SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද දවසේ සම්මත වූ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූ පසුව සම්මත කළ, සංකේතීය ලෙස වැදගත්ම පනත ලෙස සැලකිය හැක.

 

 

මෙම පනත සම්බන්ධව අදහස් දක්වමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කරන මුදල බොහොම සොච්චමක් යැයි කීමට උත්සාහ කළේය. විපක්ෂය ඇත්ත වශයෙන්ම වටහා ගෙන නැත්තේ, මෙය හුදෙක් ආර්ථික වටිනාකම පිලිබඳ මූල්‍ය කරුණක් නොව, දේශපාලන වැදගත්කමක් දරන කරුණක් බවයි. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට ඇත්තේ මූල්‍ය වටිනාකමක් නොවේ. මින් ඉතිරි වන මුදල විසාල එකක් නොවන බව ඔ්නෑම කෙනෙක්ට වැටහෙන්නකි. නමුත් එහි ඇති දේශපාලන වැදගත්කම, මූල්‍යමය වශයෙන් තක්සේරු කල නොහැකි එකකි.

 

මොකක්ද මේ දේශපාලන වැදගත්කම? 2022 ආර්ථික අර්බුදය සමග මෙරට තුල ඇති වූ මහජන උද්ඝෝෂණ ප්‍රවාහය විසින් අපගේ දේශපාලන ඉතිහාසයේ යම් ඛණ්ඩනයක් සලකුණු කලේය.මෙය ගැඹුරු ඛණ්ඩනයකි ; මහජන පරිකල්පනය තුල ද ගැඹුරු ලෙස සටහන් වූ මෙය, පරණ දේශපාලන ලෝකය සහ නව දේශපාලන ලෝකයක් පිලිබඳ අපේක්ෂාව අතර වෙනස සලකුණු වූ තීරණාත්මක ඛණ්ඩනයකි.

 

 

පැරණි දේශපාලන ලෝකය ලෙස අදහස් කරන්නේ කුමක්ද?

 

ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙන ලද්දේ 1931 දීය. ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ නූතන අදහසේ සාරාර්ථය වන්නේ පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාව අත බවයි. ජනතාව මෙම බලය නියෝජිතයන් වෙත පවරා දෙයි. ජනතා නියෝජිතයන්ගෙන් අපේක්ෂා කරන්නේ ජනතාවගේ අභිලාෂයන් සහ යහපත නියෝජනය කිරීමය.

 

නමුත් පශ්චාත් නිදහස් ලංකාව තුල සිද්ධ වූයේ මෙම නියෝජනය පිලිබඳ අදහස විකෘති ලෙස ප්‍රකාශමාන වීමකි. විශේෂයෙන්ම, 1977 ට පසුව, මෙම විකෘතිය වඩාත් බලවත් ලෙස ප්‍රකාශමාන වන්ට පටන් ගති. මහජන නියෝජනය පිලිබඳ නූතන අදහස, ආණ්ඩුකරණය පිලිබඳ පූර්ව-නූතන අදහස වන, පාලකයා යනු, ජනතාවට ඉහලින් සිටින්නෙකි, වරප්‍රසාදලාභියෙකි, මෙම වරප්‍රසාදලාභියා මහ පාරේ එන විට, මහජනයා බැගෑපත්ව කාණුවට පසු බැසිය යුතුය යන අදහස සමග මිශ්‍ර වී, විපරිත ත්වයක් ඇති විය.

 

 

මෙම විපරිතභාවයේ විශිෂ්ටතම ප්‍රකාශනයකි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 'උස අයට සෙකියුරිටි රස්සා සහ මිටි අයට කම්කරු රස්සා' බෙදන එම කුප්‍රකට වීඩියෝ පටය. එම දර්ශනය බලන විට අපට පෙනෙන්නේ, මහජන නියෝජිත යන නම දරන, නමුත් අනෙක් හැම අතකින්ම පලාත්බද ප්‍රභූවරයෙක්, වංශාධිපතියෙක්, රදලයෙක්ගේ භූමිකාව රගන අයෙකි. මහජන නියෝජනය යන ආකෘතිය යටතේ, සන්ධාරය ලෙස මෙතෙක් කල් අභ්‍යාස කරන ලද්දේ පූර්ව-නූතන ස්වාමි-සේවක සම්බන්ධයකි.

 

 

2022 මහජන උද්ඝෝෂණ පෙල විසින් වර නගන ලද එක් වැදගත් තේමාවක් වූයේ, මෙලෙස මෙතෙක් කල් මහජනයාගෙන් වියෝ වී, ප්‍රභූ තන්ත්‍රයක් ලෙස ජීවිතය ගත කළ දේශපාලන සංස්ථාපිතය ප්‍රතික්ෂේප කල යුතු බව වූ අදහසයි. හිටපු ජනාධිපතිවරුන්ගේ සිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප දක්වා විවිධ වරප්‍රසාද මගින් සංකේතාත්මක ලෙස නියෝජනය වූයේ, මෙන්න මේ දේශපාලන සංස්ථාපිතය නඩත්තු කළ, ප්‍රජාතන්ත්‍ර විරෝධී, පූර්ව-නූතන දේශපාලන භාවිතාවයි.

 

ළමයෙක් පාසලට දා ගැනීමට, රජයේ රස්සා බෙදා දීමට කිසිදු විධිමත් ක්‍රමවේදයක් නැත. නූතන සමාජවල නම්, එවැනි ක්‍රමවේද පවතී. ලංකාවේ තිබුණු ක්‍රමවේදය වූයේ පුරවැසියන් දේශපාලකයන් අබියස දණ නමස්කාර කිරීමය ; ඔවුන් වෙනුවෙන් මැතිවරණයේ දී පෝස්ටර් ගැසීමය. අනෙක් අතට, මෙලෙස බලය ගන්නා මහජන නියෝජිතයන් අයිස් වෙලදාමේ යෙදීම, පස් කැපීම, කොමිස් ගැසීම, සියලු ආකාරවල අක්‍රමිකතාවල යෙදීම අතිශය සාමාන්‍ය දේවල් ලෙස සැලකිණ. එක් අතෙකින්, තිස්ස කුට්ටිආරච්චි යනු අනුකම්පාව ලැබිය යුත්තෙකි. පාරට දෙන කොන්ත්‍රාත්තුවෙන් කීයක් හරි හොයාගෙන, 'සමාජ සුබසාධනය' කිරීම යනු ඔහු දන්නා දේශපාලනයේ තරමයි. මේ සියලු අය ජීවත් වන්නේ දේශපාලනය පිලිබඳ පූර්ව-නූතන සුසුමාදර්ශයක් තුලය.

 

 

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් සිදු කරමින් සිටින, වැදගත්ම පරිවර්තනයක් වන්නේ ලංකාවේ දේශපාලනය සහ ආණ්ඩුකරනය නූතනකරණය කිරීමය. මහජනයා සහ මහජන නියෝජිතයා අතර සම්බන්ධය, නූතනවාදී තර්කය අනුව යලි නිර්වවචනය කිරීමය. දේශපාලනය පිලිබඳ නූතනවාදී අදහස ආයතනගත කිරීමට උත්සාහ කිරීමය.

 

 

ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද කපන විට, මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරන විට, රජයේ රස්සා වලට බදවා ගැනීමේදී මන්ත්‍රී චිට් එකට පැවැති අගය ඉවත් කරන විට, පාතාල ලෝකය සහ දේශපාලනය අතර සම්බන්ධය අත් හිටුවන විට, තරාතිරම නොබලා සියලු දේශපාලන නායකයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන විට, ලංකාව යනු සිංහල ජනයාට අයිති රටක් පමණක් නොව, සියලු ජන ප්‍රජාවන්ගේ රාජ්‍ය්‍යක් යැයි කියන විට ;‌‌මේ සියලු ක්‍රියා පසුපස ඇති තාර්කිකය නම්, නූතනත්වය දේශපාලන හා ආණ්ඩුකරන ක්ෂේත්‍රය වෙත ගෙන ඒමය. දේශපාලනය හා ආණ්ඩුකරනය පූර්ව-නූතන ආකෘතියක සිට, නූතන ආකෘතියක් වෙත කැඳවීමය.

 

 

මෙය දේශපාලන වශයෙන් සිත් ගන්නා සුලු අවස්ථාවක් වන්නේ ඇයි?

 

සම්භාව්‍ය මාක්ස්වාදයේ භාෂාව අනුව ගත්කල, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කාර්යයන් ලෙස හදුනාගනු ලැබුවේ, මෙන්න මේ නූතනකරණ ව්‍යාපෘතියයි. යුරෝපීය රටවල, පූර්ව-නූතන අවධියේ සිට, නූතන අවධිය වෙත එම සමාජ කැඳවීමේ පුරෝගාමී මෙහෙය ඉටු කරන ලද්දේ එම සමාජවල බූර්ෂුවා පන්තිය ලෙස හඳුන්වන ලද, ඉහල සහ ඉහල මැද පන්තික කොටස් විසිනි. එහෙත් ධනවාදය අඩු වශයෙන් දියුණු වූ රටවල මෙම කාර්යය ඉටු කරන කර්තෘකයා කවුද යන ප්‍රශ්නය මාක්ස්වාදී කොටස් අතර දැඩි මතභේදයකට තුඩු දුන්නේය.

 

මේ ගැන බොහොම තීව්‍ර විවාදයක් ඇති වූයේ රුසියානු විප්ලවය සම්බන්ධවය ; ප්‍රජාත්නත්‍රවාදී විප්ලවයේ කාර්යයන්, යුරෝපයේ වගේ බූර්ෂුවා පන්තිය විසින් සිදු කරන බව මෙන්ෂෙවික් පක්ෂය කියන විට, ඊට විරුද්ධව තර්ක කළ ලෙනින් කීවේ, රුසියානු බූර්ෂුවා පන්තිය සාරාර්ථයෙන් පරණ වැඩවසම් ක්‍රමය සමග බැඳී සිටින බවත්, එම කර්තව්‍යය ගොවි-කම්කරු සන්ධානයක් විසින් ඉටු කරන බවත්ය. ලෙනින්ට පටහැණිව ට්‍රොට්ස්කි කීවේ, ගොවි පන්තිය සමග සන්ධානය පිළිබඳ අදහස වැරදි බවත්, මෙම කාර්යය ඉටු කරන ගාමක බලවේගය කම්කරු පන්තිය බවත්ය.

 

මේ මතභේදය මදකට පසෙකින් තැබූ විට, මේ දෙපොලම කී දෙය නම්, රුසියානු සමාජයේ ප්‍රභූ පන්තිය නොව, නිර්ප්‍රභූ ජනයා අතරින් පැන නගින ව්‍යාපාරයක් විසින් නූතනත්වයේ කාර්යය ඉටු කරන බවය.

 

 

ලංකාවේ මේ වනවිට සිද්ධ වෙමින් තිබෙන්නේ කුමක්ද?

 

 

ඉංග්‍රීසි කථා කරන, ටයි කෝට් හඳින, නූතන යැයි පෙනෙන දේශපාලක පන්තිය ඉතිහාසය පුරාවට සිදු කොට තිබෙන්නේ යාපනය පුස්තකාලය ගිනි ලෑමය, ගෝනවල සුනිල් වැනි අය නඩත්තු කිරීමය, සමාජය, දේශපාලනය සහ ආණ්ඩුකරනය පාදඩකරණය සඳහා පහසුකම් සැලසීමය, දේශබන්දුව පොලිස්පති කිරීමය, චිට්වලින් රස්සා දීමේ ක්‍රමය නඩත්තු කිරීමය. මීට එරෙහිව, නූතන තර්කය අනුව දේශපාලනය සහ ආණ්ඩුකරනය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුත්තට නායකත්වය දෙමින් සිටින්නේ කවුද? මෙරට ගම්වල උපන්, මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය ලද, ඉංග්‍රීසි නොදන්නා බවට ප්‍රතිවාදීන්ගේ ගැරහුම් ලබන, අතිශය සාමාන්‍ය පවුල්වලින් ආ ගැහැණුන් හා පිරිමින්ගෙන් යුක්ත, දේශපාලන ව්‍යාපාරයකි.

 

මෙය ලෙනින් සංකල්පනය කල, ගොවි-කම්කරු සන්ධානය නොවේ. ට්‍රොට්ස්කිගේ මනසේ වූ, කම්කරු පන්තික ව්‍යාපාරය ද නොවේ. එහෙත් මෙරට සාම්ප්‍රදායික ප්‍රභූ පන්තියට පරිබාහිර සමාජ කොටස් විසින් නායකත්වය දෙන සමාජ ව්‍යාපාරයක් විසින්, දේශපාලනය හා ආණ්ඩුකරනය නූතන ආකෘතියක් වෙත ගෙන ඒ්මට සටන් කරන බවත්, සාම්ප්‍රදායික ප්‍රභූ පන්තිය දිවි හිමියෙන් ඊට විරුද්ධව සටන් කරමින් සිටින බවත් ආනුභූතික වශයෙන් පැහැදිලි ලෙස පෙනෙන්ට තිබෙන දේවල්ය.

 

 

මෙය සංකල්පීයකරණය කිරීම අනාගත පරම්පරාවට භාරය ;

 

 

දැනට සටහන් කළ හැකි එකම දෙය නම්, ලංකාවේ දේශපාලනය සහ ආණ්ඩුකරනය, පෙර නොවූ විරූ ආකාරයේ නූතනකරණ ව්‍යාපෘතියක් වෙතට ඇතුලු වී තිබෙන බව සහ ඊට නායකත්වය දෙන්නේ, සාම්ප්‍රදායික ආර්ථික හා දේශපාලන ප්‍රභූ තන්ත්‍රයෙන් පිට, අතිශය සාමාන්‍ය ජනතාවකගේ දේශපාලන ව්‍යාපාරයක් විසින් වන බවය. බටහිර ලෝකය දක්ෂිණාංශික ජනතාවාදයේ ආනුභාවය යටතේ, පරාභවය වෙත පල්ලම් බසිමින් සිටී.

කලාපීය රටවල් ;

බංගලාදේශයේ සිට නේපාලය දක්වා, අරාජකත්වයේ ගිලී යමින් සිටී. මෙම අන්ධකාර අවස්ථාවේ, ලංකාවේ සිදු වෙමින් තිබෙන වෙනස්කම්, සුලු පටු නැත.

 

 

එකම ප්‍රශ්නය, මෙය එලෙස බව ලෝකයට කියා පෑම සඳහා, ප්‍රමාණවත් ප්‍රයත්නයක් දක්නට නොතිබීමය.

 

 

@Ramindu Lakkhika Perera

නවතම ලිපි