍රපටිය පිළිබද නරඹා ඒ පිළිබද සැබෑ සමාජ මැදිහත්වීම පිළිබද සාකච්ජාව ගොඩනැගිය යුතුමයි. නැත්නම් යට ඇදුම් ප්‍රතිකාරය හැමෝම දෙන්න යන තත්වයකට පත් වෙනු ඇත. එසේ නැත්නම් චින්තන ධර්මදාස වැන්නන් සදහන් කරන sex comedy එකක් වීමට මෙම චිත්‍රපටිය ඇති ඉඩකඩ බොහෝය. මේ ලිපිය ආරම්භයේ සදහන් කළ පරිදි නිවරදි ලිංගික අධ්‍යාපනය ලබාදීමට වෙහෙසුණු බොහෝ පාර්ශවකරුවන්ගේ කාර්ය තවදුරටත් තීවුර කිරීමට සෝමේ මාමාට හැකි වෙනු ඇත.

නවතම ලිපි