ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වසර 127කට පසු ඉන්දියාවට වැඩම කරවයි…
“The Light and the Lotus: Relics of the Awakened One” ලෙස නම් කළ සර්වඥ ධාතූන් වහන්සේ දැක
වැඳපුදා ගත හැකි ජාත්‍යන්තර ප්‍රදර්ශනය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය සෙනසුරාදා දිල්ලි නගරයේ ‘පළමු නුවර’ ලෙස සැලකෙන ක්‍රි.ව. 1052 – 1060 අතර කාලයට අයත් ඓතිහාසික ‘රායි පිතෝරා’ (Rai Pithora) බලකොටු සංකීර්ණයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම ප්‍රදර්ශනය ඉදිරි මාස තුනක කාලය පුරාවට පැවැත්වීමට නියමිත ය.
‘The light and the Lotus’ යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම සුවිශේෂී ප්‍රදර්ශනය මගින්, උත්තර ප්‍රදේශ්හි පිප්රාවා ස්තූපයෙන් හමු වූ අති පූජනීය ධාතූන් වහන්සේලා වසර සියයකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට එකම ස්ථානයකදී ප්‍රදර්ශනය කෙරේ. බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය වූ කිඹුල්වත් පුරය (කපිලවස්තු) ලෙස සැලකෙන්නේ මෙම ප්‍රදේශයයි. උන්වහන්සේගේ ඥාතී වූ ශාක්‍ය වංශිකයන් විසින් තම ‘ශ්‍රේෂ්ඨ ඥාතියාණන්’ උදෙසා මෙම ස්තූපය ඉදිකළ බව විශ්වාස කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙසේ පැවසීය:
“වසර 127ක දිගු බලාපොරොත්තුවකින් පසු, අපේ දේශයේ වටිනා උරුමය නැවත සිය නිජබිම කරා පැමිණ තිබෙනවා. අද සිට ඉන්දියානු ජනතාවට මෙන්ම ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට මෙම පූජනීය ධාතූන් වහන්සේ දැක බලා වැඳපුදා ගැනීමටත්, බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමටත් අවස්ථාව උදා වෙනවා. ගෝලීය බෞද්ධ උරුමයේ ආරක්ෂකයා සහ සංරක්ෂකයා ලෙස ඉන්දියාව නොසැලී සිටින බව මම අද දින ප්‍රකාශ කර සිටිනවා.”

මෙම ප්‍රදර්ශනය සඳහා ක්‍රි.පූ. 6 වන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන සුවිශේෂී කලාකෘති 80කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර ඇත. ඒ අතර ප්‍රතිමා, පුස්කොළ පිටපත්, තංකා සිතුවම්, චාරිත්‍රානුකූල භාණ්ඩ, ධාතු කරඬු සහ මැණික් ඔබ්බවන ලද වටිනා වස්තූන් වේ. මෙහි ප්‍රධානම ආකර්ෂණය වන්නේ සර්වඥ ධාතූන් වහන්සේ මුල්වරට හමු වූ ඒකශෛලීය ගල් මංජුසාවයි.
1898 වසරේදී බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරුවෙකු වූ විලියම් ක්ලැක්ස්ටන් පෙපේ (William Claxton Peppé) සහ ඔහුගේ කැණීම් කණ්ඩායම විසින් සොයා ගන්නා ලද මෙම පිප්රාවා ධාතූන් වහන්සේ, මුල්කාලීන බුදු සමය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්හි ප්‍රමුඛ ස්ථානයක් ගනී. මේවා ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේට සෘජුවම සම්බන්ධ විශාල ඓතිහාසික වැදගත්කමක් ඇති ධාතූන් වහන්සේලා ය.

ක්‍රි.පූ. 3 වැනි සියවසේදී පමණ බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් විසින් තැන්පත් කරන ලද මෙම ධාතූන් වහන්සේ, ගෝලීය බෞද්ධ ප්‍රජාවට ඉමහත් ආධ්‍යාත්මික වටිනාකමක් ගෙන දෙන අතර ඉන්දීය ඉතිහාසයේ වැදගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් ලෙස සැලකේ.
මෙම සමාරම්භක උත්සවයට සංඝරත්නය, ඉන්දීය රජයේ අමාත්‍යවරුන්, තානාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, විද්වතුන්, පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ විශේෂඥයන් සහ ඉන්දියාවෙන් මෙන්ම විදේශයන්ගෙන් පැමිණි බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.


1898 දී සහ පසුව 1972-75 කාලය තුළ කපිලවස්තුවේදී කරන ලද කැණීම්වලින් සොයාගත් ධාතූන් වහන්සේලාගෙන් කොටසක් කොල්කටා ඉන්දීය කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබූ අතර, තවත් විශාල කොටසක් බ්‍රිතාන්‍යයේ පෙපේ පවුලේ පෞද්ගලික එකතුවක් ලෙස පැවතිණි. එමෙන්ම අස්ථිමය ධාතූන් වහන්සේලාගෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අභිනවාරාම විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ ලොව පිළිගත් විද්වතෙකු වූ ද අක්ෂර විශේෂඥයෙකු වූ ද සුභූති නායක හිමියන් වෙත පෙපේ මහතා විසින් පරිත්‍යාග කරන්නට යෙදුණි. (අද එම විහාරස්ථානය වස් කඩුව රාජගුරුෂි සුභූති විහාරය ලෙස හැඳින්වෙන අතර, එම සර්වඥ ධාතූන් වහන්සේලාගේ වත්මන් භාරකරු වන්නේ අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන් ය.)
පෙපේ මහතා සතුව පැවැති පෞද්ගලික ධාතු එකතුව 2025 මැයි මාසයේදී හොංකොංහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබුණි. ඉන්දීය රජයේ තීරණාත්මක මැදිහත්වීම මත එම වෙන්දේසිය නතර කර දමා, එම පූජනීය වස්තූන් ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය හරහා නැවත ලබා ගැනීමට හැකි විය. මෙය ඉන්දියාවේ සංස්කෘතික හා ආධ්‍යාත්මික උරුමයන් සුරැකීමට රජය දක්වන කැපවීම මැනවින් පිළිඹිබු කරයි.
ඓතිහාසික වස්තූන් සන්තක කර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි මෙසේ පැවසීය:
“වහල්භාවය දේශපාලන හා ආර්ථික පාලනයෙන් ඔබ්බට ගොස් සංස්කෘතික උරුමයන් පවා දිය කර හැරියා. පූජනීය ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටවීම සහ ඒවා නැවත පැමිණීම යන කරුණු දෙකම වැදගත් පාඩම් කියා දෙනවා. අපේ උරුමය රැගෙන ගිය අයට මේවා වෙන්දේසි කිරීමට තිබූ පෞරාණික භාණ්ඩ පමණක් වුවත්, අපට මේවා අපේ පූජනීයයි, වන්දනීයයි. ඒවා අපේ ශිෂ්ටාචාරයේ වෙන් කළ නොහැකි කොටසක්. ඒ නිසයි ඉන්දියාව මෙම වෙන්දේසිය වැළැක්වූයේ.”
මෑත වසරවලදී ඉන්දියාව සිය ශිෂ්ටාචාරමය සහ ආධ්‍යාත්මික උරුමයන් ලොවට හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා පුරාවස්තු 642ක් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට හැකි වී ඇත.
ඉන්දියාව දේශපාලනික වශයෙන් හෝ ආර්ථික වශයෙන් පමණක් නොව, ගැඹුරු ආධ්‍යාත්මික බැඳීම්වලින් ද ලෝකය සමඟ බැඳී පවතින බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“අපි බැඳී සිටින්නේ මනසින්, හැඟීමෙන්, ඇදහිල්ලෙන් සහ ආධ්‍යාත්මයෙන්. ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ පූජනීය ධාතූන් වහන්සේගේ භාරකරුවා පමණක් නොව, උන්වහන්සේගේ සම්ප්‍රදාය පවත්වාගෙන යන ජීවමාන සාධකය ද වනවා. පිප්රාවා, වෛශාලී, දේව්නි මෝරි සහ නාගර්ජුනකොණ්ඩ යන ස්ථානවලින් හමු වූ ධාතූන් වහන්සේ බුදුදහමේ පණිවිඩය අදටත් ජීවමානව තබා තිබෙනවා,”
යැයි තවදුරටත් එතුමා පැවසීය. තවද, ඓතිහාසික වශයෙන් වැදගත් බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට සහ සංරක්ෂණය කිරීමට ඉන්දියාව අනෙකුත් රටවලට උදවු කළ ආකාරය ද එතුමා අවසාන වශයෙන් සිහිපත් කරන්නට යෙදුණි.

