SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඊලන් මස්ක්ගේ අනාගතවාදී "රොබෝ සමාජය" සහ ජනතා විමුක්ති පෙරමුණේ

සම්භාව්‍ය "කොමියුනිස්ට් පරිකල්පනය" අතර පවතින දෘෂ්ටිවාදී සමානකම් මනෝවිශ්ලේෂණාත්මක ඇසකින් විච්ඡේදනය කරන  ලිපියකි මෙය.

 

මිනිස් ශ්‍රමය රොබෝවරුන් විසින් ප්‍රතිස්ථාපනය කරන, මිනිසා හුදෙක් 'විනෝදය' සහ 'නිදහස' භුක්ති විඳින ලෝකයක් පිළිබඳ මස්ක්ගේ පොරොන්දුව, ජවිපෙ පන්ති පහ තුළ උගන්වන ලෙනින්වාදී කොමියුනිස්ට් සිහිනයට සමපාත වන්නේ කෙසේද? මෙම ලිපිය මගින් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරයි:

 

  • ශ්‍රම විභජනය අහෝසි වීම: මාක්ස්වාදී අරමුණ සහ මස්ක්ගේ තාක්ෂණික දැක්ම අතර ඇති අන්තර් සම්බන්ධය.
  • ස්වාමි-හැඟවුම්කාරකයක් ලෙස 'සංවර්ධනය': විද්‍යාව සහ තාක්ෂණය දේශපාලන මෙවලමක් ලෙස භාවිත කරමින් වර්තමාන පන්ති ගැටුම් සහ ව්‍යුහාත්මක අර්බුද වසා දමන ආකාරය.
  • ලැකානියානු කියවීම: මිනිස් ආත්මය තුළ පවතින 'අඩුව' (Lack) සහ කිසිදා අත්පත් කරගත නොහැකි 'පරිපූර්ණ ප්‍රමෝදය' (Jouissance) පිළිබඳ ෆැන්ටසිය දේශපාලනය තුළ ක්‍රියා කරන ආකාරය.
  • මාලිමා පාලනයේ දිශානතිය: ලංකාව දේශපාලනිකව සහ තාක්ෂණිකව සමාජවාදයට සමීප කරවීමේ 'ටිල්වින්වාදී' ප්‍රවේශය සහ එහි ඇති දෘෂ්ටිවාදී අසම්පූර්ණත්වය.

 

වර්තමාන ජාතික ජන බලවේගය වැනි දේශපාලන ව්‍යාපෘතීන් සහ තාක්ෂණික සිහින හරහා අප හඹා යන 'මනෝරාජික ලෝකයේ' සැබෑ ස්වරූපය වටහා ගැනීමට මෙම ලිපිය කදිම මඟ පෙන්වීමක් වනු ඇත.

 

 

 

 

ජවිපෙ පන්ති පහට සහභාගී වූ ඊලන් මස්ක් - (ස්පාටකස් ලිපි)

 

 

ඊලොන් මස්ක්ට අනුව ඉදිරියේදී මිනිස් ශ්‍රම විභජනය අහෝසි වීමට නියමිතය. ඒ මිනිසුන් "නිදහසේ" "විනෝදයෙන්" සිටින සහ ශ්‍රම විභජිත රොබෝ සමාජයක් නුදුරු අනාගතයේදී ගොඩනැගෙන බැවිනි.

 

මාක්ස්ට අනුව කොමුයුනිස්ට් සමාජය උදාවීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ ශ්‍රම විභජනය අහෝසි වීමයි. නමුත් පැවති කිසිඳු සමාජවාදී සමාජයකට එය කල නොහැකි විය. උපරිම වශයෙන් කල හැකි වූයේ එක සමාන වැටුපක් ප්‍රදානය කිරීම පමණි. ධනවාදය තුල මෙන්ම සමාජවාදය තුලද එන්න එන්නම ශ්‍රම විභජනය සංකීර්ණ වූ අතර විශේෂයෙන්ම "දැනුම"ට අදාලව එම තත්වය දැඩි ලෙස සංකීර්ණ වීම තීර්ව විය (සාමාන්‍ය සමාජයට අදාලව සලකුවහොත් එය ඊට පෙර සමාජ වල කිසි දා නොතිබූ තත්වයකි).

 

 

ජවිපෙ පන්ති පහට තුල ඉගැන්වෙන කොමුයුනිස්ට් සමාජය සම්බන්ධයෙන් අදහස ඉතා සමාන ලෙස ඊලන් මස්ක්ගේ අදහස හා සමගාමී වේ. එනම්, ජවිපෙ එම ලෙනින්වාදී ඉගැන්වීම් වලට අනුව කොමුයුනිස්ට් සමාජය යනු රොබෝවරුන් වැඩ කරන මිනිසුන් "නිදහසේ" සහ "විනෝදයෙන්" සිටින සමාජයකි.

 

ඊට අනුව, එහි මිනිසුන් වාසය කරනුයේ නගර වල තට්ටු නිවාස වල වන අතර වනාන්තර මිනිස් වාසයෙන් වෙන්ව පවතී. එම දෘෂ්ටිවාදයට අනුව විද්‍යා/තාක්ෂණික දියුණුවකින් තොරව කොමුයුනිස්ට් සමාජයක් නොමැත. මාක්ස්ගේ වටිනාම ඉදිරිපත් කිරීම වන "ආදිකල්පික කොමුයුනිස්ට් සමාජය" යනු ඔවුනට අනුව නොදියුණු තත්වයක් වන අතර රුසියානු මාක්ස්වාදය විසින් ගොඩනැගූ (ප්ලේකනොව්) 'ඓතිහාසික භෞතිකවාදයේ' එන, "අනීවාර්ය සහ අවිච්ඡින්න සර්පිලාකාර සමාජ සංවර්ධනය" තුල කොමුයුනිස්ට් සමාජය උදා වන්නේ විද්‍යා/තාක්ෂණික දියුණුව මතිනි (සියල්ල දන්නා 'මහා අනෙකා' - Big Other — මෙහිදී 'ඉතිහාසය' යන්න සහතික කරන්නා/ඇපකරු ලෙස ක්‍රියා කරයි). ඒ අනුව, ලෝකයේ "දියුණු" රටවල් මේ වන විට කොම්යුනිස්ට් සමාජයට ආසන්න තත්වයේ පවතින මුත් ප්‍රශ්නය වී ඇත්තේ "මිනිස් ජයග්‍රහණ" සියලු දෙනා හට සමානව බුක්ති විඳීමට නොහැකි වීමයි.

 

ජවිපෙ මධ්‍යම කමිටුවේ සියලු දෙනා පිළිගන්නා කාරණයක් මෙහිදී සඳහන් කල යුතුය. එනම්, එහි නායක ටිල්වින්ට අනුව, ලෝකයේ "දියුණු" රටවල් යනු 'ඓතිහාසික භෞතිකවාදී' සමාජ සංවර්ධන න්‍යාය තුල සැලකීමේදී විද්‍යා-තාක්ෂණ දියුණුව සහ සමාජ සංවර්ධනය අනුව, ඒවා සමාජවාදයට ආසන්න මුත් දේශපාලනිකව සමාජවාදයට දුරස්ථ වේ. ලංකාව දේශපාලනිකව සමාජවාදයට ආසන්න මුත් විද්‍යා-තාක්ෂණ දියුණුව සහ සමාජ සංවර්ධනය තුල සමාජවාදයට දුරස්ථ වේ. ජවිපෙ ලෙනින්වාදී බෝල්ෂෙවික් පක්ෂයේ සියලු දෙනා එම අදහස පිළිගනී (පොදු වාමාංශික අදහස ද එයයි).

 

 

එසේ නම් ප්‍රශ්නය කුමක්ද?

 

ජවිපෙට අදාළ ප්‍රශ්නය වන්නේ විද්‍යා-තාක්ෂණික-සමාජ සංවර්ධනය ඊලන් මස්ක් වැනි ධනපතීන් යටතේ පැවතීමයි. ජවිපෙ පමණක් නොව පෙසප ප්‍රශ්නයද එයයි. පශ්චාත් මාක්ස්වාදය ද වංගුවක් ගසා නැවත පැමිණ ඇත්තේ එම ස්ථාවරයටය.

 

 

ඒ අනුව වර්තමානයේ ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් කරන කටයුතු ඔවුනට අනුව ඉහත සඳහන් කල ටිල්වින්ගේ ප්‍රකාශයට ඉතාමත්ම අනුකූල මිස ඊට විරුද්ධ කිසිවක් නොවේ. එනම්, දේශපාලනිකව සමාජවාදයට ලංව ඇති ලංකාව විද්‍යා-තාක්ෂණ-සමාජ සංවර්ධනය තුල සමාජවාදයට ආසන්න කල යුතුය. ඉන් පසුව ලෝක විප්ලවයට මග කියනු ලබන්නේ "ඉන්දියන් සාගරයේ මෙම මුතු ඇටයයි".

 

 

 

ඔවුන් බලාපොරොත්තු වන්නේ වත්මන් ධනවාදයේ ඇති 'ප්‍රමෝදය' සඳහා වෙනත් අකාරයකි.

 

මස්ක්ගේ 'රොබෝ විවේකී සමාජය' යනු ෆැන්ටසියකි. ඉතාම කෙටියෙන් පවසන්නේ නම්, එහි 'රොබෝවරු වැඩ කරනු ඇති අතර මිනිසුන් විනෝද වනු ඇත යන්න මනොවිශ්ලේෂණයේ අර්ථය තුල සලකන්නේ නම්, මිනිසා තුළ පවතින 'අඩුව' (lack) අහෝසි කර 'ප්‍රමෝදය' (enjoyment) අවසාන වශයෙන් සහතික කරන ලද ලෝකයක් පිළිබඳ සම්භාව්‍ය ෆැන්ටසියක් ලෙස එය සැලකිය හැකිය.

 

මිනිසා යනු සංතෘෂ්ටියෙන් පරිපූර්ණ විය හැකි ජීවියෙකු නොවේ. අප භාෂාව ලෝකයට ඇතුළු වූ මොහොතේ සිටම යම් කිසි අහිමි වීමකට (castration) ලක් වේ. මෙම 'අඩුව' නිසාම අප නිරන්තරයෙන් අලුත් දේ සඳහා "ආශා" (desire) කරයි. ප්‍රශ්නය වන්නේ ධනවාදය තුල පවතින දැඩි පන්ති විෂමතාවය, ඒ තුල පන්තීන් මාරු කල හැකි වීම (මේ තත්වය මාක්ස් අර්ථකථනය කල නිර්ධනයාට කිසිදා අපේක්ෂා කල නොහැකි වූ තත්වයකි), මිනිසුන් අතර ඉතා දැඩි මෙන්ම සංකීර්ණ විෂමතා සහ විශාල පරාසයක පැතිරුණ සමාජ සංකීර්ණතා තුල, එම තත්වය, සංකරන සහ සංයෝජන ආකාර තුල අතිශය දැඩි ලෙස වර්ධනය වේ.

 

මස්ක් පොරොන්දු වන පරිදි සියලු වැඩ රොබෝවරුන් කරන, මිනිසාට කිසිදු අඩුවක් නැති ලෝකය යනු ධනවාදයේ සිට සිදු කරන අනාගත පිළිබඳව පරිකල්පනයකි (මිනිසාට පරිපූර්ණ "පිරිසිදු ප්‍රමෝදයක්"-jouissance ලැබිය නොහැකි බැවිනි).

 

 

අඩුව යනු (භාෂාව මගින් හඳුන්වා දෙන ලද) ව්‍යුහාත්මක තත්වයකි. එබැවින් ආත්මයට (subject) අවසානයේදී 'හුදෙක් විඳීමට' පමණක් හැකි සමාජ පර්යායක් පිළිබඳ ඕනෑම පොරොන්දුවක්, පරිකල්පනීය (Imaginary) සම්පූර්ණත්වයක් ලෙස ක්‍රියා කරයි.

 

 

මෙම තාක්ෂණික ෆැන්ටසිය මගින් සිදුකරනුයේ, ධනවාදය තුළ පවතින සැබෑ සමාජ පන්ති ගැටුම්, මිනිසුන් අතර විෂමතා ඇතුළු ඉහත විස්තර කල සියලු සංකීර්ණතා, සියලු ගැටළු සහ ඒ සියල්ලට අදාළ දැඩි අසහනකාරීත්වය මෙන්ම මිනිස් පැවැත්මේ ඇති අනිවාර්ය අසම්පූර්ණත්වය වසා දැමීමයි.

 

කෙටියෙන් පවසන්නේ නම් මස්ක්ගේ රොබෝ සමාජය මෙන්ම රුසියානු මාක්ස්වාදීන් අදහන කොම්යුනිස්ට් සමාජය යනු වර්තමාන සමාජයේ ඇති 'ප්‍රමෝදය' රඳවා ගනිමින් සහ ඊටත් වඩා වර්ධනය කරගනිමින් ඊට අදාළ දැඩි අසහනය ඉවත් කල හැකි බවට වන ෆැන්ටසියකි. එනම් මෙම පරිකල්පනය සිදු කරනුයේ වර්තමාන යථාර්තය භාරගනිමිනි.

 

රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වූයේ ද, නිදහස් වෙළඳපොල ආර්ථිකය තුලින් 2050 වසරේදී ලංකාව තුල සංතෘෂ්ටියෙන් පරිපූර්ණ මිනිසුන් සිටින සමාජයක් සාක්ෂාත් කරගත හැකි බවය.

 

එබැවින් අපට පැවසිය හැක්කේ, ඒ සියලු දෘෂ්ටිවාදයන් තෘප්තිය පමා කිරීම මගින්, 'ආශාවේ හේතුව' (cause of desire) පවත්වාගෙන යනු ලබන ෆැන්ටසිය සේ ක්‍රියා කරන බවයි. ධනවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ එම තත්වයයි.

 

'විද්‍යාව, තාක්ෂණය සහ සංවර්ධනය' යන්න සමස්ත දේශපාලන ක්ෂේත්‍රයම එකිනෙකට මසා (දෘෂ්ටිවාදී මැහුම) එකතු කරන සුසංයෝගී ඒකත්වයකි. එනම්, එය 'ස්වාමි හැඟවුම්කාරකයක්' (master signifier) ලෙස ක්‍රියා කරයි.

 

එය 'අප කළ යුත්තේ කුමක්ද?' යන ප්‍රශ්නයට සරල පිළිතුරක් ලබා දෙයි.

 

එය (අනාගතය වෙනුවෙන් වර්තමානයේ කරන) කැපකිරීම් සාධාරණීකරණය කරයි ('දැන්ම නොව, පළමුව සංවර්ධනය විය යුතුය...').

 

එය වලංගුභාවයක්/නීත්‍යානුකූලභාවයක් (legitimacy) නිෂ්පාදනය කරයි ('ඉතිහාසය හෝ විද්‍යාව අපට සහතික වෙයි').

 

ප්‍රශ්නය වන්නේ, 'සංවර්ධනය/තාක්ෂණය' යන්න 'ස්වාමි-හැඟවුම්කාරකයක්' බවට පත් කරන සහ පරිපූර්ණ ප්‍රමෝදයක් පිළිබඳ ෆැන්ටසියක් (රොබෝවරු වැඩ කරයි, මිනිසුන් නිදහස්ය) ලබා දෙන කතිකාවයි ('ධනවාදී කතිකාව'- විද්‍යාව සහ තාක්ෂණය වටා ආශාව/ප්‍රමෝදය සංවිධානය කරන කතිකාව). එමගින්, සමාජය තුළ පවතින ව්‍යුහාත්මක, 'යථමය ප්‍රතීඝතා' (antagonism) ප්‍රතික්ෂේප කරන අතර, 'ප්‍රමෝදය' (jouissance) නැවතත් ධුරාවලියක් (hierarchy) තුළට ගාල් කරනු ලබයි.

 

ඒ කෙසේ වෙතත් වාමාංශික දේශපාලනයේ තවමත් ඉතිරිව ඇති වටිනාකමක් තිබේ.

 

ඊට අදාළ ලිපියේ සබැඳිය:

https://www.spartacus.lk/1-16-2/2026/

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි