SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වත්මන් රජය භෞතික සම්පත් කොල්ලකෑමටත් වඩා බරපතළ ලෙස රටේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව,

සංස්කෘතිය සහ පොදු ජන අයිතීන් විනාශ කරමින් සිටින බවත්, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ගේ පරිගණක මුරපද (Passwords) ඉල්ලා සිටීම පිටුපස ඇත්තේ රටේ සමස්ත බුද්ධි පද්ධතියම ලෝකය හමුවේ පාවාදීමේ සූදානමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

 

 

මහනුවරදී (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද කීය:

 

 

"රේගු නීතියට උඩින් යන්න ජනාධිපතිටවත් බෑ"

"අවුරුදු 76ක් තිස්සේ මේ රටට වැඩ කරපු නායකයන්ව පහළටම දාලා, 'අපි තමයි වැඩ කරන්නේ' කියලා ආපු අය අද කරන්නේ මොකක්ද? හොරකම, වංචාව, දූෂණය නැති කරන්න ආපු අය මුලින්ම පටන් ගත්තේ කන්ටේනර් 323ක් හොරෙන් පන්නලා. ඒ කන්ටේනර්වල තිබුණේ මොනවාද, වටිනාකම කීයද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා, ලංකාවේ රේගු නීතියට ඉහළින් යන්න ජනාධිපතිටවත්, මුදල් ඇමතිටවත්, රේගු අධ්‍යක්ෂ ජනරාල්ටවත් බැහැ. හැබැයි නීති කඩලා කන්ටේනර් පිටින් යවන්න කටයුතු කරපු අයට අනාගතයේදී උත්තර දෙන්න සිද්ධ වෙනවාමයි."

 

 

ගල්අඟුරු සහ තෙල් වංචා මඟින් කෝටි ප්‍රකෝටි ගණනක පාඩුවක්

"පසුගිය කාලයේ ගල්අඟුරු වංචාවෙන් සිද්ධ වුණු කෝටි ප්‍රකෝටි ගණනක පාඩුව කාගේ සාක්කුවලටද ගියේ? තෙල් නැව්වලින් කරපු දැවැන්ත වංචාව ගැන මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා තවදුරටත් කරුණු කියයි. මාස 3ක 6ක 'ටර්ම් ටෙන්ඩර්' (Term Tenders) පැත්තකට දාලා, තමන්ට ඕනෑ විදිහට 'ස්පොට් ටෙන්ඩර්' (Spot Tenders) ගහලා කැමති කැමති ගණන්වලට තෙල් ගත්තා. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 120ට තියෙද්දී, මුන් නැව් පිටින් ගත්තේ ඩොලර් 286ට සහ 300ට. අද ලෝක වෙළෙඳපොළේ මිල ඩොලර් 83ට බැහැලා තියෙද්දීත් ඒ සහනය ජනතාවට දෙන්නේ නැහැ. මේ ජූනි මාසය ඉවර වෙලා IMF ගිවිසුම ක්‍රියාත්මක වෙද්දී, තෙල් මිලයි විදුලි බිලයි ආයෙත් වැඩි කරන්න ආණ්ඩුව ලෑස්ති පිට ඉන්නවා."

 

 

දත්ත පද්ධතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉන්දියාවට පාවා දීම

"මේ ආණ්ඩුව භෞතිකව විතරක් නෙවෙයි, අපේ 'Core Values' (මූලික වටිනාකම්) වලටත් පහර ගහනවා. බලයට ආපු ගමන් ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගැහුවා. ඒ ගිවිසුම් මොනවාද කියලා පාර්ලිමේන්තුවවත්, රටේ ජනතාවවත් දන්නේ නැහැ. මේ රටේ සමස්ත දත්ත පද්ධතියම (Data System) ඉන්දියාවට දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එදා ඕවට කෑගහපු අනුර කුමාර දිසානායකලාම තමයි අද ඒවා ලස්සනට කරන්නේ. 'සෞඛ්‍ය සංජීවනී' කියලා වැඩසටහනක් යටතේ ඉන්දියාවේ තියෙන බාල බෙහෙත් ලංකාවට ගේන්න අත්සන් කරලා තියෙනවා. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ."

 

 

ඉතිහාසය සහ සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්

"10 වැනි පන්තියේ අනිවාර්ය විෂයයක් වෙලා තිබුණු 'ඉතිහාසය' අද නතර කරලා තියෙනවා. ඉතිහාසය ඉගෙන නොගත්ත හිස් මිනිස්සු පිරිසක් බිහි කරන්නයි මුන්ට ඕනෑ. ප්‍රංශයේ පුරවැසිභාවය ගන්නත් ප්‍රංශ ඉතිහාසය ඉගෙනගෙන විභාග ලියන්න ඕනේ. හැබැයි අපේ රටේ අවුරුදු 2600ක ඉතිහාසය, සංස්කෘතිය, සිරිත් විරිත් සහ සදාචාරය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මුන් කටයුතු කරනවා. උදේ ඉඳන් රෑ වෙනකන් බෞද්ධ ශාසනයට, ස්වාමීන් වහන්සේලාට, විහාරස්ථානවලට ෆේස්බුක් හරහා පහර දෙනවා. ඒ වගේම අන්‍ය ආගමික පල්ලිවලටත් අපහාස කරමින් ආගමික සහජීවනය නැති කරන්න කටයුතු කරනවා."

 

 

සුරේෂ් සලේගේ මුරපද (Passwords) ඉල්ලන්නේ ඇයි?

"හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම්, නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකට අපේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දැන් කියනවා සලේගේ කම්පියුටරේ මුරපද (Passwords) දෙන්න කියලා. ඒ පරිගණකයේ තියෙන්නේ ඔහුගේ පුද්ගලික දේවල් නෙවෙයි; 2009 යුද්ධය අවසන් වනතුරු සිද්ධ වුණු රහසිගත බුද්ධි තොරතුරු. ප්‍රභාකරන්ව මරා දමන්න බුද්ධි තොරතුරු ආවේ, දිගුදුර විහිදුම් බලකායන් මෙහෙයවූයේ ඔය බුද්ධි අංශ පරිගණක පද්ධතිය හරහායි. ඒ මුරපද ඉල්ලන්නේ මේ රටේ සමස්ත බුද්ධි තොරතුරු සහ ඉදිරියට වෙන්න තියෙන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු පද්ධතියම ලෝකයටම විවෘත කරලා පාවා දෙන්නයි."

 

 

'118' චක්‍රලේඛය හරහා ගමට ආපු ජේවීපී පොලිසිය

"අද පොලිසියට අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා. ඒක 'ජේවීපී චක්‍රලේඛය 118'. ඒකෙන් කියන්නේ ගමේ කවුරුහරි අලුතින් වාහනයක් ගත්තොත්, ඉඩමක් ගත්තොත්, බිස්නස් එකක් පටන් ගත්තොත් 118ට කෝල් එකක් දෙන්න කියලා. ගමේ ඉන්න කුහක ජේවීපීකාරයා කෝල් එක දුන්නාම පොලිසියෙන් ඇවිත් අහනවා 'උඹ කොහොමද වාහනේ ගත්තේ, සල්ලි කොහෙන්ද' කියලා. අද පොලිසියේ HQO/OIC මහත්වරුන්ට හොරකම්, මිනීමැරුම් හොයන්න වෙලාවක් නැහැ; මිනිස්සු දියුණු වෙන එක හොයන්න වෙලා තියෙන්නේ. මේකෙන් මිනිහෙකුට නිදහසේ දියුණු වෙන්න බැරි තත්ත්වයක් උදා කරලා තියෙනවා."

 

 

සැප්තැම්බර් 21 රටම එකම තැනකට!

"අද සෞඛ්‍ය සේවයේ, පොලිස් සේවයේ දහස් ගණන් නිලධාරීන් රට දාලා යනවා. රෝහල් වැහෙනවා. සුනාමියෙන් කැඩුණු හැමදේම දවස් 56න් හදපු රටේ, අද මාස හයක් ගිහිල්ලත් මිනිස්සු කූඩාරම්වල. ප්‍රවාහන නියෝජ්‍ය ඇමති නුවර ඉඳන් කතා කරනවා, හැබැයි නුවරට දුවපු 'උඩරට මැණිකේ' ඇතුළු හැම කෝච්චියක්ම අද නතර කරලා.

 

අවිස්සාවේල්ලෙන් පටන් ගත්තු මේ දැවැන්ත ජනතා පවුර අද මහනුවරට ආවා. ලබන මාසේ කුරුණෑගලට යනවා. මේ ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන එළඹෙන සැප්තැම්බර් 21 වැනිදාට මුළු රටේම දැවැන්ත ජනකාය කොළඹට එකතු කරලා, මේ ආණ්ඩුව ගෙදර යවන දැවැන්තම ආණ්ඩු විරෝධී බලවේගය අපි ගොඩනඟනවා" යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

නවතම ලිපි