SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයා ද වන

ටිරාන් අලස් ට අයත් ‘සිලෝන් නිව්ස්පේපර්ස්’ (මව්බිම සහ සිලෝන් ටුඩේ) ආයතනය තුළ මේ දිනවල ක්‍රියාත්මක වන දැඩි සේවක මර්දනය, හුදෙක් එක් ආයතනයක කම්කරු ආරවුලක් පමණක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ ලාංකේය සමාජය තුළ වර්ධනය වූ "ජනමාධ්‍ය මුදලාලිකරණය වීමේ" (Commercialization of Mass Media) අතිශය නිරුවත් සහ බිහිසුණු ඛේදවාචකයේ මූර්තිමත් වීමකි.

 

 

මාස ගණනාවක් පුරා වැටුප් නොගෙවීම, වසර ගණනාවක සේවක අර්ථසාධක අරමුදල් (EPF) පැහැර හැරීම සහ වෘත්තීය සමිති නියෝජිතයන්ට කම්කරු කාර්යාලය තුළදීම තර්ජනය කිරීම හරහා පෙනී යන්නේ, වර්තමාන මාධ්‍ය කර්මාන්තය කුමන ආකාරයේ ම්ලේච්ඡ ධනවාදී යාන්ත්‍රණයක් මත ගොඩනැඟී ඇත්ද යන්නයි.

 

 

ව්‍යාපාරික පලිහක් සහ ප්‍රාග්ධන යන්ත්‍රයක් ලෙස ජනමාධ්‍යය

අතීතයේදී ජනමාධ්‍යය යනු සමාජ මෙහෙවරක් හෝ සිව්වන ආණ්ඩුව ලෙස හැඳින්වූ යුගය දැන් අවසන් ය. අද වන විට මාධ්‍ය යනු හුදෙක් ලාභ ලබන ව්‍යාපාරයක් පමණක්ම නොවේ; එය වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සෙසු ව්‍යාපාරික ජාලයන් ආරක්ෂා කරන ප්‍රබලතම පලිහයි. ලංකාවේ සෑම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුටම පාහේ අද තමන්ගේම කියා ජනමාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම මූලික අවශ්‍යතාවක් වී ඇත. එහි අරමුණ මහජනතාවට සත්‍යය වාර්තා කිරීම නොව, තමන්ගේ ප්‍රාග්ධන වුවමනාවන්ට අනුව මහජන මතය හැඩගැස්වීමයි. ටිරාන් අලස් වැනි ප්‍රබල දේශපාලන සහ ව්‍යාපාරික චරිතයක් මාධ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේද එම බල දේශපාලනික දෘෂ්ටිවාදය සමාජගත කිරීමේ අරමුණෙනි.

 

 

නමුත් මෙහි ඇති බරපතලම උත්ප්‍රාසය නම්, රටේ නීතිය හා සාමය සුරැකීමේ ඉහළම වගකීම දැරූ "හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ" ආයතනයක් තුළදීම සේවා අවසන් කිරීමේ පනත (Termination of Employment of Workmen Act) සෘජුවම උල්ලංඝනය වීමයි. තම සේවකයන්ගේ දහඩිය මහන්සියෙන් උපයන EPF මුදල් වසර ගණනාවක් කොල්ලකෑම සහ කම්කරු නිලධාරීන් ඉදිරියේම මාධ්‍යවේදීන්ට "ප්‍රශ්නයක් තියෙනවා නම් අස්වෙන්න" යැයි ගණකාධිකාරීවරුන් ලවා තර්ජනය කිරීම, ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ පවතින පන්තිමය ස්වභාවය මනාව හෙළිදරව් කරයි.

 

 

දෘෂ්ටිවාදය සහ ආශාව (Desire)

සමකාලීන දාර්ශනිකයෙකු වන ස්ලාවෝජ් ෂිෂැක්ට (Slavoj Žižek) අනුව, දෘෂ්ටිවාදය (Ideology) යනු අප නොදැනුවත්වම අපව පාලනය කරන දෙයකි. වර්තමාන ජනමාධ්‍යය කරන්නේ සමාජයේ "ආශාව" (Desire) නිෂ්පාදනය කිරීම සහ හැසිරවීමයි. ප්‍රාග්ධන හිමියන් මාධ්‍ය හරහා ජනතාවට දකින්නට, හිතන්නට සහ මිලදී ගන්නට අවශ්‍ය දේ නිර්මාණය කරයි.

 

 

මෙම ආශාව නිෂ්පාදනය කරන ප්‍රධානතම මෙවලම වන්නේ "මාධ්‍යවේදියා" ය. මාධ්‍යවේදියා යනු තමන් සමාජයට සත්‍යය ගෙන යන වීරයෙකු යැයි යන "ව්‍යාජ විඥානයක" (False Consciousness) ජීවත් වන්නෙකි. වෙනත් වෘත්තීන්හි නියැලෙන්නන් තම අයිතීන් වෙනුවෙන් වීදි බසිද්දී, මාධ්‍යවේදීන් තම අයිතීන් වෙනුවෙන් සංවිධානය නොවන්නේ ඔවුන් මෙම 'සිව්වන ආණ්ඩුවේ' ව්‍යාජ ගෞරවය නැමති දෘෂ්ටිවාදයට කොටුවී සිටින බැවිනි.

 

 

නමුත් මව්බිම ආයතනයේ අර්බුදය විසින් එම ව්‍යාජ ආවරණය ඉරා දමා ඇත. පාලනාධිකාරියට මාධ්‍යවේදියා යනු හුදෙක් මාසික වැටුපට වැඩ කරන, ඕනෑම මොහොතක පන්නා දැමිය හැකි කම්කරුවෙකු (Wage laborer) පමණක් බව ඔවුන් ඔප්පු කර අවසන්‍ ය.

 

 

මාධ්‍යවේදියා සෙලබ්‍රිටි කෙනෙකු වීම: සත්‍යය වෙනුවට ජනප්‍රියතාව

අද වන විට මාධ්‍යකරණයේ පැවැත්ම තීරණය වන්නේ එහි "විශ්වසනීයත්වය" (Credibility) හෝ "නිවැරදිබව" (Accuracy) මත නොව, එහි ඇති "ජනප්‍රියතාව" (Popularity) සහ විනෝදාස්වාදය මත ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් මාධ්‍යවේදියා යනු නළුවෙකු, නිළියක, ගායකයෙකු හෝ දේශපාලනඥයෙකු හා සමාන "සෙලබ්‍රිටි" (Celebrity) කෙනෙකු බවට පත්ව ඇත.

 

 

ප්‍රාග්ධන හිමියාට අවශ්‍ය වන්නේ මෙම සෙලබ්‍රිටි මාධ්‍යවේදීන් හරහා රේටිංස් (Ratings) සහ වෙළඳ දැන්වීම් ආකර්ෂණය කර ගැනීමයි. ඔවුන් ජනප්‍රිය වැඩසටහන් කරමින් ආයතනයට ප්‍රාග්ධනය උපයා දෙන යන්ත්‍ර බවට පත්ව ඇත. එහෙත් මේ සෙලබ්‍රිටි තිරයෙන් පිටුපස සිටින සාමාන්‍ය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හෝ පුවත්පත් කතුවරයාට අත්ව ඇති ඉරණම ඛේදනීය ය. කැමරාව ඉදිරියේ කොතෙක් ජනප්‍රිය වුවද, ආයතනයේ මානව සම්පත් (HR) නිලධාරිනියක් ඉදිරියේ ඔවුන්ට කිසිදු බලයක් නැත. මව්බිම ආයතනයේ සේවකයන් බෙදා වෙන් කිරීම, අත්සන් ගත් අයව කැඳවා තර්ජනය කිරීම සහ හිතවතුන්ට පමණක් වැටුප් ගෙවීමට පොරොන්දු වීම යනු එම බෙලහීනත්වය පාලනාධිකාරිය විසින්ම තම වාසියට යොදා ගැනීමේ සම්භාව්‍ය උදාහරණයකි.

 

 

කම්කරුවෙකු ලෙස තමන්ව හඳුනාගැනීම

මව්බිම පුවත්පත මාර්තු 5 වැනිදා හදිසියේ වසා දැමීමත්, ඉන්පසු උද්ගතව ඇති තත්ත්වයත් අපට කියා දෙන්නේ එක් ප්‍රබල පාඩමකි. එනම්, වර්තමාන මාධ්‍යවේදියා සෙලබ්‍රිටි කෙනෙකු ලෙස කොතරම් වැජඹුණත්, ඔවුන් අවසාන විග්‍රහයේදී ධනපතියාගේ කම්කරුවෙකු පමණක් බවයි.

 

රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට, තම ආයතනයේ ලොක්කාගෙන් තමන්ගේම පඩිය සහ EPF මුදල ගැන ප්‍රශ්න කිරීමට නොහැකි වීම අතිශය ඛේදනීය ය. පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ වෘත්තීය සමිති පිහිටුවීමට ඉඩ නොදීම හරහා ව්‍යාපාරිකයන් උත්සාහ කරන්නේ සේවකයාගේ කේවල් කිරීමේ බලය විනාශ කර දැමීමටයි.

 

 

එබැවින්, මෙම ඛේදවාචකයෙන් ගොඩඒමට නම් මාධ්‍යවේදීන් ප්‍රථමයෙන්ම තමන් වටා ඇති "වීරත්වයේ සහ සෙලබ්‍රිටිභාවයේ" ව්‍යාජ දෘෂ්ටිවාදයෙන් මිදිය යුතුය. තමන්ද අන් සියලුම ක්ෂේත්‍රවල සේවය කරන ශ්‍රමිකයන් මෙන්ම සූරාකෑමට ලක්වන 'කම්කරු පන්තියේම' කොටසක් බව වටහාගෙන, පොදු වෘත්තීය සමිති ව්‍යාපාරයක් වටා ගොඩනැඟීම හැර අන් විකල්පයක් ඔවුන්ට නැත.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි