SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මෑත කාලයේ දැකගත හැකි වූ තවත් දැවැන්ත හා බලාපොරොත්තු නොවූ

පෙරළියකට මුහුණ දී තිබේ. ඒ, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් හදිසි තීරණයක් ගනිමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින් ඉවත් කිරීමත් සමඟය.

 

මෙම අකුණු සැර වැදීමක් වැනි තීරණයත් සමඟ සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයම උඩුයටිකුරු වී ඇති පසුබිමක, කාගේත් අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති එරාන් මහතාගේ භූමිකාව වෙතය. ඇමතිවරයා මෙලෙස "වැඩ පෙන්වද්දී" සභාපතිවරයා මීට දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවධානය යොමුව ඇති ආකාරය පිළිබඳව ක්‍රිකට් ලෝකය දැඩි විමසිල්ලකින් පසුවේ.

 

හදිසියේ පත් වූ නව තේරීම් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මඟින් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

 

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වෙනුවට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධන ගේ සභාපතිත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවක් බ්‍රහස්පතින්දා (21) දින ස්ථාපිත කෙරිණි. නව කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ:

  • අමල් සිල්වා

  • බ්‍රෙන්ඩන් කුරුප්පු

  • වරුණ වරාගොඩ

  • වැනීසා ද සිල්වා

මෙම වෙනස්කම සිදු වූයේ ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට දින කිහිපයකට පෙරය. පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය වන අතර, ඔවුන් ජූනි 3 සිට ජූලි 7 දක්වා එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

 

තනතුර අහිමි වූ ප්‍රමෝද්‍යගෙන් ඇමතිට ලිපියක්

තමන්ව ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමතියට පත්ව ඇති හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ , ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ පිළිබඳ ලිඛිත පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

 

"තේරීම් කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මගේ ගිවිසුම කල්තියා අවලංගු කිරීමට අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය ගත් තීරණය පිළිබඳව මට වාචිකව දැනුම් දී තිබෙනවා. පරිපාලනමය තීරණවලට මම ගරු කරන නමුත්, විනිවිදභාවය සහ නිසි ප්‍රොටෝකෝලය ආරක්ෂා කිරීම වෙනුවෙන් මගේ සේවා කාලය නිම කිරීමේ පරිපාලනමය පදනම හෝ හේතුව ලිඛිතව දැනුම් දෙන ලෙස මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."

- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

 

තවද, නව කමිටුවට කණ්ඩායම් තේරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින්, කොදෙව් සංචාරය සඳහා තම කමිටුව විසින් තෝරාගත් සංචාරක සංචිතයම අනුමත වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

උණුසුම් වන "ස්වාර්ථ ගැටුම්" (Conflict of Interest) අර්බුදය

මෙම හදිසි ඉවත් කිරීමට පසුබිම් වූයේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු පිරිසට එල්ල වූ ස්වාර්ථ ගැටුම් පිළිබඳ චෝදනා බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

 

  • ෂම්මි සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් හිටපු විධායක කමිටුව විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ  දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ (SPCA) අතුරු කමිටු ලේකම්වරයා ලෙස පත් කිරීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.

  • එසේම, හිටපු කමිටු සාමාජිකා රසාංජලී ද අල්විස් ගේ දියණිය ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කිරීම ද ගැටලු සහගත තත්ත්වයක් මතු කළේය.

 

කෙසේ වෙතත්, නව කමිටුව පත් කිරීමත් සමඟම තවත් ස්වාර්ථ ගැටුම් පිළිබඳ චෝදනාවක් කරළියට පැමිණ ඇත. ඒ, නව සාමාජිකා වැනීසා ද සිල්වා  දැනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරකවරියක (Match Referee) ලෙස කටයුතු කරමින් සිටියදී මෙලෙස දේශීය තේරීම් කමිටුවකට පත් කර ගත්තේ කෙසේද යන්නයි.

 

ක්‍රිකට් සභාපති එරාන් කෝ? ICCය විමසිල්ලෙන්!

මෙවැනි දැවැන්ත පරිපාලනමය වෙනස්කම් රැසක් සිදු වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති එරාන් මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කාගේත් විමතියට හේතු වී ඇත. ක්‍රීඩා ඇමතිවරයා ඉදිරියට පැමිණ තීරණ ගනිමින් "වැඩ පෙන්වද්දී", ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ලෙස සභාපතිවරයා මෙම අර්බුදකාරී අවස්ථාවේදී ක්‍රියා කරන්නේ කෙසේද සහ ඔහුගේ ස්ථාවරය කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

 

අනෙක් අතට, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රජය හෝ අමාත්‍යාංශය සෘජුව මැදිහත් වීම් සිදු කරන්නේද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැඩි විමසිල්ලකින් පසුවේ. මීට පෙරද දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ICC තහනමකට පවා මුහුණ දීමට සිදු වූ බැවින්, මෙම නවතම තේරීම් කමිටු පෙරළිය සහ ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ හැසිරීම ඉදිරි දින කිහිපය තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය.

 

 

#sports news by Roslinhami

නවතම ලිපි