SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලාංකීය සිනමාව වසර 75ක් සම්පූර්ණ කරයි.

ලංකාවේ සිනමාව තුළ නිරුවත යනු හුදෙක් කාන්තා ශරීරය පෙන්වීම පමණක් වන සන්දර්භයක චින්තන ධර්මදාස සහ මනෝහාරී හේවාවසම් සිනමාවේ ඉතිහාසය තුළ ලිංගිකත්වය සහ නිරුවත පිළිබඳ මිරර් ආර්ට්ස් යූ ටියුබ් නාලිකාව මගින් කතාබහක් ඇතිකරයි.

ඒ අතරම ලාංකීය සිනමාමේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යා පි.එච්.එස්. දිනෙල්කා සංදීපනීගේ ස්ත්‍රී නිරුවත සහ ලාංකීය ලිංගික සිනමාව පිළිබඳ විචාරය බලන්න. 

ස්ත‍්‍රී නිරුවත සහ ලාංකීය ලිංගික සිනමාව -. දිනෙල්කා සංදීපනී

ලාංකීය කුහක මනුෂ්‍යයා ස්ත්‍රියක් යනු ලිංගික වස්තුවක් ලෙස ඌනිතව සිතයි.

දශකයෙන් දශකය ගෙවෙත්ම ලිංගික සිනමාව ඉදිරියටම ගොස් ඇත. 

ශෘංගාරත්වය යනු ලොව පහළ වූ සුවිශේෂී වූ හැගීම් සමුදායකි. මිනිසාට මොන දෙයින් වහන් වුවද ශෘංගාරත්වය පිටුදැකීමට නොහැක. සිනමාවට ද එසේමය. ශෘංගාරය සිනමාව හා එකට බැඳෙමින් පවතියි. ලෝක සිනමාවේ දී
ශෘංගාරය සැලොලයිඞ් පටය තුළට රිංගා ගත්තේ නිහඬ යුගයේ සිනමාව ආරම්භයේදී සිනමාවේ පුරෝගාමියකු වූ තෝමස් අල්වා එඩිසන් විසිනි. ඒ බටහිර චිත‍්‍රපටවලය’’

මී 1

ස්ත‍්‍රියකගේ හැඟීම ශෘංගාරය හා මුසුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ප‍්‍රියන්ත ජයරත්න මහතා 

රචනා කරන ලද ‘‘ස්ත‍්‍රී ශෘංගාරය සහ ගැහැනු අනුරාගය නමැති කෘතියෙහි ‘‘ලිංගිකත්වය සහ ශ‍්‍රී ලාංකික වැඩිහිටි සිනමාව නම් වූ තේමාව යටතේ මෙසේ අදහස් ප‍්‍රකාශ කර ඇත.

 ‘‘ලාංකීය කුහක මනුෂ්‍යයා ස්ත්‍රීයක් යනු ලිංගික වස්තුවක් ලෙස ඌනිතව සිතයි. සල්ලාලයකු ස්ත‍්‍රියක දූෂණය කිරීමේ සිදුවීමක් වුවද ලාංකීය පිරිමියාට රාගය උපදවයි. පත්තරවල ලිංගික අතවර වර්ණනා කොට ඇත්තේ එම මනදොල පුරවා මුදලක් ගසා කෑම සඳහාය. ලොකයේ පවත්නා ඕනෑම වස්තුවක් සුන්දර හෝ අසුන්දර වන්නේ එය දෙස බලන ආකාරය අනුවය. ඇස ශික්ෂණය කිරීමෙන් සුන්දරත්වය අනන්ත කර ගත හැකිය. ලෝකයේ යම් වස්තුවක් ලිංගික වස්තුවක්, රාගික වස්තුවක් වන්නේද ඒ දෙස බලන ශික්ෂණය හරහාය. ලංකාවේ පිරිමියාට කුුඩා දැරියකගේ ගවුම එසවී දෙකළවා පෙනීම ලිංගික හැඟීමක් ජනිත කරනු ඇත. නිරුවත් ස්ත්‍රී මළ සිරුරක් ලිංගික හැඟීම් ජනිත කරනු ඇත. දරුවකුට කිරි දෙන මවක් දුටුවිට ලිංගික හැඟීම් ඇතිවිය හැකිය. බැල්ලියක් සහ බල්ලෙක් රමණයේ යෙදීම රාගික දර්ශනයක් විය හැකිය. ලාංකීය ලිංගික සිනමාව තුළින් අපට දෘෂ්‍යමාන වන්නේ ලාංකීය පිරිමියාගේ ශෘංගාරය පිළිබඳ අනුරාගය පිළිබඳ දැක්මය.... අපේ නිළියන් ද ශෘංගාරය ලෙස සිතන්නේ ඇස් අඩවන් කොට පියයුරු හා පසුපස උලූප්පා පෙන්වීමය. නාභිය පෙන්වීමය. සාමාන්‍ය ලෝකයේ ස්ත‍්‍රිය වුවද අනෙකාගේ දැස දෙසට යොමුකර ගැනීම සඳහා ඇඟට තදවන සේ ඇඳුම් ඇ`දීම සුලභ දර්ශනයකි.... ශෘංගාරය, ලිංගිකත්වය, ප්‍රේමය පිළිබඳ මානවීය භාෂාවක් නිර්මාණය කිරීමේදී සිනමාවට කළ හැකි වැඩ කොටස ප‍්‍රමාණය කළ නොහැකිය.

 

මී 3

 ‘මුහුණට මුහුණ දෙස ආදරයෙන් බලා සිටීම’ තුරුලූ කර ගැනීම්, දෙතොල් සිප ගැනීම් තුළින් මුලින්ම ශෘංගාරාත්මක සිනමාව ඇරඹුණි. ඉන්පසු ඔවුන් පියවරෙන් පියවර කතා ශෛලයට අනුකූලව සළුපිළි උණා දැමීම, නිරුවත, රමණය, සිනමා භාෂාවෙන් ඉදිරිපත් කරන්නට විය. බටහිරෙන් ආසියාවට පැමිණිය ද ඔවුන් එක්වරම ඒවා දෝත බදා භාර ගන්නට කැමති වූයේ නැත. නොයකුත් සංස්කෘතික රටාවන්ට හිරවුණු ආසියානුවෝ ශෘංගාරාත්මක සිනමාවට අත තියන්නට බිය වූහ. මැරලින් මොන්රෝලා, බ්‍රිජට් බාඩෝලා, ආවා ගාඩානලා, ජිනා ලොලෝබි‍ර් වැනි නළු නිළියන් බටහිර සිනමාවේ සළුපිළි උනා දමන විට ආසියානුවෝ අත්දිග හැට්ට ඇඳගෙන, සාරිවලින් මුළු ශරීරයම වසාගෙන, හැකිනම් තවත් මොකක් හෝ කම්භායකින් පොරවාගෙන රඟපාන්නට විය. බටහිර නළුවන් තම සිරුර අනාවරණය කරමින්, සිරුරේ දිලිසෙන මස් ගොඩ පෙන්නමින් රඟපාන්නට විය. ඉන්දියාව හා ලංකාව මෙම සංස්කෘතික රාමුව තුළ හිරවෙන්නට සිදුවුණ ද ජපන් සිනමාව මේ බැමි කඩා දමමින් ශෘංගාරාත්මක සිනමාව කෙමෙන් කෙමෙන් වැළඳ ගන්නට විය.

 ලාංකේය සිනමාකරුවන්ට ශෘංගාරය ඇතුළු කිරීමට උවමනා තැන් ඇති වුවද එයට සමාජීය ප‍්‍රශ්න තිබුණි. 70 දශකය වන විට තරුණ සිනමාකරුවන් ලිංගික තේමාවන් ස්පර්ශ කරන්නට විය. නමුත් ඊට සමගාමීව පරීක්ෂණ මණ්ඩලය ද තරයේ මෙය ප‍්‍රතික්ෂේප කරන්නට විය. එම නිසා තරුණ සිනමා කරුවන්ට හැම අතින්ම අභියෝග තිබුණි. 70 දශකයේ ‘නිල්ල සොයා’ වැනි සිනමා පට වල කාන්තාවකගේ උඩුකය නිරුවත් කොට වැඩ ගැනීම වැනි දර්ශන ඇතුළත් කරමින් ලාංකේය සිනමාවට ලිංගිකත්වය ටිකෙන් ටික ඇතුළත් කරන්නට විය. ‘පළ`ගැටියෝ’ ලිංගික ජවනිකාවලින් ඉදිරියට ගිය චිත‍්‍රපටයකි. සමූහ ස්ත‍්‍රී දූෂණයක් පෙන්වූ මුල්ම චිත‍්‍රපටය 80 දශකයේ නිර්මාණය වූ ‘උතුමාණෙනී’ විය හැකිය. දූෂණය ප්‍රේක්ෂකයන්ට දැනෙන ලෙස ඉදිරිපත් කරන්නට එහි අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකා සමත් වී ඇත. චන්ද්‍රරත්න මාපිටිගම, ෂෙල්ටන් පයාගල වැනි සිනමාකරුවන් සිනමා සම්ප‍්‍රදාය උඩුයටිකුරු කළේ සමලිංගික තේමාවක් රැගත් ‘මලට නොඑන බඹරු’ නම් පළමු සමරිසි සිනමා පටය ඉදිරිපත් කරමිණි. ‘තුංවෙනි යාමය’ ‘සුද්දිලාගේ කතාව’ සැකසී තිබුණේද ශෘංගාරාත්මක පසුබිමකිණි. දෙමාපියන්ගේ ලිංගික ක්‍රියාවලිය දුටු ළමයකුගේ මනසේ ඇතිවන චින්තන විපර්යාසය තුංවෙනි යාමය හරහා ද නන්නත්තාර වූ ගැහැනියක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ශරීරය උකසට තැබීම සුද්දිලාගේ කථාව මගින් ද පෙන්වන්නට විය.

 

මී 4

 නිරුවත් කිරීමේ රංගනය දක්වා ස්ත්‍රිය පිරිමින්ගේ ආශාවන් සංසිඳවීමට වෙන් වූ භාණ්ඩයක් ලෙස සිනමාව තුළ රූපණය වී ඇත. ප‍්‍රධාන ප‍්‍රවාහයේ චිත‍්‍රපට බොහෝමයක සන්දර්ශනාත්මක පසුතල හා දර්ශන සමග එහි ආක්‍යානය සම්බන්ධ කරන්නට පාවිච්චි කරන්නේ ස්ත‍්‍රියයි. සාමාන්‍ය සිනමා ආඛ්‍යානයෙන් යුත් චිත‍්‍රපටවල ස්ත‍්‍රිය පෙනී සිටීම එහි එන සුන්දර දර්ශන තල හා සමානවම අත්‍යවශ්‍ය දෙයකි. කතාව වර්ධනය වීමට එරෙහිව තවමත් ස්ත‍්‍රිය රූපමය වහයෙන් පෙනීසිටීමට එරෙහිව කටයුතු කරන්නේ සරාගි ජවනිකාවන් හී රූපය අචල තත්ත්වයට පත්කිරීමෙනි. මෙහි ලිංගික ආඛ්‍යානය මර්දනය කිරීම ලෙස ද හඳුන්වයි.

 සාම්ප‍්‍රදායික වශයෙන් ස්ත‍්‍රිය ප‍්‍රදර්ශනය කිරීම තල දෙකකින් කි‍්‍රයාත්මක වේ. චිත‍්‍රපට කතාව තුළ එන චරිත සරාගි කාමුක චරිත බවට පත් කිරීම, ප්‍රේක්ෂකයන් තුළ ස්ත්‍රීන් ලිංගික වස්තු බවට පත් කිරීම එසේ කරන්නේ තිරයේ කොයි පැත්තෙන් බැලූවත් ඇති වන සංකර්ෂණය දෙපැත්තට මාරු කරමිනි. නිදසුනක් ලෙස ස්ත‍්‍රී චරිතය තිරයේ දිස්වන කතාන්දරයේ කිසිදු දෘෂ්‍යමය විරාමයකින් තොරව තාක්ෂණික වශයෙන් පුරුෂ දැක්මට එකතු කරමිනි. චිත‍්‍රපටයේ රඟන ස්ත‍්‍රියගේ ලිංගික බලපෑම විසින් චිත‍්‍රපටය කිසිම කෙනෙක් නැති හුදකලා ස්ථානයකට ප්‍රේක්ෂකයින් ගෙනයන්නේ කාලය හා අවකාශය පිළිබඳ හැඟීමට පිටස්තරවය. ස්ත්‍රීවාදී චිත‍්‍රපට සිද්ධාන්තය පිළිබඳව ලෝකයේ මුලින්ම ලියවුණු ප‍්‍රථම රචනාව ලෙස සැලකෙන්නේ ලෝරා මුල්විගේ “දෘෂ්‍යමය සතුට සහ අඛ්‍යාන සිනමාව” යන්නයි.

 ලිංගික සිනමාව එසේත් නැතිනම් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලංකාව තුළ ප‍්‍රදර්ශනය වන සිනමා පට ලෝක සිනමාව තුළ සුලබ දෙයක් බවට පත්ව ඇත DVD පට හරහා ලිංගිකත්වය නිරූපිත සිනමා පට නැරඹීමට පුද්ගලයන් ආශාක්ත වී ඇත. ලෝක සිනමාවෙහි ලිංගික ප‍්‍රවණතාව විමර්ශනය කරමින් ‘‘සිනමාව සහ වාරණය’’ කෘතිය රචනා කරමින් චන්දන සිල්වා මහතා මේ පිළිබඳ විමසුමක යෙදී ඇත.

 ‘‘චිත‍්‍රපට මගින් ආශාවන් උද්දීපණය කරන දර්ශන සමාජයට යොමු කිරීම සුලබ වී ඇත. එහිදී සිනමාවේ අධික වියදම මෙන්ම ආර්ථික ප‍්‍රතිලාභ ලැබීමේ පරමාර්ථයද හේතු වේ. බොහෝ අවස්ථාවල තරුණ වියේ පාසල් සිසුන් වැඩිහිටි චිත‍්‍රපට නරඹන්නේ කුතුහලය නිසාය. එමෙන්ම එම චිත‍්‍රපටය නැරඹූ අනෙක් මිතුරන් සමග සමාන වීමටය. දැන් ජ්‍යෙෂ්ඨ පන්තියට පහළ වයසේ ළමුන් අතර ද අසභ්‍ය ගණයෙහි ලා සැලකිය හැකි සී. ඞී. තැටි තිබෙන බව ගුරුවරුන් පවසා ඇත. වාරණය සම්බන්ධ අවස්ථා ගැන ඇති දැනුම ප‍්‍රයෝජනවත් වේ. සාමාන්‍ය සමාජ පැවැත්ම අනුව සහවාසය රාත‍්‍රිය සමග බැ`දී පවතී. ඉන් අඳුර හා සම්බන්ධ රහස්‍ය බවද ධ්වනිත වේ. ඒ සම්බන්ධව ඇති රහසිගත ස්වභාව ස්තී‍්‍රන්ට මෙන්ම පුරුෂයින්ට ද පොදුය. සමාජයේ චාරිත‍්‍ර අනුව සහවාසය දැක්වෙන පින්තූර මෙන්ම අසභ්‍ය ප‍්‍රකාශන ළඟ තබා ගැනීම නොමනා කි‍්‍රයාවකි. එබඳු ද්‍රව්‍ය පුද්ගලයින් පරිහරණය කරන්නේ රහසිගතවය. ස්ත‍්‍රීන් ස්වකීය කාම මූල ඉන්ද්‍රිය රහසිගතව තබා ගැනීමට බෙහෙවින් පරිස්සම් වෙති. පුරුෂයකු සමග සහවාසයේදී වුවද බොහෝ විට ඉඳුරන් සඟවා ගැනීමට පෙළඹෙති. කාමය ප‍්‍රකෝප කරන ඉඳුරන් වුව ද පිළිකුල් සහගත විය හැකිය යන සංඥාව මනසේ ඇති නිසා මෙය සිදුවේ. අන්‍යයන් සහවාසයේ යෙදීම නැරඹීමට මෙන්ම තොරතුරු දැන ගැනීමට ද මිනිස් සිතෙහි ආශාවක්් ඇත. ඉන්ද්‍රිය ස්පර්ශයෙන් ලබන සංතෘප්තියට වඩා වෙනස් ආශ්වාදයක් අන්‍යයන්ගේ කාමුක හැසිරීම් දැකීමෙන් ඇතිවේ. මෙහිදී පැන නැෙඟන්නේ කුතුහලය මෙන්ම අන්‍යන්ගේ පෞද්ගලික ජීවිතය දැක බලා ගැනීමේ බලවත් ආශාවකි. අන්‍යයන්ගේ කාම ජීවිතය නැරඹීම ප‍්‍රීතිමත් කි‍්‍රයාවක් ලෙස සලකයි. සමාජයේ සදාචාරාත්මක පැවැත්මට සමාජය බැහැර කරන සමහර හැසිරීම් ඉවහල් වේ.

 දශකයෙන් දශකය ගෙවෙත්ම ලිංගික සිනමාව ඉදිරියටම ගොස් ඇත. විශේෂයෙන්ම 90 දශකයෙන් ඇරඹි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වූ සිනමා පට ලිංගිකත්වය ප‍්‍රධාන තේමාව බවට පත් කර ඇත. ඉන්පසු 2000 යුගයෙන් ඇරඹි නූතන සිනමා සංස්ථාව තුළ ලිංගික නිරූපණය ව්‍යාපාරික සහ ලාභය ඉපයීම අරමුණු කර ගනිමින් සමාජය තුළ තව දුරටත් ස්ථාපන වෙමින් එය සමාජයට සුලභ කාරණයක් බවට පත් කර ඇත.

 පි.එච්.එස්. දිනෙල්කා සංදීපනී
 ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
 කැලණිය විශ්වවිද්‍යාලය.

 

නවතම ලිපි