SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ඉම්රාන් ඛාන් ඇමෙරිකානු න්‍යාය පත්‍රයේ වින්දිතයෙක්
  • පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලිදේශ සහ නවතම නේපාල අර්බුදය අවධාරණය කරන අස්ථාවරත්වය
  • ඉන්දීය – ඇමෙරිකානු ගැටුමේ පසුබිම

 

 

නේපාලයේ විශාලතම කොමිනියුස්ට් පක්ෂයේ නායක ඛද්ගා ප්‍රසාද් ෂර්මා ඔලිගේ (Khadga Prasad Sharma Oli) රජය අතිශය ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් තුළ පසුගිය අඟහරුවාදා (8දා) ඉල්ලා අස්විය. පසුගිය වසරේ ජුලි මාසයේ හතරවන වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ 73 හැවිරිදි අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සහ ප්‍රචණ්ඩකාරීන් විසින් පාර්ලිමේන්තුවට ගිනි තැබීම ඊට පසුදින සිදුවිය. ප්‍රචණ්ඩකාරීන් විසින් රටේ ඉහළම උසාවිය ද විනාශ කළේය.

 

අතිශය ආන්දෝලනාත්මක දේශපාලන මෙහෙයුමක් හරහා මැතිසබයේ බලය පසුගිය වසරේ ඩැහැ ගත් ඔලි ප්‍රමුඛ කණ්ඩායම කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අවස්ථාවක ප්‍රහාරය එල්ල විය. දරුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවීමට හේතුව හදිසියේම පනවනු ලැබූ සමාජ මාධ්‍ය ජාලා තහනම බව විශේෂයෙන්ම විදේශීය මාධ්‍ය අවධාරණය කළත් ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කළ ‘අරගලය’ අමතක කර නේපාලයේ ඇතිවූ තත්ත්වය විමසා බැලිය නොහැකිය.

 

පළමු වරට 2015 දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඔලි 2018 සහ 2021 නැවත එම තනතුරට පත් විය. ඔහු නැවත අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීම කුමන්ත්‍රණකාරී තත්ත්වයක් තුළ සිදුවිය. ඒ එවකට පැවති මාස 18 ක් වයසැති ආණ්ඩුව පෙරළා දැමීමෙනි. කුමන්ත්‍රණයට හවුල් අනෙක් පක්ෂය සමග අග්‍රාමාත්‍ය ධුරය බෙදාගැනීමට ඔලි එකඟතාවයක් ඇතිකර ගනු ලැබූ බව විදේශීය මාධ්‍ය වාර්තා කර ඇත. අග්‍රාමාත්‍ය ධුරය හුවමාරු කර ගැනීමට ඇතිකර ගනු ලැබුවේ 78 හැවිරිදි නේපාල කොංග්‍රස් පක්ෂයේ නායක සමගයි. පිටත සිදුවන වටලෑම ආණ්ඩු පක්ෂය දුටුවේ නැත.

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට අවශ්‍ය වටපිටාව අරලියගහ මන්දිරයේ මැදිහත්වීමෙන් ඉටුකර දීම සිදුවිය. ඒ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට 2022 මැයි 09 එල්ල කළ අමානුෂික ප්‍රහාරය හේතුවෙනි. ඒ වසරේ මාර්තු 31 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට පුපුරා ගිය අරගලය අවසන්වූයේ ඔහු ජුලි 13 තම බිරිඳ අයෝමා සමග රටින් පිටවීමත් සමගය. ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ක්‍රියාත්මක කළ එම මෙහෙයුම මාස 3/2 ක්‍රියාත්මක විය.

 

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහට එම අවස්ථාව හිමි වුවත් අරගලය ක්‍රියාත්මක කළ කණ්ඩායමේ පළමුවන තේරීම වූයේ එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධනයි. අන්තර්කාලීන නායකත්වය ඔහුට භාර ගැනීමට ඍජුව යෝජනා කළේ ඇමෙරිකානු තානාපතිවරිය වූ ජුලි චන්ග් බවට කළ චෝදනා ඔහු අද වනතුරු ප්‍රතික්ෂේප කර නැත. දෙස්-විදෙස් බලවේග තමන්ට තර්ජනය කළ බවට කථානායක අබේවර්ධන පාර්ලිමේන්තුව තුළ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශ්ව නිහඬව සිටියි.

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රප්තිකයා වූ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ අරගලයේ ඉදිරියෙන්ම සිටි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පාර්ලිමේන්තුව තමන් යටතට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ත කළේය. පාර්ලිමේන්තුව විසින් තමන් ජනාධිපතිවරයා ලෙස තොරපත් කර ගැනීමත් සමග වික්‍රමසිංහ අරගලකරුවන් ගාලු මුවදොරින් සහ අනෙකුත් රජයේ ගොඩනැඟිලිවලින් ඉවත් කිරීමට කටයුතු කළේය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා අරගලයට කළ ප්‍රතිචාරය ඇමෙරිකානු තානාපතිවරියගේ සහ එවකට බ්‍රිතාන්‍ය මහ කොමසරිස්වාරියගේ හිත සුව පිණිස නොවීය. කෙසේ වෙතත් වික්‍රමසිංහට තමන්ගේ කොල්ලුපිටියේ නිවාසය සහ යාන වාහන ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.

 

නමුත් නේපාලයේ ප්‍රචණ්ඩකාරීන් විසින් පාර්ලිමේන්තුව විනාශ කිරීම ව්‍යර්ත කිරීමට නේපාල ආරක්ෂක හමුදා සහ පොලිසිය අසමත් විය. නේපාල රජය පැය 48 ක් තුළ බිඳ වැටීම නැවත නැවතත් අවධාරණය කරන්නේ සිවිල් බලය දැඩි අන්තරාදායක ආකාරයකට පාවිච්චි කළ හැකි බවයි. නේපාල යුද හමුදාව ක්‍රියාත්මක වන විට ආණ්ඩුව කුඩුපට්ටම් කර හමාරය. හිටපු නේපාල අග්‍රාමාත්‍යවරයකු වූ ජලනාත් ඛානාල් (Jhalanath Khanal) ගේ නිවසට ගිනි තැබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ දැඩි පිලිස්සුම් තුවාල ලැබීය. මාධ්‍ය වාර්තා ඇය මියගිය බව පළමුවෙන් වාර්තා කළත් පසුව ඇය දැඩි පිළිස්සුම් තුවාල ලැබූවත් ජීවිතය ගලවා ගත් බව ප්‍රකාශ කළේය.

 

ඔලිගේ රජයට එරෙහිව පසුගිය සඳුදා විරෝධතාව ආරම්භ කළ Gen Z නමැති කණ්ඩායම තමන්ගේ සාමාජිකයන් රජයේ ගොඩනැඟිලි සහ නෙකුත් දේපළ විනාශ නොකළ බව ප්‍රකාශ කළේය. උද්ගතවූ තත්ත්වය තුළ අවස්ථාවාදීන් කණ්ඩායමක් විනාශකාරී ක්‍රියාවල යෙදුන බවට Gen Z චෝදනා කළේය.

 

නේපාල ජනතාවගේ කෝපය අවියක් බවට පත් වීමට ප්‍රධානතම හේතුවක් වූයේ අතිශය දූෂිත දේශපාලනය තුළ දේශපාලනඥයන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ දූ දරුවන් ගතකරන සැපවත් ජීවිත රටාව සමාජ මාධ්‍ය හරහා පීඩිත ජනතාවට දැන ගැනීමට ලැබීමයි. මැතිසබය නියෝජනය කරන පක්ෂ විරැකියාව, ජනතාව පෙළන දුප්පත්කමට සංවේදී නොවීම තුළ නේපාල අරගලය පුපුරා ගිය බව පැහැදිලිය.

 

ශ්‍රී ලංකාවේ (2021-2022) සහ 2024 අගෝස්තු මාසයේදී බංගලිදේශය තුළ උද්ගතවූ උග්‍ර ප්‍රචණ්ඩකාරී තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ බංගලිදේශ අග්‍රාමාත්‍යවරිය වූ හසීනා පිළිවෙළින් මාලදිවයිනට සහ අසල්වැසි ඉන්දියාවට පලා යෑම කිසිසේත්ම නේපාල ආණ්ඩු පක්ෂයේ අවධානයට යොමුවී නැත. රජයේ රැකියා තෝරාගත් කොටසකට වඩා වාසිදායක ලෙස ලබාදීමට එරෙහිව ජුනි-ජුලි මාස දෙක තුළ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ සිවිල් ජනතා ව්‍යාපාරය අගෝස්තු මාසයේ මුල් සතියේ පුපුරා යෑම හසීනාගේ ආණ්ඩුවේ අවසානය විය. ඇය 1996 සිට 2001 දක්වාත් නැවතත් 2009 සිට 2024 අගෝස්තු දක්වාත් බංග්ලාදේශය පාලනය කළේය. හසීනා තමන් බලයෙන් පහ කිරීම පිටුපස ඇමෙරිකා එක්සත් ජනපදය සිටින බවට චෝදනා කර ඇත.

 

නේපාලයේ නව නායකත්වයට යෝජනා වූයේ 73 හැවිරිදි විශ්‍රාමික නේපාල අගවිනිසුරුවරිය වූ සුශිලා කාර්කි ය (Sushila Karki). නේපාල ආණ්ඩුව පලවා හැරිය කණ්ඩායම කාර්කි පිළිබඳව ප්‍රසාදය පල කර ඇත. බංගලිදේශයේ ආණ්ඩුව පලවා හැරි ප්‍රචණ්ඩකාරීන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා ගනු ලැබුවේ සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයකු වූ මුහමඩ් යුනුස් ය (Muhammad Yunus). ඔහු බටහිර මිත්‍රයෙකි. කාර්කිත් එසේ විය යුතුය.

 

විශ්වාසභංගයක් මගින් 2022 අප්‍රේල් මාසයේදී ජනප්‍රිය නායක අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයෙන් පහකළ දේශපාලන-හමුදා සන්ධානය 2023 අගෝස්තු මාසයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. ඇමෙරිකාවට ඍජුව චෝදනා කළ එතුමා පසුව ලෝක බලවතා සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේය. ඉම්රාන් ඛාන් ප්‍රමාදය. ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තම නායකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පකිස්ථාන හමුදාවට ප්‍රහාර එල්ල කළේය. හමුදා මූලස්ථානයට පවා කඩා වැදිණි. ජෙනරල්වරයකුගේ නිවසට පහර දීම සිදුවිය. නමුත් එම සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් ගණනාවකට හමුදා අධිකරණයක් මගින් කළේය.

 

පකිස්ථාන හමුදාව අවධාරණය කළේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ පක්ෂය දේශපාලන ත්‍රස්තවාදයේ යෙදුන බවයි. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට පකිස්ථාන හමුදා අධිකරණය තීරණය කළ පුද්ගලයන් 25 දෙනකුට වසර දෙක සිට වසර 10 දක්වා සිරදඬුවම් නියම කිරීම හමුදා මහජන සම්බන්ධතා අංශය නීතිය තමන්ගේ අතට ගැනීම දැඩි විපාක ගෙන දෙන බවට අවධාරණය කළේය.

 

ඇමෙරිකාව කිසිදු හිරිකිතයක් නොමැතිව ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට හමුදාව ගත් අතිශය මර්දනකාරී පිළිවෙත අනුගමනය කළේය. ඇමෙරිකාව ඉම්රාන් ඛාන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග ඔහු රුසියාව විසින් යුක්රේනය 2022 පෙබරවාරි අවසාන සතියේදී ආක්‍රමණය කිරීම නොසලකා මොස්කව් යෑම නොසලකා සාකච්ඡා කළ නොහැකිය. ජෝ බයිඩන් පාලනය ඉම්රාන් ඛාන් සමග කෝපාවිෂ්ඨ විය. පාකිස්ථාන පාර්ලිමේන්තුව තුළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයක් පැරදීම සිදුවූයේ ඒ පසුබිමේය. මොස්කව් සංචාරයෙන් පසුව දැඩි ඇමෙරිකානු බලපෑම ඉදිරියේ ඉම්රාන් ඛාන් ජෝ බයිඩන් පාලනය තමන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගය ප්‍රශ්න කළේය. තමන් මොස්කව් යෑම සම්බන්ධයෙන් උරණවී සිටින ඇමෙරිකාව පුටින් ගේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සිදුකරන ඉන්දියාවට සහයෝගය පල කරන බව ප්‍රකාශ කළේය. යමක් පැවසීමට අවශ්‍ය නැත.

 

අද ඇමෙරිකාව රුසියානු ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවට දැඩි දඬුවම් පනවා ඇත. අදහා ගත නොහැකි බද්දකට ඉන්දියාව යටත් කර ඇත. නරේන්ද්‍ර මෝදි ගේ ඉන්දියාව දෙළොවක් අතරය. පසුගිය දශකය තුළ දැඩි අර්බුදයකට පත්වූ ඉන්දියානු-චීන සම්බන්ධතා යථා තත්ත්වයට පත් කර ගැනීමට දෙරට නායකයන් ගන්නා උත්සාහය ඉතාමත්ම වැදගත්ය, ප්‍රසංශනීයය. ඒකාධිපති ඇමෙරිකානු හැසිරීමට එරෙහිව රුසියාව, චීනය සහ ඉන්දියාව යම් ආකාරයක සාමුහික ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව අවධාරණය වූයේ එම න්‍යෂ්ටික බලවතුන් චීනයේ මෑතකදී හමුවීම තුළය. ඩොනල්ඩ් ට්‍රම්ප් අන්දමන්ද විය. ඉන්දියාව තම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැඹුරෙන් සිතා බැලිය යුතු නොවේද? ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ‘වියරු’ හැසිරීම තුළ ජපානය, දකුණු කොරියාව පමණක් නොව යුරෝපීය සංගමයට ද තම වෙළෙඳ (ආර්ථික), දේශපාලන සහ ආරක්ෂක සම්බන්ධතා නැවත විමසා බැලීමට සිදුවී ඇත. මේ වනවිට ඇමෙරිකාව යුරෝපය සමග ප්‍රධාන සාධකය යුක්රේනයයි. ඒ රුසියාවට එරෙහිවය. නමුත් ඇමෙරිකානු අවසරය පිට බෙන්ජමින් නෙතන්යාහු ගේ යුදෙව් රාජ්‍යය පලස්තීනුවන් ඉලක්ක කර කරන අති විනාශකාරී මුළු ලෝකයටම බලපාන යුද්ධය ඒ සන්ධානය ද දැඩි අර්බුදයකට පත් කර ඇත.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඇමෙරිකාව ඉන්දියාව සමග ඇතිකර ගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වය තුළ වොෂින්ටනයට වර්තමාන පකිස්තානු හමුදා නායකත්වය අවශ්‍යය. ඉන්දියාව පාලනය කරන කාශ්මීර් කොටසේ 2025 අප්‍රේල් අවසන් සතියේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පසුව පකිස්තානු හමුදා නායක අසීම් මුනීර් දෙවරක් ඇමෙරිකාවේ නිල සංචාරවල දීම අවධාරණය කළේ නව ඇමෙරිකානු-පකිස්ථාන සම්බන්ධතා නොවේද? එම සංචාර සිදු වූයේ පකිස්ථානය සහ ඉන්දියාව අතර සිදුවූ දින හතරේ යුද්ධයෙන් පසුව බව අමතක කළ නොහැක.

නේපාලයේ සිදුවූ සිදුවීම පිළිබඳව හිටපු ජනාධිපති වික්‍රමසිංහ සැප්තැම්බර් 10 වන දින කළ විශේෂ ප්‍රකාශයේ මෙලෙස සඳහන් විය. විරෝධතාවය ආරම්භ වූ පළමුවන දිනයේදීම වෙඩි නොතබා තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා ගූගල්, ෆේස්බුක් සහ යූ ටියුබ් වැනි ඇමෙරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය. පවතින තත්ත්වය තුළ නේපාල ආරක්ෂක හමුදාවල වගකීමද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලන බලය ගත් හමුදාවේ වගකීම වන්නේය යන ප්‍රකාශයද අවධානයට ලක්විය යුතුය.

 

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ‘අරගලය’ නම්වූ දේශපාලන ව්‍යාපෘතිය තුළ සමාජ මාධ්‍යයේ භූමිකාව අවධානයට ලක් කරමින් එම ප්‍රකාශය කර ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. වික්‍රමසිංහ සහ එජාපය අරගලයේ සැලකිය යුතු වැඩකොටසක් කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවාසය ඉලක්ක කර කළ ප්‍රචණ්ඩකාරී විරෝධතාවයට එජාප ක්‍රියාකාරීන් සහභාගි විය. සමස්ත මෙහෙයුම තුළ එජාපය ක්‍රියාත්මක විය. හිටපු එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ (විමල් වීරවංශ ළඟ සිට වික්‍රමසිංහට එකතුවූ) සහ එජාපය සහ සමගි ජනබලවේගය (සජබ) දෝලනය වූ හරින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා වික්‍රමසිංහ ‘අරගලය’ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ ආකාරය හෙළිදරව් කර ඇත. මෙම ලියුම්කරු මාරසිංහ මහාචාර්යගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී එජාපය ‘අරගලය’ පෝෂණය කළ ආකාරය අවධාරණය කළේය. නමුත් ‘අරගලය’ නායකත්වය වික්‍රමසිංහ ගේ ක්‍රියාකලාපය නොරිස්සුවේය. ඒ බටහිර ලැදි වික්‍රමසිංහට තමන්ගේ න්‍යාය පත්‍රයක්ද තිබුණ බැවිනි.

 

එක්තරා ආකාරයකට ඉන්දියාව ඇමෙරිකානු වටලෑමකට හසුවී ඇත. ඉන්දියාව වටේ තිබෙන ආණ්ඩු එම රටවල ව්‍යවස්ථාවෙන් පිට වෙනස් කිරීම නව දිල්ලියට තර්ජනයකි. විනාශකාරී ඇමෙරිකානු න්‍යාය පත්‍රය ක්‍රියාත්මකය. ශ්‍රී ලංකාව චීනය සමග සමීපව කටයුතු කිරීම පිළිබඳව ඉන්දියාව උරණ විය. දැඩි ලෙස උරණවිය. එම තත්ත්වය තුළ ඉන්දියාව ඇමෙරිකාවේ පූර්ණ ආශිර්වාදය මැද ශ්‍රී ලංකාවට හිරිහැර කළේය. චීන ව්‍යපෘති නතර කිරීමට දැඩි බලපෑම් කළේය. වරක් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේ මෙම ලියුම්කරු කළ විමසීමකදී ඉන්දියානු බලපෑම අවධාරණය කළේය. ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය නතර කළ යුතු බවත්, හම්බන්තොට වරාය නැවත පවරා ගත යුතු බවත් කුඩා රටක් වන ශ්‍රී ලංකාවට මහා පරිමාණයේ චීන ව්‍යාපෘති අවශ්‍ය නොවන බවත් තමන්ට ප්‍රකාශ කළ බව පැවසීය.

 

අද ඇමෙරිකාව එදා ඉන්දියාව ශ්‍රී ලංකාවට සලකපු ආකාරයෙන් ඉන්දියාව සම්බන්ධයෙන් ද කටයුතු කිරීම දෛවයේ සරදමකි. චීන පර්යේෂණ නැව් ශ්‍රී ලංකාවට පැමිණීම ඉන්දියාවට සහ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඉන්දියාව ඇමෙරිකාවේ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකාවට හිරිහැර කළේය. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අත කරකැවීය. ජනාධිපතිවරයා 2024 වසර තුළදී විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම වසරකට තහනම් කිරීම ඉන්දියානු-ඇමෙරිකානු ව්‍යාපෘතිය අනාවරණය කළේය. ජාතික ජනබලවේගය (ජාජබ) ආණ්ඩුවට තවමත් විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශ කිරීමට ශක්තියක් නැත.

 

නේපාල දේශපාලන අර්බුදය පසුබිමේ හිටපු ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කරන ඇමෙරිකානු සමාජ මාධ්‍ය ජාලා අනතුර සුළුකොට තැකිය නොහැක. සමාජ මාධ්‍ය හරහා රාජ්‍ය/ආණ්ඩු වේගයෙන් දුර්වල කළ හැකි බව මෙම කලාපය මුහුණ දී ඇති තවදුරටත් වර්ධනය වන දේශපාලන අස්ථාවරභාවය අවධාරණය කරයි. බටහිර මුදලින් යැපෙන නොයෙකුත් කණ්ඩායම් තම තමන්ගේ රටවලට කරන හානිය සීමාවක් නැත. ඔවුන්ට නීතියක් නැත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම සංවිධානාත්මක කණ්ඩායම් රටට කරන හානිය දැනෙන්නේ අධිකරණය සහ නීතිඥයන් සමාජ මධ්‍යයේ ප්‍රහාරයට ලක්වන විට පමණි. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. සමාජ මාධ්‍ය සාහසිකය. නමුත් කුමන තත්ත්වයක් තුළ හෝ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක විය යුතුය. ඒ මෙම ලියුම්කරුගේ අදහසයි. නමුත් සමාජ මාධ්‍ය පරිශීලනය කරන පුද්ගලයන් කල්පනාකාරී විය යුතුය.

 

නීතිඥයකු ලෙස වසර 50 ක් සම්පූර්ණ කිරීම 2022 දෙසැම්බර් 3 වන දින කොළඹ තරුපහේ හෝටලයක සැමරූ එජාප නායක වික්‍රමසිංහ සමාජ මාධ්‍යය අවියක් ලෙස පාවිච්චි කළ දේශපාලන නායකයෙකි. වික්‍රමසිංහ සමාජ මාධ්‍ය මෙහෙයුමට ප්‍රමුකත්වය දී කටයුතු කළ නායකයෙකි. අරගලයේදී ද ඔහු සමාජ මාධ්‍ය ඇතුළුව මාධ්‍ය දේශපාලන අරමුණු ඉටු කිරීමට පාවිච්චි කළේය. නමුත් සමාජ මාධ්‍ය තමන්ටද අතිශය ලෙස හානිකර විය හැකි තත්ත්වය වික්‍රමසිංහට දැනුනේ තමන් ජනාධිපති වූ පසුවය. සමාජ මාධ්‍යය පාලනය කිරීමට අණපනත් -වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ එවැනි පසුබිමකය. එම අනපනත් ඉවත් කිරීමට/සංශෝධනය කිරීමට ජාජබ ආණ්ඩුවට අද ජිනීවා මානව හිමිකම් කොමිසම කරන බලපෑම හිසරදයක් වී ඇත. එදා සමාජ මාධ්‍යය තමන්ට රිසිසේ පාවිච්චි කළ ජවිපෙ නායකත්වය දෙන ජාජබ වර්ධනය වෙමින් තමන්ට අහිතකර තත්ත්වය සමාජ මාධ්‍යය ඉදිරිපත් කරන තර්ජනයක් ලෙස දැකීම පුදුම විය යුතු නැත. පාර්ලිමේන්තුවේ විපක්ෂය හිරිවැටී ඇත. උදාසීනය. විපක්ෂයේ අඩුපාඩු වසා දමා ආණ්ඩුවට විකල්පයක් ඉදිරිපත් කරන්නේ සමාජ මාධ්‍යය ප්‍රමුඛ සමස්ත මාධ්‍යයි! දේශපාලන පක්ෂ අවශ්‍ය නැත. දේශපාලන නායකයන් අදාළ නොවේ. සමාජ මාධ්‍ය හරහා මහජන මතය අවියක් ආකාරයෙන් යොදාගත හැකි ආකාරය බටහිර ඔප්පු කර ඇත. තමන්ගේ දුෂ්ඨ න්‍යාය පත්‍රයට එකඟ නොවන ඕනෑම රටක්, ආණ්ඩුවක් සහ දේශපාලන නායකත්වයක් විනාශ කිරීමට සාර්ථක සැලසුම් සැදිය හැකි බව ඔවුන් ඔප්පු කර හමාරය. නමුත් එම සැලසුම් සාර්ථක වීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීම ඉලක්ක ගත වන දේශපාලන නායකයින් විසින්ම නිර්මාණය කිරීම ඛේදවාචකයකි.

@ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Sunday divaina

නවතම ලිපි