SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලෝක ප්‍රකට ‘The Economist’ සඟරාව විසින් 2026 මාර්තු 19 දින ප්‍රකාශයට පත් කරන ලද

"Which country is the biggest loser from the energy shock?" (බලශක්ති කම්පනයෙන් වැඩිම පාඩුව ලබන රට කුමක්ද?) නැමති ආර්ථික විශ්ලේෂණාත්මක වාර්තාව, ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන වෙළෙඳපොළවල් (Emerging markets) වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

 

 

තුන්වන ගල්ෆ් යුද්ධය හෙවත් ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම කඩාකප්පල් වීමත් සමඟ, 2022 වසරේ රුසියානු-යුක්‍රේන අර්බුදය සමයේ මෙන් නැවත වතාවක් දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි සාර්ව ආර්ථික අර්බුදයකට (Macroeconomic crisis) මුහුණ දෙමින් සිටින බව මෙම වාර්තාව පෙන්වා දෙයි. මෙම ගෝලීය බලශක්ති කම්පනය හමුවේ ලෝකයේ වැඩිම අවදානමකට ලක්ව ඇති රටවල් දර්ශකයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි.

 

the economist report. 2 jpg

 

අර්බුදයේ ස්වභාවය සහ ඉතිහාසය පුනරාවර්තනය වීම

 

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) බොහෝ දුරට වැසී යාමේ තර්ජනය හමුවේ ගෝලීය ඛනිජ තෙල් සැපයුම දැඩි අර්බුදයකට ලක්ව ඇත. The Economist වාර්තාව පෙන්වා දෙන පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මෙම තත්ත්වය හඳුන්වා ඇත්තේ "නොසිතූ විරූ" (The unthinkable) අර්බුදයක් ලෙසිනි.

 

 

එහෙත් මෙවැනි තත්ත්වයක් ලෝකයට නුපුරුදු නොවේ. 2022 වසරේදීද මෙවැනිම බලශක්ති කම්පනයක් හමුවේ යුරෝපීය රටවල් සහනාධාර මගින් තම ජනතාව ආරක්ෂා කර ගනිද්දී, එහි සම්පූර්ණ බර දැරීමට සිදුවූයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි විදේශ විනිමය සංචිත හිඟ රටවලටය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022 දී ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකිව බංකොලොත් (Default) වීමයි. මේ වනවිට ඉන්ධන සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ආයතන බදාදා දිනවල වසා දැමීමට සිදුවීමත්, නේපාලයේ ගෑස් පෝලිම් නිර්මාණය වීමත්, පාකිස්තානයේ පාසල් වසා දැමීමත් හරහා එම අඳුරු අතීතය යළි මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

 

 

ශ්‍රී ලංකාවේ අවදානම: දත්ත කියවන සත්‍යය

 

The Economist සඟරාව විසින් රටවල අවදානම මැන බැලීම සඳහා ප්‍රධාන මානයන් දෙකක් භාවිතා කර ඇත:

  1. අනතුරට නිරාවරණය වීමේ ප්‍රතිශතය (Exposure): ආනයනික බලශක්තිය මත යැපීම සහ ගල්ෆ් කලාපයෙන් ලැබෙන ප්‍රේෂණ.
  2. දරා ගැනීමේ හැකියාව හෙවත් ආර්ථික බෆරයන් (Resilience/Buffers): මූල්‍ය සංචිත සහ ණය බර.

 

වාර්තාවේ දක්වා ඇති "Fuel gauge" දත්ත සටහනට අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය පහත පරිදි වේ:

 

the economist report. 3 jpg

 

  • දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ශුද්ධ තෙල් සහ ගෑස් ආනයන ප්‍රතිශතය: 3.23% (මෙය මධ්‍යම මට්ටමේ අගයකි).
  • මැද පෙරදිගින් සිදුකරන ඛනිජ තෙල් ආනයන ප්‍රතිශතය: 43.5% (සැපයුම් ජාලයේ දැඩි පරායත්ත බවක් පෙන්වයි).
  • විදේශ විනිමය සංචිත (ආනයන මාස ගණනින්): මාස 2.9 ක් පමණි (බංග්ලාදේශයට සමානව ඉතා දුර්වල මට්ටමක පවතී).
  • විදේශ රාජ්‍ය ණය (GDP ප්‍රතිශතයක් ලෙස): 41.81% (මෙය දර්ශකයේ ජෝර්දානයට පමණක් දෙවැනි වන අතිශය ඉහළ ණය බරකි).

 

 

ජෝර්දානය සහ පාකිස්තානය පළමු සහ දෙවන ස්ථානවල පසුවන අතර, ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ බලශක්ති කම්පනය දරාගැනීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ආවරණයක් (Thin buffers) නොමැති වීමයි. ශ්‍රී ලංකාව 2022 අර්බුදයෙන් යන්තම් හිස ඔසවා ගත්තා පමණක් බැවින්, මෙම නව කම්පනය හමුවේ යළිත් වරක් කඩාවැටීමේ දැඩි අවදානමකට ලක්ව සිටී.

 

 

ඉන්දියාවේ දේශීය ගල් අඟුරු සහ බලශක්ති ස්වාධීනත්වය

 

මෙම අර්බුදය හමුවේ ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ඉන්දියාව දක්වන ඔරොත්තු දීමේ හැකියාව විශේෂයෙන් අධ්‍යයනය කළ යුත්තකි. ලිපියේ සඳහන් වන ආකාරයට ආසියාවේ බොහෝ රටවල් විදුලි උත්පාදනය සඳහා ආනයනික ස්වාභාවික ගෑස් (imported gas) මත රඳා පවතිද්දී, ඉන්දියාව වැඩි වශයෙන් භාවිතා කරන්නේ තම රටේම නිපදවන "දේශීය ගල් අඟුරු" (local coal) සම්පතයි.

 

මෙහිදී ඉන්දියාවට ලැබෙන මූලෝපායික වාසිය වන්නේ, ගෝලීය වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ ගියද, ඔවුන්ගේ ප්‍රධාන විදුලි උත්පාදන ප්‍රභවය දේශීය එකක් බැවින් එම මිල කම්පනය ඉන්දියාවේ දේශීය ආර්ථිකයට ඍජුවම කාන්දු වීම (feed through) වැළකී යාමයි. ඊට අමතරව ඔවුන් සතුව මාස 7කට ප්‍රමාණවත් විදේශ සංචිතද පවතී.

 

 

ශ්‍රී ලංකාවට ඇති පාඩම:

ශ්‍රී ලංකාවද විදුලිය නිපදවීම සඳහා ගල් අඟුරු භාවිතා කළද, අප භාවිතා කරන ගල් අඟුරු මෙන්ම ඛනිජ තෙල්ද සියයට සියයක්ම ඩොලර් ගෙවා විදේශ රටවලින් ආනයනය කළ යුතුය. එබැවින් ඉන්දියාවට ඇති එම ආරක්ෂාව අපට නොලැබේ. අපගේ ආර්ථිකය ගෝලීය මිල උච්චාවචනයන් ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වී ඇත.

 

 

වක්‍ර බලපෑම්: ආහාර සුරක්ෂිතතාව සහ විදේශ ප්‍රේෂණ

 

අර්බුදය හුදෙක් ඉන්ධන පෝලිම්වලට පමණක් සීමා නොවේ. ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපයේ රැකියා වෙළෙඳපොළ කඩාකප්පල් වුවහොත්, එම රටවල සේවය කරන ශ්‍රමිකයන් හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ (Gulf remittances) අඩාල විය හැකිය. දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.9% ක් සමන්විත වන්නේ මෙම ප්‍රේෂණ වලිනි.

 

අනෙක් අතට, ස්වභාවික ගෑස් ආශ්‍රිතව නිපදවන නයිට්‍රජන් පොහොර මිල අධික වීම හරහා දුප්පත් රටවල ආහාර නිෂ්පාදන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ගැටුම ඉක්මනින් අවසන් නොවුණහොත් 2026 වසරේදී උග්‍ර කුසගින්නට මුහුණ දෙන ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවා තිබේ.

 

 

තීරණාත්මක නිගමනය

 

The Economist දත්ත අපට ලබා දෙන පණිවිඩය ඉතා පැහැදිලිය. ආනයනික ෆොසිල ඉන්ධන මත පදනම් වූ බලශක්ති ප්‍රතිපත්තියක් මත තවදුරටත් යැපීම ශ්‍රී ලංකාව වැනි රටකට සියදිවි නසාගැනීමක් හා සමානය.

 

 

ඉන්දියාව දේශීය ගල් අඟුරු මගින් ලබන ආකාරයේ බලශක්ති ස්වාධීනත්වයක් ශ්‍රී ලංකාවට ලබාගත හැක්කේ, සූර්ය හා සුළං බලය වැනි අපගේ භූමියටම අනන්‍ය වූ දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත කඩිනමින් යොමුවීමෙන් පමණි. ඊට සමගාමීව නවීන බැටරි බලශක්ති ගබඩා කිරීමේ පද්ධති (BESS) වැනි තිරසාර තාක්ෂණයන් ආයෝජනය කිරීම හුදෙක් පරිසර හිතකාමී පියවරක් පමණක් නොව, එය අනාගත භූ දේශපාලනික කම්පනවලින් රට බේරාගැනීමේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතම කොන්දේසියක් බවට පත්ව ඇත. බංකොලොත්භාවයෙන් යන්තම් ගොඩඑමින් සිටින ශ්‍රී ලංකාවට, තවත් බලශක්ති කම්පනයක් දරාගැනීමට තරම් ශක්තියක් ඉතිරිව නැත.

 

 

 

නවතම ලිපි