SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාව කම්පනයට පත් කරමින් එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර ගණනාවක් ගත වී ඇතත්,

සමාජය සහ දේශපාලන අධිකාරිය තවමත් සිරවී සිටින්නේ එක් සරල ප්‍රශ්නයක් වටා ය: "සැබෑ මහමොළකරු කවුද?" මෙම ගවේෂණය බොහෝ විට කෙළවර වන්නේ දේශපාලනඥයෙකු, බුද්ධි අංශ නිලධාරියෙකු හෝ එක් අන්තවාදී නායකයෙකු වෙත ඇඟිල්ල දිගු කිරීමෙනි.

 

 

නමුත් ශෙනලි ඩී. වඩුගේ ඇයගේ සමාජ මාධ්‍ය පිටුවෙහි තබා ඇති සිය නවතම විශ්ලේෂණය හරහා මෙම පටු කතිකාවත මුළුමනින්ම කණපිට හරවයි. ඇය ගෙන එන මූලික තර්කය වන්නේ, අප තනි පුද්ගලයන් මහමොළකරුවන් ලෙස හඹා යද්දී, සැබෑ මහමොළකරු වන 'දෘෂ්ටිවාදය' (Ideology) කිසිදු බාධාවකින් තොරව සමාජය තුළ මුල් බැසගනිමින් සිටින බවයි.

(මුල් ලිපියේ සබැඳියhttps://www.shenaliwaduge.com/the-ideology-is-the-mastermind-beyond-a-single-mahamolakaru-lessons-from-easter-sunday-on-how-followers-become-killers/)

 

 

තනි මහමොළකරුවෙකුගේ මායාව සහ දෘෂ්ටිවාදයේ යථාර්ථය

වඩුගේ සිය ලිපියේ පෙන්වා දෙන පරිදි, සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව 2016 සිට 2019 දක්වා බුද්ධි වාර්තා 97ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබුණි. එය හදිසි සිදුවීමක් නොව, වෛරී ප්‍රකාශනවල සිට, නිකායවාදී පහරදීම් (සූෆිවරුන්ට එරෙහි) හරහා, මරාගෙන මැරෙන ත්‍රස්තවාදය දක්වා ක්‍රමානුකූලව වර්ධනය වූ ඛේදවාචකයකි.

 

මෙහිදී ඇය ඉතා තීරණාත්මක සාක්ෂියක් උපුටා දක්වයි. ඒ, ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු කල්ලිය ISIS සංවිධානයට පක්ෂපාතීත්වය දක්වමින් ලබා දුන් ප්‍රතිඥාවයි.

 

"සහරාන් පමණක්ම 'මහමොළකරු' වූවා නම්, ඔවුන් ප්‍රතිඥා දිය යුතුව තිබුණේ ඔහුටය. ඒ වෙනුවට, මෙම ප්‍රතිඥාවෙන් පෙන්නුම් කරන්නේ පුද්ගලයාට වඩා ඉහළ යමකට දක්වන පක්ෂපාතීත්වයකි - එනම් සැබෑ මහමොළකරු වන්නේ දෘෂ්ටිවාදයයි."

 

සහරාන් යනු එම දෘෂ්ටිවාදාත්මක යන්ත්‍රණයේ එක් මෙවලමක් (Agent) පමණි. ඔහු මිය ගියද, එම දෘෂ්ටිවාදය ජීවමාන නම්, හෙට දිනයේ තවත් සහරාන්ලා බිහිවීම වැළැක්විය නොහැක. වඩුගේ පවසන පරිදි, "පුද්ගලයන්ව මරා දැමීම සඳහා මනස සේදිය හැකි නම්, ඔවුන්ව ඒ සඳහා යොමු කරන මුලාශ්‍රය පළමුව නතර කළ යුතුය."

 

 

පවතින ක්‍රමය (System) පෙරළීම: සැබෑ සටන ඇත්තේ කොතැනද?

 

මෙම තත්ත්වය දේශපාලනික සහ මනෝවිශ්ලේෂණාත්මක න්‍යායන් ඔස්සේ වඩාත් ගැඹුරින් කියවා බැලිය යුතුය. පවතින සමාජ-දේශපාලන ක්‍රමය (System) පෙරළා දැමිය යුතු යැයි අප සිතන්නේ නම්, අපගේ සටන හුදෙක් තනි පුද්ගලයන්ට (පාලකයන්ට හෝ ත්‍රස්තවාදීන්ට) හෝ ආයතනවලට එරෙහිව පමණක් යොමු කිරීම ප්‍රමාණවත් නොවේ.

 

නූතන විවේචනාත්මක චින්තනයට අනුව, දෘෂ්ටිවාදය යනු මිනිසුන්ගේ ඇස් වසන සරල බොරුවක් හෝ හුදු 'ව්‍යාජ විඥානයක්' (False consciousness) නොවේ. එය අපගේ යථාර්ථයම ව්‍යුහගත කරන, අපගේ එදිනෙදා හැසිරීම් සහ විශ්වාසයන් මෙහෙයවන අදිසි බලවේගයයි. පවතින ක්‍රමය පවත්වාගෙන යන්නේ මෙම දෘෂ්ටිවාදයන් විසිනි.

 

 

එබැවින් අපගේ සැබෑ සටන විය යුත්තේ, "දෘෂ්ටිවාදයට එරෙහිව දෘෂ්ටිවාදය විචාරය කිරීම" තුළය.

 

 

පාස්කු ප්‍රහාරයේ සන්දර්භය තුළ, සහරාන්ගේ අනුගාමිකයින් තම ජීවිතය පවා විනාශ කරගැනීමට පෙළඹවූයේ මෙම බලගතු 'දෘෂ්ටිවාදාත්මක ෆැන්ටසිය' (Ideological fantasy) විසිනි. එය ඔවුන්ට යම් කිසි පරම ආශ්වාදයක් සහ විකෘති වූ සාධාරණීකරණයක් ලබා දුන්නේය. අප කළ යුත්තේ එම ෆැන්ටසිය හරහා ගමන් කර (Traversing the fantasy), එහි ඇති හිස් බව සහ විනාශකාරී බව සමාජයට නිරාවරණය කිරීමයි.

 

 

අනෙක් අතට, බුද්ධි අංශ වාර්තා 97ක් තිබියදීත් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වූයේ ඇයි? එය හුදු නොසැලකිල්ලක් පමණක්ම නොවේ. වඩුගේ ඉඟි කරන පරිදි, "ගැටලුවලට අනිවාර්යයෙන්ම පිළිතුරු නොදෙන, නමුත් සාධාරණ ගැටලු මතුකරන අයව නිශ්ශබ්ද කරන නව ත්‍රස්ත-විරෝධී නීති හඳුන්වා දීමේ විශාල ක්‍රියාකාරී සැලැස්මක කොටසක්ද?" යන්න අප විමසිය යුතුය. පවතින දේශපාලන ක්‍රමය ද තමන්ගේ පැවැත්ම උදෙසා (බලය රඳවා ගැනීම, භූ දේශපාලනික අවශ්‍යතා) වෙනත් දෘෂ්ටිවාදාත්මක අරමුණු මත ක්‍රියාත්මක වීම නිසා මෙම ඛේදවාචකයට ඉඩ හැරියා විය හැක.

 

 

බලයේ පැවැත්ම සහ දෘෂ්ටිවාදාත්මක ග්‍රහණය

 

මෙම දෘෂ්ටිවාදයේ මායාව (Ideological illusion) බිඳ දමන්නට සේනානායකලාට, බණ්ඩාරනායකලාට, ජයවර්ධනලාට හෝ වික්‍රමසිංහලාට කිසිසේත්ම අවශ්‍ය වූයේ නැත. මන්දයත්, ඔවුන්ගේ රාජ්‍ය බලයේ පැවැත්ම රඳා පැවතුණේම එම දෘෂ්ටිවාදාත්මක රාමුව මත වන බැවිනි. අනෙක් අතට, උතුරේදී ප්‍රභාකරන් ද, දකුණේ දී විජේවීර ද පවතින රාජ්‍ය දෘෂ්ටිවාදයට එරෙහිව සටන් කළ ද, සැබෑ අර්ථයෙන් ඔවුන් කළේ දෘෂ්ටිවාදයේ මායාව බිඳ දැමීම නොව, ඊටත් වඩා අන්තගාමී වූ තමන්ගේම වූ වෙනත් මාරාන්තික දෘෂ්ටිවාදාත්මක ෆැන්ටසියක් (Ideological fantasy) තුළ සමාජය සිර කිරීමය.

 

මෙය කිසිසේත්ම වත්මන් පාලනය හෙවත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මතවාදයට ද අවශ්‍ය නැතිවා මෙන්ම, දෘෂ්ටිවාදය නැමැති මායාව ගැන හෝ තමන්ගේ සැබෑ 'සතුරා' ගැන කිසිදු ගැඹුරු අවබෝධයක ඔවුන් සිටින බවක් ද පෙනෙන්නට නැත. ඔවුන්ගේ වර්තමාන අභිප්‍රාය වී ඇත්තේ ද පවතින ක්‍රමය තුළ තම බලය රඳවා තබා ගැනීම උදෙසා වඩ වඩාත් පැරණි දෘෂ්ටිවාදයන් තුළටම ගිලී යාමය. මෙහි ඇති ඛේදවාචකය නම්, රාජ්‍යයේ මෙම දෘෂ්ටිවාදාත්මක ගිලී යාමට ආගමික සංස්ථාව ද, විශේෂයෙන්ම කාදිනල් උතුමන් ඇතුළු පාර්ශ්වයන් ද, නොදැනුවත්වම හෝ මනා පිටිවහලක් සැපයීමයි. රාජ්‍යය විසින් නිර්මාණය කරන දෘෂ්ටිවාදාත්මක උපකරණවලට ආගමික ආයතන නතුවීම හරහා සැබෑ ප්‍රශ්නය යටපත් වී බලය සුරක්ෂිත වේ.

 

 මූලෝත්පාටනය කළ යුත්තේ පුද්ගලයන් ද? දෘෂ්ටිවාදයන් ද?

පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' සෙවීමේ ජනප්‍රිය කතිකාවත විසින් සැබෑ අනතුර අපෙන් වසං කර ඇත. වඩුගේ පෙන්වා දෙන පරිදි, තනි පුද්ගලයෙකු පසුපස හඹා යාමෙන් සිදුවන්නේ "මිනීමරුවන් බිහිකරන යටින් පවතින අන්තවාදී පරිසර පද්ධතිය හඳුනාගෙන එය කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයන්ට බාධා පමුණුවීමයි."

 

 

වතින ක්‍රමය වෙනස් කිරීම යනු කැබිනට් මණ්ඩලය මාරු කිරීම හෝ එක් අන්තවාදී කල්ලියක් තහනම් කිරීම නොවේ. එය ඊට වඩා රැඩිකල් ක්‍රියාවලියකි. අප සටන් කළ යුත්තේ සමාජය භේද කරන, අන්තවාදය පෝෂණය කරන සහ පාලකයන්ට තම වගකීම් පැහැර හැරීමට ඉඩ සලසන ප්‍රමුඛ දෘෂ්ටිවාදයන්ට එරෙහිවය. එම දෘෂ්ටිවාදාත්මක ආවරණය ඉරා දමා විචාරාත්මක කියවීමක් සමාජගත කරන තුරු, පවතින 'ක්‍රමය' හෝ එහි අතුරුඵල වන 'ත්‍රස්තවාදය' පරාජය කළ නොහැකි වනු ඇත. සැබෑ විප්ලවය ආරම්භ වන්නේ දෘෂ්ටිවාදයේ මායාව බිඳ දැමූ තැනිනි.

 

 

#සිරිමලී ලියනගම 

 

නවතම ලිපි