-සමාරා පරණවිතාන
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) දුරගමන් සහ අධිවේගී මාර්ග සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් නව සුඛෝපභෝගී
ඩීසල් බස් රථ 200ක් මිලදී ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා ඇත. බැලූ බැල්මට මෙය මගී ජනතාවට සහනයක් ගෙන දෙන පුවතක් ලෙස පෙනුනද, දශක ගණනාවක් තිස්සේ මෙරට පොදු ප්‍රවාහනය මුහුණ දෙන සැබෑ අර්බුදය දෙස ගැඹුරින් බැලීමේදී පැන නගින ප්‍රධාන ගැටලුවක් තිබේ.
එනම්, අපේ ප්‍රවාහන අර්බුදයට හේතුව බස් රථ හිඟකමද? නැතහොත් ප්‍රායෝගික කළමනාකරණයක් සහ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමද?
සිදුරක් ඇති බාල්දියකට වතුර පිරවීම

ලෝකයම හරිත ප්‍රවාහනය සහ විද්‍යුත් වාහන (EV) කරා වේගයෙන් ගමන් කරමින් සිටින 2026 වැනි වර්ෂයකදී, වසර පහක ණය පදනමක් යටතේ යළිත් ඩීසල් බස් රථ 200ක් මිලදී ගැනීම කෙතරම් දුරදර්ශීද යන්න පළමුව විමසා බැලිය යුතුය. දැනටමත් ලංගම සතුව ප්‍රමාණවත් බස් රථ සංචිතයක් ඇති අතර, ගැටලුව වී ඇත්තේ එම සම්පත් නිවැරදිව කළමනාකරණය නොවීම, නඩත්තු දුර්වලතා සහ ධාවන කාලසටහන් අවිධිමත් වීමයි. පවතින දූෂිත හා අකාර්යක්ෂම පද්ධතිය නිවැරදි නොකර, රජයේ අරමුදල් හෝ ණය මත කොතරම් භෞතික සම්පත් ගෙන ආවත් එය සිදුරක් ඇති බාල්දියකට වතුර පුරවන්නාක් වැනි නිෂ්ඵල ක්‍රියාවකි.
'සහසර' ව්‍යාපෘතියෙන් උගත හැකි පාඩම
පොදු ප්‍රවාහනය ගොඩනැගීම සඳහා අපට අතීතයෙන් ගත හැකි කදිම ආදර්ශයක් තිබේ. 2015-2019 කාලයේදී මහාචාර්ය අමල් කුමාරගේ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ අනෙකුත් ක්ෂේතුයන්හි විද්වතුන් පිරිසකගේ මූලිකත්වයෙන් හඳුන්වා දුන් "සහසර" (Sahasara) බස් රථ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන් ප්‍රධාන වේ.
එමඟින් යෝජනා වූයේ හුදෙක් බස් රථ මිලදී ගැනීමක් නොව, සමස්ත පද්ධතියම ඩිජිටල්කරණය කිරීමකි. මගීන් මත පදනම්ව නොව බස් රථය ධාවනය කරන කිලෝමීටර ප්‍රමාණය මත ගෙවීම් කිරීම (මෙමඟින් බස් රථ අතර පාරේ ඇති තරඟය නැති කිරීම), GPS තාක්ෂණය මඟින් බස් රථ නිරීක්ෂණය කිරීම, විද්‍යුත් ප්‍රවේශපත්‍ර (e-ticketing) නිකුත් කිරීම සහ පෞද්ගලික හා ලංගම බස් රථ එකම ජාලයකට ගෙන ඒම එහි මූලික අරමුණු විය. එය මහනුවර වැනි ප්‍රදේශවල සාර්ථක නියමුවාපෘතියක් ලෙසද ක්‍රියාත්මක විය.
ආණ්ඩු මාරුව සහ කුණු කූඩයට යන මහජන මුදල්
නමුත් ශ්‍රී ලංකාවේ මූලිකම සහ ඛේදනීයම අර්බුදය නිර්මාණය වන්නේ මෙතැනදීය. විද්වතුන්ගේ මැදිහත්වීමෙන්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, මහජන මුදල් විශාල වශයෙන් වැය කර සකස් කරන මෙවැනි වටිනා ව්‍යාපෘති, ආණ්ඩු මාරු වූ සැනින් දේශපාලන පළිගැනීම් හෝ නොසැලකිල්ල මත කුණු කූඩයට විසි කර දැමේ. ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් රටට ලැබෙන්නේ නැත.
රටක මූලික අවශ්‍යතා වන ප්‍රවාහනය, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා ආණ්ඩු වෙනස් වුවද වෙනස් නොවන "ජාතික ප්‍රතිපත්තියක්" නොමැතිකම මෙයට ප්‍රධානම හේතුවයි. අවාසනාවකට මෙන්, වත්මන් ආණ්ඩුවද ගමන් කරමින් සිටින්නේ එම පැරණි සාම්ප්‍රදායික මාවතේමය. අතීතයේ ක්‍රියාත්මක වූ, රටට හිතකර මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් දෙස ආපසු හැරී බැලීමක් හෝ ඒවායේ ඇති හොඳ දේ උකහා ගෙන ඉදිරියට යාමක් වත්මන් පාලකයින්ගෙන්ද මෙතෙක් දක්නට නොලැබීම බලවත් කණගාටුවට කරුණකි.
වත්මන් ප්‍රවාහන අමාත්‍යවරයාට කළ හැකි වෙනස
මෙම විනාශකාරී චක්‍රය බිඳ දැමීමේ ඓතිහාසික වගකීම සහ අවස්ථාව වත්මන් ප්‍රවාහන අමාත්‍යවරයා සතුව පවතී. හුදෙක් ටෙන්ඩර් කැඳවා බස් රථ ගෙන්වීමේ සාම්ප්‍රදායික "කොන්ත්‍රාත් දේශපාලනයෙන්" ඔබ්බට ගොස්, ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට ඔහුට හැකියාව ඇත.ඉහත සහසර ව්‍යාපෘතිය සම්බන්ධව ප්‍රායෝගිකවම අත්හදා බැලීම් සිදුකළ පුද්ගලයෙකු වූ එරික් වීරවර්ධන දැන් සිටින්නේද ජාතික ජන බලවේගයේ මහනුවර සංවිධායකවරයෙක් ලෙස විම තුළ බිමල් රත්නායක ඇමතිවරයාට මේ පිළිබඳ ඔහුගෙන් ගත හැකි තොරතුරු බොහෝය.
'සහසර' වැනි ව්‍යාපෘතිවල අඩංගු වූ ඩිජිටල් කළමනාකරණ සංකල්ප යළිත් කරළියට ගෙනැවිත්, ලංගම සහ පෞද්ගලික බස් රථ සේවාවන් ලෝකයේ අනෙකුත් දියුණු රටවල මෙන් එකම විද්‍යාත්මක කළමනාකරණ ජාලයක් යටතට ගෙන ඒමට වත්මන් අමාත්‍යවරයා නිර්භීත පියවර ගත යුතුය. රටක පොදු ප්‍රවාහනය යනු තවත් බස් රථ ගොඩක් නොව, මිනිසුන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කරන ගෞරවනීය සේවාවක් බව පාලකයින් තේරුම් ගත යුත්තේ අදයි. එසේ නොමැති වුවහොත්, මෙම නව සුඛෝපභෝගී බස් 200 ද තවත් වසර කිහිපයකින් ඩිපෝ ගාල් වල දිරාපත් වන යකඩ ගොඩවල් බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

