SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය

 ‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

 

6. ජනවරම සහ දේශපාලනඥයාගේ කාර්යභාරය

 

ජනවරම

බොහෝ විට වැරදියට තේරුම් ගෙන තිබෙන දේශපාලනඥයාගේ හා පුරවැසියාගේ  භූමිකාව හා අන්තර් සම්බන්ධතාව හරියාකාරව තේරුම් ගෙන නිසි තැන පිගිටුවීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. අපේ සාකච්ඡාව ගොනුකර ඇත්තේ පහත දැක්වෙන මාතෘකා යටතේ ය.

 

  1. ඉරණම විසඳෙන තීන්දුව
  2. බොරු පොරොන්දු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
  3. ජනවරම සහ දේශපාලනය විධානයෙහි තැබීම
  4. පොට වරද්දගන්න එපා
  5. රාජ්‍ය නිල තන්ත‍්‍රය හා ස්වාධීනත්වයේ මායිම
  6. විශිෂ්ටතම දේශපාලනඥයා
  7. සියලුම දේශපාලනඥයෝ හොරු නොවෙති, සියලුම හොරු දේශපාලනඥයෝද නොවෙති
  8. අධ්‍යාපන සුදුසුකම්, වයස හා අවකල්ක්‍රියා
  9. දේශපාලනඥයා බේරා ගනිමු
  10. පිවිසුම් මග වෙනස් කරමු

 

 

1. ඉරණම විසඳෙන තීන්දුව  

 

සීමිත සම්පත් ප‍්‍රමුඛතාව අනුව වෙන් කිරීම රටක ඉතා ම වැදගත් දේශපාලන තීන්දුවකි.  එමගින් රටක ආර්ථික සෞභාග්‍ය උදාකර ගැනීමත්, ආදායම් හා ධනය බෙදීයාමේ විෂමතා ජයගැනීමත් කෙතෙක් දුරට සාර්ථක වන්නේද යන්න නිශ්චය වේ.  අවසාන විග්‍රහයේදී ප්‍රජාතන්ත්‍රවාදයත්, ජාතික ආරක්‍ෂාවත් තහවුරු වන්නේ මේ සාර්ථකත්වය උඩය. 

 

කවර තීරණයක වුව ද, හරි වැරැද්ද හෝ උචිත අනුචිත බව අවසානයේ දී විනිශ්චය කරන්නේ පොත්වල දකින්නට ලැබෙන සිද්ධාන්තවලින් නොව එම තීරණයෙන් යම් බලපෑමකට නතු වන මහජනයා විසිනි.  අවසානයේ දී තීරණාත්මක දර්ශකය වන්නේ මහජනයාගේ දිවි පැවැත්ම වඩාත් විශිෂ්ට මට්ටමකට පත් කළේ ද නැද්ද යන්න යි.  එම නිසා පළමුපෙළ විනිශ්චයකරුවන් වන්නේ මහජනයා ය.  ඔවූහු තම තීන්දුව මැතිවරණයකදී  ප්‍රකාශයට පත් කරති. සෑම තරාතිරමකම ජනතාව ඇසුරු කරන, වැඩිම දෙනාගේ කැමැත්ත බලාපොරොත්තු වන, මැතිවරණවලට   ඉදිරිපත් වන දේශපාලනඥයා, ජන සමාජයට බලපාන ප්‍රශ්නවල විවිධ පැති සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණය ගැනීමට ඉතා ම සුදුසු පුද්ගලයා වන්නේ මේ නිසාය.

 

එසේ වුවද, ප්‍රතිපත්ති සම්පාදනයේ පූජනීයත්වය පෞද්ගලික ලාභ ප්‍රයෝජන ඉලක්ක කරගත් වංචා හා දුෂණ මගින් කිළිටිකර තිබීමත්, දේශපාලන නායකයින් තෝරා පත්කර ගැනීමට තිබෙන මැතිවරණ යාන්ත්‍රණය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවීමත්, ඈත දුර දක්නා, දැන උගත්, කැපවුන පුරවැසියන්ට ප්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත් වීමට සුදුසු යාන්ත්‍රණයක් නැති වීමත්, නිසා මහජන යහපතට හේතු නොවන තීන්දු ගත් අවස්ථා තිබේ. අස්ථාන ආයෝජනය හා අයෝග්‍ය සංග්‍රහය ලෙස එය දැක ගත හැකිය.  

 

2. බොරු පොරොන්දු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

 

දේශපාලන පක්ෂ හා දේශපාලනඥයෝ මැතිවරණවලදී නොයෙකුත් යෝජනා, පොරොන්දු හා වැඩපිළිවෙල ඉදිරිපත් කරති.  ඒවා, ප්‍රතිපත්ති හා මැතිවරණ ප්‍රකාශන ලෙසට හෝ වෙන කිසියම් ආකාරයකට හෝ ඉදිරිපත් කරනු ලැබේ. සෑම දේශපාලන පක්‍ෂයක්ම පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී තම පක්‍ෂයේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් බවට නීති සම්පාදනය කළ යුතුය.

 

මහජනයා පොරොන්දු හා පොරොන්දු දෙන්නන් ඇගයීමට ලක් කරති.  ජනමාධ්‍ය හා සමාජමාධ්‍යවලත්, රැස්වීම් වලත් සාකච්ඡාවට හා විමර්ශනයට භාජනය කරති.  මහජනයා සතුව ඡන්ද බලයක් තිබේ.  ඡන්දය හා පොරොන්දු අතර ගණුදෙනුවක් සිදු වේ. සම්පූර්ණයෙන් අතාත්වික හෝ නොමග යවන සුළු හෝ ඉටුකිරීමට බලාපොරොත්තුවක් නොමැති පොරොන්දුවලින් ගණුදෙනුවේ එක් පාර්ශ්වයක් වන මහජනයා රවටනු ලැබුවහොත් ඒ සඳහා ගතහැකි නීතිමය ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කළ යුතුය. 

 

ආර්ථික, සාමාජික හා සංස්කෘතික විෂමතා ඉහළ මට්ටමක පවතින රටක මේ සමූහ රැවටීමේ (mass deception) ආදීනව ඉතා බරපතළය.  අමානුෂිකය.  අපරාධමය වරදකි.  එය ආර්ථික හා සාමාජික බලය අයුතු ලෙස යොදා ගැනීමකි. බරපතළ ලෙස හා චේතනාන්විතව පොරොන්දු කඩකර ඇති බව අධිකරණයකදී තහවුරු කළ අවස්ථාවක එය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීන්දුකර, පොරොන්දු කඩකළ පාර්ශ්වය ලබාගත් ආණ්ඩු බලය ආපසු කැඳවිය හැකිවිය යුතුය. එවැනි තදබල නෛතික ප්‍රතිපාදනයක් අවශ්‍ය වන්නේ  බලය අත්පත් කරගැනීම සඳහා කරනු ලබන සමූහ රැවටීමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනියමින් උල්ලංඝනය කිරීමක් වන බැවිනි.

3. ජනවරම සහ දේශපාලනය විධානයෙහි තැබීම 

 

රාජ්‍ය සංවිධාන ව්‍යුහයේ ඉහළම ආයතනය අමාත්‍යාංශයයි.  ජනවරමක් ලබා ගන්නා ආණ්ඩුවක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ක්‍රියාවට නැංවීම ඇරඹෙන්නේ අමාත්‍යාංශ මගින්ය.

 

අමාත්‍යාංශයක් සතු විශාල සම්පත් ප‍්‍රමාණය හැසිරවීමේ  පරිපාලන ප‍්‍රධානියා ද, ගණන් දීමේ ප‍්‍රධානියා ද, (Chief Accounting Officer) වන්නේ එහි ලේකම්වරයාය.  අමාත්‍යාංශ ලේකම්වරයෙක් දෙයාකාරයකින් කටයුතු කරයි.  ඔහු ඇමතිවරයාත්, අමාත්‍යාංශයත් අතර සම්බන්ධීකාරකයකු වශයෙන් ද අමාත්‍යාංශයේ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කරමින් එම යාන්ත්‍රනය පරිපාලනය කරයි. ඇමතිවරයාත් අමාත්‍යාංශයත් (පරිපාලන යන්ත‍්‍රයත්) සම්බන්ධීකරණය කිරීමේ කාර්යභාරය, එනම් ජනවරම, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය හා ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් බවට පරිවර්තනය කිරිම, රාජ්‍ය ලේකම් හෝ වෙනත් සුදුසු නමකින් හැඳින්වෙන දේශපාලන ලේකම්වරයෙකුට පැවරිය යුතු ය. දේශපාලන මැදිහත්වීම් කරනු ලැබිය යුත්තේ මේ ඉහළ මට්ටමේ දී පමණි  එසේ වුවද තවදුරටත් අමාත්‍යාංශයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ද ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා ද විය යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාය. ස්ථිර ලේකම් ඔහුය.

 

ජනවරම, රජයේ සැලසුම් හා ක්‍රියාත්මක වැඩසටහන් බවට පත් කිරීමේ ප‍්‍රධාන වැඩ කොටසක් කරනු ලබන්නේ දේශපාලන පත් කිරීමක් වන රාජ්‍ය ලේකම්වරයා ය. දේශපාලනඥයන් මහජනයාට දී තිබෙන ප‍්‍රතිඥා (ජනවරම) ප‍්‍රායෝගික වැඩසටහන් බවට පරිවර්තනය කිරීමේ කුසලතාවෙන් පිරුණ කාර්යශූර පුද්ගලයන් දේශපාලන ලේකම් තනතුර සඳහා තෝරා ගත යුතුය.  ප‍්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී, දේශපාලන රාජ්‍ය ලේකම්වරයකු කෙරෙන් විශාල උද්යෝගයක් බලාපොරොත්තු විය හැකිය.  ඔහුට තම අසුනේ දිගටම රැඳී සිටීමට නම් අවංකව හා කාර්යක්‍ෂමව වැඩකර, මෙභෙවර සපුරාලිය යුතු ය. ඔහුට කල් මරමින් සිටිය නොහැකිය.

 

රාජ්‍ය සේවකයා දේශපාලනඥයාට ගැතිවීමට අවශ්‍ය නැත.  එහෙත් ඔහු ජනවරමක් ලබාගෙන සිටින ආණ්ඩු පක්ෂයට විශ්වසනීය ලෙස සේවය කළ යුතුය.  ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ එලෙසය.

 

4. පොට වරද්දගන්න එපා 

 

දේශපාලනය විධානයෙහි තැබීම යන්නෙන් අදහස් කරන්නේ ජනතා පරමාධිපත්‍යය ඔසවා තබන බව හා බලයට පත්වන ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙල මුල් තැනෙහි තබන බවය. 

 

දේශපාලන හිතවතුන්ට අයථා සංග‍්‍රහ කිරීම, ක‍්‍රමානුකූල නොවන පත්වීම් කිරීම, විධි ප‍්‍රකාර ගනු ලබන පරිපාලන තීරණ වෙනස් කිරීම, දැනහැඳුනුම්කම් උඩ පත්වීම් ලබාගෙන කිසි වැඩක් නොකර සිටීම හෝ ආයතන විනය නොතකා හැරීම යනාදිය අක‍්‍රමිකතා මිස දේශපාලනය විධානයේ තැබීමේ ප‍්‍රතිපල නොවේ.

 

ඇතැමෙක් තමන්ගේ පෞද්ගලික කාරණාවලට හා එදිරිවාදිකම්වලට දේශපාලන පාටක් දෙමින් තමන්ට හානියක් සිදුවී ඇතැයි කියා හෝ පළිගැනීමට ලක්වීය'යි කියා හෝ සහන ඉල්ලති.  නැතහොත් අන් කිසිවෙකුට දඬුවමක් කරන ලෙසට ඉල්ලති. ''දේශපාලන නෑදෑකම්'' වල බලය පෙන්වා තවත් ඇතැමෙක් සම්මත රෙගුලාසිවලට පටහැනි ව රාජ්‍ය අරමුදල් හා දේපළ පරිහරණය කිරීමට සැරසෙති.  තමන්ට හිමි නැති තනතුරු හා වරප‍්‍රසාද ලබා ගැනීමට උස පැනීම් හා දුර පැනීම් කරති.  ඒවාට ඉඩ නොදෙන නිලධාරීන්ට   ''ආණ්ඩු විරෝධීී'' ලේබල් අලවති.  ආණ්ඩුවේ දේශපාලන ගමනට බාධා කරන්නෝයැ'යි ඔවුන්ට දඬුවම් කරන ලෙස කියා සිටිති. මේවා බරපතළ අක්‍රමිකතා, අවිනීතකම් හා ද්වේශ සහගත හැසිරීම් මිස දේශපාලනය විධානයේ තැබීම නොවේ.   

5. රාජ්‍ය නිල තන්ත‍්‍රය හා ස්වාධීනත්වයේ මායිම

 

“ස්වාධීන රාජ්‍ය සේවය” යන්න  තර්කානුකූල මිත්‍යාවකි. කොතැනකවත් ස්වාමියකු නැති සේවකයකු සිටිය නොහැකිය.  තරාතිරම කුමක් වුවත් රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාමියා මහජනයා යි.  1960 දශකය පමණ දක්වා යම් පුද්ගලයෙකු වෙත රාජ්‍ය නිලධාරියෙකුගෙන් (උදාහරණයක් ලෙස දිසාපති,  අමාත්‍යංශ ලේකම්) ලැබෙන ලිපියක අවසානයේ දැක්වුනේ “මීට, ඔබේ කීකරු සේවක” යනුවෙනි.  වචන මාත්‍රයෙන් එය එසේ වී නමුදු මහජනයාගේ මෙම අධිකාරී බලය ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරිය (ව්‍යවස්ථාදායකය හා විධායකය) හරහාය.

 

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, අස්කිරිම්, උසස්වීම්, මාරුවීම් ඇතුළු පරිපාලනයට දේශපාලනඥයා ඇඟිලි ගැසිය යුතු නැත. රාජ්‍ය සේවකයාට නොබියව රාජකාරිය කළ හැකිය.  ඔහුට අපක්ෂපාතී ව රාජකාරිය කළ හැකිය.  එභෙත් ඔහු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලට බැදී සිටිය යුතුය.  මේ නම් වචන හරඹයක්යැ'යි කෙනකුට සිතෙන්නට හැකි නිසා උදාහරණයක් දැක්වීම සුදුසු ය. 

 

කොළඹ සිට මාතරට වාහනයක් යැවීම යම් වැඩපිළිවෙලක එක් අංගයක්යැ'යි මොහොතකට සිතමු.  එය පවරනු ලැබූ රාජ්‍ය නිලධාරියා එම  කාර්යය තම රාජකාරිය ලෙස බාරගත යුතුය.  ඔහු ඊට පක්ෂපාත විය යුතුය.  වාහනය අතරමඟ නතර කර දැමීමට හෝ ගාල්ලෙන් හරවා වෙන ගමනක් යාමට හෝ ඔහුට අයිතියක් නැත.  ඔහුට මේ ගමන නොබියව යා හැකිය. ගමන යා නොහැකි යයි වාද කරන්නට ඔහුට ඉඩක් නැත.  එය නිෂ්එල ක්‍රියාවක්යැ'යි ද යායුත්තේ හික්කඩුවට පමණකැයි ද කියා සිටින්නට ඔහුට අවසරයක් නොලැබේ.  අපගේ සාකච්ඡාවට භාජනය වන වචනවලින් පවසන්නේ නම් ඔහුට ජනවරම අභියෝග කළ නොහැකිය. එභෙත් ගමනාරම්භයේ සිට අවසානය දක්වා මාර්ග නීති ගරු කරමින් ''ස්වාධීන'' ලෙසත් ''අපක්ෂපාතවත්'' ඔහු රිය පදවාගෙන යා යුතුව ඇත. වෙනත් වචනවලින් සඳහන් කළහොත් ඔහු  කාර්ය පටිපාටි අනුගමනය කරමින් අපේක්ෂිත ප්‍රතිපල ලබා ගැනීම පරමාර්ථය කර ගෙන ගමන යා යුතුය.

 

6. විශිෂ්ටතම දේශපාලනඥයා

 

දේශපාලනය විධානයෙහි තැබීම යන්නෙන් අදහස් කරන්නේ ජනතා පරමාධිපත්‍යය ඔසවා තබන බව හා බලයට පත්වන ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙල  (ජනවරම) ක්‍රියාවට නැංවීම බව කලින් සඳහන් කළෙමු.  පොදුවේ රටක ඉදිරි ගමනත්, විශේෂයෙන් රාජ්‍ය යන්ත්‍රයේ දිසානතියත් තීරණය වන්නේ මේ දේශපාලන මැදිහත් වීමෙනි.

 

අපට සිටි විශිෂ්ටතම දේශපාලනඥයා රජතුමා ය. ඔහු සමස්ත රටවැසියාටම නායකත්වය දුන්නේය.  රටවැසියාගේ හිතසුව පිණිස දැහැමින් සෙමෙන් රාජ්‍ය විචාරණය කළ රජවරුන් පිළිබඳ ඓතිහාසික උරුමයක් අපට තිබේ. ඒ කාලයේ ඉදි කළ වැව් හා වාරි කර්මාන්තයන්ගෙන් අපි තවමත් කුඹුරු අස්වද්දන්නෙමු.  ගොඩනැගූ ස්මාරක දෙස තවමත් ඇස් දල්වා බලන්නෙමු.  තැනූ වෙභෙර දාගැබ් වන්දනාමාන කරන්නෙමු.  ලියූ පොතපත ඉහළින් අගය කරන්නෙමු.  දිනූ සංග‍්‍රාම ගැන උදම් අනන්නෙමු. 

 

සෑම පුරවැසියකුම දේශපාලනඥයකු විය යුතුය.  දේශපාලනඥයකු වීමට දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමටම හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමටම අවශ්‍ය නැත. ඔවුන් අචාරධර්ම වලින් බැඳී සිටින කැපවුන පුරවැසියන් (devoted citizen) විය යුතුය. කැපවුන පුරවැසියෙකු යනු ඔහු හෝ ඇය මුහුණ දී සිටින සැබෑ තත්වයන් දන්නා පුරවැසියෙකි. මේ පරම්පරාව සහ ඉපදීමට සිටින  පරම්පරා වෙනුවෙන්, කැපවීමට සූදානම් පුරවැසියෙකි.

 

7. සියලුම දේශපාලනඥයෝ හොරු නොවෙති,  සියලුම හොරු දේශපාලනඥයෝද නොවෙති

 

දේශපාලනය යනු කීර්තිමත්ම හා වැදගත්ම වෘත්තියයි. සමාජයේ පැතිර පවත්නා බොරුව හා හොරකම හේතුවක් කරගෙන “දේශපාලනඥයා” නම් වූ පොදු පුරවැසියාගේ චරිතය ඝාතනය නොකළ යුත ය.

 

දේශපාලනඥයකු හොරකමක් හෝ බොරුවක් කරන අවස්ථාවක ඔහු භෙළා දැකිය යුත්තේ හොරෙකු හෝ බොරු කාරයෙකු හැටියට මිස දේශපාලනඥයකු හැටියට නොවේ. සීමාන්තික කෑදරකම හැර, කැපී පෙනෙන වෙන කිසිවක් ප්‍රදර්ශනය නොකරන ඔවුන් බොහෝ දෙනෙක් නායක ප්‍රතිරූපකයින්ය. (misleaders). දේශපානඥයින් ලෙස වෙස් බැඳගෙන සිටින්නවුන්ය. දේශපාලනඥයකු වීමත්, හොරකම හා බොරුවත්, අතර ඍජු සම්බන්ධයක් නොමැත.  එකක් අනිකේ අනිවාර්ය පැන නැඟීමක් හෝ ප‍්‍රතිඑලයක් හෝ නොවේ.  එය මෙසේද කිව හැකිය. “සියලුම දේශපාලනඥයෝ හොරු නොවෙති,  සියලුම හොරු දේශපාලනඥයෝද නොවෙති”.

 

දේශපාලනඥයින් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් සකස් කිරීම අත්‍යාවශ්‍යව තිබේ. සෑම දේශපාලන පක්‍ෂයක්ම තම පක්‍ෂයේ අපේක්‍ෂකයින් හා නියෝජිතයින් කෙරෙහි බලපාන්නාවූ ආචාර ධර්ම හා වෘත්තීය සාරධර්ම සංග්‍රහයක් සකස් කර ඔවුන් වගකීමට බඳවා ගත යුතුය. එවැනි ආචාර ධර්ම සංග්‍රහයන් මහජනතාවගේ දැනගැනීම සඳහා විවෘත විය යුතුය.

 

8. අධ්‍යාපන සුදුසුකම්, වයස හා අවකල්ක්‍රියා  

 

දේශපාලනඥයකු/පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට කිසියම් අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය ද?  දේශපාලනඥයින්ගේ හොර-බොරු-වංචා-දූෂණ සියල්ලට හේතුව අධ්‍යාපන සුදුසුකම් නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගොස් සිටීම යැයි ඇතැµමක් කියති.  µමය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. 

 

අවකල්ක්‍රියා, අධ්‍යාපන සුදුසුකම් අතින් කෙළපැමිණි පුද්ගලයින් අතින් ද සිදුවී තිබේ.  ඔවුන් අතින් සිදුවන අවකල්ක්‍රියාවන්හි බරපතළකම වැඩි ය.  මහජනයා සතු තැන්පත් මුදල් මංකොල්ල කෑ සමාගම්වල ද මහජන සම්පත් කොල්ලකෑ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලද, සංවර්ධන ව්‍යාපෘති වලද, ඉහළ තනතුරු දරමින් මුදුනේ විරාජමාන වූයේ ඉහළ විභාග සමත් වූ අයයි. මේ ඊනියා අධ්‍යාපනික සුදුසුකම් ලැබූවෝ මහජනයාගේ උකුසු ඇසින් බේරී හොරකම හා වංචාව නීතිය ඉදිරියට පැමිණවිය නොහැකි ආකාරයේ සැලසුම් සකස් කළහ. එය සමාජමය අපරාධයකි. මේ අවාසනාවන්ත තත්ත්වය “අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල උගන්වන්නේ මොනවාද” යන ප්‍රශ්නය අප ඉදිරියේ තබයි.

 

ඉහත දැක්වූ කරුණු වලින්ද, ඉතාම නිදහසේ ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපන සහතික ලබා ගැනීමට ඉඩකඩ ලැබී තිබෙන බැවින්ද, අධ්‍යාපන ක්‍රමයේ සමස්ත පරිහානිය සැලකිල්ලට ගන්නා විටද, අපට පෙනීයන්නේ  අධ්‍යාපන සහතික මිණුම් දණ්ඩක් කරගත යුතු නොවන බවයි.  එමෙන්ම, වයසින් කෙනෙකුගේ අවබෝධ ඥානය හෝ සංජානන කුසලතාව හෝ පරිණතභාවය මැනිය නොහැකිය.

 

මහජනයාගේ හද ගැස්ම තේරුම් ගන්නට හැකි, ඔවුන්ගේ කැමැත්ත ලබාගන්නට ඔවුන් හා ගැවසෙන්නට කැමති ඕනෑම කෙනෙකු දේශපාලනඥයකු වීමට සුදුසු ය.

 

ජනාධිපති ධුරයට, පාර්ලිමේන්තුවට හෝ අන් කවර මහජන සභාවකට (පළාත් සභා/ප්‍රාදේශීය සභා) හෝ පත්විය යුත්තේ රටත් ලෝකයත් ගැන පොදු දැනුමක් හා හැම දෙයක් ගැනම සාමාන්‍ය දැනුමක් ^common sense& ඇති, මහජනයා සමග මෙන්ම විශේෂඥ දැනුමැති පුද්ගලයින් සමග ඉවසිලිවන්තව හා සංවේදීව වැඩ කළ හැකි, දේශපාලන පරිචයකින් යුත් තමාගේ හොඳ නම (කීර්තිය) ගැන සැලකිලිමත් වන මිනිසුන් ය.

 

9. දේශපාලනඥයා බේරා ගනිමු  

 

දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කිරීමේ ශෛලියක් තිබිය යුතු අතර කවර මැතිවරණයකට වුවද අපේක්ෂකයින් තෝරා ගත යුත්තේ විවෘත තෝරා ගැනීමේ ක්‍රමවේදයකිනි.  මහජනයාට මැතිවරණයකදී කළ හැක්කේ පක්ෂ මගින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් අතරින් කෙනෙකු තෝරා ගැනීමයි.  මුල්ම තේරීම ඇත්තේ පක්ෂයට ය.  වරද පටන් ගන්නේ එතැනිනි.  නිවැරදි කළ යුත්තේ ද එතැනය. දැන දැනත්, නොනිසි පුද්ගලයෙකුට නාමයෝජනා දීමට දේශපාලන පක්ෂ නායකයින්ට සිදුවන්නේ එම පුද්ගලයා සතු හෝ ඔහුගේ අණසක යටතේ පවතින සල්ලි මලු හෝ චණ්ඩිකම් දිහා බලාගෙන ය. පවත්නා දිස්ත්‍රික්ක හා මනාප ක්‍රමය තිබෙන තාක්, අපේක්ෂකයාගේ සල්ලි මල්ල දෙස නොබලා බැරි ය. මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය  නොකර, මෙම උගුලෙන් ගැලවෙන්නට බැරි එනිසා ය. 

 

අද දේශපාලනඥයාගේ කාලයෙන් සැළකිය යුතු කොටසක් වැය වන්නේ ප‍්‍රභූ මහජන සම්බන්ධතා නිලධාරියකුගේ කාර්ය ඉටු කිරීමටයි.  බොහෝ දේ කරගැනීමට ''ඉහළ සමාජයේ'' දැන හැඳුනුම්කම් අවශ්‍ය  වීමත් ''සාමාන්‍ය'' මිනිසාට ළංවිය හැකි “ඉහළ'' සමාජය දන්නා කියන පුද්ගලයා දේශපාලනඥයා වීමත් ඊට හේතුවයි.  දේශපාලනඥයා ''ඉහළ'' සමාජයෙන් පැමිණි කෙනකු වීම නිසා හෝ පසු කලෙක ''ඉහළ'' සමාජයට නැඟගත් අයකු වීම නිසා  මේ රාජකාරිය කිරීමට ඔහුට ආරෝපිත දේශපාලන හැකියාවක් හා ප්‍රාග්ධනයක් ලැබී තිබේ.  දේශපාලනඥයාට ඔහුගේ රාජකාරිය කිරීමට කාලය හා ඉඩ ප්‍රස්තාව ලබා දීමටත්, මහජනයා මේ ගැති බවෙන් මුදවා ගැනීමටත්, පුරවැසි ප්‍රඥප්තියට පුළුවන. 

 

10. පිවිසුම් මග වෙනස් කරමු

 

මැතිවරණ පිටියේ බල පුළුවන්කාරකම්  පෙන්වීමට හා සර්කස් දැක්වීමටත්, මනාප පොරයෙන් ජය ගැනීමටත් විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ.  මෙම වියදම් අඩු කරගත හැකි ලෙසට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නොකරන තුරු  දේශපාලනඥයාට ස්වාධීන වීමට නොහැකිය, දේශපාලන පිටියට පිවිසීමට කැමති සුදුස්සන් බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩ ලබාගත නොහැකිය.

 

දේශපාලන තරඟකරුවන්ට සමාජ සුභසාධන කටයුතුවලට විශාල වියදමක් දරන්නට සිදුවී තිබේ.  ධනවත්  “ප්‍රභූ” දේශපාලනඥයින් සිටි කාලයේ දී ඔවුන්ට මේ වියදම් දරාගත හැකි විය.  එහෙත් මෙකල  ඒ සමාජ-ආර්ථික පදනම වෙනස් වී ඇත.  මහා පරිමාණයේ මුදල් දැන් ඇත්තේ ව්‍යාපාරික ප‍්‍රජාවටය.  දේශපාලනඥයා ඔවුන්ගේ හිරකාරයකු බවට පත්වීමට ඉඩ හැරීම බලවත් ඛේදවාචකයකි.  මැතිවරණ  තරඟයේ දිග පළල අඩු කෙරෙන   ආසන ක‍්‍රමයට නැවත ආපසු නොගොස් දේශපාලනඥයාට ස්වාධීන වීමට නොහැකිය.

 

@The END.

 

උප ග්‍රන්ථය

 

ආණ්ඩු ක්‍රම වෙනස - කාර්යශූර පිවිතුරු පාලනයක් ගොඩනගන හැටි 

අප යෝජනා කරන පරිවර්තන ක්‍රියාවලියට මුල පුරන්නේ රාජ්‍ය පරිපාලනයේ මුදුන වෙනස් කිරීමෙන්  හා නව ආයතන පිහිටුවා ගැනීමෙනි.  මෙහි 1 කොටසෙහි, පිහිටුවීමට යෝජිත නව ආයතන හා ඒවාට පැවරෙන කාර්යභාරය ද, 2 කොටසෙහි, යෝජිත අනෙකුත් පරිවර්තනයන් ද දක්වා ඇත.

1  කොටස - ආයතනික ප්‍රතිසංස්කරණ

 

නව ආයතනය

අරමුණු සහ කාර්ය භාරය

ජනාධිපති  කොමිෂන් සභාවක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

පවතින ආයතන පද්ධතිය හා එහි කාර්යභාරය සමාලෝචනය කිරීම.  වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන නව ආයතන පද්ධතියක් හඳුනා ගැනීම.

උපරිම සීමාව විස්සක් නොඉක්මවන පරිදි අමාත්‍යාංශ ලැයිස්තුවක් සකස් කිරීම

කාර්යය නිමවූ හෝ යල්පැන ගිය ආයතන වසා දැමීම.

සෑම අවුරුදු දහයකට (10)  වරක්ම ආයතනයක් හෝ වැඩ සටහනක් දිගටම පවත්වාගෙන යායුතුද යන්න විමසා බැලිම අනිවාර්ය කරන නීතියක් (Sunset Law) සම්පාදනය කිරීම.

එක සමාන කාර්යයන් කරන්නාවූ හෝ එකම අරමුණ පෙරදැරි කරගත් ආයතන ඒකාබද්ධ කිරීම.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන හා තනතුරු ප‍්‍රතිනාමකරණය 

ඈත දුර දක්නා, දැන උගත්, කැපවුන පුරවැසියන්ට ප්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත් වීමට සුදුසු යාන්ත්‍රණයක් ඇති කිරීම.  

ජාතික සැලසුම් සභාව (පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වයෙන්)

යම් නිශ්චය කරනු ලබන වටිනාකමක් ඉක්මවූ ප්‍රාග්ධන ව්‍යාපෘති හා  විදේශ ණය ලබාගෙන කරන්නාවූ සියලු ව්‍යාපෘති සම්බන්ධයෙන් සකස් කළ යුතු  අවශ්‍යතා හඳුනාගැනීම,  ශක්‍යතා අධ්‍යයන සහ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණ සමාලෝචනය කිරීම  සහ ජාතික ආර්ථික ලාභදායීත්වය සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘති, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ කිරීම හෝ  ප්‍රතික්‍ෂේප කිරීම හෝ සංශෝධනය  කිරීම සදහා ව්‍යාපෘති යෝජනාව ආපසු යැවීම.

ප්‍රාග්ධන ව්‍යාපෘති යන්නට  යම් නිශ්චය කරනු ලබන වටිනාකමක් ඉක්මවූ සියලුම වර්ගයේ ඉදිකිරීම්, වත්කම් අත්පත් කර ගැනීම මෙන්ම වත්කම් බැහැර කිරීම් ද  ඇතුළත් විය යුතුයි.

යන්ත්‍රෝපකරණ හා උපකරණ අත්පත් කර ගැනීමට පෙර ඒ හා සමාන අතිරික්ත වත්කම් වෙනත් ආයතනවල තිබේද යන්න පරීක්ෂා කිරීම පූර්ව කොන්දේසියකි.

ව්‍යාපෘති කාල සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම  සැලසුම් සභාවේ අනුමැතියට යටත් විය යුතුය.

රාජ්‍ය ආදායම් අධිකාරිය (පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වයෙන්)

රාජ්‍ය ආදායම් එකතු කිරීමට සම්බන්ධ සියලු දෙපාර්තමේන්තු හා ආයතන අධීක්ෂණය හා නියාමනය කිරීම, පිරිසිදු පරිපාලනය, කාර්ය මණ්ඩල පුහුණුව හා ආදායම් බුද්ධි අංශයක් හා යාවත්කාලීන ව්‍යාපාර අධ්‍යයන පවත්වාගෙන යාම ආශ්‍රිත සමාගම් සමග ගණුදෙනු කරන හුවමාරු මිල (transfer price) නියාමනය කිරීමට මාර්ගෝපදේශ ලබාදීම, අයබදු රැස්කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණ වේදිකාවට ගැනීම හා රාජ්‍ය බදු ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය  ප්‍රාදේශීය ලේකම්  මට්ටම දක්වා විමධ්‍යගත කිරීම.

රාජ්‍ය සේවා කළමනාකරණ අධිකාරිය (පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වයෙන්)

සමස්ත රාජ්‍ය සේවයේ ඉහළම නියාමන අධිකාරිය ලෙස ක්‍රියා කිරීම. උසස් රාජ්‍ය සේවයක්  පවත්වාගෙන යාම සදහා පවතින අණපනත් යාවත්කාලින කිරීම සහ නව නීතිරීති හඳුන්වා දීම. 

රාජ්‍ය යාන්ත්‍රණ ආකෘතියේ හා වැඩ කරන පිළිවෙලෙහි කළ යුතු යෝජිත වෙනස්කම් ක්‍රියාවට නැංවීමට හැකිවන ලෙසට රෙගුලාසි සංශෝධනය කිරීම.

විශේෂ කාර්යසාධන බලකායක් ලෙස  ඉහළම  මට්ටමේ සුපිරි රාජ්‍ය කළමනාකරණ සේවාවක් පිහිටුවීම.

අර්ථවත් හා කාලීන තොරතුරු පාලන වාර්තා මගින් ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීන් මෙහෙයවීම.

රාජ්‍ය සේවකයා බඳවා ගැනීමේදී කිසිදු බාහිර බලපෑමකට ඉඩ නොතබන බවට සියලු පාර්ශ්වයන්, විශේෂයෙන් දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණීම.

සියලු රාජ්‍ය සේවකයන්ට සිංහල හා දෙමළ ප්‍රවීණතාව අනිවාර්ය කර,  රාජ්‍ය මහජන සම්බන්ධතා ඉතා ඉහළින් පවත්වාගෙන යාම.

රාජ්‍ය මානව සම්පත් සංවර්ධන අධිකාරිය

රාජ්‍ය ආයතනවල පුහුණු අවශ්‍යතාවයන් හඳුනා ගැනීම හා නියාමනය කිරීම.

රාජ්‍ය සේවයට අයත් මිලියන 1.2 ක් පමණ වූ සේවකයින්, කැපවීමෙන්,    ජාතික හැඟීමෙන් හා වගකීමෙන් යුත් විනයානුකූල, කර්යශූර හා කුසලතාපූර්ණ මානව සම්පතක්/බලයක් බවට පත්කිරීම.

සමස්ත මානව සම්පත් සංවර්ධන සැලසුම හා එක් එක් රාජ්‍ය ආයතනයට විශේෂිත වූ ආයතන කේන්ද්‍රීය කාර්ය මණ්ඩල පුහුණු වැඩ සටහන් අධීක්‍ෂණය හා සමායෝජනය.

විශිෂ්ට සේවා ඇගයීම සඳහා වූ වැඩ සටහන් හඳුන්වාදීමත් එහි කාර්යයන්ය.

ජාතික කාර්ය සාධන නියාමන අධිකාරිය  

සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම ඉදිරිපත් කරනු ලබන කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා පරීක්‍ෂාකර  අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඇමෙරිකා එක්සත් ජනපදයේ “ආණ්ඩුවේ කාර්යසාධනය සහ ප‍්‍රතිපල පනත”  (Government Performance and Results Act, 1993) හා GPRA Modernization Act. 2010 වැනි පනතක් සම්මත කිරීම.

ජාතික පොදු දේපළ භාරකාර හා සංරක්‍ෂණ අධිකාරිය  (පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වයෙන්)

සියලු පොදු දේපළ ජාතික මට්ටමෙන් ලේඛනගත කිරීම, වත්කම් වල හරස් භාවිතය දිරිගැන්වීම, අවභාවිතය වැළැක්වීම.

වත්කම්වල පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා භෞතික සත්‍යාපන ක්‍රමයක් ස්ථාපිත  කිරීම.    

ආංශික අධිකරණ පද්ධතිය (පත්කිරීම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්)

රාජ්‍ය කළමනාකරණයේදී අනාවරණය වන සාපරාධී නොසැලකිලිමත්කම,  හොර-බොරු-වංචා-දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම.   ඉතාමත් කෙටි කාල පරිච්ඡේදයක් තුළ නඩු විභාග අවසන් කිරීම. අභියාචනා  විභාග සඳහා වෙනම  අභියාචනා උසාවියක් පිහිටු වීම.

2 කොටස - යෝජිත පරිවර්තන

ක්‍රියාවලිය

පිවිසුම හා ප්‍රතිපල

පුරවැසි ප්‍රඥප්තියක් සකස් කිරීම

විසල් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය, එක් අතකින් එහි පාරිභෝගිකයාද, අනෙක් අතින් එහි ස්වාමියාද, වන පුරවැසියාගේ උවමනාකම් සමග සමපාත කිරීම හා ගැළපීම සඳහා, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලබා ගත හැකි සේවාවන් ගැන මහජනයා දැනුම්වත් කිරීමට පුරවැසි ප්‍රඥප්තියක් සකස් කිරීම.

ඩිජිටල්කරණය

සුවිසල් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ අප්‍රමාණ දත්ත හා තොරතුරු සම්භාරයක් සමගය. තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදය හෝ කිසිසේත් ලබා ගත නොහැකිවීම බොහෝ ප්‍රමාදයන්ට හේතුවී තිබේ. විසඳුම ඩිජිටල්කරණය යි. 

ශ්‍රී ලංකාව, ඩිජිටල්කරණයේ යම් තරමක් දුරට ඉදිරියට ගොස් තිබේ.  තව බොහෝ දුර යාමට තිබේ. නොඑසේව, අපට වෙනස් වන ලෝකය සමග එක පෙළට සිටගත නොහැකිය.

ඩිජිටල් පරිවර්තනයට පෙර, යල්පැනගිය පටිපාටි හා ක්‍රමවේද වෙනුවට තත්කාලීන, සරල හා සුමට පටිපාටි හා ක්‍රමවේද ස්ථාපිත කළ යුතුය. ඇතැම් ආයතන  භාවිතා කරන ආකෘති පත‍්‍ර යල්පැන ගොස් ය.  ඒවා අදට ගැළපෙන ලෙසට ප්‍රතිනිර්මාණය කිරීම.

රාජ්‍ය යාන්ත්‍රණ ආකෘතිය හා වැඩ කරන පිළිවෙල වෙනස් කිරීම 

තුන්වන පරිච්ඡේදයේ සදහන්, ප‍්‍රතිපලපාදක ප‍්‍රවේශය හා නව වැඩ ශෛලිය, විධානයේ ඒකාග‍්‍රතාව හා ආයතන ප්‍රධානියා ශක්තිමත් කිරීම,  ඒකාබද්ධ සේවා වෙනුවට සංවෘත සේවා,  විමධ්‍යගත කිරීම සහ අධිකාරී බලය සහිත කුඩා ඒකක ඇති කිරීම, රාජකාරි ආකෘතිය වෙනුවට ව්‍යාපෘති ආකෘතිය, සියලුම සම්පත් වැඩට යොදවා ගැනීම, වාර්ෂික වැඩසටහන් සංග‍්‍රහය, වැඩසටහන් අය-වැය  හා කාර්යසාධනය, වත්කම් අත්පත් කරගැනීම, මීටින් අඩුකර පිටියට බැසීම හා තනතුරු එකකට වඩා නොදැරිම යන පියවර තුළින් රාජ්‍ය යාන්ත්‍රණය කාර්යශූර එකක්  බවට පරිවර්තනය කිරීම.

ඉහළම  මට්ටමේ සුපිරි  රාජ්‍ය කළමනාකරණ සේවාවක් පිහිටුවීම

අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් පත්කළ යුත්තේ, විශේෂ කාර්යසාධන බලකායක් බඳු, ඉහළ මට්ටමේ සුපිරි  කළමනාකරණ සේවයෙනි. ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දක්ෂ හා කැපවුන කුසලතා සහිත  තරුණ තරුණියන්ට ඉහළ තනතුරු වලට පත්වීමට ඉන් ඉඩ සැලසේ

කාර්යසාධන අය-වැය ක්‍රමයට සම්පූර්ණයෙන්ම පරිවර්තනය වීම

හැම රුපියලකින්ම කරන්නට යන දේ සහ ආපසු ලබාගැනීමට යන වටිනාකම ගැන දැනුම්වත්ව, සෑම වසරක්ම අලුත් වසරක් ලෙස සලකා බිංදුවේ සිට සැලසුම් කරමින් අය-වැය ඇස්තමේන්තු සකස් කිරීම (එවිට කාර්යානුබද්ධ නොවී එක් රුපියලක්වත් ඇස්තමේන්තුගත වන්නේ නැත)

වැඩසටහන් පදනම් කරගත් අයවැය ලේඛනයක් සකස් කිරීම (Planning, Programming and Budgeting) සඳහා නිලධාරීන් පුහුණු කිරීම

ආයතන කේන්ද්‍රීය පුහුණුවට මුල් තැන දීම

ආයතනයේ මෙභෙවර, දැක්ම, සංවිධානය හා එකිනෙකා සතු කොටස නිතර නිතර පැහැදිලි කර පහදාදීමේ ආයතන කේන්ද්‍රීය කාර්ය මණ්ඩල පුහුණුව සෑම ආයතනයකම ප්‍රමුඛතාවක් බවට පත් කිරීම

රාජ්‍ය සේවකයින්ගේ ආකල්ප හා පෞරුෂ වර්ධනයට නිසි අවධානය යොමුකරන අතරම නියෝග  වලට කීකරුවීම  ප්‍රමාණවත් නොවන බව හා යම් වර්ෂයක් තුළ සතුටුදායකව වැඩ කිරීමෙන් ඉදිරි වර්ෂයේ වැඩකිරීමේ අයිතිය දිනාගත යුතු  බව තහවුරු කෙරෙන පුහුණු පාඨමාලා පැවැත්වීම

රාජ්‍ය ගිණුම්කරණය බලගැන්වීම

අනන්‍යවූ මූල්‍ය කළමනාකරණ සේවාවක් රාජ්‍ය අංශයේ පිහිටුවීම, රජයේ ගිණුම් තැබීම උපචිත ක්‍රමයට පරිවර්තනය කිරීම

කළමනාකාරීත්ව ගණකාධිකරණ ක්‍රම ස්ථාපිත කිරීම

දෙපාර්තමේන්තුවකින් හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් ඉටු කරන නොයෙකුත් කාර්යයන් සඳහා දරන පිරිවැය ගණන් බලා ගත හැකි වීම. (උදාහරණ ලෙස, රෝහල් ඇඳක එක් දින පිරිවැය, මගී කිලෝමීටරයක පිරිවැය,  පාසල් ශිෂ්‍ය දිනක පිරිවැය)

අධිකාරී බලය සහිත කුඩා ඒකක පිහිටුවීම

ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍ය වන සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු අධිකාරී බලය පවරනු ලැබූ කුඩා ප්‍රාදේශීය ඒකක ලෙස ප්‍රතිසංවිධානය කිරීම

විමධ්‍යගත අයවැය

පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වන වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාර්ගයෙන් විමධ්‍යගත අයවැය ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍යද යන්න සාකච්ඡා කිරීම හා තීරණය කිරීම  

මහජනයා රාජ්‍ය පාලනයට  සහභාගි කර ගැනීම හා පසුවිපරම

රාජ්‍ය ආයතනවල සැලසුම් හා වැඩසටහන් පිළිබඳ තොරතුරු මහජනයා අතට පත්කිරීම සඳහා රජයේ ප‍්‍රකාශන කාර්යාංශය  මගින් සෑම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයකම තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීම.  

විගණනයට, දඬුවමට, කොමිසමට වඩා සාර්ථක ලෙස වැරදි-දුෂණ මැඩ පැවැත්විම  සඳහා මහජනයා (මහජන විමසුම්  සභා, වෘත්තීය සමිති, පාරිභෝගික සංගම්, පරිසර සංවිධාන, පලදාවර්ධන සභා, පුරවැසි කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන අධීක්‍ෂණ කමිටු) රාජ්‍ය පාලනයට සහභාගි කරගැනීම.  

මහජන සහභාගිත්වය සමායෝජනය කිරීමට ලේකම් කාර්යාලයක් පිහිටුවීම.

ස්වාභාවික සාධක මත පරිපාලන ඒකක   ප්‍රතිනිර්මාණය කීරිම

පටු බෙදීම්වලට ඉහළින් ශ්‍රි ලාංකික අනන්‍යතාව පවත්වාගෙන යාම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන

දේශපාලන පක්ෂ හා දේශපාලනඥයෝ මැතිවරණ වලදී නොයෙකුත් යෝජනා හා පොරොන්දු ඉදිරිපත් කරති.  සම්පූර්ණයෙන් අතාත්වික හෝ නොමග යවන සුළු හෝ ඉටුකිරීමට බලාපොරොත්තුවක් නොමැතිව හෝ දෙනු ලබන පොරොන්දු වලින් මහජනයා රවටනු ලැබුවහොත් (සමූහ රැවටීමක් / mass deception), ඒ සඳහා ගතහැකි නීතිමය ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කළ යුතුය. බරපතළ ලෙස හා චේතනාන්විතව පොරොන්දු කඩකර ඇති බව අධිකරණයකදී තහවුරු කළ අවස්ථාවක, පොරොන්දු කඩ කළ පාර්ශ්වය  ලබාගත් බලය ආපසු කැඳවීමට  හැකිවිය යුතුය.

සෑම දේශපාලන පක්‍ෂයක්ම තම නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කළ යුතුය.

මැතිවරණ පිටියේ බල පුළුවන්කාරකම්  පෙන්වීමට හා සර්කස් දැක්වීමටත්, මනාප පොරයෙන් ජය ගැනීමටත් විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ.  මෙම වියදම් අඩු කරගත හැකි ලෙසට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නොකරන තුරු  දේශපාලනඥයාට ස්වාධීන වීමට නොහැකිය. දේශපාලනඥයා මුදල් බලයේ හිරකාරයකු බවට පත්වීමට ඉඩ හැරීම බලවත් ඛේදවාචකයකි.  ව්‍යාකූල බව හා ගැටුම් අඩුකිරීම සඳහා, පාර්ලිමේන්තු හා පළාත් පාලන මට්ටමේ දී නැවත ආසන ක්‍රමයට ආපසු යා යුතුය.

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි