SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මෑතකදී ඉන්දියාව සුපුරුදු පරිදි  ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා ද ලබා දුන්

නොමසුරු සහාය, බැලූ බැල්මට පෙනෙන්නේ අසල්වැසියෙකුගේ හිතමිත්‍රශීලී මානුෂීය මැදිහත්වීමක් ලෙසිනි. කෙසේ වුවත් ජාත්‍යන්තර දේශපාලනයේදී කිසිදු ආධාරයක් හිස් අවකාශයකින් බිහිවන්නේ නැත.

 

 

ඩෙංගු මදුරුවා මර්දනය කිරීම සඳහා පැමිණි ඉන්දියානු සහාය, සැබවින්ම අගෝස්තු 05 ඊයේ දින ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි (Vikram Misri) ගේ ශ්‍රී ලංකා සංචාරය හරහා තහවුරු කළ, ඉන්දියාවේ දැවැන්ත භූ-දේශපාලනික සහ ආර්ථික දැලෙහි එක්තරා මෘදු 'ඇමක්' ද යන්න අප ගැඹුරින් වටහා ගත යුතුය.

 

 

 

 

විදේශ ලේකම් ධුරයට පත්වීමෙන් පසු වික්‍රම් මිස්රි සිදුකළ මෙම පළමු ස්වාධීන නිල සංචාරය, හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවකට වඩා, ඉන්දියාවේ 'අසල්වැසියා පළමුව' (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ නවතම 'මහාසාගර්' (MAHASAGAR) උපායමාර්ගය ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකව ස්ථාපිත කිරීමේ මෙහෙයුමක් විය.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ඉහළම බලධාරීන් සමග ඔහු පැවැත්වූ සාකච්ඡා මගින් හෙළිවන්නේ, ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ඉන්දියානු ආර්ථික, බලශක්ති සහ ආරක්ෂක ව්‍යුහය සමග ව්‍යුහාත්මකවම (Structurally) බද්ධ වෙමින් පවතින බවයි.

 

 

සෞඛ්‍ය රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මෘදු මුහුණුවර

ඩෙංගු මර්දන ව්‍යාපාරයට ලබාදුන් සහාය මෙන්ම, 1990 සුව සැරිය ගිලන්රථ සේවාව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීම, දෙනියාය රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සහ දිවයින පුරා වෛද්‍ය කියෝස්ක් (Medical Kiosks) ස්ථාපනය කිරීම යන සියල්ල ඉන්දියානු මෘදු බලයේ (Soft Power) සාර්ථක ආයෝජනයන්ය.

 

ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට සෘජුවම මැදිහත් වීම හරහා ඉන්දියාව, ශ්‍රී ලාංකික සාමාන්‍ය ජන සමාජය තුළ තම ප්‍රතිරූපය ඉතා සූක්ෂමව ගොඩනගා ගනිමින් සිටී.

 

මෙය හුදෙක් පරිත්‍යාගයක් නොව, චීනයේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති හමුවේ ඉන්දියාව ජනතා හදවත් දිනාගැනීමට භාවිතා කරන ප්‍රබල දේශපාලන මෙවලමක් බව විචාරකයින්ගේ අදහස වී ඇත.

 

 

'සාගර්' සිට 'මහාසාගර්' දක්වා උපායමාර්ගික පරිණාමය

ඉන්දියාවේ කලාපීය ප්‍රතිපත්තිය දැන් මුළුමනින්ම වෙනස් වී ඇත. 2015 දී හඳුන්වා දුන් SAGAR ප්‍රතිපත්තිය සමුද්‍රීය ආරක්ෂාවට පමණක් සීමා වූ අතර, චීනයේ 'මුතු හරය' උපායමාර්ගය හමුවේ එය ප්‍රමාණවත් නොවිණි.

 

ඒ වෙනුවට 2025 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍ය මෝදි හඳුන්වා දුන් 'මහාසාගර්' (MAHASAGAR - Mutual and Holistic Advancement for Security and Growth Across Regions) දර්ශනය මගින් ඉන්දියාව ගෝලීය දකුණේ ප්‍රමුඛයා වීමට උත්සාහ කරයි.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 'මහාසාගර්' දර්ශනය ක්‍රියාත්මක වන ආකාරය වික්‍රම් මිස්රිගේ සංචාරයෙන් මනාව පැහැදිලි විය.

 

ඉන්දියාව තවදුරටත් ආපදාවකදී හදිසි උපකාර සපයන්නෙකුට පමණක් සීමා වී නැත. කෙසේ වුවත් ඔවුන් දැන් උත්සාහ කරන්නේ දිගුකාලීන යටිතල පහසුකම් සහ ආර්ථික ව්‍යුහයන් ඉන්දියානු ආර්ථිකය හා ස්ථිරවම බද්ධ කර ගැනීමටය යන විශ්ලේෂක මතයද එක්තරා සත්‍යයකි.

 

 

'ඩිට්වා' සුළි කුණාටුව සහ ඉන්දියානු රුපියලේ ආධිපත්‍යය

ශ්‍රී ලංකාවට බලපෑ 'ඩිට්වා' සුළි කුණාටුව, ඉන්දියාවට තමන්ගේ මුල්‍ය ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තහවුරු කිරීමට කදිම අවස්ථාවක් උදාකර දුන්නේය.

 

ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක පූර්ණ ප්‍රතිසංස්කරණ සහ පූර්ව ආධාර පැකේජයක් ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කළද, එහි සැබෑ භූ-ආර්ථික අරමුණ සැඟවී ඇත්තේ එම මුදල් ලබාදෙන ආකෘතිය තුළය.

 

විදේශ ලේකම්වරයාගේ සංචාරයේදී අත්සන් තැබුණු ණය රේඛා - (ක්‍රෙඩිට් ලයින්) දෙකෙහිම වටිනාකම ඩොලර් මිලියන 350ක් වුවද, ඒවා ලබාදී ඇත්තේ ඉන්දියානු රුපියල් (INR) මගිනි.

 

ව්‍යාපෘතිය / අංශය

මුල්‍ය වටිනාකම

ආධාරයේ ස්වභාවය

ප්‍රධාන අරමුණ

දුම්රිය යටිතල පහසුකම්

USD 250 මිලියන

INR-සංඛේතිත ණය රේඛාව

දුම්රිය මාර්ග සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය

පශු සම්පත් හා ප්‍රමුඛතා

USD 100 මිලියන

INR-සංඛේතිත ණය රේඛාව

කෘෂිකාර්මික හා හදිසි සම්පත් ලබාගැනීම්

KKS වරාය නවීකරණය

USD 61.5 මිලියන

පූර්ණ අනුග්‍රාහක ග්‍රාන්ට් (Grant)

සමුද්‍රීය සම්බන්ධතාව ඉහළ නැංවීම

උතුරු දුම්රිය තීරුව

USD 5 මිලියන

පූර්ණ අනුග්‍රාහක ග්‍රාන්ට් (Grant)

මාර්ග ප්‍රතිසංස්කරණය සහ ධාවනය ඇරඹීම

 

මෙහි ඇති සූක්ෂම යථාර්ථය නම්, ඩොලර් හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවට මෙය තාවකාලික සහනයක් සේ පෙනුණද, දිගුකාලීනව ද්වීපාර්ශ්වික වෙළඳාමේදී ඉන්දියානු රුපියල භාවිතයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් මෙන් අනුගත කිරීමයි.

මෙය ශ්‍රී ලංකාවේ මුල්‍ය ස්වාධිපත්‍යය ඉන්දියාවට යටත් කිරීමේ ක්‍රියාවලියක ආරම්භය විය හැකිය.

 

 

 

බලශක්ති සහ ඩිජිටල් ඒකාබද්ධතාවයේ යදම්

යටිතල පහසුකම් සහ බලශක්ති අංශයෙන් ගත් කල, ඉන්දියාවේ ඉලක්කය පැහැදිලිය. එනම්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් භෞතිකව සහ විදුලි පද්ධතිමය වශයෙන් ඉන්දීය භූමියට ඈඳා ගැනීමයි.

 

බලශක්තිය

ජාතික විදුලිබල පද්ධති දෙක අන්තර්-සම්බන්ධ කිරීම (Grid Interconnection) සහ ත්‍රිකුණාමලය සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වේගවත් කිරීම. ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ නාමයෙන් එහි තෙල් ටැංකි සංකීර්ණයේ පාලනය ඉන්දියාව සතුකර ගැනීම.

ඩිජිටල් ග්‍රහණය

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (SL-UDI) හරහා ජාතික දත්ත පද්ධතියේ හැඩගැස්ම කෙරෙහි ඉන්දියානු තාක්ෂණික සමාගම්වල බලපෑම තහවුරු වීම.

සමුද්‍රීය ආධිපත්‍යය

ඩොලර් මිලියන 61.5 ක පූර්ණ ආධාරයක් ලෙස කන්කසන්තුරේ (KKS) වරාය නවීකරණය කිරීම. මෙය උතුරේ ජනතාවට පහසුකමක් සේ පෙනුණද, ඉන්දියාවේ දකුණු වෙරළ තීරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය අධීක්ෂණය සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාව තුළ ලැබෙන ප්‍රධාන 'මුරපොළක්' බව නොරහසකි.

 

 

 

දේශපාලන බලපෑම් සහ නොවිසඳෙන ධීවර අර්බුදය

මෙතරම් ආර්ථික, වෛද්‍ය සහ තාක්ෂණික සහන ලබාදෙන අතරතුරම, ඉන්දියාව සිය දේශපාලන කොන්දේසි ලිහිල් කර නැත.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රජයෙන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකා භූමිය භාවිතා නොකරන බවට ලිඛිත සහතික ලබා ගන්නා අතරම, වික්‍රම් මිස්රි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, පළාත් සභා මැතිවරණ කඩිනම් කරන ලෙසත් දැඩි ලෙස බලපෑම් කර තිබේ.

 

අනෙක් අතට, උතුරු මුහුදේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාවේ ද්විත්ව ස්වභාවය මෙහිදී නිරාවරණය වේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සාගර සම්පත් විනාශ කරන ඉන්දීය ධීවරයන් "මානුෂීය කෝණයකින්" නිදහස් කරන ලෙස ඔවුහු බලපෑම් කරති.

 

ඩෙංගු මර්දනයට ආධාර දෙන, 'සුව සැරිය' ගිලන්රථ ලබා දෙන ඉන්දියාවම, උතුරේ ධීවරයාගේ ජීවනෝපාය විනාශ කරන තම ට්‍රෝලර් යානාවලට නිදහස ඉල්ලා සිටීම දෛවයේ සරදමකි.

 

ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ 2026 ශ්‍රී ලංකා සංචාරය හුදෙක් සටහන් පොතේ ලියැවෙන තවත් එක් රාජ්‍යතාන්ත්‍රික හමුවක් නොවේ.

 

එය නිදහස් වෙළඳ ගිවිසුම (FTA) නවීකරණය හරහා වෙළඳපොළ ආක්‍රමණය කිරීමේ සිට, සමාජ ආරක්ෂණ ගිවිසුම් හරහා ශ්‍රමිකයන් බද්ධ කිරීම දක්වාත්, රුපියල් (INR) ණය යෝජනා ක්‍රම හරහා මුල්‍ය පද්ධතිය ග්‍රහණයට ගැනීම දක්වාත් විහිදුණු පුළුල් මෙහෙයුමකි.

 

ඩෙංගු මදුරුවා මර්දනයට බෙහෙත් ඉසීමෙන් සහ 'ඩිට්වා' සුළි කුණාටුවෙන් කඩා වැටුණු නිවාස හැදීමෙන් (වතුකර දෙමළ ප්‍රජාවට නිවාස 10,000 ක ව්‍යාපෘතියේ 4 වන අදියර ද ඇතුළුව) ඉන්දියාව පෙන්වන්නේ සිය මිත්‍රත්වයේ මෘදු මුහුණුවරයි.

 

එහෙත් ඒ මෘදු මුහුණුවර පිටුපස ඇත්තේ, ශ්‍රී ලංකාව ආර්ථිකමය හා භෞතිකව ඉන්දියානු ප්‍රධාන භූමියේම දිගුවක් බවට පත්කර ගැනීමේ 'මහාසාගර්' උපායමාර්ගයේ අදෘශ්‍යමාන යදම් බව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් තේරුම් ගත යුතුව ඇත.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නව රජයට ඉදිරියේදී මුහුණදීමට සිදුවන දැවැන්තම අභියෝගය වන්නේ, මෙම "මිත්‍රත්වයේ යදම්වලින්" ගෙල හිරකර නොගෙන, රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගනිමින් කලාපීය දේශපාලනය හැසිරවීමයි.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි